නොවැම්බර් 8, 2025
Business Owner Parent Pulse Article Featured Image
දිවියට සවිය

සාර්ථක ව්‍යවසායකයෙකු වෙන්න ඔබේ මනස සංවර්ධනය කළ හැක්කේ කෙසේද?

සාර්ථක ව්‍යවසායකයෙකුගේ ප්‍රධානම ශක්තිය වන්නේ මානසික ගුණාංග සහ ආකල්ප බව අප පෙර ලිපියකදීත් සඳහන් කළ බව ඔබට මතක ඇති. මෙම ගුණාංග ස්වභාවයෙන්ම උරුම වූ ඒවා පමණක් නොව, වෙහෙස මහන්සි වී පුහුණු කළ හැකි සහ වර්ධනය කළ හැකි කුසලතා සමූහයකි. ඔබේ ව්‍යවසායකත්ව ගමන ශක්තිමත් කිරීමට ඔබට අනුගමනය කළ හැකි ප්‍රායෝගික ක්‍රමවේද පිළබඳව මෙම ලිපියෙන් අපි කතා කරමු.

සාර්ථකත්වය ආරම්භ වන්නේ ඔබ යන දිශාව පැහැදිලිව දැන සිටීමෙනි.

  • SMART (Specific, Measurable, Achievable, Relevant, Time-bound) ඉලක්ක තබන්න
    ඔබේ ව්‍යාපාරයේ විශාල දැක්ම, කුඩා එනම් කළමනාකරණය කළ හැකි SMART ඉලක්ක බවට කඩා වෙන් කරන්න. දිනපතා, සතිපතා සහ මාසිකව ඔබ ළඟා විය යුතු දේ ලිඛිතව සටහන් කරගන්න. මාස 6ක් තුළ අපගේ මාර්ගගත පාරිභෝගික සංඛ්‍යාව 20%කින් වැඩි කර ගැනීම වැනි කුඩා ඉලක්කවලට වෙන් කරන්න.
  • දැක්ම දිනපතා සමාලෝචනය කරන්න
    ඔබගේ ප්‍රධාන දැක්ම දිනපතා කියවන්න. මෙය අභියෝග හමුවේ ඔබේ අභිප්‍රේරණය පවත්වා ගැනීමට උපකාරී වේ.
  • තීරණ ගැනීමේදී දැක්ම භාවිත කරන්න
    ගන්නා සෑම තීරණයක්ම ඔබේ ප්‍රධාන දැක්මට අනුකූලදැයි නිරතුරුවම ප්‍රශ්න කරන්න. මෙය අනවශ්‍ය දේ සඳහා කාලය නාස්ති වීම වළක්වයි.

ව්‍යවසායකත්වය අසාර්ථකත්වය සහ පසුබෑම නොවැළැක්විය හැකි බව පිළිගත යුතු අතර, එයින් ඉක්මනින් ඉගෙන ගෙන යළි නැඟී සිටීම පුහුණු කළ යුතුය.

  • අසාර්ථකත්වය යළි අර්ථකථනය කරන්න
    අසාර්ථක වීමක් සිදු වූ විට, එය පෞද්ගලික පසුබෑමක් ලෙස නොදැක, එය ප්‍රතිපෝෂණයක් ලෙස සලකන්න. මම මෙයින් ඉගෙන ගත්තේ කුමක්ද? සහ මීළඟට මම වෙනස් කරන්නේ කුමක්ද? ලෙස වහාම ප්‍රශ්න කරන්න
  • ආතතිය කළමනාකරණය කරන්න
    ව්‍යවසායකත්වයේ පීඩනය සාමාන්‍ය දෙයකි. යෝගා, භාවනාව හෝ ව්‍යායාම් වැනි දිනපතා ආතතිය අඩු කරන පුරුදු ඇති කර ගන්න. මානසික සෞඛ්‍යය යනු ව්‍යාපාරික කටයුත්තක් ලෙසම වැදගත් බව තේරුම් ගන්න.
  • කුඩා ජයග්‍රහණ සමරන්න
    විශාල ඉලක්කය කරා යන ගමනේදී කුඩා ජයග්‍රහණ පවා සැමරීමට පුරුදු වන්න. මෙය ධනාත්මක ආකල්පය පෝෂණය කරන අතර ඉදිරියට යාමට ශක්තිය ලබා දෙයි.

වෙළඳපොළේ රැඳී සිටීමට නම්, නිරන්තරයෙන් අලුත් දේ සිතිය යුතුය.

  • ප්‍රශ්න කරන්න
    මේ දේ කළ හැකිද? යන්න වෙනුවට, අපි මේ දේ වෙනස් විදිහකට කළ යුත්තේ ඇයි? යනුවෙන් ප්‍රශ්න කරන්න. නිරතුරුවම පවතින සම්මතයන්ට අභියෝග කරන්න.
  • අදහස්වල ජර්නලයක් තබා ගන්න
    දිනපතා ඔබට එන අදහස් (ව්‍යාපාරික හෝ වෙනත්) සටහන් පොතක හෝ ඩිජිටල් ජර්නලයක සටහන් කරගන්න. මෙම පුරුද්ද ඔබේ මොළය නිරන්තරයෙන් නවෝත්පාදනයට යොමු කරයි.
  • විවිධ දැනුම් ක්ෂේත්‍ර ගවේෂණය කරන්න
    ඔබේ ව්‍යාපාරයට සම්බන්ධ නැති පොත් කියවන්න, විවිධ පොඩ්කාස්ට්වලට සවන් දෙන්න, හෝ අලුත් විනෝදාංශයක් ආරම්භ කරන්න. විවිධ දේ නිරාවරණය වීම නිර්මාණශීලී සිතුවිලි ජනනයට උදව් කරයි.

