අප්‍රේල් 4, 2025
Parent Pulse Kavi Katha Category Article Featured Image
කවි කථා

රහස

හිලෝ හාමී අත්තම්මා ගමේ හිටිය වයසකම උන්දෑ. අවුරුදු අනූවකට කිට්ටු වුණත් උන්දෑ තමන්ගෙ වැඩ පොළ කරගත්තෙ තනියම. දරුවො දෙන්නම හිටියේ පිටරට. අවුරුද්දකට සැරයක් සිංහල අලුත් අවුරුද්දට නොවරදවාම දරුවො දෙන්නම දරු මුණුපුරෝ එක්ක හිලෝහාමි අත්තම්මා බලන්න එනවා.

හිලෝ හාමී නැන්දා වාසනාවන්ති… ඔය ලොකු කොල්ලා මහා ගේ පිටිපස්සෙ ඔය මාළිගාවක් වගේ ගෙයක් හදෝලා තනියට මැගිලින්වත් ඉන්දලා තමයි රට ගියේ. වෙන දරුවො නම් රටින් ගියාට පස්සෙ තමුන්ගේ අම්මා අප්පට සලකන එක මගාරිනවනේ. අර මුදියන්සෙගෙ කොල්ලා පේන්නෙ නැතෑ.

අපේ ගේ ඉස්සරහින් ඇවිදන් යන හිලෝ ආච්චිව දකින වාරයක් පාසා අපෙ අම්මා කියනවා. කොයි තරම් මාළිගාවක් වගේ ගෙයක් තිබුණත් ඒ්කේ ප්‍රයෝජනේ තිබ්බේ අවුරුද්දකට සැරයයි. මොකද හිලෝ හාමි ආච්චි තමන්ගෙ මහ ගේ අතෑරලා යන්න කැමති වුණේ නෑ. මාසෙකට දෙසැරයක් ගේ සුද්ද කරන්න සුවිනීතා නැන්දා උන්දැගේ ලොකු දෝණි මෙතුකි එක්ක එනවා. මාස එකොළහක්ම පාළුවට තියෙන ගේ අප්‍රේල් මාසේ දරු මුණුපුරෝ අවුරුද්දට ආවම කළඑළිය වැටෙනවා. ඒ් මාසෙම මගුල් සිරියක් හිලෝ ගෙදර.

අපේ ගේ තිබ්බෙ හිලෝ අත්තමලගෙ ගෙදරට ගෙවල් දෙක තුනක් මෙහාට වෙන්න. සිංහල උළු හෙවිල්ලපු සුදු තීන්ත ගාලා තිබුණ ඒ ගේ හරි සිරියාවයි. මිදුල පුරාම පේළියට ඉන්දපු දාස් පෙති, සීනියාර්සස් මල් තමයි මිදුලට එන අමුත්තන්ව පිළිගත්තෙ. වම් පැත්තට වෙන්න තව වතු සුදු, රෝස වගේම තවත් මල් ජාති ගොඩක් තිබුණා. දකුණු පැත්තෙ තිබ්බෙ එළවලු වවලා. අව්ව බැහැපු ගමන්ම හිලෝ අත්තම්මා කළේ ගස් වලට සාත්තු කරපු එක. උන්දැ ගස් එක්ක කතා කරනවා, අතගානවා, ආදරේ කරනවා.. ඉතින් ඒ ගස් වැලුත් මල්, ගෙඩි, කොළ වලින් පිරිලා තිබුණෙ. ආරුක්කුවට ඇරලා තිබ්බ සමන් පිච්ච වැල යටින් තමයි ගෙට ගොඩ වෙන්න තිබ්බෙ. පිච්ච සුවඳ මිදුලෙ ඉඳලම ගේ පුරාම පැතිරිලා තිබුණා.

හිලෝ අත්තම්මාගෙ ගෙදර දොරේ වැඩට මැගිලින් හිටියට හැමදාම උදේම සිරිතුංග මාමලගෙ කඩේට උන්දැම හිමි හිමින් එන්නෙ උදේට කන්න දෙයක් අරගෙන යන්න. පාට පාට කට්වර්වක් රෙද්දෙන් දිගට මහපු හැට්ටෙට බතික් ලුංගි තමයි හිලෝ අත්තම්මා ඇන්දේ. සුදුම සුදු පාට කොන්ඩේ එක කෙස් ගහක් අවුල් නොවෙන්න බෙල්ලට කරලා ගෙඩියක් බැඳලා හවරියකුත් දානවා. උන්දෑ ළඟින් ආවේත් පිච්ච මල් සුවඳ. ඔය දරු මුණ පුරෝ ගෙනත් දෙන සුවඳ විලවුන් ඒවා. ඇත්තටම හිලෝ ආච්චි හරිම සිරියාවයයි. හිලෝ අත්තම්මගෙ තනියට හැමදාම අත්තම්මගෙ වේගයටම කඩේට රෝසිත් යනවා.

