යොවුන් දරුවන්ගේ ජීවිතයේ අතිශය වැදගත් අංගයක් වන ඔන්ලයින් ලෝකය තුළ ආරක්ෂිතව හැසිරීමට ඔවුන්ට ඉගැන්වීම දෙමාපියන්ගේ වගකීමයි. මෙය හුදෙක් නීති පැනවීමකට වඩා, අවබෝධය සහ විවෘත සංවාදය මත පදනම් විය යුතුය. ඔන්ලයින් අවදානම් හඳුනා ගැනීමට සහ වගකීම් සහගත ඩිජිටල් පුරවැසියන් වීමට ඔවුන්ට මග පෙන්වන ප්‍රායෝගික ක්‍රමවේද පිළිබඳව පළමුව මව්පියන් දැනුවත් වීම ඉතා වැදගත් වෙනු ඇත.
- විවෘත සංවාදයක් සඳහා වේදිකාවක් සකස් කිරීම
ඔන්ලයින් ආරක්ෂාව පිළිබඳ ඉගැන්වීමේදී මූලිකම පියවර වන්නේ නිවසේ විනිශ්චයකින් තොරව කතා කළ හැකි ආරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීමයි. දරුවාට යම් අමිහිරි අත්දැකීමක් සිදුවුවහොත්, දඬුවමට ඇති බිය නිසා එය දෙමාපියන්ගෙන් සඟවන්නේ නැති බවට විශ්වාසය ලබා දිය යුතුය. පුතා/දුව මොන දේ වුනත් අපි ඔයා එක්ක ඉන්නවා. ඒ නිසා මොන දේ වුණත් දුක් වෙන්න කරදර වෙන්න එපා. අපිට කියන්න. අම්මයි තාත්තයි ඔයාට උදව් කරනවා වැනි සරල ප්‍රකාශයක් මගින් මෙම විශ්වාසය තහවුරු කළ හැකිය. - මුරපද ආරක්ෂාව සහ පෞද්ගලික තොරතුරු කලමනාකරණය
දරුවාට තම ඩිජිටල් අනන්‍යතාවයේ වටිනාකම සහ ආරක්‍ෂාව පිළිබඳව ඉගැන්වීම අත්‍යවශ්‍යයි. අකුරු, ඉලක්කම් සහ සංකේත මිශ්‍ර වූ ශක්තිමත් මුරපද භාවිත කිරීමේ වැදගත්කම පැහැදිලි කරන්න. මීට අමතරව, ඔවුන්ගේ සැබෑ නම, නිවසේ ලිපිනය, දුරකථන අංකය හෝ පාසලේ විස්තර වැනි පෞද්ගලිකව හඳුනාගත හැකි තොරතුරු (PII – Personally Identifiable Information) කිසිවිටෙකත් ආගන්තුකයන් සමඟ හෝ විශ්වාස කළ නොහැකි වෙබ් අඩවි වල බෙදා නොගත යුතු බවට පැහැදිලිව උපදෙස් දෙන්න. ඔන්ලයින් පළ කරන සෑම තොරතුරක්ම සදහටම ඔන්ලයින් පවතින බව ඔවුන්ට අවබෝධ කර දෙන්න. - ඔන්ලයින් සබඳතා සහ ආගන්තුකයන් හඳුනාගැනීම
සමාජ මාධ්‍ය සහ ඔන්ලයින් ක්‍රීඩා තුළ ආගන්තුකයන් සමඟ කටයුතු කිරීමේදී ඇතිවන අවදානම් පිළිබඳව ඔවුන්ව දැනුවත් කිරීම වැදගත් වේ. ඔන්ලයින් මිතුරෙකු යනු සැබෑ ලෝකයේදී හඳුනාගත් පුද්ගලයෙකුට වඩා වෙනස් බව ඔවුන් තේරුම් ගත යුතුය. සැබෑ ලෝකයේදී මුණ නොගැසී ඇති පුද්ගලයින්ගෙන් ලැබෙන පණිවිඩවලදී ප්‍රවේශම් විය යුතු බවත්, ඔවුන්ට ඡායාරූප හෝ පුද්ගලික තොරතුරු යැවීමෙන් වැළකිය යුතු බවත් අවධාරණය කරන්න. ඔන්ලයින් මිතුරෙකු සැබෑ ලෝකයේදී මුණ ගැසීමට අවශ්‍ය නම්, එය දෙමාපියන්ගේ අධීක්ෂණය යටතේ සහ ආරක්ෂිත, පොදු ස්ථානයක සිදු විය යුතු බවට නීතියක් සකසන්න. - සයිබර් සදාචාරය සහ Digital Footprint
ඔන්ලයින් හැසිරීම් වලදී යොවුන් දරුවන්ට සදාචාරය පිළිබඳව ඉගැන්විය යුතුය. අන් අයට ගෞරවයෙන් සලකන්න යන රීතිය ඔන්ලයින් ලෝකයටද වලංගු බව පැහැදිලි කරන්න. සයිබර් හිරිහැරවලට (Cyberbullying) ගොදුරු නොවීමට මෙන්ම, තවත් අයෙකුට හිරිහැර කරන්නෙකු නොවීමටත් ඔවුන් දැනුවත් කළ යුතුය. තවද, ඔන්ලයින් පළ කරන සෑම පින්තූරයක්, වීඩියෝවක් සහ අදහසක්ම ඔවුන්ගේ Digital Footprint බවත්, එය අනාගතයේදී රැකියා අවස්ථා, අධ්‍යාපනික අවස්ථා වැනි අවස්ථාවලදී ඔවුන්ට බලපෑ හැකි බවත් සරලව තේරුම් කර දෙන්න. - අවදානම් සහගත අවස්ථාවලදී ක්‍රියා කළ යුතු ආකාරය
