දෙසැම්බර් 5, 2025
marriage Couple Sad Parent Pulse Article Featured Image
සොදුරු නිවස

සැමියා/බිරිඳගේ ඔබ අකමැති පෞද්ගලික පුරුදු ගැන සාකච්ඡා කරන්නේ කොහොමද?

කායික සබඳතා යනු යුවළක් අතර ඇති බැඳීම, සෙනෙහස සහ සමීපත්වය තහවුරු කරන ඉතා වැදගත් අංගයක් බව පෙර ලිපියකදීත් අපි කතා කළ බව ඔබට මතක ඇති. ඔබේ සැමියා/බිරිඳගේ සනීපාරක්ෂාව, කම්මැලිකම හෝ වෙනත් හැසිරීම් වැනි සංවේදී පෞද්ගලික පුරුදු කායික සබඳතාවලට බලපාන විට, ඒ පිළිබඳව සාකච්ඡා කිරීම ඔබට අතිශයින්ම අපහසු කාර්යයක් විය හැකියි. එහෙත් එය ඉතා සියුම්ව හෝ කළ යුතුය. මේ සඳහා යොදා ගත හැකි ප්‍රධාන උපක්‍රම සහ පියවර කිපියක් පිළිබඳව මෙම ලිපිය තුළින් සාකච්ඡා කරමු.

  1. ඔබේ අරමුණ චෝදනා කිරීම නොව, ඔබේ සම්බන්ධතාවය වැඩි දියුණු කිරීම බව මතක තබා ගන්න. ඔබ ආදරය කරන පුද්ගලයාට රිදවීම වෙනුවට ගැටලුව නිරාකරණය කිරීම කෙරෙහි අවධානය යොමු කරන්න.
  2. ඔබ දෙදෙනාම විවේකයෙන් සිටින, හොඳ මනෝභාවයකින් සිටින සහ බාධා නොමැති අවස්ථාවක් මේ සඳහා තෝරා ගන්න. කිසි විටෙකත් කෝපයෙන් සිටින විට හෝ සටනක් අතරතුර කතා නොකරන්න.
  3. කායික සබඳතා අප්‍රසන්න වීමට සැබෑ හේතුව සනීපාරක්ෂාව පමණක්ද? නැතහොත් ගෞරවය නොදැක්වීමද? එසේත් නැතිනම් වෙනත් හේතුවක් ද යන්න නිවැරදිව තීරණය කරන්න
  1. ඔයා හරිම කම්මැළියි/ඔයා නාන්නේ හරිම අඩුවෙන් වැනි චෝදනා කිරීමෙන් වළකින්න. එවැනි ප්‍රකාශ නිසා සංවාදය අසාර්ථක විය හැකිය.
  2. ඔබගේ සහකරු/සහකාරියගේ ක්‍රියාව හේතුවෙන් ඔබට දැනෙන ආකාරය ප්‍රකාශ කරන්න. ඔබේ පෞද්ගලික පෙනුම ගැන ඔබ වඩා සැලකිලිමත් වුණොත්, මට වඩාත් ආකර්ෂණයක් සහ සමීප බවක් දැනෙයි යැයි පැවසිය හැකිය.
  3. සනීපාරක්ෂාව පිළිබඳ ගැටලුවක් නම් අපේ සම්බන්ධතා තවත් සුන්දර වේවි ඔයා පිරිසිදුව මම ළඟට එනවා නම් යනුවෙන් කාරුණිකව පැහැදිලි කරන්න.
  1. ඔබ යම් පුරුද්දක් ගැන කතා කරන්නේ නම් එය වෙනස් කිරීමට උපකාර කරන බව පවසන්න. උදාහරණයක් ලෙස, සනීපාරක්ෂාව ගැටලුවක් නම් අපි දෙන්නාම අද ඉඳන් මේ සබන් එක පාවිච්චි කරමු/අපි එකට ව්‍යායාම පටන් ගමු වැනි යෝජනා ඉදිරිපත් කරන්න. අපි දෙන්නාම එකට මේ වෙනස පටන් ගමු යනුවෙන් පැවසීම වැදගත්ය.
  2. ඔබේ සහකරු/සහකාරිය කුඩා හෝ ධනාත්මක වෙනසක් සිදු කළ වහාම එය අගය කරන්න. ඔයා අද කරපු දේට මට ඇත්තටම සතුටුයි, ඒක ගොඩක් හොඳයි වැනි දිරිගැන්වීම් මගින් ඔවුන්ව තවදුරටත් පොළඹවන්න.
  3. පැරණි පුරුදු වෙනස් කිරීමට කාලය ගතවේ. ඉක්මනින් ප්‍රතිඵල බලාපොරොත්තු නොවන්න, ඒ වෙනුවට ඉවසිලිවන්තව සහයෝගය දෙන්න.

ඔබගේ සහකරු/සහකාරිය මෙම සංවාදයට දැඩි ලෙස කෝපයෙන් හෝ අමනාපයෙන් ප්‍රතිචාර දක්වන්නේ නම්, ඔබ දෙදෙනාටම ආරක්ෂිත යැයි හැඟෙන පරිදි සන්සුන්ව සංවාදය නවත්වන්න.
කම්මැලිකම හෝ නොසැලකිල්ල වැනි පුරුදු මානසික අවපීඩනය, රැකියා ආතතිය හෝ වෙනත් චිත්තවේගීය ගැටලු නිසා ඇති වී තිබේ නම්, විවාහ උපදේශකයකු හෝ මනෝ විද්‍යාඥයකු හමුවීම හොඳම විසඳුමයි. ඔවුන්ට මෙම ගැටලු වෘත්තීය මට්ටමකින් විසඳීමට උපකාර කළ හැකිය.

