අද අපේ යොවුන් දරුවන්ගේ දෛනික ජීවිතය ස්මාර්ට්ෆෝන් තිරය වටා ගෙතී ඇත. පාසල් නිම වී ගෙදර පැමිණි විගස හෝ නිදි යහනට ගිය පසු හෝ ඔවුන්ගේ දෑස් ඇදී යන්නේ Instagram, TikTok හෝ වෙනත් සමාජ මාධ්‍ය වෙතටයි. මෙම වේදිකා සම්බන්ධතා ඇති කරනවා. එහෙත්, මෙම ඩිජිටල් පරිසරය නිසි කළමනාකරණයකින් තොරව භාවිත කරන විට, එය අපේ දරුවන්ගේ මානසික සෞඛ්‍යයට හිරිහැර ගෙන එන විශාල උගුලක් බවට වුවද පත් විය හැකියි.
- ව්‍යාජ ලෝකය – සංසන්දනය කිරීමේ උගුල
සමාජ මාධ්‍ය යනු යථාර්ථයක් නොවේ. එය ෆිල්ටර් (Filters), හොඳම අවස්ථා (Highlights) සහ සූක්ෂමව සංස්කරණය කරන ලද පින්තූර මගින් නිර්මාණය වූ ව්‍යාජ ලෝකයකි. දරුවන් දකින්නේ අයිස් කුට්ටියේ මුදුන පමණක් වුවද ඔවුන් අනතුරට ලක්කළ හැකි විශාල කඳක් ජලය තුළ පවතින බව යොවුන් දරුවන්ට කියා දෙන්න.
- අසත්‍ය අපේක්ෂාවන්
සමාජ මාධ්‍යවල පළවන සුපිරි නිවාඩු චාරිකා, විලාසිතාමය ඇඳුම් හෝ නිරන්තරයෙන් සාද පවත්වන මිතුරු කණ්ඩායම් දුටු විට අපේ දරුවන් සිතන්නේ තමන්ගේ ජීවිතය කිසිම අයුරකින් සෑහීමකට පත් විය හැක්කක් නොවන බවයි. ඔවුන් නිතරම තම සැබෑ, සංකීර්ණ ජීවිතය, අනුන්ගේ සංස්කරණය කරන ලද පරිපූර්ණ ජීවිත සමඟ සංසන්දනය කිරීමට පෙළඹේ.
- වටිනාකම මැනීම
මෙම සංසන්දනය හේතුවෙන්, තමන්ට ලයික්ස් (Likes) හෝ ෆලෝවර්ස් (Followers) ප්‍රමාණවත් තරම් නොලැබෙන විට, ඔවුන් තමන්ගේම ආත්ම අභිමානය සහ වටිනාකම පහළ මට්ටමක පවතින බවට වැරදි නිගමනවලට එළඹෙයි. මෙම තත්ත්වය කාංසාව (Anxiety) සහ විශාදය (Depression) වැනි මානසික සෞඛ්‍ය ගැටලු කරා යොමු වීමට ප්‍රධාන හේතුවක් බවට පත්ව ඇත.
- දෙමාපියන්ගේ යුතුකම
ඡායාරූප මගින් දිස් වන්නේ සම්පූර්ණ සත්‍ය තත්ත්වය නොවන බවත්, එම පුද්ගලයාටත් අපට නොපෙනෙන ජීවිතයේ අභියෝග ඇති බවත් සැබෑ සතුට රඳා පවතින්නේ තිරයේ තිබෙන අගය මත නොව, තිරය පිටුපස ඇති සබඳතා සහ යහපත් ගතිගුණ මත බවත් දරුවාට අවධාරණය කරන්න.
- මොළයේ ක්‍රියාවලිය – ඩොපමින් උගුල (Dopamine Loop)
අපේ මොළය ස්වභාවිකවම නිර්මාණය වී ඇත්තේ තෘප්තිය ගෙන දෙන දේවල් නැවත නැවතත් කිරීමටය. සමාජ මාධ්‍යවලදී සිදුවන්නේ මෙම ස්වභාවික යාන්ත්‍රණය යොදා ගනිමින් අපේ මනස ඒ වෙතට ඇද බැඳ තබා ගැනීමයි. ඩොපමින් යනු අපිට සතුටක්, උනන්දුවක් හෝ තෘප්තියක් ලැබෙන විට මොළයෙන් නිකුත් වන “සතුටු හෝමෝනයයි.