අවදානම් සහගත තත්ත්වයකදී දරුවා කළ යුත්තේ කුමක්දැයි කල්තියාම පුහුණු කිරීම ඉතා වැදගත්ය.
තමන්ට අපහසුතාවයක් හෝ බියක් දැනෙන පණිවිඩ හෝ අන්තර්ගතයන් ලැබුණහොත් වහාම එම පුද්ගලයා Block කර Report කළ යුතු බව ඉගැන්විය යුතුය.
තර්ජනයක්, හිරිහැර කිරීමක් හෝ නුසුදුසු ඉල්ලීමක් ලැබුණහොත් කිසිදු පැකිලීමකින් තොරව වහාම දෙමාපියන්ට හෝ විශ්වාසවන්ත වැඩිහිටියෙකුට පැවසිය යුතු බවට සහතිකයක් දෙන්න. මෙවැනි තත්ත්වයකදී, ඔවුන්ගේ තාක්ෂණික භාවිතයේ නීති කඩ වී තිබුණත්, ඔවුන්ට දඬුවම් නොලැබෙන බවට සහතික වන්න. ආරක්ෂාව සෑම විටම ප්‍රමුඛතාවය විය යුතුය.
ඔන්ලයින් ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීම දේශන මගින් සිදු කරනවාට වඩා, විනෝදාත්මක සහ ප්‍රායෝගික ක්‍රියාකාරකම් මගින් සිදු කිරීමෙන් යොවුන් දරුවන්ගේ අවධානය සහ අවබෝධය වැඩි කළ හැකිය.
- තත්ත්ව නිරූපණ ක්‍රීඩාව (Role-Playing Scenarios)
මෙය යොවුන් දරුවන්ට ඔන්ලයින් අවදානම් තත්ත්වයන්ට මුහුණ දෙන ආකාරය පුහුණු කිරීමට හොඳම ක්‍රමයයි. දෙමාපියන් සහ දරුවා භූමිකා (Role-Play) මාරු කරමින් අවදානම් සහිත අවස්ථා නිරූපණය කරන්න. දෙමාපියන් ආගන්තුකයෙකු ලෙස පෙනී සිට, පුද්ගලික තොරතුරු ඉල්ලා හෝ ඔන්ලයින් හිරිහැර කර පණිවිඩ යැවීම. දරුවා කළ යුත්තේ Block, Report, සහ Inform කිරීමයි. මිතුරෙකු ලෙස පෙනී සිට, ගිණුමකට පිවිසීමට මුරපදයක් ඉල්ලීම. දරුවා එය ප්‍රතික්ෂේප කළ යුතු ආකාරය පුහුණු කරන්න. දරුවාට සැබෑ අවස්ථාවකදී ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව කල්තියාම පුහුණුවක් ලැබේ. - Digital Detective ක්‍රීඩා
මෙම ක්‍රියාකාරකම මගින් දරුවාට තම ඔන්ලයින් පෞද්ගලිකත්වයේ සීමා තේරුම් ගැනීමට උපකාරී වේ. දරුවා භාවිත කරන Instagram, Facebook වැනි සමාජ මාධ්‍ය ගිණුම් වල Privacy Settings පරීක්ෂා කරන්න. දරුවාගේ අවසරය ඇතුව, දෙමාපියන් ආගන්තුකයෙකු ලෙස සිතා, ඔවුන්ගේ ගිණුමට පිවිසිය හැකිදැයි පරීක්ෂා කරන්න. ඔබගේ දුරකථන අංකය, පාසල වැනි පෞද්ගලික තොරතුරු කොතරම් දුරට ආගන්තුකයන්ට පේනවාද? යන්න සාකච්ඡා කරන්න. ඔබ පළ කළ පින්තූරයක් භාවිත කර, ආගන්තුකයෙකුට ඔබේ ස්ථානය සොයාගත හැකිද? යන්න පෙන්වා දෙන්න. දරුවාට Privacy Settings වල වැදගත්කම සහ Digital Footprint පිළිබඳ ප්‍රායෝගික අවබෝධයක් ලැබේ. - තීරණ ගැනීම (Decision Mapping for Posting)
ඔන්ලයින් පෝස්ට් එකක් (Photo, Comment, Video) පළ කිරීමට පෙර සිතා බැලිය යුතු කරුණු පිළිබඳව පුරුදු කිරීම. සරල ප්‍රශ්නාවලියක් හෝ තීරණ ගැනීමේ Flow Chart සකස් කරන්න.
