ඉහළ යන ජීවන වියදම නිසා දැන් හැම දෙනෙකුටම ජීවිතය බරයි. එය සාමාන්‍ය ආදායම උපයන පුද්ගලයාගේ පටන් මහා පරිමාණ ව්‍යාපාරිකයා දක්වාම වෙනසක් නැහැ. නමුත් ඔබ මේ කියමන අසා ඇති.
නැහැ… බැහැ… කියන දේ ඔබේ ශබ්ද කෝෂයෙන් ඉවත් කරන්න. එහෙත් ඔබ මේ විදිහට කියාවි. අපිට නැත්නම් වගේම අපට යමක් කරන්න නොහැකි නම් එතැනට නැහැ… බැහැ නොකියා කොහොමද..?
- එකම ආදායම් මාර්ගයක් මත යැපෙන්න එපා
ඔබ යම් ආර්ථික ආදායමක් ලබන පුද්ගලයෙක් විය හැකියි. එය වැටුපක්, වේතනයක් එසේත් නැත්නම් ලාභයක් ලෙසින් වූ කුමන හෝ ආදායම් මාර්ගයක් වෙන්න පුළුවන්. එහෙත් ඔබ කිසිම දිනක එක ආදායම් මාර්ගයක් මත රැඳෙන්න එපා. ස්ථාවර ආදායමක් තිබුනත් ඔබේ හැකියාව අනුව තවත් අතිරේක ආදායම් මාර්ග ගැන විමසිලිමත් වෙන්න. සමහර විට ඔබ ගුරුවෘත්තියේ නිරත අයෙකු නම් කණ්ඩායම් පංතියක් හෝ ආරම්භ කරන්න. ඉවුම් පිහුම් හැකියාවක් ඇත්නම් ඒවා අලෙවියෙන් ආදායමක් ලබන්න. ඇඳුම් මැසීමේ හැකියාවක් ඇත්නම් විවේක වේලාවට එයින් ආදායමක් උපයා ගත හැකියි. ඕනෑම අයෙකුට කුමක් හෝ හැකියාවක් තිබෙනවා. ඒ හැකියාව අතිරේක ආදායම් මාර්ගයක් ලෙසින් ගොඩ නගා ගන්න. එය ඔබේ ජීවන වියදමට සැහැල්ලුවක් විය හැකියි.
- ඵලදායක විදිහට ආයේජනය කරන්න
මුදල් රැස්කිරීමටත් වඩා ඒවා ඵලදායක ලෙසින් ආයෝජනය කිරීමේ හැකියාව වඩාත් වැදගත් වෙනවා. ඇතැම් විට ඔබ කාලයක් පුරා උපයා සපයා ගත් ධනය ඵලදායක නොවන ලෙසින් ආයෝජනය කිරීම නිසා ඔබ කාලාන්තරයක් පුරා උපයා ගත් මුදල නැති වීමට ඉඩ තිබෙනවා. ඒ නිසා මුදලක් ආයෝජනය කිරීමට පෙරාතුව දෙවරක් නොව කීප වරක්ම සිතන්න. ඒ ගැන වගකීමක් සහිත තොරතුරු ලබා ගන්න. ඔබ විමසිල්ලෙන් තොරව මුදලක් ආයෝජනය කිරීම නිසා ඔබට අවදානමක් ඇති වීමේ විශාල අභියෝගයක් ඇති බව අමතක නොකරන්න. සල්ලි මවන කලාවන් වචනයට බෙහෙවින් විසිතුරු වුනත් එයින් ඇති විය හැකි අවදානම ගැනත් නොසිතාම නොහැක.
