මේක මගෙ කතාව. මම වගේ බොහොමයක් කාන්තාවන්ගේ කතාව.
අවුරුදු අසූවක් අනූවක් ජීවත් වෙන්න හිතාගෙන ඉන්න ඕනම කෙනෙක්ගෙ වයස අවුරුදු 45 – 50 කියලා කියන්නේ මේ ගතවෙන්නෙ එයාලගේ ජීවිතයේ මැද කාලය. මෙන්න මේ කාලේ ජීවිතේ ලොකු වෙනස්කම් ගොඩක් සිද්ධ වෙනවා. කාන්තාවක් කියලා කියන්නේ තනි පුද්ගලයෙක් නෙමෙයි. එයාගෙ වටේ පවුලක් ඉන්නවා, හරියට පවුරක් වගේ. ඒ පවුරෙ හැම වෙනස්ක්ම කාන්තාව කියන තනි පුදගලයටත් කාන්දු වෙනවා. මේ කතාව මං වගේ කාන්තාවන්. ඒ කියන්නේ විවාහ වෙලා දරුවන් ලබලා සමීපතමයන්ගෙන් පිරුණු රවුමක් තුළ ඉන්න කාන්තාවන්.
ජීවිතයේ මධ්‍යස්ථ කාලය ගෙවන් කාන්තාවකගේ ස්වාමිපුරුෂයන්ට මේ කාලය තුළ සිදුවෙන්නේ මොනවාද?
එයාලත් වයසට යනවා. එයාලත් හිතේ සැහැල්ලුවෙන් තමන්ගේ විශ්‍රාම දිවියට සූදානම් වෙනවා. ඒ වගේම ගෙවල් දොරවල් යාන වාහන දරුවන්ගේ ඉගෙනීම් වෙනුවෙන් මුදල් ඉතිරි කරලා වගේම ණය ගෙවීම් සියල්ල අවන් කරමින් යන කාලය කිව්වොත් නිවැරදියි. ඒ කියන්නෙ බොහොමයක් සැමියන් මේ කාලය වන විට පවුලේ ආර්ථික අර්බුදයක් නිහඬව තනිව විසඳමින් ඉන්නවා.
වයස අවුරුදු 40 – 45 වයස් සීමාමේ සිටින් මවකගේ දරුවෝ සාමාන්‍යයෙන් අවුරුදු 15,16 වගේ නව යෞවනයේ සිටින දරුවන් වීමේ ප්‍රවණතාවය වැඩියි. අපි වගේ සාමාන්‍ය කාන්තාවක් ඉගෙන ගෙන රැකියාවක් ලබාගෙන වයස අවුරුදු 26 න් 27 න් විවාහ වූවා නම් බොහෝවිට හතලිස් ගණන් වන විට ඇයට සිටින්නේ නව යොවුන් වියේ දරුවන්. නව යොවුන් වියේ දරුවන්ගේත් ඔවුන් පුකරන්නේ සිරුර තුළ බොහොමයක් විපර්යාස සිදුවන කාලයක්. කායික, මානසික, සමාජයීය හා ආධ්‍යාත්මිකව සම්පූර්ණයෙන්ම දරුවන් වෙනස් වන කාලයක් කිව්වොත් නිවැරදියි. ඒක වෙනස්ම මෙටාමෝෆසිස් එකක්. ඒ වෙනස දරා ගන්න බැරි නිසා දරුවන් ඉන්නෙත් ලොකු මානසික අර්බුදයක. බොහෝවිට නුරුස්නා ගතිය, තරහව නිරන්තරව ඔවුන් පෙන්නුම් කරනවා.
අම්මත් ඇයගේ වයස් සීමාව එක්ක හෝමෝන විපර්යාසවලට ලක්වෙමින් ඉන්නෙ. බොහොමයක් කාන්තාවන් ආර්තවහරණය වයස අවුරුදු 47, 48, 49, 50 අතර වයස් සීමාවන් තුළ සිදු විය හැකියි. ඊට අවුරුද්දක් දෙකකට කලින් අම්මලාට ලොකු අර්බුදයක් එනවා. තමන්ගෙ ඩිම්බ මුදාහැරීම නතර වෙනවත් එක්ක තමන් තව දුරටත් සරු කාන්තාවක් නෙවේ කියන තදබල හැගීමත් එක්ක එයාලා වටිනාකමකින් තොර කාන්තාවන් කියන කොටසට වැටෙන්න ගන්නවා. මේ තාලය තුළ කේන්තිය උඵරිමව ඇති විය හැකියි. මේ තත්ත්වය ඇතැම් විට පිටතට පෙනෙන්න වගේ නොපෙනෙන්නත් පුළුවන්. මේ හේතු මත නිවස තුළ ගැටුම් ඇති වෙන්න පුළුවන්.
