ජූනි 7, 2025
Parent Pulse Salt Article Featured Image
පෝෂණීය සුව දිවිය සුව දිවිය

ලුණු භාවිතය සීමා කරන්න, අයඩීන් මිශ්‍ර ලුණු පමණක් ආහාරයට එක් කරන්න

මානව ශිෂ්ඨාචාරය ආරම්භයේ සිටම ආහාර රස ගැන්වීමේ ක්‍රියාවලියේදී ලුණු ප්‍රධාන මෙහෙයක් ඉටු කරමින් සිටී. ආහාරයට සෝඩියම් එකතු කරනු ලබන ප්‍රධාන මූලාශ්‍රය වශයෙන් ලුණු සැලකිය හැකිය. ශරීරයේ සමබරතාවය පවත්වාගෙන යාම සඳහා ලුණු  අත්‍යාවශ්‍ය පෝෂ්‍ය පදාර්ථයකි. දිනපතා භාවිත වන ආහාරවල ස්වභාවයෙන්ම අඩංගු සෝඩියම් ශරීරයේ සියලු අවශ්‍යතාවයන් සඳහා ප්‍රමාණවත් වුවත් වැඩිපුර දහදිය දමන අය සඳහා ලුණු අමතර වශයෙන් භාවිතය අවශ්‍ය විය හැක. එක් පුද්ගලයෙකු සඳහා දිනකට අවශ්‍ය ලුණු ප්‍රමාණය ග්‍රෑම් 05 කට (දළ වශයෙන් තේ හැන්දක්) වඩා අඩුවිය යුතුය.

  • ආහාරයට ලුණු  විවිධ අයුරින් එකතු වීමට පුළුවන.
  • සියලුම ස්වභාවික ආහාරවල සුළු වශයෙන් අඩංගු වීම
  • ආහාර පිසීමේදී එක් කිරීම
  • කෑම මේසයේදී ආහාරයට මිශ්‍ර කිරීම
  • ආහාර පිරිසැකසුම් කිරීමේදී එක් කිරීම

මාංශමය අහාර වන හැම් බේකන්, සොසේජස්, ලුණු  දමා වියලන ලද කරවල, ලුණු  දමන ලද ඌරු මස් වලද, බටර්, මාගරින්, ටින් කරන ලද එළවළු, මාමයිට් හා වෙජිමයිට් (යීස්ට් නිස්සාරක) සෝයා සෝස් ඇතුළු සෝස් වර්ග ලුණු  රසැති ක‍ෂණික කෑම වර්ග වන සේවරි බිස්කට්, ක්‍රිස්පි වර්ග, අච්චාරු සහ උදය ආහාරය සඳහා සකස් කල ධාන්‍ය වර්ග වලද ලුණු  බහුලව අන්තර්ගතය.

සාමාන්‍යයෙන් ලුණු  අඩුවෙන් පරිභෝජනය හා පොටෑසියම් බහුල ආහාර වැඩිපුර ගැනීම හේතුවෙන් සමස්ත ජනගහනයේම රුධිර පීඩනය අඩු වීමකට තුඩු දිය හැක. වැඩිපුර පළතුරු හා එළවළු ආහාරයට ගැනීමෙන් ශරීරයට ලැඛෙන පොටෑසියම් ප්‍රමාණය වැඩිකර ගැනීමට පුළුවන. අධි රුධිර පීඩනයෙන් පෙළෙන අය ලුණු භාවිතය සීමා කිරීම සෞඛ්‍යයට හිතකරය. වයස්ගත වීමත් සමග ලුණුවලට ඇති සංවේදීතාවය ඉහළ යයි. අධික ලුණු සහිත ආහාර ගැනීම නිසා මුත්‍රා සමග කැල්සියම් පිටවීම ඉහළ යයි. මෙම හේතුව නිසා ශරීරයේ කැල්සියම් ඌනතාවයක් ඇතිවිය හැක.

