පෙබරවාරි 26, 2026
Parent Pulse Article Featured Image MP Test
විශේෂී ලිපි

මොකක්ද මේ MP පරීක්ෂාව කියන්නේ?

මේ විස්තරේ මැලේරියා රුධිර පරීක්ෂාව ගැන.

MP කියලා අපි ලේසියට කිව්වට ඒකෙන් කියවෙන්නේ මැලේරියා පරපෝශිතයා හදුනා ගැනීමේ රුධිර පරික්ෂාව (blood test for Malaria Parasite) කියන එක.

2016 අවුරුද්දේ ලංකාවෙන් මැලේරියාව ඉවත් කරාට ඒ දේශජ මැලේරියාව පමණයි. ලංකාවේ මැලේරියාව ගෙනියන මදුරුවත් ඉන්නවා. ලංකාව වටේ රටවල්වල මැලේරියා පරපෝෂිතයොත් ඉන්නව. ඒ හින්දා පිටරටකින් ලංකාවට මැලේරියා පරපෝෂිතයෙක් ආවොත් ලංකාවේ වාහක ඇනෝෆිලස් මදුරුවා, ඒ මැලේරියා පරපෝෂිතයාව මිනිසාගෙන් මිනිසාට අරන් ගිහිල්ලා ආපහු මැලේරියාව ඇතිකරන්න පුළුවන්. ඒ හින්දා නැවත මැලේරියාව ලංකාව තුළ ඇති නොවෙන්න ඒක කල්තියා හඳුනාගන්න එක විතරයි එකම විසඳුම. අන්න ඒකයි MP ටෙස්ට් එක, අපිට සැක හිතෙන හැම වෙලාවෙම කරන්නෙ.

පහුගිය මාස දොළහ ඇතුළත මැලේරියාව තියෙන රටකට ගිහින් ඇවිල්ලා තියෙනවා නම් උණ තිබුනත් නැතත් ඔයාලව චෙක් කරගන්න එක හරි වැදගත්. මොකද සමහර මැලේරියා පරපෝෂිතයෝ ආසාදනය වෙච්ච ගමන්ම උණ හැදන්නෙ නැහැ. පරිස්සමට ඇඟ ඇතුළේ ඉඳලා හිමීට එයාට ඕනේ වෙච්ච කාලෙක එලියට මතුවෙනවා. සමහර පරපෝශිතයො උණ හදන්නෙම නෑ.

නැහැ. මැලේරියාව තියෙන රටකට ගිහින් ආවේ නැති කෙනෙක්ට වුනත් උණ හැදුනොත් ඒක මගහැරිලා, මැලේරියාව රට ඇතුලෙ කැරකිලා ආවද කියලා දැනගන්න අපිට වෙන යාන්ත්‍රණයක් අවශ්‍යයි. අන්න ඒක නිසා අපි උණ හැදිච්ච, සැක සහිත හැම කෙනෙක්ගෙම රුධිර සාම්පලයක් අරගෙන චෙක් කරලා බලනවා. මොකද මේ විදියට මගහැරුණු මැලේරියා පරපෝෂිතයෙක්ගෙන් ආසාදනය වුණු මදුරුවෙක් නැවත වරක් තව කෙනෙකුට විද්දොත්, එයා හරහා මැලේරියාව රට ඇතුලේ බෝවෙන්න ඉඩකඩක් තියෙන්න පුළුවන්.

කවුරුම හරි කෙනෙකුට උණ තියෙනවා නම් මැලේරියාව කියන එක සැකයට එක කාරණයක් වෙනවා. ඒ උනාට අපි හැම උණ රෝගියෙක්ගෙම මැලේරියා පරීක්ෂාව කළ යුතු නැහැ. ඒත් මේ වගේ රෝග ලක්ෂණ තියෙනවා නම් ඔයාල මැලේරියාවට පරීක්ෂා කිරීම ඉතාම වැදගත් වෙනවා.