ව්‍යවසායකයෙකු ස්වයං ආරම්භකයෙකු විය යුතු අතර, පිටතින් බලපෑමක් නොමැතිව වැඩ කිරීමට හැකි විය යුතුය.

  • දින චර්යාවක් සාදන්න
    දෛනිකව පැහැදිලි කාලසටහනක් සහ දින චර්යාවක් පවත්වා ගන්න. මෙය ඔබගේ ස්වයං පාලනය පුහුණු කරන අතර, ප්‍රමුඛතා අනුව වැඩ කිරීමට උදව් වේ.
  • පුරුදු වෙනස් කරන්න
    ලැබෙන කුරු බලා සිටීම වැනි පුරුදුවලින් වැලකෙන්න. කාර්යය කිරීමට ඇති ආශාව නොමැති වුවත්, විනය මත පදනම්ව එය ආරම්භ කරන්න.
  • විශ්වාසදායක උපදේශකයෙකු සොයා ගන්න
    ව්‍යාපාරයේදී ඔබට වගවීම පවත්වා ගැනීමට සහය විය හැකි, ඔබව නිරන්තරයෙන් අභියෝගයට ලක් කරන, පළපුරුදු උපදේශකයෙකු සොයා ගන්න. ඔවුන් ඔබට බාහිර ඇගයීමක් ලබා දෙනු ඇත.

ආත්ම විශ්වාසය පැමිණෙන්නේ දැනුමෙන් හා අත්දැකීම්වලිනි.

  • දැනුමෙන් ශක්තිමත් වන්න
    ඔබේ ව්‍යාපාර ක්ෂේත්‍රයේ ගැඹුරුම දැනුම ලබා ගන්න. ඔබ දැනුවත් වන තරමට, අවදානම් තීරණ ගැනීමේදී ඔබේ විශ්වාසය වැඩි වේ.
  • අනුකරණයෙන් ඉගෙන ගන්න
    ඔබට වඩා සාර්ථක ව්‍යවසායකයන්ගේ චරිත කතා අධ්‍යයනය කරන්න. ඔවුන් අභියෝග ජයගත් ආකාරය සහ ඔවුන්ගේ ආකල්ප නිරීක්ෂණය කිරීමෙන් ඔබට ඔවුන්ගේ සාර්ථකත්ව මාර්ග අනුකරණය කළ හැකිය.

ඔබේ ක්ෂේත්‍රයේ හෝ වෙනත් ක්ෂේත්‍රවල ව්‍යවසායකයන් සමඟ සම්බන්ධතා ගොඩනඟා ගන්න. ඔවුන් සමඟ අදහස් හුවමාරු කර ගැනීමෙන් ඔබ තනි වී නැති බව දැනෙන අතර නව අදහස් ලබා ගැනීමටද හැකියි.

  • සමාජ කුසලතා පුහුණු කරන්න
    කණ්ඩායම් සාමාජිකයන් සමඟ ඵලදායීව සන්නිවේදනය කිරීමට, නායකත්වය දීමට සහ ගැටුම් විසඳීමට ඇති හැකියාව නිරන්තරයෙන් පුහුණු කරන්න.

ව්‍යවසායකත්වයේ දීර්ඝ ගමනට හොඳ සෞඛ්‍යයක් අත්‍යවශ්‍ය වේ.

  • නැහැ කියන්න පුරුදු වන්න
    ඔබට අනවශ්‍ය හෝ ඔබේ ඉලක්කවලට අදාළ නොවන දේ සඳහා කාලය වැය කිරීම ප්‍රතික්ෂේප කරන්න. ඔබේ ශක්තිය සීමිත සම්පතක් බව තේරුම් ගන්න.
  • විවේකය අනිවාර්ය කරන්න
    වැඩ කරන වෙලාවට කෙටි විවේක හෝ ගැනීම සහ නිවාඩු ගැනීම අත්‍යවශ්‍ය කාරණා ලෙස සලකන්න. නින්දට ප්‍රමුඛත්වය දෙන්න.
  • ආධාරක පද්ධතියක් ගොඩනඟන්න
    ඔබේ පවුලේ අය, මිතුරන් හෝ වෙනත් ව්‍යවසායකයින්ගෙන් සමන්විත ශක්තිමත් සහයෝගිතා පද්ධතියක් (Support System) ගොඩනඟා ගන්න. ඔබේ අභියෝග බෙදා ගැනීමට විශ්වාසවන්ත පුද්ගලයන් සිටීම මානසික පීඩනය අඩු කරයි.

ව්‍යවසායකත්ව මානසිකත්වය යනු ඔබ කවුරුන්ද යන්න නොව, ඔබ වීමට කැමති කෙනා බව මතක තබා ගන්න. මෙම ප්‍රායෝගික ක්‍රමවේද නිරන්තරයෙන් පුහුණු කිරීම තුළින් ඔබට ඕනෑම අභියෝගයක් ජය ගැනීමට අවශ්‍ය නොසැලෙන මානසික ශක්තියක් සහ ධනාත්මක ආකල්පයක් ගොඩනගා ගත හැකි වනු ඇත.


Leave feedback about this

  • Quality