හිලෝ නැන්දා මොකටද මේ උදේ පාන්දර එන්නෙ… මැගියව එව්ව නම් ඉවරයිනේ
සිරිතුංග මාමා දවසක් කිව්වා.

අනේ මේ ඩිංග එන එක මහ කජ්ජක්ද සිරිතුංගයෝ. වියායාමෙටත් හොඳයි නෙව. මැගියගෙයි මගේ බඩගෙඩි පුරවන්න උදැහැනැක්කෙ නැහෙන්න ඔ්නී නෑ විමලාවතිය හන්දා. මට ඉතින් මැගිලියා හදන කොළ කැඳ කෝප්පෙන් දවල් වෙනතුරු ඉන්ට පුලුවනි. හීල් බතුත් තියෙනවනේ. ඒත් ඉතින් රෝසියට දැන් ආප්ප නැතිවම බැහැ නොවැ පුතේ

ඒකත් එහෙමද ? සුලක්ෂණ මල්ලිල එන්න තව මාස පහ හයක් තියෙනවා නේද නැන්දේ?

අනේ ඔව් පුතේ, කොච්චර නම් වැඩ රාජකාරී තොගයක් ඇතැයි ඉතින්, එහෙමයි කියලා නෑ දවසට සැරයක් වීඩියෝ කෝල් එකක් අරන් කතා කොරනවා.
ඈ නැන්දේ.. අර නැන්දලගෙ උඩහා ගෙදර සුමනගෙ කොල්ලා, අර පීටර් මුදලාලිගේ වත්තෙන් පොල් ඇහිඳලා අහු වෙලාලු නේද?

අනේ මං ඕවා දන්නෙ නෑ විමලෝ, අනික ගස් බඳින්න තරම් වරදක්ද මං අහන්නෙ? පොල් වත්තෙම පොල් නෙමෙයිනෙ ඌ ඇරන් තියෙන්නෙ. පොල් ගෙඩියක්, දවස පිරිමහ ගන්ඩ, මං සුමනටත් කියලා තියෙනව මදි පාඩුවක් තියේ නම් අපේ දිහායින් ඉල්ල ගන්නඩ කියලා. කොහෙද කොල්ලගෙ වෙලාවට මම ගෙදර උන්නෙ නෑ. අපේ මැගියා පොඩි එකාව එලෝලා. මං මැගියට හොඳටම දෙහි කැපුවා. ඇයි බං අපි මැරෙනකොට මෙව්වා ගෙනියනවයැ. සුනංගුයි කෙල්ලෙ මං යන්නම්.

අතේ තිබ්බ පං මල්ලට අඩුම කුඩුම දාගෙන ඉතිරි සල්ලිත් අරන් හිලෝ ආච්චි මගට බැස්සා.
දන්නෙ නෑ කියලා ඔය විස්තරේම කිව්වෙ
විමලා සිරිතුංගට කිව්වෙ ආප්පයක් බාන ගමන්මයි.

හිලෝ නැන්දා ඕප දූප කියවන්න ඒ තරම් කැමති නැහැනේ, වැඩේ කියන්නෙ ගෙදර කටු කන මැගියගෙ රැස්නේ. ඒ ගෑනී හිතාගෙන ඉන්නෙ ඒ ගෑනිගෙ දේපොළ කියලා.
සිරිතුංග අලුත් කෙසෙල් කැන කොක්කෙ අමුණන ගමන්ම කිව්වා.

දවස් ගෙවිලා ගියා. මාර් තු මාසෙත් උදා වුණා. අප්‍රේල් ළඟ ළඟම වුණාට වෙනදා අවුරුදු වල වගේ මේ අවුරුද්දෙ හිලෝ අත්තම්මගෙ සිරියාවන්ත මූණ කළ එළිය වැටුණෙ නැහැ. ඒ වෙනුවට මහා බැරෑරුම් බවකින් පිරිලා තිබ්බා. ඔව්.. මාස තුන හතරක ඉඳන් තමයි වෙනස පටන් ගත්තෙ. හිලෝ අත්තම්මා කඩෙන් ගන්න බඩු ලැයිස්තුවට තව තවත් බඩු එකතු වුණාට අමතරව ටවුමෙන් බඩු ගේන්නත් ගියා. ඉස්සර දවසකට කිරි බෝතලය ගානේ තිබ්බ මහතුන් මාමා කිරි බෝතල් දෙක ගානේ ගෙනාවා. හිලෝ අත්තම්මා බෙහෙත් බිව්වෙම නෑ. මොකද අත්තම්මා දිහා ඔය බෝනොවන රෝග වලට ඇහැක් ඇරලා බලන්න බැරි විදිහට තමයි උන්දෑ ජීවන චරියාව පවත්වගෙන ගියේ. මැගිලින් නැන්දා නම් ගමේ ක්ලිනික් එකට ගිහින් බෙහෙත් අරන් මදිපාඩුවත් උන්දැම අරන් ආවා. ඉහෙන් කනෙන් ලෙඩක් නැති හිලෝ අත්තම්මා දැන් පාමසියට ගිහින් ෆෝලික් ඇසිඩ්, කැල්සියම්, යකඩ, විටමින් ජාතිත් අරගන්නවා. ජැන්ඩියට ඔසරිය ඇඳලා වැව් කණ්ඩිය උඩ නිශාන්ත අයියගේ ත්‍රිවිල් ඒකෙ තමයි ටවුමට ගියේ. හිලෝ අත්තම්මගෙ අතවැසියා වෙච්ච නිසයි, ගමන් බිමන් සගයා වුණේ මම නිසයි ඔය කරුණු කාරණ දන්නෙ ඉතින්.

