පසුදා උදෑසන දිය නාගෙන සුදු කුරුතා කමිසයට කලු කලිසම හැඳ ගත් පාරින්ද්‍යා සාරියකින් හැඩවී සිටින අක්කා සමඟ නිවසින් පිට වූවාය. විමංසාට තිබුණේ අම්මාගේම හැඩහුරුකම්ය. හැඩකාර සිරුර, කඩා හැලෙන දිගු වරලස, අම්මාගේම චවි කල්‍යානිය හිමි තමන්ගේ අක්කන්ඩිය කොයි තරම් නම් හැඩකාරියක්දැයි පාරින්ද්‍යා සිතුවාය.
“අක්කා තමුසෙ මාර ලස්සනයි හලෝ” ඉදිරියෙන් යන අක්කාගේ අත අල්ලා ගනිමින් පාරින්ද්‍යා පැවසුවාය.
“අනේ නිකන් ඉන්නවා මොකද මේ හදිස්සියේම. ආ… තමුසෙට අලුත් ඇඳුමක්වත් ඕනී වෙලා වගේ”
“අනේ නෑ සුදු අක්කේ, හද පතුලෙන් ගලා ආ සහෝදර ප්‍රේමයෙන් මම කිව්වේ. අනික මට මොකටද තමුසෙගෙන් ඇඳුම්, අපිත් දැන් සල්ලිකාරයෝ හරිද?“
පාරින්ද්‍යා අක්කණ්ඩියගේ අත තදින් අල්ලා ගනිමින් කීවාය.
“මගේ පිස්සී… එහෙනම් ඔයා පරිස්සමින් ගිහින් එන්න, මං පාර පනිනවා.”
“හා අක්කා, ඔයත් පරිස්සමින් හොඳේ”
අක්කාට සමු දුන් පාරින්ද්‍යා දුම්රිය පොළට සෙමෙන් ගමන් කළේ දුම්රියට තවත් කල් වේලා ඇති නිසාවෙන්ය. දුම්රිය එනතෙක් පාරින්ද්‍යා පුටුවකට බරව ඇය අත තිබූ නවකතා පොත කියවන්නට පටන් ගත්තාය.
“ගුඩ් මෝනින්ග්”
ඇය හිස ඔසවා බැලුවාය. ඊයේ කුඩයට රිංගූ හාදයා සුන්දර සිනාවකින් ඇය ඉදිරියේය. පාරින්ද්‍යා කළ යුත්තක් සිතා ගන්නට නොහැකි විය.
“මෝනින්ග්” පැවසූ ඇය නැවතත් පොතට ඇස් තැබුවාය.
“ ඔයාට මාව මතක නැද්ද පාරින්ද්‍යා ”
එවර පාරින්ද්‍යා ඔහුගේ මුහුණ දෙස මොහොතක් බලා සිටියාය. කුමක්දෝ හුරුපුරුදු බවක් තිබුණ ද ඇයට නිශ්චිතවම ඔහුව හඳුනා ගන්නට නොහැකිව මද සිනාවක් පෑවාය.
“අපේ දහම් පාසලේ හිටියා ඔයා වගේ ආඩම්බරකමයි නපුරු කමයි තියෙන කෙල්ලෙක් ඒ කෙල්ල තාමත් වෙනස් වෙලා නැහැ”
“අනේ!!! අපේ දහම් පාසලේ ද? ඇත්තටම මට අඳුරන්න බෑ”
“මම තෙදස්”
“තෙදස් අයියා… අනේ අඳුරන්න බැරි වුණා, ඔයා ඇත්තටම ගොඩක් වෙනස් වෙලා. කොහෙද ඔයා අවසානේ කලෙත් නෑ අයින් වුණානේ. කොච්චර කාලෙකට පස්සෙ ද?”
“ඔහොම තමයි ඉතින් අපි වගේ මිනිස්සුන්ව ඔයාලට අමතක වෙනවා. ඒත් මට නම් ඔයාව අමතක නෑ.”
“ඔව් ඉතින් අපිට නම් ඔයාලව මතක තියාගන්න කියලා විශේෂ කාරණයක් තිබ්බෙත් නැහැනේ”
පාරින්ද්‍යා ඇඟට පතට නොදැනීම කීවාය.
“ඒත් මට නම් ඔයා විශේෂයි,ඇත්තටම මාව ඔච්චරටම අඳුරගන්න බැරි වුණාද ?”
“ඇත්තටම ඔව්, ඔයා ගානට මහත්වෙලා, කොන්ඩෙත් වෙනස් කරලා, ජිම් ගිහින් මස් ගොබත් අලුතින් දා ගත්තම අපි කොහොමද අර දහම් පාසලේ හිටිය බටු කොල්ලා කියලා අඳුර ගන්නේ.”
පාරින්ද්‍යා ඇගේ කිංකිණි සිනහව අවදි කරමින්ම පැවසුවාය.
“ඉතින්…ඉතින් දැන් මොකද කරන්නේ ?”
“ආ… මගේ කෝච්චිය එනවා පස්සෙ දවසක කතා කරමු බායී තෙදස්.”
පාරින්ද්‍යා ළහි ළහියේ වේදිකාවට දිව යමින්ම කීවාය. යාන්තම් කෝච්චි පෙට්ටියට ගොඩ වැදී කෙලින් වූවා පමණි ඇගේ ඉදිරියේ තෙදස් ය.
“ඔයත් මේකෙමද යන්නේ ?”
“ඔව් මම ගිය සතියේ ඉඳලා බම්බලපිටියේ ඊ සොෆ්ට් එකේ වැඩ පටන් ගත්තා. පළවෙනි පාර ඒලෙවල් කලාට කැම්පස් යන්න මදි වුණා. ජොබ් එක කරන ගමන්ම IT ඩිග්‍රියක් කරනවා. හැමදාම ගෙදරට බරක් වෙන්න බැහැනේ.”
“ආ එහෙමද? මමත් කොම්පඤ්ඤවීදියේ තාත්තගෙ යාලුවෙක්ගේ කම්පනි එකක වැඩට ගියේ. දැන් මාසයකට කලින් කොල්ලුපිටියේ එකවුන්ට්ස් සෙක්ෂන් එකට මාරූ කළා.”
සෙනඟ අතරින් වුවද දෙන්නාගේ කතා බහ ඉදිරියට ගලා යන්නට විය.
“බම්බා ස්ටේෂන් එක, බහින්නෙ නැද්ද?” පාරින්ද්‍යා තෙදස්ගෙන් විමසුවය.
“නෑ”
“ඇයි ?”
“නිකන් , දාලා යන්න ලෝබයි වගේ”
පාරින්ද්‍යාගේ දෑස් දෙස එක එල්ලේ බලාගෙනම තෙදස් පවසද්දි පාරින්ද්‍යා
“මූට පිස්සු , පට්ට ඇඹලයෙක්” ඇයටම පවසාගත්තාය.
“මොකද සද්ද නැත්තේ, ඇත්තටම තව ටිකක් දුර ඔයත් එක්ක යන්න ඕනී කියලා හිතුනා ?”
“පිස්සුද හලෝ !”
එවර පාරින්ද්‍යා සැරෙන් ඔහුව ඇමතුවාය.
“ඇත්තට කියන්නේ”
තෙදස් පාරින්ද්‍යාගේ දෙනෙත් මත නතරව බැරෑරැම් ස්වරූපයෙන් පැවසුවාය. කිසිදා නොමැති ලෙස පාරින්ද්‍යා එක්වරම ගොලු වූවාය.
“විමංසා අක්කා දැන් මොන්ටිසෝරියක උගන්වනවලු නේද?” තෙදස් කතාව වෙනතනට පෙරලුවේය.
“ඔව්, ඔයා කොහොමද ඒවා දන්නේ ?”
“හිත ඇත්නම් පත කුඩාද කිව්වලු…” තෙදස් හඬ නඟා සිනාසුනේය.