- මුල්‍ය සාක්ෂරතාව පිළිබඳව දැනුවත් වෙන්න
ජීවිතය වගේම මුදල් කලමනාකරණයේදීත් ඔබේ දැණුවත් වීම වැදගත්. බෞද්ධ අර්ථ ක්‍රමයට අනුව පවා නිවරැදි ආදායම් මාර්ගයකින් උපයන ධනය වියදම් කරන ආකාරයත් පෙන්වා දී තිබෙනවා. ඔබට මුල්‍ය සාක්ෂරතාවයක් නොමැති වූ විටෙක ඔබ විසින් උපයන ලද ආදායම, ලාභය කළමනාකරණයකින් යුක්තව හැසිරවීමේ හැකියාවක් නොමැති විය හැක. එය ඔබේ මුදලට තිබෙන ආරක්ෂාව ඔබ විසින්ම අනාරක්ෂිත කර ගැනීමකි. ඔබට පොත පත දැනුම කොතෙක් තිබුනත් මුල්‍ය කළමනාකරණයේදී ඇති හැකියාව ඊට හාත්පසින්ම වෙනස්ය. මේ බැව් අපේ සමාජයේ අත්දැකීම්වලින් පවා ඔබට පැහැදිලි වෙනු ඇත. සමහර අවස්ථාවන්හිදී පාසලේ අට ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලත් ව්‍යවසායකයෙකු ව්‍යාපාර පරිපාලනය පිළිබඳ උපාධිධාරියෙකුට වඩා සාර්ථක ලෙසින් ඔහුගේ ව්‍යාපාරය මෙහෙයවනු ඇත. මෙතැන එක වෙනසක් ඇත. එනම් ඔබ උපාධි සහතිකයෙක් ලත් දැණුමට වඩා මුල්‍ය සාක්ෂරතාවය පිළිබඳව ඔහු තුළ ඇති දැණුවත් බවයි.
- ක්ෂනිකව මුදල් ඉපයීමට මං සෙවීමෙන් වළකින්න
ආර්ථික වශයෙන් ඔබ ස්ථාවරත්වයක් අපේක්ෂා කරන්නේ නම් ක්ෂණිකව මුදල් ඉපයීමේ මාර්ග ගැන උනන්දු නොවන්න. අද බොහෝ දෙනෙකුට අවශ්‍ය වන්නේ ක්ෂණිකව මුදල් උපයා ගැනීමේ මාර්ග පසුපස හඹා යෑමයි. මේ නිසා අද බොහෝ දෙනෙක් පිරමිඩ ව්‍යාපාරවලට හසුවී තමන් උපයා ගත් මුදල් නිකරුනේ නාස්ති වීමයි. ඒ නිසා නිතරම මුදල් යෙදවීමට පෙරාතුව ඔබ යොදවන මාර්ගය ගැන සහ එයින් ඔබට ලැබෙන ප්‍රතිලාභය සුරක්ෂිතදැයි විමසා බැලීම වැදගත්. ඒ නිසා නිතරම සමාජයේ මුදල් හැසිරෙන ආකාරය ගැන විමසිල්ලෙන් සිටින්න. බොහෝ අයට අවශ්‍ය වන්නේ එක් රැයකින් ධනවතෙකු වීමයි. නමුත් එසේ ධනවතුන් වෙන බවට මවා පෙන්වන සුන්දරත්වය ඒ කථාව ඇතුලත නොමැති විය හැකියි. ඒ නිසා නිතරම ක්ෂණිකව මුදල් උපයා ගැනීමට වඩා ඔබේ වෙහෙස, මහන්සිය සහ කැපවීමෙන් උපයන එක රුපියලට පවා පැැවත්මක් ඇති බවත් කිව යුතුය.
ඒ නිසා ආර්ථික වශයෙන් වූ ස්ථාවතර්වය අපේ ජීවිතයේ පැවැත්මට අතිශයින් වැදගත් බව රහසක් නොවේ. එම ආර්ථික ස්ථාවරත්වය ආරක්ෂා කර ගැනීමට නම් ඔබ විසින් ඒ වෙනුවෙන් වූ නිසි මාර්ගය තෝරා ගැනීම පමණක් නොව, අදාල මාර්ගය අනුගමනය කරමින් කටයුතු කිරීමත් ඉතාම වැදගත් වේ.