අපහසු සංවාදයක් සාර්ථකව අවසන් කිරීමෙන් පසු කළ යුත්තේ ඔබේ සම්බන්ධතාවය තුළ සමීපත්වය සහ ආකර්ෂණය නැවත ගොඩනැඟීමයි. එයට කාලය සහ උත්සාහය අවශ්‍ය වන නමුත් එය ඔබේ විවාහ ජීවිතය ශක්තිමත් කරයි. මෙම සියුම් සාකච්ඡා ආදරය සහ ගෞරවය පදනම් කරගෙන සිදු කිරීමෙන් ඔබේ සම්බන්ධතාවයේ ඇති සමීපත්වය සහ ආකර්ෂණය නැවත වැඩි දියුණු කර ගැනීමට ඔබට හැකි වනු ඇත.

  1. චිත්තවේගීය බැඳීම නැවත තහවුරු කරන්න

කායික සමීපත්වය ගොඩනැඟෙන්නේ චිත්තවේගීය බැඳීම මතය.

  • දරුවන්ගේ කටයුතු හෝ වැඩ රාජකාරිවලින් තොරව අවධානය සම්පූර්ණයෙන්ම සහකරු/සහකාරිය වෙත යොමු වන සේ දිනපතා අවම වශයෙන් විනාඩි 15ක් හෝ එකට ගත කරන්න. එකට කෝපි පානය කිරීම, ඇවිදින්න යෑම වැනි දේ කළ හැකිය.
  • හාදුවක් දීම, වැළඳ ගැනීම, අත අල්ලාගෙන සිටීම හෝ පිටට තට්ටු කිරීම වැනි දේ දවස පුරාම කරන්න. කායික සබඳතාවකට අමතරව ඇතිවන මෙම ස්පර්ශයන් සමීපත්වය වැඩි කරයි.
  • ඔබේ සහකරු/සහකාරිය ඔබට කරන දේ හෝ ඔවුන්ගේ ගතිගුණ ගැන කෘතඥ වන බව දිනපතාම ප්‍රකාශ කරන්න. අද කෑම රසයි/මට හැමදාම උදව් කරන එක ගැන මම සතුටුයි වැනි දේ පැවසීම වැදගත්ය.
  1. ආකර්ෂණය වැඩි දියුණු කිරීම සඳහා පියවර ගන්න
  • ඔබ දෙදෙනාම ඔබගේ පෞද්ගලික පෙනුම සහ සනීපාරක්ෂාව ගැන වැඩි අවධානයක් යොමු කරන්න. මෙය එකිනෙකා කෙරෙහි ඇති ගෞරවය පෙන්වයි.
  • නව ඇඳුමක්, නව කොණ්ඩා මෝස්තරයක් හෝ සුවඳ විලවුන් වර්ගයක් සමගින් ඒකාකාරී බවින් මිදී වෙනස් වෙන්න. අනෙකා කෙරෙහි නැවත ආකර්ෂණය ඇති කිරීමට මෙය උදව් විය හැකිය.
  • විවාහ ජීවිතයට සිනහව සහ සැහැල්ලු බව එක් කරන්න. විහිළු කිරීම, සිනාසීම සහ එකට විනෝද වීම චිත්තවේගීය බාධක ඉවත් කිරීමට උපකාරී වේ.
  1. කායික සබඳතා කෙරෙහි ඇති උනන්දුව යළි ඇති කරන්න
  • කායික සබඳතාවක් සඳහා කාලය හා ස්ථානය කලින්ම වෙන් කර ගන්න.
  • සහකරුගේ/සහකාරියගේ ආශාවන් සහ කැමැත්තන් පිළිබඳව විවෘතව සාකච්ඡා කරන්න. සබඳතාවට නව අංග එක් කිරීම හෝ අත්හදා බැලීම් කිරීම මඟින් කම්මැලි වීම වළක්වා ගත හැකිය.
  • විශේෂයෙන් සංවේදී සාකච්ඡාවකින් පසු කායික සබඳතා චිත්තවේගීය බැඳීම ශක්තිමත් කිරීමේ මාර්ගයක් බවට පත් කර ගන්න. වේගයට වඩා ගුණාත්මක භාවය සහ ආදරය කෙරෙහි අවධානය යොමු කරන්න.
  1. අතීතය අතහැර දමන්න
  • ඔබ සාකච්ඡා කළ සහකරුගේ/සහකාරියගේ පුරුදු හෝ අතීතයේ ගැටලු නැවත නැවත මතක් කිරීමෙන් වළකින්න. ඔබ දෙදෙනාම ඉදිරියට ගමන් කරන බවට විශ්වාසය තහවුරු කරන්න.
  • ඔබේ සහකරු/සහකාරිය ධනාත්මක වෙනස්කම් සිදු කිරීමට උත්සාහ කරන විට ඔවුන්ව නිරන්තරයෙන් දිරිගන්වන්න.

මෙම පියවරයන් මගින් ඔබේ විවාහ ජීවිතයේ සමීපත්වය සහ ආකර්ෂණය යළි පුබුදුවාලීමට ඔබට හැකි වනු ඇත.


සටහන

Author Dishanthi

දිශාන්ති වෙදගේ
මනෝ උපදේශන ඩිප්ලෝමාධාරීණී
මානසික සෞඛ්‍ය සරසවිය

Leave feedback about this

  • Quality