“තෙදස් මේ කෝච්චිය, හිමින් කතා කරන්න මිනිස්සුත් හැරිලා බලනවා.”
“ඉතින් මොකෝ හොඳට මැච් වෙන පිස්සු ඩබලක් කියලා හිතාවි”
“මේ හලෝ පිස්සු නොකියා ඉන්නවද?”
දුම්රිය කොල්ලුපිටියට දුම්රිය ස්ථානයේ නතර විය.
“මං බහිනවා” පාරින්ද්‍යා දුම්රියේ දොර අසලට යමින්ම පැවසුවාය.
“ඉතින් මාත් එනවා පොඩ්ඩක් ඉන්න”
දෙදෙනාම කෝච්චියෙන් බැස මාර්ගයට පිවිසුණෝය. ඒ වන විටත් පාරින්ද්‍යා සිටියේ අමුතුම හැඟීම් ගොන්නකින් වැසීය. ගාලු පාරට එනතුරුම දෙදෙනා අතර කිසිඳු කතා බහක් නොවීය.
“තෙදස් අයියා මම මේ පැත්තට යන්නේ”
“මං දන්නවා, 5.40 ට්‍රේන් එකේනේ යන්නේ, මොන පෙට්ටියටද නගින්නේ හවසට”
“විශේෂ පෙට්ටියක් නැහැ අනේ, ඔහෙ අහු වුණ පෙට්ටියකට ගොඩ වෙනවා. ඇයි අහන්නේ?”
“නෑ ඉතින් චැටක් දාගෙන යන්න පුලුවන්නේ. ඔයාව හොයන්න වෙලා ගියාම ඔයත් එක්ක ඉන්න තියෙන වෙලාව අඩු වෙනවනේ”
“අනේ තෙදස් ඔයාට පිස්සු ද? විකාර දොඩවනවා මං යනවා යන්න.”
“ඔව් පිස්සු ඩබල් පරිස්සමින් යන්න පාරී”
වෙනදාට නම් කාර්යාලයේ වේලාව යන්නේ අසුරු සැනින්ය. එහෙත් අද ඔරලෝසුවේ කටු කැරකැවෙන්නේ බෙහෙවින්ම අලසව නොවේදැයි පාරින්ද්‍යා ට සිතුනාය. දහම් පාසල් සමයේ ඈ කෙරෙහි ඔහු සැලකිලිමත් වූ බව ඇයට නොරහසකි. එහෙත් නැවතත් මෙලෙස වසර ගණනාවකට පසු ඔහු මුණ ගැසේවී යන්න ඇය සිහිනෙන්වත් නොසිතුවාය. එදවස් වල සිටියාට වඩා ඔහු කඩවසම්ය. කතා කරන ඇස් , සෘජු බැල්ම ඔහු ළඟින් වහනය වූ මෘදු සුවඳ වරින් වර ඇගේ සිතේ සක්මන් කරන්නට විය.
“කාංචු අක්කා යමුකෝ ඉක්මනට කෝච්චිය මිස් වෙයි.”
ඇය කාර්යාලයේ මිතුරියට පැවසුවාය.
“මොකද උඹට කවදාවත් නැති හදිස්සියක් අනික මගේ කෝච්චියට පස්සෙනේ උඹේ එක තියෙන්නෙ”
“ඊයෙත් රෑ වුණා”
“හරි හරි යමු , මොකද බං උඹ අද හරි අමුතුයි.”
“පිස්සු ද අනේ කාංචූ අක්කා.”
“හරි පරිස්සමින් යන්න නගෝ”
“හරි අක්කා ඔයත් පරිස්සමින්”
කාංචනාට සමු දුන් පාරින්ද්‍යාට දුම්රිය එනතුරු තවත් විනාඩි 10ක් රැඳීසිටින්නට සිදුවිය. දුම්රිය ස්ථානයට පැමිණි මොහොතේ පටන් පාරින්ද්‍යාට දැනුනේ නොසන්සුන් බවකි. දුම්රිය බම්බලපිටිය නැවතුමේ නතර විය. පාරින්ද්‍යා මිනිසුන් අතර දෑසින් තෙදස් සෙව්වාය. එහෙත් ඒ රුව ඇයගේ නෙත් මානයට නොආවාය.
“අපරාදේ මට ඉන්න පෙට්ටිය කියන්න තිබ්බේ” යැයි සිතද්දීම ඇගේ සිතම “පිස්සුද ඒ යකා කවුද මගේ” යැයි කීවාය.
කෙසේ වුවත් හිත අමුතුම දුකකින් බර ව ඇත. ඇය මුහුද දෙසට ඇති කවුලුවක් දෙසට හැරුණාය. බැස යන හිරු මඩල රක්ත වර්ණයෙන් බැබලෙමින් මුලු අකාසයත් මුහුදේ ජලයත් වර්ණ ගන්වා ඇත. සුදුපාට පෙන පිඬු නංවමින් රළ පෙල දඟ පායී. තෙදස්… ඇය සිතින් මිමුණාවය.
“හරි අමාරුවෙන් හොයා ගත්තේ”
හතිලමින් පවසන තෙදස්ගේ හඬින් ඇය තිගැස්සුණාය. සිත ප්‍රීතියෙන් පිනා රැඟුමක් රඟයි. හදවත වේගයෙන් ස්පන්ධය වෙයි. ඇගේ සිතුවිලි ඔහුට දැනේවිදැයි එකවරම ඇයට බියක් ඇති වූවාය. ඇය ඔහු දෙසට නොබලා සිටින්නට උත්සහා කළාය.
“කොහෙන්ද නැග්ගේ ?” පාරින්ද්‍යා යාන්තම් වචන ගැටගහගෙන ඇසුවාය.
“බම්බලපිටියෙන්” තෙදස් පැවසුවේ හිස ඉහළට කරමින් යම් කෙනෙකු දෙස බලමින්ය.
“හායී නිෂී”
ටයිට් ස්කට් එකක් සහ අත් දිග බ්ලව්සයකින් සැරිසී ගත් හුරු බුහුටි යුවතිය තෙදස්ගේ හඬින් හැරී බැලුවාය.
“ආනේ…තෙදස්, හායී හායී, ඔයාත් ට්‍රේන් එකේ ද යන්නේ? අපරාදේ මටත් කිව්ව නම් දෙන්නටම එකට එන්න තිබ්බා.” නීෂී පැවසුවේ තෙදස් අසලම සිටගනිමින්ය.
“මලවිකාරයක් අම්මපා මූට නම් පිස්සු, ඒකටත් හරියන්න මේ ඉසකුඩිච්චිය” පාරින්ද්‍යාගේ හිත කසු කුසු ගාද්දී ම,
“නිෂී මේ පාරීන්ද්‍යා, අපේ ගෙවල් ළඟ නංගි කෙනෙක්”
“හායී, පාරින්ද්‍යා”
“හායී”
“කොහෙද වර්ක් කරන්නේ ඩාලිං”
“වින්ට වින්ඩ් කම්පනි එකේ”
“ආ වින්ට එකේද? මගෙත් යාලුවෙක් ඉන්නවා ක්‍රිෂ් කියලා”
“ක්‍රිෂාන්ත.. මාර්කටින්ග් එකේ නේද?”
“ඔව්….ඔව්”
ජපන් බෝනික්කෙක් මෙන් ඇස් නටවමින් ඇය තව බොහෝ දේ පාරින්ද්‍යාගෙන් ඇසුවාය.
“චැහ් මේ මලහෝන්තුව කඩාපාත් වෙලා උදැල්ල දැම්මනේ, නවත්වන්නෙත් නෑ, දොඩෝනවා ඉවරයක් නෑ ” තොර තෝංචියක් නැතිව දොඩවන නිෂීට පිළිතුරු බඳිමින්ම පාරින්ද්‍යා සිතුවාය.