- ඩොපමින් උගුල ක්‍රියාත්මක වන ආකාරය
සමාජ මාධ්‍ය තුළ සැරිසරන්නෙකුට ලයික්, කමෙන්ට් හෝ දැනුම්දීමක් (Notification) ලැබෙන සෑම විටම, මොළයට ඩොපමින් කුඩා මාත්‍රාවක් ශ්‍රාවය වන අතරම මෙය ක්ෂණික තෘප්තියක් වේ. එවිට අපේ මොළය නිතරම මෙම ක්ෂණික සතුට අපේක්ෂා කරයි.
- ඇබ්බැහි වීමට හේතුව
නිරන්තරයෙන් තිරය පරීක්ෂා කිරීම පුරුද්දක් බවට පත් වන්නේ මේ නිසාය. මෙම නිරන්තර උත්තේජනයට මොළය හුරු වූ විට, එය නොලැබෙන අවස්ථාවලදී (පොතක් කියවන විට, ගෙදර වැඩ කරන විට) දරුවාට කලකිරීම, නොඉවසිලිමත්කම සහ නීරස බව දැනෙන්නට පටන් ගනී. මෙම තත්ත්වය තාක්ෂණික ඇබ්බැහි වීම (Tech Addiction) කරා යොමු වන ප්‍රධාන මාර්ගයයි.
- සාන්ද්‍රණයට වන හානිය
නිතර දැනුම්දීම් පරීක්ෂා කිරීම හේතුවෙන් දරුවාගේ අවධානය එක තැනක තබා ගැනීමේ හැකියාව (Concentration Span) බෙහෙවින් අඩු වී යයි. මෙය ඔවුන්ගේ අධ්‍යාපන සාර්ථකත්වයට සෘජුවම බලපායි.
- සමාජ මාධ්‍ය උගුල්වලින් ගැලවීම – තිර ක්‍රියාකාරකම්වලින් ඉවත් වීමේ වටිනාකම
ඩොපමින් උගුල බිඳ දැමීමට සහ මානසික විවේකය ලබා දීමට ඇති හොඳම විසඳුම වන්නේ තිර ක්‍රියාකාරකම්වලින් දුරස් වීම පුරුද්දක් බවට පත් කිරීමයි.
මේ සඳහා දෙමාපියන් අනුගමනය කළ යුතු ප්‍රායෝගික පියවර
- තිර ක්‍රියාකාරකම් සඳහා නිශ්චිත කාලයක් වෙන් කිරීම
පවුලක් ලෙස එකඟ වී, දිනපතා අනිවාර්යයෙන්ම තිරය සමග ගත කළ යුතු “නිශ්චිත කාලයක්” වෙන් කරන්න.
- නිදන කාමරයේ නීතිය
නිදන කාමරවලට ටැබ්ලට් හෝ ස්මාර්ට්ෆෝන් රැගෙන යාම සම්පූර්ණයෙන් සීමා කරන්න. නින්දට යාමට පැයකට පෙර සියලු තිර භාවිතය නවතා දැමිය යුතුයි. නිල් ආලෝකය මෙලටොනින් හෝමෝනය නිපදවීම වළක්වන බැවින්, සුව නින්දකට බාධා විය හැකිය.
- සැබෑ සම්බන්ධතා ශක්තිමත් කිරීම
විසන්ධි වී සිටින කාලය තුළ දරුවන් පොත් කියවීමට, ශාරීරික ක්‍රියාකාරකම්වල නිරත වීමට හෝ මුහුණට මුහුණ සංවාදවලට යොමු කරන්න. මෙම සැබෑ ලෝකයේ අත්දැකීම් මගින් මානසිකව නිරෝගී සහ සෞඛ්‍ය සම්පන්න සතුටක් ලබා දෙයි.
- ආදර්ශමත් වන්න
දරුවන්ට නීති දමනවාට වඩා, දෙමාපියන් ලෙස ඔබත් තිරයෙන් ඈත් වී, ඔවුන් සමඟ කතා බස් කරමින් ධනාත්මක ආදර්ශයක් සපයන්න.
සමාජ මාධ්‍ය තුළින් ක්ෂණිකව ලැබෙන සතුට වෙනුවට, සැබෑ ලෝකයේ අභියෝග ජය ගැනීමෙන් සහ සෞඛ්‍ය සම්පන්න සබඳතා ගොඩනගා ගැනීමෙන් ලැබෙන නිරන්තර තෘප්තියේ වටිනාකම දරුවන්ට කියා දීම අපගේ වගකීමයි. මෙමගින් අපේ යොවුන් දරුවන්ට ඩිජිටල් යුගය මානසිකව ශක්තිමත්ව ජය ගැනීමට හැකි වනු ඇත.
සඳමාලි හේරත්
මෘදුකාංග ඉංජිනේරු
Webaholic Technologies (Pvt) Ltd
Leave feedback about this