අයඩිනීකෘත ලුණු සෑම නිවසකම ආහාර රස කර ගැනීම සඳහා යොදා ගන්නා නිසා සෑම කෙනෙකුටම තම අහාර වේල මගින් අයඩීන් ලබා ගැනීමට හැකියාව ඇත. එම නිසා ලුණු භාවිතයේදී අයඩිනීකරණය කරන ලද ලුණු පමණක් භාවිතයට ගත යුතුය. මිනිසාගේ කායික සහ මානසික ක්‍රියාකාරිත්වය සඳහා තයිරොයිඩ් හෝමෝනය ඉතා වැදගත් වේ. මෙම හෝමෝනය නිපදවීමේදී අයඩින් ප්‍රධාන මෙහෙයක් ඉටු කරයි. අයඩින් ඌණතාවය හේතුවෙන් මන්ද බුද්ධිකතාව,මානසික හා ශාරීරක වර්ධනය අඩු වීම සහ විකසනය වීමේ ගැටළු ඇති වේ.

  • ලිප, හිරු එළිය හෝ වෙනත් උණුසුම් සාදකවලින් ඈත්ව අඳූරු බෝතලයක ගබඩා කරන්න
  • ආහාරයට එකතු කිරීමට පෙර ලුණු සේදීමෙන් වලකින්න
  • ආහාර පිස ගැනීමෙන් අනතුරුව ආහාරයට ලුණු එකතු කරන්න
  • කෑම පිසීමේදී, ලුණු ඉතා ස්වල්ප ප්‍රමාණයක් එක්කර ගන්න. ආහාරයේ රසය වැඩිකිරීම සඳහා ලුණු වෙනුවට කුළුබඩු ඇතුළු ස්වභාවික රසකාරක එකතු කරන්න. උදා: කුරුඳු, කරපිංචා, එනසාල්
  • ආහාර වේලක් සැලසුම් කිරීමේදී පිරිසැකසුම් කල ආහාරවලට වඩා සෝඩියම් අඩුවෙන් අන්තර්ගත ස්වාභාවික ආහාර තෝරා ගැනීමට සැළකිලිමත් වන්න.
  • ටින් කරන ලද මාළු සහ මස්වලට වඩා අලුත් මාළු හා මස්වල අඩංගු ලූණු ප්‍රමාණය අඩු බව මතක තබා ගන්න
  • ටින් කරන ලද ආහාර තෝරා ගැනීමේදී ලේබලය කියවා ලුණු අඩු හෝ ලුණු රහිතව පිළියෙල කර ඇති ඒවා තෝරා ගන්න
  • අච්චාරු, ලුණු දෙහි, චට්නි, සෝස්, සලාද මිශ්‍රණ (සැලඩ් ක්‍රීම්) හා අබ ක්‍රීම් (මස්ටඩ් ක්‍රීම්) වල අධික ලුණු ප්‍රමාණයක් අන්තර්ගත බැවින් භාවිතය සීමා කරන්න.
  • ලුණු අධික කෙටි ආහාර වෙනුවට අලුත් එළවළු සහ පළතුරු ආහාරයට ගන්න
  • පිරිසැකසුම් කරන ලද ටින් කළ ආහාර සකස් කිරීමේ ක්‍රියාවලියේදී අමතර ලුණු ප්‍රමාණයක් එක් කරන බව මතක තබා ගන්න
  • ළදරුවන් සහ ළමයින්ට ලුණු හඳුන්වාදීම ප්‍රමාද කරන්න. ලුණුවලට හුරුපුරුදු වීම නිසා අඩු ලුණු  ප්‍රමාණයකින් තෘප්තිමත් වීමට පුරුදු වේ
  • ලුණු  රසට හුරු පුරුදු වීම එය භාවිතයත් සමග සිදුවන ක්‍රියාවලියක් නිසා අඩු ලුණු  ප්‍රමාණයකට දිව හුරු පුරුදුකර ගැනීම මගින් ආහාරයේ ස්වභාවික රසය භුක්ති විඳීමට පුරුදු වන්න

සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෝෂණ අංශයේ ප්‍රකාශනයක් ඇසුරෙන් පල කරන ලදී.

Leave feedback about this

  • Quality