“ඒක නෙමේ තෙදස් මාර සීන් එක නේද වුණේ අද?” නිෂී යමක් මතක් වූවා සේ තෙදස් දෙසට හැරුණාය.
“ඒකනේ නිෂී මට හිතාගන්න බැරිව ගියා මොකද්ද කරන්නේ කියලා….”
තෙදස් හා නිෂී කාර්යාලයේ සිදු වූ සිදුවීමක් පිළිබඳ බර කතාවකය. පාරින්ද්‍යාගේ සිතෙහි ඇති වූයේ සියුම් ඊර්ෂාවකි. ඔවුන් දෙදෙනාගේ කතාවට ඉඩ හැර පාරින්ද්‍යා සයුර දෙසට නෙත් යොමා ගත්තාය. මුහුදේ අතොරක් නැති කෑ ගැසීම රිද්මයානුකූලය. හාත්පස සෙමෙන් ආක්‍රමණ කළ අඳුර අතරින් මුහුදේ දසුන දෑස් වලින් අල්ලා ගන්නට පාරින්ද්‍යා උත්සාහ කළාය.
“මොරටුවටත් ඇවිත්.. මං බහිනවා. පාරීන්ද්‍යා බායී තෙදා එහෙනම් හෙට මීට් වෙමු සීයූ”
පාරින්ද්‍යාගේ මනෝ ලෝකය කඩා දමමින් නිෂී දුම්රිය දොර වෙත ඇදුණාය.
“ඕකේ නිෂි බායී”
“ඉතින්”
තෙදස් පාරින්ද්‍යා දෙස හැරෙමින් ඇසුවේය.
“අර සක්කරවට්ටම ගියාට පස්සේ මාව මතක් වෙලා තියෙන්නෙ. ඉතින් මොකෝ මේ උන්දෑ මගේ කවුද ? “
පාරින්ද්‍යාගේ සිත කෑ ගසද්දි ඇය තෙදස් වෙත මද සිනාවක් පෑවාය. ගැහැණුන් බහුතරයක් එසේය. තමන්ගේ යැයි සිතුනු මල් රේණුවකටවත් පිටස්තර බැල්ම වැටෙනවාට මනාප නැත.
“ගිය සඳුදා තමයි මම ඔයාව අවුරුදු හතරකට පස්සේ දැක්කේ. සතියක් යන්න ඇරලම කතා කළේ ඔයා ඉතින් හරි ආඩම්බරකාරීනේ, දැන් නම් හිත කොල්ලෙක්ට දීලා ඇතිනේ”
“පිස්සුද අනේ අපි මේ ආවට ගියාට හිත දෙන්න යන්නෙ නෑ.”
තෙදස්ගේ මුහුණේ අමුතුම ආලෝකයක් ඇඳී මැකී ගිය බව පාරින්ද්‍යාගේ තියුණු ඇස් වලට හසුවිය.
“මම නම් ඉතින් කෙල්ලෝ තුන් හතර දෙනෙක් එක්කම යාලු වුණා. එකක්වත් හරි ගියේ නෑ හලෝ.”
“මොනවා කෙල්ලෝ තුන් හතර දෙනෙක්!!! ඉතින් මොකද නැවැත්තුවේ?”
ඇසුවද පාරින්ද්‍යාගේ නොරිස්සුම් සිත “නටන්න තියෙන වන්නම් දහ අටම මූ නටලා වගේ. අම්මපා මේ වගේ නැට්ටුක්කාරයෙක්” යැයි බෙරිහන් දෙන්නට විය.
“මාෂි එක්ක යාලු වුණේ එයාලගේ ඉස්කෝලේ සයන්ස් ඩේ එකට ගිහින්, වැඩිම වුණොත් මාසයක් දෙකක් අපි යාලු වෙලා ඉන්න ඇති, මෙන්න ඒ කෙල්ල වෙන කොල්ලෙක් එක්ක යාලු වෙලා. ඉමායා නම් අපේ සයන්ස් ක්ලාස් එකේ කෙල්ලෙක්. මාර බ්‍රයිට් කේස් එකක්. අවුරුද්දක් යාලු වෙලා හිටියා. එයාලාගේ අම්මා පස්සෙන්මයි. එකම එක දවසක් අපි ක්ලාස් කට් කරලා දෙහිවල සූ එක බලන්න ගියා. කොහොම හරි එක්සෑම් ඉවර වුණාට පස්සේ අපිට මුණ ගැහෙන්න ලැබුණෙම නෑ. එයාලගේ පවුලම ඔස්ට්‍රේලියා ගියා. ඊට පස්සේ තමයි නෙතාරා එක්ක යාලු වුණේ. ඇත්තටම මම නෙතාරට ආදරේ කළා. මට ඒ ළමයව තේරුම් ගන්න බෑ අපි හම්බ වුණු වෙලාවේ ඉඳලා වලි. මම කෙල්ලෙක් දිහා බැලුවත් ඇති මාව සැක කරලා රණ්ඩු කරනවා. පස්සේ අපි දෙන්න කතා කරලා වෙන් වුණා.”
බොහෝ විට ගැහැණුන් ආදරයේදී ආත්මාර්ථකාමී වෙයි. තමන්ගේ ප්‍රේමවන්තයා තමන්ගේ පමණක් විය යුතු යැයි තරයේ විශ්වාස කරයි. ඒ හේතුවෙන්ම අහිමි වීම වලක්වා ගන්නට දහසකුත් දෑ සිතයි , කරයි. අසීමාන්තිකව ආදරය කරන පරාණය අහිමි වන්නේ ද තන්හාව නිසාම ය. එහෙත් අදහස් නොගැලපෙන තැන් වල අතහැරයාම වඩාත් සුදුසු යැයි පාරින්ද්‍යා සිතුවාය.
“මොකෝ සද්දේ නැවතුනේ.”
තෙදස් නිහඬතාවය බිඳිමින් මන්දහාසයෙන් යුතුව පවසද්දී පාරින්ද්‍යා ඔහු දෙසම බලා උන්නාය. මොහොකට සිව් නෙත් යාවිය. ඒ නෙත්සසර විඳ ගන්නට නොහැකිව පාරින්ද්‍යා කවුලුවෙන් එපිට මුහුද දෙසට නෙත් යොමු කරගත්තාය. තෙදස් පිළිබඳ ඇත්තේ කවර හැඟීමක්ද යන්න ඇයට වෙන් කරගත නොහැකි විය. බොහෝ කලකට පසු ඔහු මුණ ගැසී ගත වී ඇත්තේ දිනක් පමණි. එහෙත් නිෂී සමඟ ඔහු දොඩමලු වන විට ඉරිසියාකර හැඟීමක් තම සිතෙන් මතුව බුර බුරා නැගී ආවේත් ඔහු අසල සිටින්නට සිත ආසා වන්නේත් ඇයි දැයි ඇය ඇයගෙන්ම විමසුවාය. මලින් මලට පියාඹා ගොස් ආ මේ බඹරා පිළිබඳ ඇයට නොරිස්සුම් සහගත සිතුවිල්ලක් ද මතු විය. එදා පටන් ඒ හමුවීම ජීවිතයේ පරිච්ජේදයක ඇරඹුමක් වනු ඇතැයි ඇයට සිතුනේ නැත.