සැමියා නිවසට ගොඩ වෙද්දිම ඉල්ලීම් ගොඩයි. අරක නෑ.. මේක නෑ… ඔයාට කොච්චර කීවත් තේරෙන්නෑ කියන චෝදනා බොහොමයක් සැමියාට යොමු වෙනවා. බිරිඳ මේ තත්ත්වයට පත්වන විට සැමියා තමතතමන්ගේ දුක සැප බෙදාගන්න යාළුවෝ එක්ක එකතු වෙලා මත්පැන් පානයට සූදානම් විය හැකියි. දිගින් දිගටම ගෙදර මේ තත්ත්වය පැවතීම දිගින් දිගටම සැමියෙක් මෙවැනි දේවලට යොමු වීමට ඇති ඉඩ කඩ වැඩි කරනවා. ඒ විතරක් නෙවෙයි ඇතැම් විට වෙනත් කාන්තා පාර්ශවයක් වෙත යොමු වීමට වුවත් මේ තත්ත්වයන් හේතු විය හැකියි. අන්තිමේදි සමහරක් විවාහයෙන් පිට වෙන තැනක නතර වෙනවා.
ඒ විදියටම දරුවන්ටත් අම්මාගේ මේ තත්ත්වය වෙනස්ම විදියට බලපාන්න පුළුවන්. දරුවන්ට හැමදේම එපා එපා කියන එක අහගෙන ඉවසගෙන ඉන්න බැරිව, ඒ දරුවෝ යාලුවොත් එක්ක එකතු වෙනවා. නව යොවුන් වියේ දරුවන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම බොහොම පහුසුවෙන් සිදුවිය හැකි දෙයක්. ඒ වගේම යහළුවන් එක්ක කාලය නාස්ති කරමින් රස්තියාදු වෙලා නගෙදරට එන්නත් බොහෝ විට රෑ වෙනවා. ඒ ගැන විමසීමටවත් බැරි තරමට මේ දරුවන් තරහ ගන්නවා. නව යොවුන් දරුවන්ගේ හෝමෝන වෙනස නිසා එයාල සම වයස් යාලුවො ප්‍රිය කරනවා. විරුද්ද ලිංගිකයන්ට ආකර්ෂනය වෙනවා. අපිට එහෙම කාලයක් තිබ්බ කියල අමතක නොකළ යුතුයි. නිවසෙන් ඔවුන්ට ලැබෙන ප්‍රතිචාර එක්ක තරුණ දරුවො නිවස අප්‍රිය කරනවා. පිටස්තර අය විස්වාස කරනවා. සමහරුන්ට වරදිනවා. සමහරු ආපහු හැරෙනවා. සමහරු දිගටම යනවා. සමහරු තනිවෙනවා. සමහරු ජීවිතේම අත ඇරලා යනවා.
මේ හැම දේම එපා වුණාම නිස්සාර ජීවිතේ කියලා ආගම දහමට යොමු වෙනවා.
ගෙදර කෑම හැදීම නතර වෙනවා. විනෝදයක් නැති වෙනවා. ගමනක් බිමනක් යාම ප්‍රතික්ෂේප කරනවා. මස් මාළු ආහාරයෙන් වැලකෙනවා. සිල් සමාදන් වෙන්න පටන් ගන්නවා. කලකිරිලා ආගම තෝර ගන්න බහුතරයක් බොරු රැවටීම්වලට ගොදුරු වෙනවා. සමහර විට මහණ වෙනවා. සුලුතරයක් පරම සැප හොයාගෙන එයාලගෙ ස්පිරිචුවල් ජර්නි එකේ අවදි වෙන්න උත්සාහ කරනවා. සමහරු අවදි වෙනවා. සමහරු සදාකාලිකව සිහි මූර්ජා වෙනවා.
හිතවත් කියා හිතන ආයෙක් සමග දුක කියන්න පටන් ගන්නවා
ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව මේ වයස තවමත් කරුණ වයස් සීමාවක් නිසාම මේ දුක කීම කොතනින් නතර වේද යන්න සැක සහිතයි.
මෙන්න මේ කන්ඩායම් තුන යොදාගන්නා එක එක ක්‍රම නිසා කුණාටුව වගේ තිබ්බ ගෙදර දිගු නිහඩතාවයකට යනවා. ගෙදර හැමෝම තම තමන්ගෙ පෞද්ගලික වට ප්‍රමානය තුළ ගැටුම්වලින් තොරව සිිටීමට අවශ්‍ය ක්‍රම අත් හදා බලමින් නිවස තුළම තනි වෙනවා.
දන්නවද මේ මැද වයසේ ගැනු කෙනා ඔයා වෙන්නත් පුලුවන්. මං වෙන්නත් පුලුවන්. ඒ නිසා මේ තදබල නිහැඩියාවට අහුවෙන්න කලින් දැන් ඉදන්ම සූදානම් වෙන්න. තමන්ව ආපහු හොයා ගන්න. ජීවිතයේ මැද කාලය කියන්නේ අවසානය නොවන බව වටහා ගන්න.
සටහන

වෛද්‍ය කිලෝෂිනී හෙන්දවිතාරන
Leave feedback about this