ඇත්තටම මේ වෙද්දි මගෙ වයස අවුරුදු 13 යි. සමාවෙන්ඩලා කලින් නොකීවට හිලෝ අත්තමගේ වම් අත රෝසියා, දකුණු අත වුණේ මම. පස් දෙනෙක් හිටිය පවුලේ බාලයා වුණු මට ගෙදර ඒ තරම් වැදගත්කමක් තිබුනේ නැති වුණාට හිලෝ අත්තම්මගෙ පෝන් එකේ කටයුතු වගේම අත්තම්මගෙ හැම ලිපිකරු රාජකාරියක්ම කළේ මම. හිලෝ අත්තම්මගෙ දරු මුණුපුරෝ එන්නෙ මාවත් අහගෙනමයි. ඒ තරම් හැමදේම ළඟින් ඉඳලා කරලත් මේ වෙනස මොකද්ද කියලා මට දැන ගන්න බැරි වුණා.

අත්තම්මේ මොකද මේ ඉස්රට වැඩියෙන් බඩු ලැයිස්තුව වෙනස් ?

මම එහෙම අහද්දි
අනේ මගේ හිමන්ත කොලු පැංචෝ
කියලා අත්තම්මා හිනා වෙනවා මිසක් උත්තර නම් ලැබුණෙ නැහැ. හිලෝ අත්තම්මා ගැන කුකුසක් හිතේ තිබ්බත් උඩහා ගෙදර සුමනා නැන්දලටත් සලකන නිසා මම හිත හදාගත්තා. අප්‍රේල් මුල් සතියෙ හිලෝ අත්තම්මා එක්ක සාප්පු සවාරියට මැගිලින් නැන්දවත් එක්ක යනවා. වෙන අවුරුදු වල නම් එක ගමනෙන් සාප්පු සවාරිය ඉවරයි. ඒත් මැගිලින් නැන්දා නැතිව ඊ ළඟ දවසෙ අපි දෙන්නා විතරක් සවාරියට ගියා. නිශාන්ත අයියට කියලා ටවුමට බස්ස ගෙන කවදාවත් නැතිව අයියට යන්න කිව්වා. ටවුමේ ලොකුම සාප්පුවට එක්ක ගිහින් මට ඇඳුම් තෝරගෙන එන්න කියලා අත්තම්මා පහළට හිටියා. මං එද්දි උන්දෑ සෑහෙන්න බඩු තොගයක් අරගෙන තිබුණා. බෑග් වල තිබුණ නිසා ඒ මොනවද කියලා මං හිතුවා. ඔන්න ඉතින් වතුර යට හංගන්න හදන රබර් බෝලයක් වගේ උඩට ඇවිත් අර කුකුසෙ ප්‍රශ්නෙ මට වද නොදුන්නා කිව්වොත් බොරු.

ඇත්තටම මොකද්ද අත්තම්මගේ මේ වෙනස?
“මැඩම් කොහොමද බඩු ගෙනියන්නේ?”

කඩේ කොල්ලෙක් හිලෝ අත්තම්මගෙන් ඇහුව්වා. ඔව් ඉතින් මැඩම් කෙනෙක් වගේ තමයි. ඔසරිය ඇඳලා. මුතු ඇටමාලේ දාලා, කොණ්ඩෙ හැඩට බැඳලා ඉන්න අපේ අත්තම්මා.

“තිරිවිල් එකක් ගෙන්න ගමු පුතේ. ආං අර නතර කොරලා තියෙන එකට එන්න කියන්න මගෙ පුතේ”
අත්තම්මා කිව්වේ මගේ උරහිසට අත තියන ගමන්. අපෙ අප්පේ වෙනදට වරෙං පලයං කියන අපෙ හිලෝ අත්තම්මා. ඕං ඕකට වෙන්න ඇති තැනේ හැටියට ඇණේ ගහනවා කියන්නේ.. අත්තම්මගේ භාෂා වෙනස ගැන හිතන ගමන්ම මම ත්‍රිවිල් එක ළඟටම ගෙන්න ගත්තා.
බඩු මුට්ටු සේරම පටෝගෙන ත්‍රීවිල් එක රොකට් එකක් වගේ යන්න ගත්තා.

