ඔක්තෝබර් 26, 2025
Sanitary Napkins Parent Pulse Article Featured Image
දරුවන්ගේ සුව දිවිය සුව දිවිය

සනීපාරක්ෂක තුවා භාවිතය ගැන මේ කරුණු ඔබේ දියණියට කියා දෙන්න

ඔසප් වීම යනු සෑම කාන්තාවකගේම ජීවිතයේ සාමාන්‍ය, ස්වභාවික සහ අත්‍යවශ්‍ය ජීව විද්‍යාත්මක ක්‍රියාවලියකි. ඔබේ දියණිය මෙම නව අවධියට පිවිසෙන විට, ඇයගේ සෞඛ්‍යය හා විශ්වාසය ආරක්ෂා කර ගැනීම සඳහා සනීපාරක්ෂක තුවා (Sanitary Napkins) නිවැරදිව භාවිත කරන ආකාරය පිළිබඳව ඔබ විසින් දැනුවත් කිරීම අතිශයින් වැදගත්ය.

සනීපාරක්ෂක තුවා භාවිතය ගැන කතා කිරීමට පෙර, ඔසප් වීම යනු කුමක්දැයි ඇයට නිවැරදිව පැහැදිලි කළ යුතුය. ඔසප් වීම යනු අපිරිසිදු රුධිරය පිටවීමක් නොව, ගැබ් ගැනීමක් සඳහා සූදානම් වූ ගර්භාෂ බිත්තිය (Endometrium) ගැලවී රුධිරය සමඟ පිටවීම බව ඇයට කියා දෙන්න. මෙය ඇය නිරෝගී බවේ ලක්ෂණයකි. කිසිදු ලැජ්ජාවකින් හෝ බියකින් තොරව මේ පිළිබඳව ඔබ සමඟ කතා කිරීමට ඇයව දිරිගන්වන්න. සමාජයේ පවතින ඔසප් දිනවල නාන්න හොඳ නැහැ වැනි මිථ්‍යා මත දුරු කර, මෙම කාලය තුළ පිරිසිදුව සිටීමේ වැදගත්කම අවධාරණය කරන්න.

වෙළඳපොළේ විවිධ වර්ගයේ සනීපාරක්ෂක තුවා ඇත. ඒවා නිවැරදිව තෝරාගැනීම පෞද්ගලික සනීපාරක්ෂාවට ඉතා වැදගත්ය.

  • තුවා වර්ග (දිග සහ අවශෝෂණය) – ඔසප් වීම ආරම්භ වන දිනවලදී සහ අධික රුධිර ප්‍රවාහයක් ඇති දිනවලදී දිග වැඩි (Heavy Flow) සහ පියාපත් සහිත (With Wings) තුවා භාවිත කළ යුතු බව පැහැදිලි කරන්න. සැහැල්ලු දිනවලදී කුඩා සහ සිහින් තුවා (Panty Liners) හෝ සාමාන්‍ය ප්‍රමාණයේ තුවා ප්‍රමාණවත්ය.
  • සන්නාමය සහ ගුණාත්මකභාවය – කල් ඉකුත් වූ හෝ ප්‍රමිතියෙන් තොර, ලාභ තුවා භාවිතයෙන් ඇතිවිය හැකි ආසාදන පිළිබඳව දැනුවත් කරන්න. සෑම විටම පිළිගත් නිෂ්පාදකයෙකුගේ, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ (SLS) ප්‍රමිතිය තහවුරු කළ තුවා සුදුුසු බවට ඇය දැනුවත් කරන්න.
  • සුවඳින් තොර වීම – සුවඳ එකතු කළ තුවා භාවිතයෙන් වළකින්න. මෙවැනි තුවා සමහර විට සංවේදී සමේ ආසාදන (Allergies) ඇති කළ හැකි බව කියා දෙන්න.

සනීපාරක්ෂක තුවායක් භාවිත කරන ආකාරය පිළිබඳ ප්‍රායෝගික පුහුණුවක් ලබා දීම වැදගත්ය.

  • අත් සේදීම – සනීපාරක්ෂක තුවාය ඇල්ලීමට පෙර සහ පසු අත් සබන් යොදා හොඳින් සේදිය යුතු බව පැහැදිලි කරන්න. මෙය යෝනි මාර්ගය ආශ්‍රිත ආසාදන ඇතිවීම වළක්වයි.
  • නිවැරදිව ඇලවීම – සනීපාරක්ෂක තුවායේ ඇසුරුම ඉවත් කර පිටුපස ඇති කඩදාසි පටිය ඉවත් කරන්න. තුවාය යට ඇඳුමේ මැද කොටසට (Vagina ප්‍රදේශයට යටින්) හොඳින් ඇලවිය යුතු බව පෙන්වා දෙන්න. පියාපත් (Wings) තිබේ නම්, ඒවා යට ඇඳුමේ දාර දෙපසට නවා යට ඇඳුමේ පිටතට ඇලවිය යුතු බව පවසන්න. මෙය වරක් දෙවරක් බැරිනම් තුන්වරක් හෝ දරුවාට කර පෙන්වන්න.