  • වෛද්‍යවරු නියමිත ප්‍රතිකර්ම කළත් උණ සුව නොවීම
  • මැලේරියා වැලඳුණු ඉතිහාසයක් තිබීම
  • අවදානම් සහිත රැකියාවක නිරත වීම
  • මැලේරියා පරීක්ෂාවට යොමු වන ලෙස වෛද්‍යවරයා නිර්දේශ කිරීම

ඔබ නිතරම මැලේරියා බහුල රටවල් එක්ක සම්බන්ධ වෙන කෙනෙක්නම් ඔබ අවදානම්.

  • ත්‍රිවිධ හමුදාවල සාම සාධක බලකා වල නිතර පිරිස්
  • නිතරම පුහුණුවීම් සඳහා අප්‍රිකානු හා ඉන්දියානු රටවල්වලට යන පිරිස්
  • රාජකාරිය සඳහා හරි එහෙම නැත්නම් ව්‍යාපාර කටයුතු සඳහා හරි නිතරම පිටරටත් එක්ක ගනුදෙනු කරන පිරිස්
  • වන්දනාමාන කටයුතු සඳහා දඹදිව යන පිරිස්
  • පුංචි හරි සැකයක් තියෙනවා නම් ඒ කියන්නේ ඔයා අනිවාර්යෙන්ම මැලේරියා පරීක්ෂාවට යොමු විය යුතුයි.

මෙහිදී සිදු වන්නේ ඇඟිල්ලෙන් ගන්න පුංචි රුධිර බිඳුවක් වීදුරු කදාවක තවරලා අන්වීක්ෂයකින් පරීක්ෂා කිරීමයි. පෙර සූදානම් වීමක් අනවශ්‍යයි.
සෑම සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයකම මැලේරියා මර්දනය සඳහා මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර නිලධාරීන් (PHFO) ඉන්නවා. ඇතැම් විට නිවසටම පැමිණ පරීක්ෂා කරන අවස්ථාත් තිබෙනවා.

ඒ වගේම රෝහල්වල මහජන සෞඛ්‍ය පරීක්ෂණාගාර තුළ PHLT නිලධාරීන් මැලේරියා පරීක්ෂණය සිදුකරනවා.
මැලේරියා මර්දන ව්‍යාපාරය මගින් මැලේරියාව පරපෝෂිතයා මඟ නොහැර හඳුනාගන්න වගේම විටින් විට යාවත්කාලීන කරමින් සම්පූර්ණ අවධානය යොමු කරන නිසා මැලේරියා පරීක්ෂණයක් රජයේ රෝහලකින් සිදු කිරීම මගින් අතපසුවීමේ තියන හැකියාව අවමයි.

  • ලංකාව පුරා තියෙන හැම රෝහලකම පාහේ
  • MOH කාර්යාල වලදී
  • ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකාර්යාල තුළ පිහිටුවා ඇති ප්‍රාදේශීය මැලේරියා ඒකක
  • ඒ සඳහා රෝහල්වල වෙනම කාර්ය මණ්ඩලයක් වගේම එම MOH වල වෙනම කාර්ය මණ්ඩලයක් ඉන්නවා.
  • ඔබේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලවලින් හෝ ළඟම තියෙන රෝහලෙන් මැලේරියාව පරීක්ෂාව කරගන්න ස්ථානය සහ කරගන්නා ආකාරය ගැන තොරතුරු ලබාගන්න පුළුවන්.

ඔබට මැලේරියාව ඇති බව තහවුරු වුවහොත් මැලේරියා මර්දන ව්‍යාපාරය සහ ප්‍රාදේශීය මැලේරියා මර්දන ඒකකය මගින් ඔබව සම්පූර්ණයෙන්ම සුව වෙනතුරු බලා ගන්නවා. ඒ ගැන කිසිම සැකයක් නැහැ.