” ඈ පුතේ, මේක තිරිවිල් එකක් නේද?”
ත්‍රීවිල් එකේ ඩ්‍රයිවර් කොලුවා කණ්ණාඩියෙන් පිටිපස්ස බැලුවා.
“ඔය තරම් වේගයෙන් යන්න ඕනි නෑ .ඔය යන තාලෙට ගෙදර කෙසේ වෙතත් පරලොව තමයි යන්ඩ වෙන්නේ පුතේ”

ත්‍රීවිල් එකේ මැද කන්නාඩියෙන් අපි දිහා බලන ගමන් රොකට්ටුවා ත්‍රිවිල් එකේ වේගය බාල කළා. ඒකගෙ මූණ දෙබරු ඇන්නා වගේ විරූපී වෙනකොට මම හිතුවෙම හිලෝ අත්තම්මටයි මටයි ත්‍රීවිල් එකෙන් බහින්න වෙයි කියලා.

“තාම ඔය දරුවත් තරුණ වයසෙනේ… පරිස්සමට යන්ඩ කරදරයක් වුනොත් පාඩුව ඔය දරුවට විතරක් නෙමේ. ජීවත්ව ඉන්න අම්මා අප්පලටත් එක්කනේ”
ඒ පාර ආයෙමත් හිලෝ අත්තම්මා කියනවා. ඒ පාර නම් අර සුදු මැළි වුණු රොකට්ටුවාගේ මූණට ලේ ඩිංගක් උනනවා මං දැක්කා.
“ඔය දරුවෝ කොහෙද?”
“මම කිරිමැටියානේ”

අප්පේ ඉතින් එතනින් පටන් ගත්ත හිලෝ අත්තම්මගේ සුහද සාකච්ඡාව ඉවර වුණේ අලුත් ගේ ළඟින්. හිලෝ අත්තම්ම තෝර ගත්ත බඩු මලු කීපය අරන් ඉතිරි තොගයම ඇතුලට දාලා වැහුව්වා. රොකට්ටුවට ගාස්තුවට වඩා රුපියල් 200ක්ම වැඩිපුර දෙනවා මම හොඳටම දැක්කා.

” පරිස්සමින් යන්ඩ දරුවෝ”
හිලෝ අත්තම්මා එහෙම කියද්දි රොකට්ටුවා හිලෝ අත්තම්මට හෙලුවෙ හා කියන ලෙන්ගතු බැල්මක්.
“ගිහින් එන්නම් අත්තම්මේ”

කියපු රොකට්ටුව බොහොම ශාන්ත දාන්ත විදිහට ඈතට ඇදිලා යන දිහා මං බලාගෙන හිටියා. ආයේ ඉතින් මොකට එනවද කියලත් මට හිතුනා.
මොනවද මේ හිලෝ අත්තම්ම හොරෙන් හොරෙන් ගෙට දාපු බඩු. හිතේ කුකුසක් එක්ක මං මට ලැබුණු අලුත් ඇඳුම් මල්ලත් අරන් ගෙදර දිව්වා. සතියක්ම ගෙවිලා ගියා. මේ ඉස්කෝලේ විභාගේ නිසා හරියට වැඩ රාජකාරි. සතියම හිලෝ අත්තම්මලගෙ ගෙවල් පැත්තෙ යන්න වුණෙත් නෑ. පළමුදා ඉඳලම තිබ්බ වැස්ස ඊයේ අඩු වුණාට අදත් අහසේ තඩි කලු පට වළාකුළු එහෙ මෙහේ ගියාට එක වැහි බිංදුවක් බිමට කඩා හැලුන්නේ නෑ . එහෙම දවස් වලට දැනෙන්නේ මහා කම්මැලි හැඟීමක්. කොහොමත් අපේ ගෙදර ඇතුවත් බැරි නැතුවත් බැරි එකම ජීවියා වුණේ මම නිසා උදේම කඩේ යන්න සිද්ධ වුණා.

“හිමන්ත මේන් මේ ආප්ප ටික හිලෝ අත්තමලැයි ගෙදරට දීගෙනම පලයන් පුතේ… මොකෝ මන්ද උන්දෑ කවදාවත් නැතුව කඩේට ආවේ නැහැ. අසනීපයක්වත්ද දන්නේ නැහැ”

ඇත්තටම මට ඇති වුණේ පුදුමයක් ද බයක්ද මන්දා. මං කඩේට ආපූ කාරියත් අමතක කරලා හැරෙන තැපෑලෙන් හිලෝ අත්තම්මාලගෙ ගෙදෙට්ට දිව්වා.
කවදාවත් නැතුව මිදුල අතු ගාලත් නෑ. මහ ගෙදර දොරත් වහලා. රෝසියත් පේන්න නෑ මගේ කකුල් දෙකේ ඉඳලා ගැහෙන්න ගත්තා. මං මොනවද කරන්න ඕනේ කියලා මට තේරුනේ නෑ. ඒත් ඉබේම මම අලුත් ගේ පැත්තට ඇවිදගෙන ගියා. ඒ ගේ දොර බාගෙට ඇරිලා