මෙය සනීපාරක්ෂාවට අදාළ වඩාත්ම වැදගත් කරුණයි. රුධිර ප්‍රවාහයේ ප්‍රමාණය කුමක් වුවත්, සෑම පැය 3 – 4 කට වරක් හෝ උපරිම වශයෙන් පැය 4කට වරක්වත් තුවාය මාරු කිරීම අනිවාර්ය බව ඇයට කියා දෙන්න. එක් තුවායක් වැඩි වේලාවක් භාවිත කිරීමෙන් තෙතමනය රඳා පවතින අතර, බැක්ටීරියා වර්ධනය වී මුත්‍රා මාර්ගයේ ආසාදන වැනි තත්ත්ව ඇති වීමේ අවදානමක් පවතින බව පැහැදිලි කරන්න.

සනීපාරක්ෂක තුවා භාවිතයට අමතරව ශරීර පිරිසිදු කිරීම ද ඉතා වැදගත්ය.

  • පිරිසිදු කිරීමේ දිශාව – වැසිකිළි ගිය පසු හෝ තුවාය මාරු කළ පසු ඉදිරිපස සිට පිටුපසට (Front to Back) පිරිසිදු කිරීමේ වැදගත්කම කියා දෙන්න. මෙලෙස කිරීමෙන් මහා අන්ත්‍රයේ ඇති බැක්ටීරියා යෝනි මාර්ගය දෙසට පැමිණීම වැළකේ.
  • දෛනික ස්නානය – ඔසප් දිනවලදී දිනපතා ස්නානය කිරීමෙන් වැළකී සිටීම වැරදි මතයක් බවත්, දිනපතා ස්නානය කිරීම හා මුළු ශරීරයම පිරිසිදුව තබා ගැනීම අත්‍යවශ්‍ය බවත් අවධාරණය කරන්න.

තුවාය ඉවත දැමීමේ නිවැරදි ක්‍රමය පාරිසරික සහ සනීපාරක්ෂක වශයෙන් වැදගත්ය.

  • නිවැරදිව ඔතන්න – භාවිත කළ තුවාය කිසි විටෙකත් විවෘතව තැබීම හෝ වැසිකිළි පෝච්චියට (Toilet Bowl) දැමීම නොකළ යුතුය. තුවාය හොඳින් ඔතා (එහිම ඇති ඇසුරුම් කඩදාසියෙන් හෝ පිරිසිදු කඩදාසියකින්) කුණු කූඩයට දැමීමට ඇයට උගන්වන්න.
  • වැසිකිළියට නොදමන්න – සනීපාරක්ෂක තුවා ප්ලාස්ටික් වලින් සහ ඉහළ අවශෝෂක පොලිමර් (SAP) වලින් සාදා ඇති බැවින් ඒවා වැසිකිළි පද්ධතිය තුළ දියවී නොයන බවත්, එමඟින් වැසිකිළි අවහිරවීම් ඇති වන බවත් කියා දෙන්න.

ඔබට අවශ්‍ය නම් පමණක් Tampons සහ Menstrual Cups වැනි විකල්ප වෙත විවාහයෙන් පසු ඇයට මාරු විය හැකි බව පැහැදිලි කිරීමට ඔබට හැකියි. සනීපාරක්ෂක තුවාවලට වඩා ඒවායේ ඇති පහසුව සහ වාසි ඔබේ අත්දැකීම්වලට අනුව පැහැදිලි කිරීමට ඔබට හැකියි. විශේෂයෙන් ඔසප් කෝප්ප වල දිගුකාලීන පාරිසරික සහ මූල්‍ය වාසි පිළිබඳව සරලව අදහසක් ලබා දෙන්න.

ඔබේ දියණියට අවශ්‍ය වන්නේ සත්‍ය තොරතුරු, ප්‍රායෝගික උපදෙස් සහ කිසිදු විනිශ්චයකින් තොරව කතා කිරීමට ඇති නිදහසයි. නිසි දැනුවත්භාවය තුළින් ඔසප් වීම ඇයට විශ්වාසයෙන් යුතුව මුහුණ දිය හැකි සාමාන්‍ය කොටසක් බවට පත් වනු ඇත.


Leave feedback about this

  • Quality