රට ඉඳන් මෙහෙට ආව ගමන්ම ඇඟට මැලේරියා පරපෝෂිතයෙක් ඇවිල්ල හිටියට ඒක රුධිර පරීක්ෂාවෙන් කහවුරු වෙන්න යම්කිසි කාලයක් යනවා. සිරුරට ඇතුළු වෙන පරපෝෂිතයගෙ වර්ගය අනුව එය වෙනස් වෙනවා. සමහර පරපෝෂිත වර්ග නිසා සති දෙකක් තුනක් ඇතුලත උණ ඇති වූවාට සමහර වර්ගවල පරපෝෂිතයෝ උණ ඇති කරන්න මාස තුන හතරක් එහෙම නැත්නම් අවුරුදු කීපයක් උනත් ගත විය හැකියි.

ඒ නිසා යන රට අනුව අවුරුද්දක් යනකම් විටින් විට පසු විපරම් කරමින් රුධිර සාම්පල ගනිමින් මොන ආකාරයක හෝ මැලේරියා පරපෝෂිතයෙක් ඇඟට ඇතුළු වී ඇති ද යන්න පිළිබඳව විපරම් කරනවා.

මැලේරියාව නිසා ඔබ මිය යන්න වුණත් පුළුවන්. බොහෝ අය කිරීම නිසා මැලේරියාව හඳුනා ගන්න වෙන්නෙත් ටිකක් ප්‍රමාද වෙනවා. ඒ නිසා ප්‍රතිකාර කිරීමත් ඇතැම් විට අපහසු විය හැකියි. මැලේරියාව ආශ්‍රිත තොරතුරක් ඔබ සතු නම් වෛද්‍යවරයා ඒ පිළිබඳව දැනුවත් කිරීම ඉතාම වැදගත් වෙනවා.

මැලේරියා පරපෝෂිතයව ලංකාවෙන් ඉවත් කරලා මැලේරියාව තුරන් කළ රටක් කියලා අපි කිව්වට අපි ක්‍රියාත්මක නොවුණොත් පුංචිම අතපසුවීමකින් ආපහු අපේ රටට මැලේරියාව ගේන්න පුළුවන්.

  • නිරන්තරයෙන් අවධානයෙන් සිටියොත් පමණයි අපිට මැලේරියාව යලි ඇති වීම නවත්තන්න පුළුවන්.
  • නිරන්තරයෙන්ම රුධිර පරීක්ෂා කරන එක වැදගත්. එහෙම වුණොත් විතරයි අපිට මැලේරියාවෙන් ආරක්ෂා වෙන්න පුළුවන්.
  • මැලේරියාව ගැන දැනුවත් වීම හා රුධිර පරිකශාව ගැන වගකීමෙන් කටයුතු කරොත් විතරයි අපිට පුළුවන් රටක් බේරාගන්න.

ඔබ වෛද්‍යවරයෙක් නම්, සුළු සැක සහිත අවස්ථාවක් දැනුනත් මැලේරියා පරීක්ෂාවට රෝගීයා යොමු කළ හැකියි
ඔබ සාමාන්‍ය පුරවැසියෙක් නම් ඔබට සාමාන්‍ය සැකයක් හෝ ඇති වුවහොත් මේ මැලේරියාව වෙන්න පුළුවන්ද කියලා, ඔබේ වෛද්‍යවරයාගෙන් විමසිය හැකියි
ඔබ පිටරටක සිට පැමිණයේ නම් අදාල තොරතුරු නොසඟවා වෛද්‍යවරයාට ලැවසීමට වගබලා ගත යුතුයි

මැලේරියාව සඳහා පරීක්ෂා කරනවා කියන්නේ ඔබට රෝගය ඇති වීම වළක්වනවා පමණක්ම නොව තුරන් කළ රෝගයක් නැවත රට තුළට පැමිණීමත් වළක්වා ගැනීම බව අමතක නොකරන්න.

මතක තියාගන්න… එක රුධිර බිදුවක් පරීක්ෂා කර මුළු රටක් බේරගන්න පුළුවන්. එහෙම එකකට තියෙන්නේ MP ටෙස්ට් එක විතරයි.


දැනුවත් කිරීම

කිලෝෂිණී හෙන්දවිතාරණ
ප්‍රාදේශීය මැලේරියා නිලධාරී
අනුරාධපුර

Leave feedback about this

  • Quality