ප්‍රශ්නය 1: මේක මගේ ගුරුවරුන්ට, අනාගත ලොක්කන්ට හෝ ආච්චීට පෙනෙන්නට මම කැමතිද?
ප්‍රශ්නය 2: මේ පෝස්ට් එක මගේ මිතුරෙකුට හෝ වෙනත් කෙනෙකුට හානි කරනවාද?
ප්‍රශ්නය 3: මේකෙන් මගේ පෞද්ගලික ආරක්ෂාවට තර්ජනයක් වෙනවාද?
ඉහත සියලුම ප්‍රශ්නවලට ‘නැහැ’ යන පිළිතුර ලැබෙන්නේ නම් පමණක් පළ කරන්න. යමක් පළ කිරීමට පෙර කල්පනාකාරීව සිතීමට දරුවාට හුරු වේ.
- ව්‍යාජ ප්‍රවෘත්ති අභියෝගය
යොවුන් දරුවන්ට ඔන්ලයින් තොරතුරුවල සත්‍යතාව තේරුම් ගැනීමට ඉගැන්වීම වැදගත් වේ. ඔන්ලයින් හමුවන ප්‍රවෘත්ති කිහිපයක් දරුවාට පෙන්වන්න. ප්‍රවෘත්තිවල මූලාශ්‍රය (Source), දිනය සහ ප්‍රවෘත්ති වල භාවිතා කර ඇති භාෂාවේ ස්වභාවය (හැඟීම් අවුස්සන වචන තිබේද) පරීක්ෂා කරන ආකාරය උගන්වන්න. ව්‍යාජ පින්තූර හඳුනා ගන්නා ආකාරය පෙන්වා දෙන්න. එමගින් විවේචනාත්මක චින්තනය වර්ධනය කරන අතර, ඔවුන්ට ඔන්ලයින් තොරතුරු විශ්වාස කිරීමේදී ප්‍රවේශම් විය යුතු ආකාරය තේරුම් ගනී.
ඔබේ දරුවා වැඩිපුරම භාවිතා කරන්නේ කුමන ඩිජිටල් උපාංගයද එනම් ජංගම දුරකථනය, පරිගණකය, හෝ වීඩියෝ ගේම්ස්ද යන්න මත පදනම්ව, එම උපකරණයට අදාළ විශේෂිත ආරක්ෂක ඉඟි කිහිපයක් දරුවාට ලබා දෙන්න.
ඔන්ලයින් ආරක්ෂාව යනු එකවර උගන්වා අවසන් කළ හැකි පාඩමක් නොවේ. එය දරුවා වැඩෙන විට සහ තාක්ෂණය වෙනස් වන විට නිරන්තරයෙන් යාවත්කාලීන විය යුතු අඛණ්ඩ සංවාදයකි. දෙමාපියන් ලෙස අපත් නිරන්තරයෙන් නව තාක්ෂණයන් පිළිබඳව දැනුවත් වීමෙන්, අපේ දරුවන්ට විශ්වාසවන්තව මග පෙන්විය හැකිය.
සඳමාලි හේරත්
මෘදුකාංග ඉංජිනේරු
Webaholic Technologies (Pvt) Ltd