දින සති ගෙවී ගියේ අසුරු සැනින්ය. උදේ සවස හමු වන තෙදස් සමග වල් පල් දොඩවා හිනැහෙන්න ඇය ආශා කළාය. කොන්දේසීයක් විරහිතව ඔවුන්ගේ හමුවීම සිදු විය. ජීවිතයේ කුමක්දෝ නැවුම් බවක් ඇයට දැනෙන්නට විය. පාරින්ද්‍යාගේ උසස් පෙළ ප්‍රතිඵලද නිකුත් වූයේ ඒ අතර වාරයේමය ඒ සාමාර්ථ දෙකක් සහ බී සමාර්ථයක් ලබා තිබුණි. තාත්තා නැවත වරක් විභාගය කරන්නට පෙරැත්ත කළ ද පාරින්ද්‍යා බාහිර උපාධිය කරන්නට තීරණය කළාය. තාත්තා පාසල් දරුවන් ප්‍රවාහනය ආරම්භ කිරීමත් සමඟ තාත්තා ඇයව කාර්යාලයට ගෙන ගොස් ඇරලුවා ය. උදෑසන තෙදස් හමුවීම සම්පූර්ණයෙන් ම නතර වූ අතර කාර්යාලයේ වැඩ කටයුතු බහුල වූ දිනට ප්‍රමාද වීම නිසා ත් ඔවුන්ගේ හමු වීම සතියකට දිනකට දෙකකට සීමා විය. එක අතකට එසේ සිදු වීම හොඳ යැයි පාරින්ද්‍යාටම සිතෙන්නට විය.
“ඔයා මාව මඟ අරිනවද පාරී”
බොහෝ දිනකට පසු හමු වූ අවස්ථාවේ දී තෙදස් පාරින්ද්‍යාගෙන් විමසුවේය.
“මග අරිනවා !! පිස්සුද අනේ ඔයාට , උදේ තාත්තා එක්ක යනවා, සෙනසුරාදා නිවාඩු ගන්න නිසා ඒ වැඩත් මම සතියෙ දවස වල කවර් කරන්න ඕනී”
එවර ඔහු පාරින්ද්‍යාට වඩාත් සමීප විය. ඔහුගේ මෘදු විලවුන් සුවඳ දැනෙන තරමටම ළං වන විට අහේතුකවම ඇයගේ හෘද ස්පන්දනය වේගවත් විය. දෑත් දෙපා සීතල විය. ඉර බැස යන පරිසරය තුල ඇත්තේ චමත්කාරයකි. රතු ගිණි බෝලයක් වගේ ඉර අහසේ බැබලෙමින් අහසත් වර්ණ ගන්වා හාත්පසම චිත්‍රයක සේයාවක් මවයි. පරිසරයේ මේ විපර්යාසය පාරින්ද්‍යා ඇස් වලින් බදා ගත්තේ හිතට දැනුන නොසන්සුන්කමින් මිදෙන්නටය.
“මං ඔයාට කැමතියි. කැමතියි කියන්නෙ හැමදාම ඔයාව මගේ ළඟ තියා ගන්න ඕනී… ඔයා මොකද්ද කියන්නේ?”
තෙදස් රහසින් පාරිනද්‍යාගේ කනට ලංව පැවසුවාය. පාරින්ද්‍යාගේ හිසට අකුණක් වැදුණා සේ විය. ඇය වහාම වික්ෂිප්තව තෙදස් දෙසට හැරුණාය.
“ඔයාට පිස්සුද? ඔයා හිතන් ඉන්නෙ මම ඔයත් එක්ක…”
ඇයට පැවසීමට ලැබුණේ එපමණකි. ඇගේ දෙතොල් අතරට ඔහුගේ ඇඟිල්ල තබා ඇයව නිහඬ කළ තෙදස් ඇගේ දෙනෙත් මත ඔහුගේ තියුණු දෙනෙත් නතර කළේය. ඒ ඇඟිල්ලේ උණුසුමින් ඇයව දැවී ගියා සේ දැනෙන්ට විය. ඇය වහා ඔහුගේ අත ගසා දැමුවේ වේගයෙන්ය.
“හිමීට හිතලා උත්තරයක් දෙන්න. දහම් පාසල් යන කාලේ ඉඳලම හිතේ පැල පදියම් වෙච්ච ආදරයක් මේක. දැන් මාස අටක් වෙනවා ඔයයි මමයි ආයේ මුණ ගැහිලා. මෙච්චර කාලයක් හිටිය එකේ ඔයා මාව තේරුම් ගනියි කියලා මම හිතුවා. මං ඔයාට ආදරෙයි පාරින්ද්‍යා.”
“මේක මේ කෝච්චි පෙට්ටිය තෙදස්, එහාට වෙන්න.”
වෙව්ලන හඬින් පාරින්ද්‍යා පැවසුවාය.
“ඕනී නම් මං තාත්තගෙන් අහන්නත් එන්නම්.”
“මට හිතලා බලන්න ඕනී, අනික ඔයා මීට කලිනුත් කෙල්ලෝ එක්ක යාලු වෙලා අතඇරලා තියෙන්නේ”
“ඔව් ඉතින් ඒවා ඉස්කෝලේ කාලේ කරපු පිස්සු වැඩනේ.”
“කොල්ලන්ට නම් ඒවා හරි සිම්පල් පිස්සු වැඩ නේද?” ඇය අවඥා සහගතව ඔහුගෙන් විමසුවාය.
තෙදස් ඇරයුම් කළේ ජීවිතය පුරාවටම ඔහු ළඟ සිටින්නටය. එවැනි බරපතල කාරණයක් මෙතරම් සැහැල්ලුවට සිතිය හැකිද? තෙදස් තමන් පිළිබඳ බොහෝ කලක සිට සිතුව ද තමන්ට ඔහු පිළිබඳ මෙතුවක් කලකට ආදර සිතුවිල්ලක් පහළ වී තිබුණා ද ? ඔහු දැකීම ඔහු හා දොඩමලු වී ම සතුටක් විය. ජීවිතේ නැවුම් බවක් ඔහුගේ හමුවත් සමග සිදු වුවා නොවේ ද? එහෙත් විවාහයකට යනන්ට තරම් ඒ සිතුවිලි ප්‍රබල ද?
විවාහය යනු ලේසී පහසු බන්ධනයක් නොවේය. එතැන් පටන් ඔවුන් දෙදෙනා අතර කිසිඳු කතා බහක් සිදු නොවීය. පානදුර නැවතුම් පොළොන් බැස පෙළට වැටුනු දෙදෙනා නිහඬය. පාරින්ද්‍යාගේ සිත යකාගේ කම්මලක් වී ඇත. වෙනදා සිනහවෙන් විකසිත වී තිබුණු දෙදෙනාගේම මුව මතින් සිනාවක සේයාවක්ව මතුව නොවීය.
සිතම නොතේරෙන හැඟීම් සමුදායකින් යුධ වදිද්දී පාරින්ද්යාගේ වත පුරා ඒ හැඟීම සිත්තම් වී තිබුණි. හදවතේ කැඩපති මුහුණය.
“නංගී මොකද අද ප්‍රශ්නයක් ද?”
“හ්ම්… ඔව් අක්කා මං පට්ටම අවුලෙන්”
“ඇයි ?”
“තෙදස් හම්බ වූණා.”
“ඉතින්, මිනිහා ඔයාට කැමතියි කියලා කිව්ව ද?”
” ඔව්, ඒත් ඔයා කොහොමද ඒ පලහිලව් දන්නේ ?”
“ඊයේ මට තෙදස් කෝල් කළා, මගෙන් ඇහුව්වා ඔයාට මේ ගැන කියන්නද තාත්තගෙන් අහන්න ද කියලා. මම කිව්වා ඉස්සෙල්ලා ඔයාගේ කැමැත්ත දැනගෙන ඉන්න කියලා.”
“ආහ්… මෙයාට දැන් මට වඩා පිට අයනේ ලොකු, ගුරුකම මදිවට කපුකමත් පටන් ගත්ත ද? “.
තෙදස්ට අක්කාගේ ජංගම දුරකථන අංකය ලබා දුන්නේ තෙදස්ගේ දැඩි පෙරැත්ත නිසාය. පාරින්ද්‍යා කෝච්චියේ නොගිය දිනට ඔහුගෙන් ඇමතුමක් අනිවාර්යයෙන්ම ලැබුණි. එනිසා තෙදස් හමු නොවනු දිනයක් වුවද ඒ අඩුව දැනුනේ නැත. ඔහු තමන්ටත් පෙර අක්කාට මේ බව කියා බලාපොරොත්තු වූයේ විශ්වාසය දිනා ගැනීම වන්නට ඇත.
