ආනේ එන්න එන්න උදාර, ඉතිං කොහොමද අංජලී
මලීෂා හා අවිශ්ක උදාරවත් අංජලීවත් රමිඳු පුතාගේ උපන්දින සාදයට පිළිගත්තේ සිනාමුසු මුහුණින්. මොහොතක් ඔවුන් දෙදෙනා සමග දොඩමලු වූ මලීෂා උදාරගෙනුත් අංජලීගෙනුත් සමුගෙන උපන්දින සාදයට පැමිණෙන්නන් පිළිගැනීමට ඉදිරියට ගියාය. හාත්පස විදුලි බුබුළු වලින් සරසා ඇත. මලීෂාගේත් අවිශ්කගේත් නිවසම උත්සව සිරියෙන් පිරී ගොස් තිබුණි. වේග රිද්ම ගීතයන් ඝෝෂාකාරී යැයි අංජලීට සිතුනි.
“අද රමිඳු කවීෂ්වර සේනාධීර අපේ චූටි පුතාගේ පළවෙනි උපන්දිනේ, අපිත් එක්ක සතුට බෙදාගන්න ආව ඔයාලා හැමෝටම ස්තූතියි, දැන් ඉතින් තියෙන්නේ පුතාගේ උපන්දින කේක් එක කපන්නයි. හැමෝම කේක් එක තියෙන තැනට ආවොත් නියමයි. රමිත සියලුම අමුත්තන් කේක් එක තබා තිබූ තැනට රැස් කළේය.
හැපි බර්ත් ඩේ ටූ යූ
හැපි බර්ත් ඩේ ටූ යූ
හැපි බර්ත් ඩේ ඩියර් රමිඳු
හැපි බර්ත් ඩේ ටූ යූ
ඡායාරූප ශිල්පීයා රෝබෝවරයෙකු මෙන් යුහුසුළුව ෆෝටෝ ගැනීමට උත්සහ දරයි. දරුවා මවට හා පියාට කේක් කවන දසුන ඡායාරූපගත කරන්නට ඔහු සිව්වරක් පමණ දරුවා ලවා කේක් කවන්නට උත්සහ කලේය. අවසානයේ රමිඳු කේක් කැබැල්ල බිම දමා හඬන්නට විය. අනතුරුතුරුව පැමිණි අමුත්තන් සමග ඡායාරූප වලට පෙනී සිටීමට මේ පුංචි අසරණයාට බොහෝ වේලාවක් කාලය මිඩංගු කරන්නට සිදුවිය. වේලාව සවස හත පසු වී ඇත. මලීෂා රමිඳු පුතාවත් වඩාගෙන එහාට දිවයයි, මෙහාට දිවයයි. උත්සවය සාර්ථකව පවත්වාගෙන යාමට අවශ්‍ය වටපිටාව සොයා බලයි.
“අනේ බලන්නකෝ මෙයා කා ළගවත් ඉන්නේ නැහැනේ” තෙහෙට්ටුවෙන් සිටින පුතුව රැගෙන උදාරත් අංජලීත් අසලට එමින් මලීෂා පැවසුවාය.
“බබාටත් හොඳටම මහන්සි පාටයිනේ, බඩගිනිත් ඇත මලීෂ”
“ඔව් අනේ දැන් මෙයාගේ කෑම කවන වෙලාව, කට්ටිය දැකලද මන්දා මගේ ඇඟේමයි. කවන්නත් වෙලා යනවනේ. මම මේ කිරි එකක් පොවා ගත්තා, හවස හතරේ ඉඳන් ෆෝටෝ ගත්තනේ. ඒ වෙලේ නම් සතුටින් නට නට හිටියා දැන් තමයි මේ”
මලිෂා පැවසුවේ ඇය වෙත පැමිණි අවිශ්ක වෙත පුතු දෙන අතරතුරය. පුංචි පුතා අත් දෙකෙන්ම තම පියාගේ ගෙල වැළඳ ගත්තේය. පියාගේ උරහිස මතින් හිස තබා ගත් රමිඳු පුතාගේ දෑස් වැසී යද්දීම නැවත ගැස්සී අවදි වුයේ සංගීතය නිසාවෙන්ය.
අංජලීට රමිඳු පුතා ගැන ඇති වුයේ කනගාටුවකි. අවිශ්කගෙන් පුතුව ඉල්ලා ගත් ඇය ඔහුට නිදන්නට සුදුසු ගෙස තුරුල් කරගත්තාය. ඊ ළඟ තත්පරයේදී පැටියා නින්දට වැටුනේය. වසරක් වයසැති රමිඳුට එදින පීඩාකාරීම දිනයක්ම වූවාට සැකයක් නැත.
අනේ නින්ද ගියා ද අංජලී, අයියෝ කොල්ලා කාලත් නැහැ කිරි එක විතරමයි
මලීෂා අංජලීගේ තුරුලේ නිදන රමිඳුගේ කම්මුලක් අත ගාමින් දුක් මුසුව පැවසුවේ ය.
