රාත්‍රී ඝණ අන්ධකාරයෙන් පරිසර වෙලී ඇත. තරු ඉහිරුණු කලු අහස අපූරූය. රැහැයියන්ගේ නැවතීමකින් තොර හඬ පරිසරයේ පාලු නිහඬ බව නැති කළ අතර හමා යන සීතල සුළඟ ගතට සුවදායක වුවත් පාරින්ද්‍යාගේ සිතට සුවයක් නොවිය.
“පාරින්ද්‍යා දැන් වෙලාව දොළහත් පහු වෙලා” පාරින්ද්‍යා වෙතට ගමන් කරමින් අක්කා පැවසුවේය.
“ඉතින්”
“නිදියන්නෙ නැද්ද නංගී ?”
“නිදිමත නෑ…” යැයි පැවසූ පාරින්ද්‍යා මිදුලේ පුටුවේ තවත් හරි බරි ගැසී වාඩි වී ඈත අහස දෙසම බලා උන්නාය.
“ඔහොම හූල්ල හූල්ල හිටියට වැඩක් තියෙනවද? මට කියන්න මොකද්ද ගැටලුව කියලා”
“ඔයාට මාව වදයක්ද අක්කා?”
එවර පාරින්ද්‍යා පැවසුවේ තරහින් ය.
“නෑ…නෑ…පාරී මම අහන්නේ මොකද්ද වුණේ කියලා. ඔයා කොහොමද අර නොදරුවා දාලා ආවේ. අර පොඩි ඒකී ඔයා නැතිව නිදා ගන්නෙත් නෑ නේද? මට… මට කියන්න නංගී මොකද්ද වුණේ කියලා.”
විමංසා දරාගත නොහැකි වේදනාවෙන් ඇසුවාය.
“මං ගෙදරින් ආවා”
ඈත අහසේ නිවි නිවි දිලෙන තරුවකම දෑස් රඳවා පාරින්ද්‍යා හෙමින් මිමුණුවාය.
“මොනවා! ඇයි ඒ?”
“අක්කා, අක්කා මට මේ ජීවිතේ එපා අක්කා, ඇයි මං කසාද බැන්දේ? අනේ දෙයියනේ මගේ ජීවිතේම විනාශයි. තෙදස් හරිම නපුරුයි අක්කා. මට තියෙන එකම සතුට මගේ කෙල්ල විතරයි මං…මං….මොන වැරැද්දක් කලාට ද අක්කා මට මෙහෙම වුණේ ?”
විමංසාගේ ළමැදට මුහුණ හොවාගෙන පාරින්ද්‍යා හඬා වැටුනාය. නැගණියට ඇති වන තුරු හඬන්නට හැර විමංසා පාරින්ද්‍යාගේ හිස මෘදුව පිරිමැද්දාය.
පාරින්ද්‍යා විමංසාගෙ එකම නැගණියයි . ඇය තෙදස් වික්‍රමආරච්චි සමඟ විවාහ වී වසර හතකි. වයස අවුරුදු හයක දියණියකගේ මවක් වූ පාරින්ද්‍යා තනිවම මේ හවස් යාමයේ පැමිණීම පිළිබඳ විමංසා පුදුමයට පත් වුවත් වෙහෙසකාරීව දැඩි කණස්සලෙන් සිටි පාරින්ද්‍යාගෙන් කිසිවක් නොවිමසා සිටියේ නැගණියම යමක් තමාට පවසන තුරුය. එහෙත් ආ මොහොතේ සිට මිදුලේ අඹ ගහ යට හාන්සි පුටුවට වැටී තේ උගුරවත් නොබී කුස ගින්නේ නිනව්වක් නැතිව බලා ඉන්නා නැගණිය දෙස තවත් නිහඬව බලා සිටින්නට ඇයට නොහැකි විය.
විමංසාගේ සැමියා වූ සමන්ත හමුදා නිළධාරියෙක් විය. ඔහු අවසන් සටනේදී මව් බිම වෙනුවෙන් දිවි පූජා කරද්දි ලොකු පුතු ආකාශ්ට වයස අවුරුදු නමයක් සහ දෙවෙනි පුතු ගගණට යාන්තම් වසර පහක් පිරුණා පමණි. එදා පටන් ඇය පුතුන් දෙදෙනාත් සමන්තගේ මවත් ඔහුගේ විවාහ නොවූ නැගණියත් සමඟ ජීවිතය ගෙවන්නීය. සමන්තගේ මව කාරුණික තැන්පත් තැනැත්තියක් වීම විමංසාගේ වාසනාවක් විය.
“අක්කා”
පාරින්ද්‍යා යමක් සිහි වූවා සේ විමංසාගේ මිදී ඇයගේ දෑත් අල්වා ගත්තාය.