“දැන් ඔයාගේ අදහස මොකද්ද ? “
“මට එහෙමට අදහසක් නෑ අනේ, මං පොරත් එක්ක කතා කරන්න ආසයි ඒ ඇරෙන්න අනේ මන්දා”
“උගුරට හොරා බෙහෙත් බොන්න බෑ සුදු නංගී, අපි ආදරේ එකෙක් නෙමෙයි අපිට ආදරේ එකෙක් හොයා ගනින්” විමංසා පැවසුවේ එපමණකි.
ඔහුට කැමතියි කියන්නට තරම් ඒ සාධකය ඈ සතු නොවීය. එහෙත් තෙදස් පිළිබඳ ලෝබකමකින් හිත පිරී ඇතැයි ඇයට සිතුණාය. පසු දින සෙනසුරාදාවක් නිසා ඇය හිමිදිරියේම පන්තියාමට සැරසුණ ද හිත බෙහෙවින් විඩාබර බවක් ඇයට දැනෙන්නට විය.
නව සතියේ බදාදා වන තුරු දින ගෙවී ගියේ මහත් හිස්බවකින්ය. ගෙවී ගිය දින තුනෙහිම තෙදස්ගෙන් ඇමතුමක් ලැබෙන තුරු බලා සිටියද ඇගේ බලාපොරොත්තු සුන්විය. එදින තෙදස්ව හමු වීමේ සහ දැකීමේ දැඩි අවශ්‍යතාවයක් පාරින්ද්‍යාට දැනුනද ඔහු හමු පැමිණියේ නැත. සිතම පාලු වී ඇත. ගත වන හැම තත්පරයක් පාසාම තෙදස් ඇගේ සිත තුල සක්මනයෙහිය. යමක් ළඟ ඇති විට වටිනාකමක් දැනෙන්නේ නැත. වටිනාකම දැනෙන්නට නම් අහිමි විය යුතුමය. එදින රාත්‍රියේ ප්‍රථම වරට පිටස්තර පිරිමියෙකු වෙනුවෙන් ඇගේ කොට්ටය තෙත් විය. උදෑසන අවදි වූ ඇය අක්කාගේ ජංගමයෙන් තෙදස්ට ඇමතුමක් ගත්තේ හිතේ පැවති අධික විඩාබර බව නිසාවෙන්මය.
“හෙලෝ ගුඩ් මෝර්.නිග්, ආයුබෝවේවා!”
“තෙදස් මං පාරින්ද්‍යා”
“මං දන්නවා. ඉතින් මොකෝ මේ උදේම”
“මට ඔයාව හම්බ වෙන්න ඕනී. හවසට 5.40 දී හම්බ වෙමු ද? “
“ඕකේ මැඩම්. උදේ එන්න ද?”
“එපා තාත්තත් එක්ක යන්නේ”
“හරි මම 5.40 එන්නම්”
පාරින්ද්‍යා දිගු සුසුමක් හෙලා ළය සැහැල්ලු කරගත්තාය. දවස ගෙවී යන්නේ කොයි තරම් අලසවද මේ ඔරලෝසුවට ඉක්මණින් කැරකෙන්නට බැරි හැටි පාරින්ද්‍යා නිස්කාරණේ ඔරලෝසුවට ද බැන වැදුනාය.
එදින කාංචනාද නොපැමිණි නිසා පාරින්ද්‍යා කොල්ලුපිටිය දුම්රිය ස්ථානයට ගියේ තනිවමය. ජීවිතේ කෙදිනකවත් නොවූ විරූ ලෙස සිත කලබලයෙන්ය. දුම්රියට ගොඩ වූ ඈ බම්බලපිටියට යන තුරු සිටියේ නොඉවසිල්ලෙන්ය. පැද්දි පැද්දි යනවා යන්නෙත් නෑ ඉක්මණට ඇය සිතින් කෝච්චියට බැන්නේ ගමන ආරම්භ කොට සුලු මොහොතකින්ය. එක්වරම පාරින්ද්‍යාගේ පසු පසින් සිටි පුද්ගලයකු ඇගේ බාහුවෙන් ඇද ඇයව පස්සට ඇද ගත්තේය.
තිගැස්සුණු පාරින්ද්‍යා ඒ පුද්ගලයාට පහරක් දෙන්නට සිතාගෙනමය මුහුණ හරවා බැලුවාය.
“මං තමුසෙට ආදරෙයි ඕයී, මට කෙලින්ම කියන්න ඔයා මට කැමතිද නැද්ද කියලා. ඕනී නම් මං තාත්තගෙන් අහන්නත් එන්නම්.”
“තෙදස් මේ මිනිස්සුත් ඉන්නවා. මං හිතලා ඔයාට කියන්නම් දැන් අතාරින්න මාව “
“දැන් මාස අටක් තිස්සෙ හිතනවා. මං අතාරින්නෙ නෑ හා ද බෑ ද? “
“ඔයා කොහොමද මට බලපෑම් කරන්නේ?”
“බලපෑමක් නෙමේ තේරුම් ගන්නකෝ, මේ දවස් ටිකේම මගේ ඔලුවත් අවුල් වෙලා. ඇත්තටම ලව් කරද්දි සික් එක හැදෙනවා කියලා අහලා තිබ්බට ඔය දවස් ටිකේ තමයි මං ඇත්තටම ඒක ඇත්තක් කියලා දැන ගත්තේ. මං ඔයාට ආදරෙයි”
තෙදස් මෙන්නම තමනුත් ලව් සික් එකේ උපරිමයට ගිය බව පවසන්නේ කෙසේ ද? එහෙත් පාරින්ද්‍යාගේ හිතේ තෙදස්ගේ සික් එක පිළිබඳව ඇති වූයේ ප්‍රීතියකි.
“ඇත්තටම” පාරින්ද්‍යා තෙදස්ගේ දෑස් දෙස එක එල්ලේ බැලුවාය. පැද්දි පැද්දි යන කෝච්චියත් විටෙක පෙම්වතුන්ට නොපෙනෙන ආශිර්.වාදයකි.
“ඔව් හලෝ”
ඒ ඇස් වලින් ඔහුගේ හදවත කියවා බලන්නට ඈ උත්සහා කළාය. ඒ සෘජු බැල්ම චුම්බනයක් සේ ඇගේ හදවත ඇදගන්නාක් සේ ඇයට දැනෙන්නට විය. තම සිතේ ගත වන හැම නිමේෂයක් පුරාවටම සක්මන් කළේ තෙදස්ය. දැන් දැන් සිනාසෙන විට හඬන විට මුලින්ම මතකයට එන්නේ අක්කා නොව තෙදස්ය. ඔහු නොදකින දාට තමන්ගේ ගතත් සිතත් දෙකම ඇල්මැරී ගියා නොවේද? ඔහුගේ හමු වීම තම සිත කුරුලු පිහිටුවක් කරන්නට සමත් වෙයි. ඉතින්…ඇය මොහොතක් ඔහුගේ දෑස් දෙස බලාගෙනම ඇගේ බාහුව ඔහුගෙන් මුදා ගත්තාය. හු හඬ නගමින් දුම්රිය බම්බලපිටිය වේදිකාවේ නතර විය.
“ඉතින් මට එන්න කිව්වේ?”
“මම කිව්වේ බම්බලපිටියෙන් නගින්න කියලනේ”
“හරි ඉතින් කොහෙන් හරි ආවනේ, මොකද්ද කාරණේ?”