ඔයාලට තිබ්බෙ බබාට තේරෙන වයසකදී උපන්දිනේ ගන්න. මේ වයසට එයාලාට තේරෙන්නෙ නැහැනේ කිසි දෙයක්. ඔන්න අවුරුදු පහක් හයක් වෙන කොට නම් එයාලගේ උපන් දිනේ කියලා එයාලට තේරෙනවනේ.
ඔයා කියන එකත් ඇත්ත, ඒත් පළවෙනි උපන්දිනේ කියන්නෙ ස්පෙෂල්නේ අනේ
ඒක අපිට ස්පෙෂල් තමයි ඒත් මේ ජරමර පොඩි මෑන්ට කරදරක්, මම මෙයාට කිව්වා ගෙදර කට්ටිය එකතු වෙලා මේක කරමු කියලා. කෝ ඇහුව්වෙ නෑනේ, ඔෆිස් එකටයි නෑදෑයන්ටයි සේරටම කිව්වා. හරියට වෙඩින් එකක් ගත්තා වගේ, දැන් ඉතින් මොකක් කරන්න ද මලිෂා පුතාව කාමරෙන් තියමු නේද? ” යැයි පැවසූ අවිශ්ක රමිඳුව පරිස්සමින් නිවස තුලට රැගෙන ගියේ ය.
උපන් දින සාදයේ පිරිසක් වේග රිද්ම සංගීතයට රඟයි. තවත් පිරිසක් සතුටු සාමිචීයේය. තවත් පිරිසක් මදුවිතෙන් සප්පායම් වෙයි. මෙහි විශේෂිතම පුද්ගලයා හාමතේ නිරාහාරවම තද නින්දේය. අංජලී තම කුස මතින් දෑත තබා ගත්තේ තම කුස තුල සිට දඟ කරන පුංචි දඟයා පිළිබඳ උපන් ආදරයෙන්ය.
“ මේ බලන්නකො උදාර මෙයාගේ දැඟලිල්ල. මියුසික් වලට මෙයා හොඳට ඩාන්ස් කරනවා වගේ
තම කුස මතින් දෑත මතින් උදාරගේ දෑතක් තබා අංජලී පැවසුවාය.
දන්නවද උදාර අපේ පැටියගේ උපන්දිනේට මම මොනවද කරන්නේ කියලා
“හ්ම්.. දන්නේ නැහැ
“මේ ළඟදී දවසක මම දැක්කා මොරටුව පැත්තේ ළමා නිවාසයක ෆෝටෝස් වගයක්. ඉපදුන දවසේ ඉඳලා දරුවො එතන ඉන්නවා. අනේ පැම්පස් එකක් අන්දලා පරණ වුණු කොට් එක උඩ ඒ පැටව් තනියම ඉන්නවා. කිසිම උණුහුමක් නැතිව අවුරුදු දෙකක විතර පැටව් පස්දෙනෙක් පේළියට තියාගෙන බත් කවනවා. තව තව ෆෝටෝ තිබුණා. එයාලට ආධාරත් ඉල්ලලා තිබුණා. ඉතිං මේ වගේ නාස්ති කරන සල්ලි කාගේ හරි දරුවෝ ටිකක් වෙනුවෙනු වියදම් කරනවනම් කොච්චර හොඳද?”
“ඒක නම් ඇත්ත, ඒත් ඉතිං මේක එයාලගේ සතුටනේ.”
“ඔව් ඉතින්, ඒත් අපේ රටේ කී දාහක් දරුවෝ අනාථ නිවාස වල ඉන්නවද? ඒ පුංචි මූණක හිනාවක් අන්දන්න එක කොයිතරම් පිනක්ද”
“මේ පාටියටත් බර ගාණක් වියදම් වෙන්න ඇති”
“ඒක තමයි අන්තිමට අර නොදරුවා බඩගින්නෙම නිදි. අම්මලා තාත්තලා හිතමිතුරෝ හොඳට කාලා බීලා විනෝද වෙලා යනවා. ඒක නිසා මම නම් අපේ පැටියගේ උපන්දිනේට කරන්නේ එයා වගේම පුංචි යාළුවෝ ටිකකට උදව් කරන එකයි. ඒක මුලු ජීවිත කාලයටම වටිනවා”
“සමාජයේ රැල්ලටයි අනිත් මිනිස්සුන්ට පේන්නයි නෙමේ අපි යමක් කරන්න ඕනි, අපේ හදවතට එකඟවයි. හොඳයි අපි අපේ පැටියගේ උපන්දිනේ ළමා නිවාසයක පුංචි පැටවු එක්ක සතුටින් සමරමු
හැබැයි ඉතින් ඒ පැටවුන්ගෙ හිත් නොරිදයි ඒකත් කරන්න ඔ්නී. අපි කේක් එක ගෙදර කපමු. ඒ පැට්ටොත් එක්ක දවස සතුටින් ඉමු.
අංජලී පැවසුවේ කුස මත ඇති උදාරගේ දෑත මතින් දෑතක් තබමින්ය.
Leave feedback about this