“හිලෝ අත්ත්ම්මේ”
මං කතා කළා. මගේ උගුර කට වේළිලා තිබුණු විදිහට ඒ වචන ටික ආවේ බොහෝම සෝමාරි විදිහට. මං බාගෙට ඇරපු දොර තල්ලු කළා. ඒත් එක්කම මගේ උරහිස උඩින් දැනුන බරට මම හැරිලා බැලුවා.
“පුංචි මහත්තයා මොකද මෙතන”
“කෝ හිලෝ අත්තම්මා”
මාග්‍රට් නැන්දගේ ප්‍රශ්නෙට මම උත්තර දුන්නේ තවත් ප්‍රශ්නයකින්.
ඒ එක්කම අපේ පුංචිගෙ මල්ලි අඬන සද්දෙ ගේ ඇතුලෙන් ඇහුණා. ඒත් මල්ලි ගෙදර හිටියනේ.
මාග්‍රට් නැන්දා කිව්වෙම මට ගෙදර යන්න කියලා. ඒත් මගේ හිත ඒක පිළිගත්තේ නැහැ. මට හිතුනෙම අත්තම්මට කරදරයක් කියලා. මම මාග්‍රට් දිහා ඔරවල බැලුවා.
“කොහෙද හිලෝ අත්තම්මා?”
මං අහපු සැරට මාග්‍රට් ගැස්සිලා යනවා මං දැක්කා. මං මේ තරම් නොසන්සුන්ව ඉන්නේ හිලෝ අත්තම්මට ගොඩක් ආදරේ හින්දා වෙන්නැති කියලා මම හිතුවා. බැඳීම් කියන්නේ කොයි තරම් සියුම්ව ගොඩනැගෙන දෙයක් ද?
“හිමා පුතේ උඹලැයි පුංචිට ටිකක් මෙහෙට එන්න කියාපන් අම්මත් එක්කලාම”

හිලෝ අත්තම්මාගේ ඇතුලේ ඉඳන් කිව්වා. දෙයියනේ හිලෝ අත්තම්මට කරදරයක්වත්ද? ඒත් මාග්‍රට් නැන්දා මහා සෝනි වගේ ඉඳන් මට ඇතුල් වෙන්න ඉඩ දෙන්නෙත් නෑ. මං ගෙදර දුවලා ගිහින් පුංචිගේ අතේ හිටිය කුක්කු බබාව අපේ අක්කගේ අතින් තිබ්බා.

පුංචි, හිලෝ අත්තම්මට කරදරයක්… අම්මටයි පුංචිටයි එන්න කිව්වා කියලා පුංචිගේ අතින් ඇදගෙන මම දිව්වා. අම්මත් අපේ පිටිපස්සෙන් දුවගෙන ආවා. මං යද්දි මාග්‍රට් දොර ළඟ. තාමත් බබෙක් අඬනවා. මෙහෙට කොයින්ද බබෙක්.

“ඇතුලට යන්ඩ සුදු නෝනා” මාග්‍රට් අපේ පුංචිට කිව්වෙ බොහෝම ආදරෙන්. අම්මයි පුංචි ඇතුලට ගියාට මට අවසර නොදී මාග්‍රට් මාව නතර කරගත්තා. ටික වෙලාවකින් පොඩි උන්දැගේ සද්දෙ නැතිව ගියා. මං පැයකටත් වඩා අලුත් ගෙදර එළියේ පඩිය උඩට වෙලා බලාගෙන හිටියා.

“අනේ මන්දා නැන්දේ අපි දැන් මොකද කරන්නේ?”
ඒ අපෙ අම්මගෙ කට හඬ.

“ඒකනේ කාන්තියෝ මටත් මේ හිතාගන්න බැරිව ඉන්නේ ඒ කෙල්ල මාස පහකට උඩදී තමයි මට මුණගැහුනේ. දැක්ක ගමන් මට හෝස් ගාලා පත්වුණා බං”
“දැන් ඉතිං අපටයි හෝස් ගාණ්ඩ වෙලා තියෙන්නේ. කාන්ති නෝනේ මං නං කිව්වා වද්දගන්න එපාමය කියලා. කොයි ඉතින් අපේ ලොකු නෝනා අහපු එකක් යැ”
කියපු මාග්‍රට් නැන්දා තරහෙන් මූණ එල්ලගෙන කිව්වා.

” ඉතින් මොකෝ වුණේ කියලා කියන්නකෝ කලබල නැතිව.

