ජ්‍යෙෂ්ඨ පුරවැසියන් එහෙම නැත්නම් අපේ සමාජයේ අප සමග ජීවත් වෙන වියපත් පුද්ගලයන් ඒ කියන්නේ අත්තම්මලා සීයලා අපිට වගේම අපේ දරුවන්ටත් වටිනා සම්පතක් වුවත් අද වන විට සමාජය විසින්ම ඔවුන් අවතැන් කිරීමක් සිදු වෙනවා. ජීව විද්‍යාත්මකව වයසත් සමග මේ අය අත්දැකීම් උපයා ගෙන ජීවිතයෙන්ම පන්නරය ලැබුවත් පවුල තුළ ඔවුන්ට වටිනාකමක් නොමැති වෙන අවස්ථා තිබෙනවා. විශේෂයෙන් වයසත් සමග ඔවුන් ජීවිතයෙන් පරිණත වෙනවා. දරුවන් විවාහ වෙනවා.
මුණුපරන් ලබනවා. නමුත් එදා නිවසේ තිබුන පිළිගැනීම, ගරුත්වය අද ඔවුන්ට අහිමි වෙනවා. පරම්පරා අතර පවතින දුරස්බව නිසා වැඩිහිටි චරිත සමග කතා කිරීමට බොහෝ අය මැලි වෙනවා. ඒ වගේම කතා කිරීමත් වධයක් විදිහට සලකනවා.
නමුත් වෛද්‍යවරු විසින් මේ ගැන දැන් විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. සැබැවින්ම ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වැඩි වශයෙන් කතා කළ යුතු බැව් ඔවුන් පෙන්වා දෙනවා. සමහර විට ඔවුන් වැඩිපුර කතා කිරීම ඔබට විහිළුවක් විය හැකියි. නමුත් ඒ නිසා ඔවුන්ගේ මතකය වර්ධනය වෙන බැව් දැන් නවතම අධ්‍යනයන් මගින් හඳුනා ගෙන තිබෙනවා.
වැඩියෙන් කතා කරන විට භාෂාව සහ සිතුවිළි එකිනෙකා සමග සන්නිවේදනය වෙනවා. ඒ නිසා මොළය සක්‍රිය වෙනවා. විශේෂයෙන් වේගයෙන් කතා කරන විට සිතීම වේගවත් වෙනවා. ඒ නිසාම මතකය වැඩි දියුණු වෙනවා. ඒ අනුව වැඩියෙන් කතා කිරීම නිසා වැඩිහිටියන්ගේ මතකය වැඩිදියුණු වෙන බැව් දැන් හඳුනා ගෙන තිබෙනවා.
- මානසික ආතතිය දුරු වීම
වැඩිහිටියන් විතරක් නොවෙයි, අපි වුනත් හුදෙකලාව සිටින විට මානසිකව යම් යම් සිතුවිළි සිතට නැගෙනවා. සමහර විට ඒවා සෘණාත්මක විය හැකියි. ඒ විතරක් නොවෙයි, ප්‍රශ්නයක් නැතුව වුනත් ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. නමුත් අපි තව අය සමග කතා බහ කරමින් කාලය ගෙවනවා නම් අපට මානසික වශයෙන් යම් සතුටක් ලැබෙනවා. කිසිදු ආතතියක් නැහැ. යම් ආකාරයක ආතතියක් තිබුනත් ඒ තත්වය පවා නොදැනීම මග හැරෙනවා.
අපි එකිනෙකා සමග කතා බහ කරමින් සිටින විට අපේ ප්‍රශ්න සහ ගැටළු තවත් අයෙකුට ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ නිසා අපේ හිත සැහැල්ලු වෙනවා. ප්‍රශ්න සහ ගැටළු හිතේ තබා ගෙන වධ විඳින විට අපේ ජීවිතය බරක් විදිහට දැනෙන්න පුළුවන්. ඒ නිසා නිතරම කතා කරන්න. එය මානසික ආතතියෙන් මිදෙන්න ඉතාම හොඳ පිළිවෙතක් බැව් අමතක කරන්න එපා.
- සතුට
ඒ වගේම වියපත් පුද්ගලයන් සමග කතා බහක යෙදී සිටින විට එය ඔවුන්ට දැඩි සතුටක්. ඒ නිසා වෙහෙසකර හෝර්මෝන වෙනුවට සතුටු හෝර්මෝන නිදහස් වීමත් සිදු වෙනවා. ඒ විතරක් නොවෙයි, ඔවුන්ගේ විනෝදයටත් මේ හැසිරීම් රටාවන් බලපානවා. මම තනිවෙලා නැහැ කියන ආත්ම විශ්වාසය හිතේ ඇති වෙනවා.
- මුහුණේ මාංශ පේශි ක්‍රියාත්මක වීම
අපි කතා කරන විට වගේම සිනාසෙන විට අපේ මුහුණේ මාංශ පේශි ක්‍රියාත්මක වෙනවා. අතීතයේ කතා බහ නොකරන සිනා සීමට මැළි පුද්ගලයන් ලේ කඳුලක් මුහුණේ නැති උදවිය විදිහට හඳුන්වා දුන්නා. මේ තත්වය කොතරම් සහේතුකද යනු දැන් ඔබට සිතෙනු ඇති.
ඔබ නොදැන සිටියත් ඔබ කථා කරන විට, සිනාසෙන විට මුහුණේ මාංශ පේශි ක්‍රියාත්මක වෙනවා. උගුරට ව්‍යායාම ලැබෙනවා. පෙනහලු ධාරිතාවය වැඩි වෙනවා. ඇස් සහ කන් වලට හානි වෙන කැරකැවිල්ල නැති වෙනවා. බිහිරි බව අඩු වෙනවා.
එහෙමනම් ඔබේ පවුලේ සිටින ඔබ සමග ජීවත්වෙන වැඩිහිටියන් සමග කතා කරන්න. ඔවුන්ට අදහස් ඉදිරිපත් කිරීමට ඉඩ දෙන්න. මේ වැඩිහිටියන් තමන්ගේ අතීත මතක සහ අත්දැකීම් ඉදිරිපත් කරන විට එය ඔබට වධයක් සේ දැනේවි. නමුත් ඔවුන් ඒ අත්දැකීම් තවත් අයට ඉදිරිපත් කරමින් බෙදා හදා ගැනීම නිසා අතීත සුන්දර මතකයන් නැවත සිහිපත් විය හැක. එය ඔවුන්ගේ ජීවිතයේ සුන්දරත්වය වගේම සෞඛ්‍ය සම්පන්න බවත් ආරක්ෂා කර ගැනීමට ඉවහල් වෙනු ඇත.
Quaora ඇසුරිනි