“නිකන් අනේ දවස ගානකින් දැක්කෙත් නැහැනේ. ඒකයි”
“ඔයාගේ ආඩම්බරේ මට තේරෙන්නෙ නැහැ. ගණන් උස්සනවා කියලා මෙහෙමත් උස්සනවද? බලෙන් වෙන කෙනෙක්ගෙ ආදරේ ලබා ගන්න බෑනේ. ඔයාට කැමති දෙයක් කරන්න”
තෙදස් පැවසුවේ දැඩිවය. එතැන් සිට පානදුර දක්වාම දෙදෙනා අතර කතාබහක් ඇති වූයේ නැත. වෙනදාටත් වඩා වේගයෙන් දුම්රිය ගමන් කලාදැයි පාරින්ද්‍යට සිතුනේ ඉක්මණින්ම ඔවුන් පානදුරට පැමිණි නිසාය.
පාරින්ද්‍යා දුම්රියෙන් බස්වා තෙදස් වේගයෙන් ඉදිරියට ඇවිද ගියේය. ඒ මුහුණෙහි දුක සහ කලකිරීම විසින් ඔහුව විරූපී කොට ඇතැයි පාරින්ද්‍යට සිතුනි.
“හොඳ වැඩේ තෙදාට ලව් සික්” ඇය තනිවම සිනාසුනාය.
පාරින්ද්‍යා ඉදිරියෙන් යන තෙදස් පසු පසින් ගොස් ඔහුගේ නිදහස් දෑතේ ඇඟිලි අතරින් ඇගේ සිනිඳු ඇඟිලි රිංගවා ඔහුගේ දෑත තදින් අල්ලා ගත්තාය.
වික්ෂිප්ත වූ තෙදස් එතැනම නතරව පාරින්ද්‍යා දෙස හැරුණේය.
“එහෙනම් හා” පාරින්ද්‍යා දඟකාර ලෙස හිස සලා කීවාය. ඒ දෑස් සතුටින් දිලිසෙන අයුරු දැක පාරින්ද්‍යට පුදුමයක් දැනෙන්නට විය.
“ඒ කියන්නේ ඔයා මට කැමතියි… යස් … මට ඔයාව වඩාගෙන දුවන්න හිතෙනවා.”
“පිස්සු කරන්න එපා තෙදස්”
සතුටින් පිරී ඉතිරී යන ඔහුගේ වත දෙස ඇය බලා සිටියාය. තමාව ඔහුට මේ තරම් වටින බවක් ඇයට විශ්වාස කරගත නොහැකි විය. තෙදස් පාරින්ද්‍යාගේ අත් දෙකම ඔහුගේ දෑතීන් තරයේ බදා ගනිමින් පාරින්ද්‍යාගේ දෑස් දෙස බැලුවාය. ඒ උණුසුම, ආදරය, ආරක්ෂිත බව විඳිමින් පාරින්ද්‍යා තෙදස්ගේ දෑස් තුල සිත්තම් වී ඇති ඇගේ රුව දෙස බලා උන්නාය.
ජීවිතේ වර්.ණවත් වන බවක් ඇය දැනෙන්නට විය. තාත්තාගේත් අක්කාගේත් ආදරය හැර මිහිපිට කිසිවෙකුත් තමාට ආදරය නැතැයි සිතුවද තෙදස් ඒ විශ්වාසය බිඳ දමන්නට සමත් විය. ඔහුට කැමැත්ත දී සතියකට පසු තාත්තා හමු වී ඔවුන්ගේ සම්බන්ධයට අවසර ලබා ගත්තත් තාත්තගේ මතය වූයේ තෙදස්ගේ නිවසේ අනුමැතිය ලබා ගත යුතු බවය. එනිසා තෙදස් මවත් පියාත් විවාහක අක්කා සහ මස්සිනා සමගින් පාරින්ද්‍ය බැලීමට පැමිණියෝ ය.
“මේ කසාද බඳින වයසක් නෙමේ නේ යාන්තම් අවුරුදු 23ක් ලැබුවා විතරයිනේ, මේ ළමයගෙන් බේරෙන්න බැරිව අපි මේ ගමන ආවේ, මේ දුවටත් ඒ තරම් වයසක් නැහැ නේ”
තෙදස්ගේ මව පැවසුවේ නෝක්කාඩු ස්වරයෙන්ය.
“ඔව් ඔව් මගේ කෙල්ලටත් තාම වයස 21යි. දුවත් තාම බාහිර උපාධිය කරනවා.”
“ඒක තමයි, ඒත් ඉතින් ගෙවල් වලට කියලා විශ්වාසය ගොඩ නගා ගන්න එකත් හොඳයිනේ. දැන් මේ ලොකු දුවට වයස කීයද?”
“එයාට 25ක් වෙනවා. අපේ නෑ කෙනෙක් යෝජනා වෙලයි ඉන්නේ, ලබන අවුරුද්දේ උත්සවේ ගන්න තමයි ඉන්නේ.”
“ආ ඒක හොඳයි ගෑනූ දරුවො ඕනවට වඩා වයසට යන කල් ගෙවල් වල තියා ගන්නත් හොඳ නැහැනේ. දුවගේ හඳහන අපිට දෙන්න ඒ චාරිත්‍ර කරන්න එපැයි.”
තෙදස්ගේ නෑ පිරිවර පාරින්ද්‍යාගේ නිවසින් පිට වූයේ නව නෑ සබඳ කමකට අඩිතාලම යොදාය. දෙපාර්ශවයේම ආශිර්වාදය මැද තෙදස් පාරින්ද්යා ප්‍රේමය විවාහය දක්වා ගලා යන්නට විය.
වර්තමානයට…..
“තාත්තී“
“සුදු මැණික“
“අම්මා නැතිව මට පාලුයි, අපි අම්මට කෝල් කරමුකෝ“
“අම්මා… අම්මා… අම්මා ඇයි මේ තාත්තී මදිද? “
තෙදස් තදින් ඇසුවේ තරමක් හඬනගාය.ඉලීෂාගේ පුංචි දිගු තරු ඇස් කඳුළින් බොඳව යද්දි ඇය තාත්තාගේ මුහුණ දෙසම බලා උන්නේ වික්ෂිතවය. තෙදස්ගේ සිත තමන්ටම දොස් පවරා ගත්තේ තමන් දෙදෙනාගේ වරදට පුංචි දෝණිගේ සිත රිදුණු නිසාවෙන්ය. පාරින්ද්‍යාගේ දිගු කතා කරන දෑස් ම හිමි ඉලීෂගේ දෑස් තුල පොර බැදූ කඳුලු දෑසින් පැන පුංචි රෝස කම්මුල් දිගේ ගලා යද්දි තෙදස් ඇයව වඩාගෙන කඳුලු පිස දැමූවද නොනවත්වාම ගලන කඳුලු අතරින් ඇය තෙදස්ගේ ගෙල වටා දෑස් යවා වැළඳ ගනිමින්
“තාත්තී යී…. ඔයාට පුලුවන්ද අම්මා නැතිව ඉන්න“ යැයි විමසුවාය.
තෙදස්ගේ මුව ගොලු විය. විවාහයෙන් පසු ගෙවී ගිය වසර හත පුරාවට විරසක වී පාරින්ද්‍යා නිවසින් පිටමංව ගොස් නැත. පෙර දින රාත්‍රිය පුරාවටම නින්දක් දෙනෙත් අභියසට ආවේ නැත. හිතට අස්වැසිල්ලක් ආවේ පාරින්ද්‍යා ඇමතුමක් දුන් පසුය. තමන්ගේ සිත පෙලූ වේදනාව කොතරම් දැයි කවුරුන් නම් විශ්වාස කරාවිද ? පාරින්ද්‍යාගෙන් හා ඉලීෂාගෙන් තොර ලෝකයක් තමන්ට නැතුවා නොවේ ද?