හිලෝ අත්තම්මා එළියට ආවේ කිසිම කතාබහක් නැතිව. අත්තම්මගෙ අතේ තිබ්බ දේ දැකලා මට හිටි තැනින් නැගිට්ටුනේ ඉබේමයි. මං අත්තම්මා ගාවට දුවලා ගියා. අනේ රෝස මලක් වගේ පුංචි බෝනික්කෙක් උණුහුමේ සැපට නිදි. මගේ ඔලුවේ ප්‍රශ්න දාහක් කරණම් ගහන්න ගත්තා. අත්තම්මා හාන්සි පුටුවේ පරිස්සමට වාඩිවෙලා මගේ දිහා හිනාවෙලා බැලුවා .

“කාන්ති නෝනටයි සුදු නෝනාටයි කියන්න එදා පාරේ බලු බල්ලෙක් හිටියේ නෑ… අපි රන් මැණිකේ නෝනලාගේ පිරිත් ගෙදර ඉඳලා එද්දි අර පුංචි වැව කිට්ටුව කැලෙන් කෙඳිරි ගාන සද්දයක් ආවා. මගේ මුළු සරුවාගෙම වෙවුලුවා. මං කිව්වා ඉක්මනින් යමුය කියලා. ඒත් අපේ නෝනා කනකට ගත්තේ නැතුව සද්දේ ආ දිහාවට ටෝච් එකත් ගහගෙන ඉස්සරහට ගියා. මගේ අප්පේ එතන උන්නේ බඩ දරු අම්මා කෙනෙක්. අපි දැකලා හොඳටෝම අඬන්න ගත්තා. ඒ පාර අපේ නෝනා බයවෙන්න කාරි නැහැ. මෙතන සතා සර්පයා ඇති කියලා අපේ දිහාට යමු “ය කියල එක්කාසු කරගෙන ආවේ. මම නම් අනන්තවත් කිව්වා. ග්‍රාමසේවක මහත්තයාට කියමු කියලා. දැන් ඉතින් පොලීසි ගානේ උසාවි උසාවි ගානේ බඩගාපංකෝ”

“අනේ මාගරට් ඔය දෙඩවිල්ල නතර කරගත්තොත් හොඳයි. මනුස්සයෙකුට විපතක් වෙච්ච වෙලාවට බලන්න ඕනී මනුස්සයෙක්ම තමයි නැත්තං මේ මනුස්සකමෙන් වැඩක් ඇතැයි. අර බඩ දරු අම්මව කැලේ දාලා ඇවිත් මං කොහොම හිත හදාගෙන ඉන්ඩද? මං ගෙදරට එක්කගෙන ආවා.

සේරෝටම කලින් ඉතිරි වෙච්ච බත් තිබිලා කන්ඩ දුන්නා. අනේ අප්පේ හත් මාසයක් බඩගින්නේ හිටියා වාගේ ඉස්පාසුවක් නැතිව කෑවා. අපේ කෙල්ලගේ නයිටියක් දීල මූන කට හෝදගන්න කිව්වා. මූණ කට හෝදගෙන ආවා. අනේ අප්පේ එතකොට තමයි මම දැක්කේ පොඩි හිච්චි කෙල්ලෙක් ඒකී. බඩටත් මාස පහක් වගේ. අම්මපා කාන්තියේ උඹලැයි ලොකු කෙල්ලගේ වයස විතර ඇති.

කෙල්ලටත් නිදා ගන්ඩ දීලා, අපි දෙන්නත් නිදා ගත්තා. උදේ නැගිටිද්දී කෙල්ල ඇඳේ නෑ . දවල් වෙද්දි මාග්‍රට් කියාගෙන එනවා කෙල්ල ඇඳ යට ගුලි වෙලා ඉන්නවා කියලා .

ඒ පාර මං ආදරෙන් ආදරෙන් කතා කරලා බයවෙන්න කාරියක් නෑ මම ඉන්නවා කියලා ඇඳ යටින් එළියට ගත්තා. අනේ මාව අරගෙන යන්න ඒවී අනේ මට බයයි කියලා කෙල්ල අඬන්න ගත්තා. පස්සේ මං අපේ අලුත් ගෙදරට එක්ක ගිහින් කීවා මෙතන බය වෙන්න දෙයක් නැහැ බය නැතුව ඉන්ඩයි කියලා .කෙල්ල ඔය නුවර කිට්ටුවලු. ගෙදරට හොරෙන් කොල්ලෙක් එක්ක පැනලා ගිහින්. කෙල්ලගේ අම්මයි තාත්තයි රජයේ රස්සාවල් කරලා තියෙන්නේ. කෙල්ලොම දෙන්නෙක්ලු හිටියේ.