“ඇයි?”
“මට අම්මා වගේ වෙන්න බෑ… මගෙ කෙල්ල මං නැතිව අඬනව ඇති, ඔයාට මතකද අම්මා අපිව දාලා ගියාට පස්සෙ අපි කොච්චර කාලයක් අඬ අඬ එයා එනකල් බලා හිටියද? අම්මෙක් නැති අඩුව තාත්තා කොයි තරම් පුරවන්න හැදුවද? ඒත් කවදාවත් අපිට අම්මගෙ අඩුව පිරවුණේ නැහැනේ.”
අම්මා ඔවුන්ව හැර යන විට පාරින්ද්‍යාට වයස අවුරුදු අටක් සහ විමංසාට වයස අවුරුදු දොළහක් පමණ විය. අම්මා ගියදා පටන් ඔවුන්ව රැක බලා ගන්නට සිදු වූයේ තාත්තාටය.
“ඒක හරි ඒ නොදරුවා බය වෙලා ඇති මහ මිනිස්සුගේ ප්‍රශ්න නිසා දුක් විඳින්නෙ නොදරුවෝ. ඔයා ආවට පස්සෙ කෝල් එකක් දුන්නෙ නැද්ද?”
“නෑ , පෝන් එක බෑග් එකේ”
වහා වහා තම බෑගයෙන් තම ජංගම දුරකථනය සොයා ගත් පාරින්ද්‍යාට දැක ගත හැකි වූයේ එහි නිවසේ ස්ථාවර දුරකථනයෙන් ගත් ඇමතුම් දහයක් සහ තෙදස්ගේ ජංගම දුරකථනයෙන් ලබා ගත් ඇමතුම් අටක් තිබෙන බවය. අවසන් වරට ඇමතුමක් ගෙන ඇත්තේ රාත්‍රි 11.38ය. පාරින්ද්‍යා වහ වහා තෙදස්ට ඇමතුමක් ගත්තාය.
“තමුසෙ කොහෙද ඉන්නෙ ගෑනීයේ, මේ දරුවා තමුසෙ හොය හොය අඬලා හාමතේම දැනුයි නින්දට වැටුනේ”
“මං අක්කලාගෙ ගෙදර” පාරින්ද්‍යා පැවසුවාය.
“ඉන්න තැනකින් එනවා මේ දරුවට අම්මෙක් ඕනී නිසා එනවා”
දුරකථනය ක්‍රියා විරහිත කළ පාරින්ද්‍යා හුන්අස්නෙන් නැගී සිටියාය. තමන්ට පහර දී නිවසින් පිටවන්නට යැයි තර්ජනය නොකළා සේ ඔහු තමන්ට චෝදනා කළා නොවේදැයි සිතමින්ම පාරින්ද්‍ය අක්කා දෙසට හැරුණාය.
“අක්කා මං දැන් යන්න ඕනී”
“මේ රෑ ඔයාට පිස්සුද? ඔයාගෙ මුරණ්ඩුකම නිසා තමයි මේ සේරම ගැටලු. මං කියන දේ අහලා හෙට උදේ යන්න. මං ලොකු පුතාට කියන්නම් අපිව ඔයාලගෙ ගෙදරට ඇරලවන්න කියලා. දැන් ගිහින් වොෂ් එකක් දාගෙන එන්න.”
හිතුමතේට තීරණ ගන්නා නැගණිය ප්‍රථම වරට අක්කණ්ඩියගේ වචනයට කීකරු විය. පාරින්ද්‍යා ඇඳ සිටි ඇඳුමින්ම හිතට අස්වැසිල්ලක් ලැබෙන් තුරු හඬමින් ජලකරාමය යටට වී සිටියාය. අක්කාගේ සැහැල්ලු ඇඳුමක් ඇඳගත් ඇය මුලුතැන් ගෙට පිවිසියාය. අක්කා ගෙනවිත් දුන් දුම් දමන කෝපී කෝප්පය අතට ගත් ඇය එය තොල ගෑවද වෙනදා දැනෙන කෝපී රසය විඳින්නට තරම් පාරින්ද්‍යාගේ සිත සන්සුන් නොවීය.
හිත රිදුම් දෙන විට
නිනව්වක් නැතිවම
ඇදී යන වළාකුලකට
සුළඟක තියා පා කර එවමි
මගේ දුක පිරුණු හිත…
තත්පරෙන් තත්පරය
ආකාසේ වෙනස් කරන්නා සේම
වළකුලු අතරින් පා කර හැර
මගේ හිතේ දුක අරන්
සතුට විතරක්ම පුරවලා
වැහිබින්දුවක් අත
මගෙ හිත එවන්නට බැරිද?
Leave feedback about this