“තාත්තිටත් බෑනේ, මටත් බෑ මට ඔයාලා දෙන්නම ඕනී, තාත්ති අම්මට ගැහුව්වෙ නැත්නම් ගේට්ටුවෙන් එළියට ඇදලා දැම්මේ නැත්නම් අම්මා යන්නේ නැහැ, ඇයි තාත්ති එච්චර නරක වැඩක් කළේ ? “
“ඔයා කොහොමද ඕවා දන්නේ ? “
“ඊයේ රෑ රශී ආන්ටී කසුන් අංකල්ට කිව්වා. ඇස් වහගෙන හිටියට මට නින්ද ගියේ නැහැනේ. ඉතින් මට එයාලා කියපු සේරම ඇහුණා“
තෙදස් ගොලු වී ගියේ නිරායාසයෙන්ය. තමන් නොදැන සිටියාට ලෝකයාගේ දෑස් ඔවුන් වෙත යොමු වී තිබෙන බව මොහොතකටවත් තමන්ට නොසිතුනා නොවේ ද? පාරින්ද්‍යා තුලින් ටික දිනක සිට ඔහු වෙනසක් දුටුවේය. ඇය වෙනදාට වඩා ප්‍රබෝධමත්ව සතුටින් සිටින බවක් ඔහු දුටුවේය. තෙදස් සමඟ කතා බහ කිරීම ද ඇය කළේ බෙහෙවින්ම අඩුවෙන්ය. එනිසාම ඇය පිළිබඳ විමසිල්ලෙන් පසු වීම නිසා ඇයගේ ජංගම දුරකථනය පරික්ෂා කරන විට ඔහුට දැක ගන්නට ලැබුණේ දිනකට කිහිප වතාවක්ම කතා කළ විශ්ව කියන නමය. හිසට අකුණු පහරක් වැදුණාක් මෙන් තමන්ගේ සිත හා කයම අඩපණව ගොස් දෑස් නිලංකාරව ගියායුරු ඒ මොහොතේද ඔහුගේ සිතට දැනුනෙන්නට විය. ගැටුමට මුල් වූයේ විශ්වය. ඇයගෙන් ඔහු කවුරුන්දැයි විමසූ විට ඇය පැවසුවේ කාර්යාලයේ සේවය කරන්නෙකු බවය. ඒත් කලක පටන් ඇගේ හැසිරීමේ වෙනසත් මේ ඇමතුම් අතරත් සම්බන්ධයක් ඇතැයි තෙදැස් දැඩිව විශ්වාස කළේය.
රාත්‍රියේ යහනට ගිය තෙදැස් සිත තුල තෙරපෙන අදහස් වලින් විඩාබරව පාරින්ද්‍යා එනතුරු බලා සිටියේ ය. රාත්‍රි එකොළහේ කනිසම වන විට යාන්තම් නිවසේ වැඩ කටයුතු අහවර කළ පාරින්ද්‍යා යහනට ගොඩ වූයේ දවසේම විඩාබර බව නින්දෙන් අහවර කරන්නටය. ඒ වන විටත් දෑස් පියාගෙන සිටි තෙදැස් වෙනදා මෙන්ම නින්දේ ඇතැයි සිතූ ඇය අනෙක් ඇලයට හැරී දෑස් පියා ගත්තාය.
“පාරින්ද්‍යා කවුද විශ්ව කියන්නේ?”
“ආහ්… ඔයා නිදි නැද්ද? ඒ ඔෆිස් එකේ යාලුවෙක්”
යාන්තම් නින්ද දෙනෙත් මත ඇතිරෙද්දීම තෙදස්ගේ පැනයට ඇය නොසැලකිල්ලෙන් පිළිතුරු දුන්නාය.
“යාලුවෙක් විතරද?”
“ඔව්, මොකද දැන් මේ විශ්වයෙක් ගැන අහන්නේ, මට හරිම මහන්සියි, නිදිමතයි”
“යාලුවෙක් විතරක් නම් ඌ මොකටද දවසට තුන් හතර පාරක් කතා කරන්නේ?”
එවර පාරින්ද්‍යා නැගී සිට ඇදේ විට්ටමට හේත්තු වී තෙදස් දෙස බැලුවාය. ඔහුගේ දෑස් වල වේදනාව,සැකය තරහව මුසු වූ හැඟීම් සමුදායක් තෙරපෙන බව දුටු ඇගේ දෙතොලට සිනාවක් නැගුණාය.
“ඔයා මට තාමත් ආදරෙයි නේ”
“මං අහපු දේට උත්තර දෙන්න, මං කොහොමත් ඔයාට ආදරෙයි ඔයාට ඒක නොදැනෙන එක තමයි ගැටලුව”
“ආදරේ කියන එක හිත අස්සේ හංගගෙන ඉඳලා වැඩක් නෑ, ආදරේ කියන එක අනිත් කෙනාට දැනෙන්න අරින්න ඕනී. එතකොටයි ආදරේට පැවැත්මක් තියෙන්නේ”
“දැන් මගේ ආදරේ දැනෙන්නෙ නැති නිසාද වෙන උන්ට කතා කරන්නෙ?”
“මොනවද තෙදස් කියන්නේ ඔය අපේ ඔෆිස් එකට අලුතින් ආපු ළමයෙක්. මගේ ඇසිස්ටන් කෙනෙක්”
“ඇසිස්ටන්! ඔයා ද එතන ලොක්කා? “
“ලොක්කා නෙමේ මම ප්‍රධාන ලිපිකරු ඒ කියන්නේ සීසී වෙලා අවුරුද්දක් වෙනවා. ඔයාට ඒක අමතකද? මේ ළමයා අලුතින් පත්වීමක් ගත්ත ළමයෙක් සප්ලයි සෙක්ෂන් එකේ.මේ දවස් වල ටෙන්ඩර්, ඉතින් මොනවා හරි දැන ගන්න ඕනී වුණාම කොල්ලා මට කොල් කරනවා. එච්චරයි විස්තරේ මට නිදි මතයි”
පාරින්ද්‍යා කිසිඳු ගණනක් නොමැතිව පවසා අනෙක් ඇලයට හැරී නිදා ගත්තාය. එහෙත් තෙදස්ගේ දෑස් වලට නින්ද ආවේ පාන්දර යාමයේය. තෙදස් අවදි වන විට දියණියද පාසල් යවා සියලු වැඩ කටයුතු අහවර කොට ලා රෝස පැහැති ඔසරියකින් සැරසී ගත් පාරින්ද්‍යා කාමරයට පැමිණියාය.
“ඔයා යන්නේ නැද්ද තෙදස්?”
“ඇඟට අමාරුයි වගේ”
“ඒ මොකෝ කෝ බලන්න”
පාරින්ද්‍යා ඔහු අසලින් වාඩි වී නළලට දෑත තබා බැලුවාය. ඇගේ පිච්ච මල් සුවඳැති විලවුන් සුවඳ තෙදස්ගේ නාස්පුඩු ඔස්සේ ගමන් කරද්දි සැකය ද ඒ ඔස්සේ භයානක ලෙස විරිත්තුවේය.
“උණ නම් නැහැ, එන්නකෝ මම තේ හදන්න වතුර තියලා ආවේ”
“මොකද මෙච්චර සුවඳ?”
“හැමදාම මේ සුවඳ තමයි තිබ්බේ, ඔයාට දැනුනේ නැති වුණාට”
නාන කාමරයට වැදුණු තෙදස් උඩින් පල්ලෙන් මුහුණ සෝදාගෙන මුලුතැන් ගෙට යද්දී පාරින්ද්‍යා තේ පිළියෙල කරමින් සිටියාය. ඔසරිය හැඳ සිටින ඇය සුන්දරය. තවමත් පීරා නැති ඇගේ දිගු කැරළි කොන්ඩය නිදහසේ පිට දිගේ කඩා වැටී ඇත.
ඇගේ පිටු පසින් සිට ගත් තෙදස් ඇයගේ බඳ මත දෑත තැබුවාය. එක්වරම ගැස්සුනු පාරින්ද්‍යා,
“මොකද අනේ කරන්නේ…? ” යැයි පැවසුවාය.
“අද ඔපිස් යන්න එපා“
“පිස්සුද අනේ? අද මීටින් එක්ක තියෙනව”
යැයි පැවසූ පාරින්ද්යා තේ කෝප්පය සහ කේක් පීරිසිය මේසය මත තැබුවාය.