උසස් පෙළ කරන්න යනකොට තමයිලු ඔය පටලැවිල්ල හදාගෙන තියෙන්නේ. ගෙදරට සම්බන්ධය අහුවෙලා කෙල්ලට හොඳටම තඩි බාලා. ඔය වයසේ දරුවන්ට තඩි බාලා කරුණු කාරණා කියා කියා දෙන්න බෑ. දරුවෝ එක්ක ඉන්න ඕනෙ යාප්පුවෙන්. හොඳ නරක කියා දෙන්න ඕනේ බොහෝම ළං වෙලා. ඔය ආදරේ අන්ධයි කියන්නේ කතාවට නෙමෙයිනේ. කොහොම හරි මේ කෙල්ල, කොල්ල එක්ක පැනල ගොහින් තියෙනවා. පස්සේ තමයිලු දන්නේ ඉන්න හිටින්නවත් රස්සාවක්වත් නැතෙයි කියලා. ඌට කන්ඩ දෙන්නෙත් අම්මලු. ඉස්කෝලේ යන තව කොල්ලෙකුයි, කෙල්ලෙකුයි ගෙදර හිටියලු. අර කොල්ල තමයි ගෙදර වැඩිමලා. මහ ගෑනි හැමදාම බයිනවාලු. ඒ අතර තමයි ඔය දරුවෙකුත් බඩට ඇවිත් තියෙන්නෙ. අර තිරිසනා මේ කෙල්ලව මිනිස්සුන්ට විකුණලා, හත්දෙයියනේ කොහොම උහුලන්න පුළුවන් කතාද බැරිම තැන තමයි මේ කෙල්ල පැනලා ඇවිත් තියෙන්නේ.”

“ඇයි ඉතින් හිලෝ නැන්දා මේ ගැන ගමේ කාටවත් කීවේ නැත්තේ?”
“කෙල්ලව මෙහෙට ඇන්න ඇවිත් තියෙන්නේ අපේ ගමේ එකෙකුගේ උවමනාවකට විකුණන්න තමයි. ඒ වසවර්තියා අහු වේවී කියලා කෙල්ල කීවා කාටවත් කියන්න එපාය කියලා. පස්සේ මං කෙල්ලගේ ගෙදර මහ උන්දැලා එක්ක කතා කරා. උන්දැලා ගත් කටටම කිව්වෙ කෙල්ලව භාරගන්න බැහැයි කියලා.

ඇයි යකඩෝ? කරදරයක් සිද්ධ වුනාම පවුලේ උන් ඇරෙන්න වෙන කවුද ඉන්නේ?

අනේ ඉතින් මේ දැරිවිට මං මක්කෙයි කොරන්නේ. අපේ ලොකු පුතණ්ඩියට කතා කරාම කීවා එහෙනම් කෙල්ලව අලුත් ගෙදර තියාගන්න කාටවත් දැනගන්නෙ නැති වෙන්ඩ. කෝකටත් කියලා පුතා, පුතාගේ පොලිසියේ ඉන්න මහත්තයන් කෙනෙක්ව දැනුවත් කරලා තිබුනේ. පළමුදා රාත්‍රියේ කෙල්ලට අමාරු වෙලා ඉස්පිරිතාලෙට ඇතුල් කළා. අනේ අප්පේ රෝස මලක් වගේ මේ කොලුවා තමයි ලැබිලා තිවුණේ.

“හරි දැන් ඉතින් කෝ ඒ කෙල්ල?”
අනේ අප්පේ ඒ අම්මණ්ඩි දරුවා දාලා අද පාන්දර පැනලා ගිහින් මාග්‍රට් නැන්දා කම්මුලේ අත තියාගෙන කිව්වා. ඇත්තටම මේ කතාව ගැන අත්තම්මා කෙළ බින්දුවක් හෙළුවෙ නෑනේ මා එක්ක. ඒ කියන්නෙ උන්දැට මාව විස්වාස නෑ. මම ආයෙත් හිටිය පඩියටම ගිහිල්ලා වාඩි වුණා.

“මේං මේ ලියුම් කෑල්ල මේසේ උඩ තිබ්බා”
මාග්‍රට්නැන්දා අපේ පුංචිගේ අතින් කඩදහියක් තිබ්බා.

ආදරණීය හිලෝ කිරි අම්මේ,
මෙච්චර දවසක් මාව ආදරෙන් බලා ගත්තාට ගොඩක් පිං. මට මේ දරුවා දකින වාරයක් පාසා පිච්චෙනවා වගේ දැනෙනවා. මේ දරුවා බඩේ තියාගෙන ඉන්දැද්දිත් ඒ තිරිසනා මාව මිනිස්සුන්ට විකුණුවා. මට රෑට නින්දේ යන්නේ නෑ. ඒවා මැවිලා පේනවා. මේ තරම් තිරිසන් මිනිස්සුද මේ මේ සමාජයේ ඉන්නේ කියලා හිතනෙවා. අපේ අම්මයි තාත්තයි අපිට පුලුවන් සැප දුන්නා. ඒත් දෙමාපියෝ හිතන්නේ වයසින් මුහුකුරා යනකොට අපිට සැප සම්පත් තිබ්බම ඇති කියල. ඒත් අපිට වැඩියෙන්ම ඕනේ ආදරය සහ අවදානයයි. ගෙදරින් ඒ ආදරේ නොලැබෙන කොට අපි බොරු ආදරයට රැවටෙනවා. අපිත් තේරුම් ගන්න ඕනි සමාජයේ රැවටෙන් නැතුව ජීවත් වෙන්න ඒත් මම රැවටුණා. ශිරන්තත් එක්ක ගිහින් පළවෙනි දවසෙම මට ඕනෑ වුණේ ආයෙමත් ගෙදර යන්න. ඒ නිසා මම අපේ ගෙදරට කෝල් කළත් මාව ආයෙමත් පවුලට භාරගන්න බැහැ කියලා අම්මා හොඳටෝම බැන්නා. කිරිඅම්මා නොහිටින්න මම අද මැරිලා කිරි අම්මේ! එදා බබා ලැබිලා ගෙදර එන දවසේ මම ටවුන් එකේදි ඒ තිරිසනාව තවත් කෙල්ලෙක්ගෙ අතින් අල්ලන් යනවා දැක්කා. මට ඒක දරාගන්න බෑ. මේ දවස් ගානේ හරි හැටි නින්දක් ගියෙත් නැහැ… පුතාට කිරි ටික දොවලා ෆිජ් එකට දැම්මා. මම ගිහින් එන්නම් කිරි අම්මේ. මගේ පුතාව කිරි අම්මා ළඟ දාලා යන්න මට බයක් නෑ.

මම ගිහින් එන්නම් කිරි අම්මේ.
මේ නෙතුකි දුව
කාටත් ඇහෙන්න ඒ ලියුම කිව්වේ අපේ පුංචි. එයාගේ ඇස්වලින් වැටිච්ච කඳුළු බිංදු ඒ කොලේ උඩ තියෙද්දිම කොලේ නමලා මාගරට් නැන්ද අතට දුන්නා.

“පොඩි එකාව අපේ දිහාට අරගෙන යන්නම් හිලෝ නැන්දේ. මට පුළුවන් මේ දරුවටත් කිරි දෙන්න”

හිලෝ අත්තම්මගෙ අතින් පුංචි බෝලයව අතට ගත්තා. ඊට පස්සේ අපේ අපේ ගෙදර හරියට ළමා වාට්ටුවක් වගේ වුනා.

අපේ තාත්තටත් එක චැනල් එකක ප්‍රවෘත්ති බැලුවට හොඳටෝම මදි. තවල් චැනල් එකක් මාරු කරලා ඒකෙත් ප්‍රවෘත්ති බලලා ආයෙමත් තව එකක් බලනවා. මාත් ඉතින් තවම අම්මගෙ පොඩි එකානේ. අම්මගෙ උකුලෙන් ඔලුව තියාගෙන ටීවී එක දිහා ඔහේ බලා හිටියේ අම්මගෙ අතේ ඇඟිලි මගේ ඔලුව පුරා දුවද්දි.

“කාන්තියෝ කාන්තියෝ”
අනේ හිලෝ නැන්ද මොකද මේ රෑ වෙලා?
” අර දරු පැටියගේ අම්මා ඇවිදින්”

“ආ මේ එයාද… ඉන්නකො ඉන්නකො මං දරුවා අරගෙන එන්නම්” ඇතුලට ගිය පුංචි අර බෝලයව ගෙනත් නෙතුකිට දුන්නා.
චූටි පැටියගේ කම්මුල් ඒ අම්මා හරිම ආදරෙන් ඉම්බා.

අද දහවල් දැදුරු ඔයේ තිබී තරුණයෙකුගේ මළ සිරුරක් සොයාගෙන ඇත. ඔහු වයස 25 වයසැති කරඳවිල පදිංචි මාලින්ද ශිරන්ත සුරියවැව යන අවිවාහක තරුණයෙකි. දියේ ගිලී සිදු වූ මරණයක් බවත් ඒ වන විට ඔහු මත් ද්‍රව්‍ය අධිමාත්‍රාවක් ලබා ගෙන සිට ඇති බවත් අනාවරණය වී ඇත.
ඒ ප්‍රවෘත්තිය ඇහෙනවාත් එක්කම නෙතුකී හිටිය පුටුවෙන් නැගිට්ටා. ඒ ඇස් සතුටින් දිලිසෙනවා මං දැක්කා. ඊටත් පස්සේ අර සුදු බෝලයව එයා ආදරෙන් ඉම්බා… ඊට පස්සේ

“අපි යමුද අත්තම්මේ”

කිව්වා.දවස් දෙකක් නෙතුකි අතුරුදන් වුණේ ඒකටද කියලා මගෙ ටිකිරි මොලේ දැනුනට අනිත් උන්දැලාට තේරේවියැ.


Leave feedback about this

  • Quality