තෙදස් ට ඇවසි වූයේ තව දුරටත් මේ ගැටලුව පිළිබඳව පාරින්ද්‍යා සමග කතා බහ කිරීමට ය. එහෙත් පාරින්ද්‍යා එය අනුමත නොකොට රැකියාවට යාම ඔහුව තවත් වියවුල් කර වූයේය . ඔහු ද රැකියාවට යාමට තීරණය කළේ නිවසේ තනිව සිටීම ඔහුගේ මනස තව දුරටත් අවුල් කරවන බැවින්ය.
නමුත් කාර්.යාලයේ වැඩ කිරීමට තරම් සන්සුන් සිතක් ඔහුට නොවීය. වෙනදාට කාලය අසුරු සැනින් ගෙවී ගියද එදින කාලය ද ගතව ගියේ අලසවය. ඔහු වෙනදාට වඩා වේල පහ නිවසට ගියේ ය. ඒ වන විටත් නිවසට පැමිණ සිටි පාරින්ද්‍යා ඩෙනිමක් සහ ටී ෂර්ටකින් සැරසී සාලයට පැමිණියාය.
“ආනේ ඔයා අද වේල පහ ඇවිත් මොකද?”
තෙදස් ගේ අත රැදී ලැප් ටොප් බෑගය ගනිමින් ම පාරින්ද්‍යා ඇසුවාය.
“ඇයි ආපූ එක නරක යිද?”
“නෑ හොඳ යි. දැන් ඔයාටත් මාත් එක්ක යන්න පුලුවන් ”
“කොහෙද? මට කොහෙවත් යනවා කියලා ඔයා කිව්වේ නෑනේ.”
“ඔයාලගෙ ගෙදර ගිහින් දුවව අරගෙන පාර්.ක් යන්න හිතුනා . හුඟ දවසකින් අපිට කෙල්ල ව කොහෙවත් එක්ක යන්න වුනෙත් නෑනේ . ඉන්න මම තේ එකක් හදාගෙන එන්නම්”
සෑම සිකුරාදාවකම හවස ඉලීෂාට ඉංග්‍රීසි පන්ති තිබුණ හෙයින් ඇයව තෙදස්ගේ පියා විසින් ඔවුන්ගේ නිවසට කැඳවාගෙන යයි. අත්තම්මා හා සීයා සමග සුරතල්වන්නට කැමති මිණිපිරිය නිවසට යන්නේ පසු දිනය. එදිනද සිකුරාදාවක් නිසාවෙන් එසේම සිදු විය. පාරින්ද්‍යා තෙදස් කැමතිම ආකාරයට වැඩි කහට කිරි තේ පිළියෙල කොට ඥාන කතා දෙකක් ද පිරීසියේ තබාගෙන සාලයට පැමිණියාය.
“ඔයා ආස කෑමක් තියෙනවා. මේ ඥාන කතා මාර රසයි”
ඇය මේසය මතින් බන්දේසිය තබා පැවසුවා ය.
“මෙහෙ එන්න පොඩ්ඩක්”
“ඔයාට ගොඩක් මහන්සි පාටයි, අසනීප ගතිය අඩු නැද්ද? උදේම මීටින් එක නිසා ඔයාට කතා කරන්නත් බැරි වුණා. දවල් දුවව අරගෙන තාත්තා කෝල් කරපු වෙලේ කිව්වා ඔයා ඔෆිස් ගියා කියලා. ඔයා ඉතින් ඔෆිස් ගියාම මම කතා කළාම කරදරයක් කියන නිසා මම ගත්තේ නැහැ”
“ඔව් ඉතින් මං ගැන හොයනවට වඩා කරන්න වැඩ තියෙනවනේ”
“ඇත්තට ඔව්නේ”
එවර පාරින්දයා ඉදිරියට ගොස් තෙදස් ගේ ගෙල වටා දෑත් යවමින් ඔහුගේ දෑස් තුලට එබුණාය. තෙදස් ගේ සියොළගෙහිම ඇවිලෙමින් තිබුණේ පාරින්ද්‍යා පිළිබඳව සැකයයි. එහෙත් පාරින්ද්‍යාට ඇවසි වූයේ තම සැමියාගේ ආදරයයි. තෙදස් ඇයව සැටිය තල්ලු කර ඇය ඉදිරියේ දණ ගසා ගත්තේ ය.
“මට ඇත්ත කියන්න විශ්වගෙයි ඔයාගෙයි සම්බන්ධ ය මොකද්ද?”
“මම ඔයාට ඊයේ කියපු විස්තරය තමයි අදත් කියන්න තියෙන්නේ. ඊට අමතරව විශ්ව කියන්නේ මගේ යාලුවා අමන්දගේ නෑ කෙනෙක්. ඇත්තට විශ්ව හොඳ යාලුවෙක්.ඔයා කොහොමද තෙදස් මාව සැක කරන්නේ ?” පාරින්ද්‍යා ඇසුවේ කළකිරීමෙන් යුතුවය.
“ඔයා හුගක් වෙනස් වෙලා,ඔයා මාරම සතුටින් ඉන්නේ, මගෙත් එක්ක කතා කරන්නෙත් අඩුවෙන්, හරියට බෝඩිං කාරයෝ වගේ අඩුම තරමේ අපි අවසානෙට සෙක්ස් කරපු දවසක්වත් මතකද ඔයාට? ”
“ඔව් මම සතුටින් ඉන්න පුලුවන් තරම් උත්සාහ කරනවා. ඒක වරදක්ද තෙදස්. කාලයක් මං ඔයා මාව සතුටු කරන කල් බලා හිටියා. අපේ නොගැලපෙන අදහස් එක්ක කවදාවත් මම සතුටින් හිටියේ නෑ. ඒත් මං වෙනස් වුණා මට සතුටු හිතෙන දේවල් කරලා මම මාවම සතුටින් තියා ගත්තා. ඔයත් එක්ක කතා කරන එක අඩු කළා. මොකද ඔයා එක්ක කතා කරන හැම වතාවකම ඔයා මගේ හිත රිද්දනවා, නැත්නම් රණ්ඩුවකින් අපේ කතාව කෙළවර වෙන්නේ, සෙක්ස් කරන්නේ කොහොමද තෙදස් හැගීම් නැතිව, මම හැමදාම වැඩ කරලා ඇදට එනකොට ඔයා නිදි , යාන්තම් මට ඇහැපියවීගෙන එද්දි ඔයා අතපත ගෑවට වැඩක් නෑ. ගෑනුන්ට වැඩියෙන්ම ඕනී ආදරේ, මම ආපු වෙලේ ඉඳලා වැඩ”
“ඒක නිසා තමයි මම රස්සාවෙන් අස්වෙන්න කියන්නේ”
“ඒක නෙමේ විසඳුම, අඩුම තරමේ මගේ ළඟට වෙලා මට උදව් කරන්න, මම උයන කල් ඉන්න, පොඩ්ඩක් ආදරේ කරන්න ඔයාට පුලුවන්. පවුල් ජීවිතේ කියන්නේ දෙන්නෙක් අතර ඇති වන ගිවිසුමක්. ඒකට තියෙන්නේ ආදරය කියන කොන්දේසිය විතරයි. ගෑණු හැමදාම හොයන්නේ ආදරේ, රැකවරණය, අවධානය ඒ දේවල් නොලැබෙන කොට අපි ඉල්ලනවා. ඒ ඉල්ලලත් නොලැබෙන කොට ගෑණු අතඅරිනවා.”
“ආදරේ හොයාගෙනද විශ්ව යට ලං වුණේ?”
“බොරු චෝදනා කරන්න එපා තෙදස්, මගේ අතින් ඔයාට වෙන්න ඕනී යුතුකම් මම කරනවා, ගැහැණුන්ට සෙක්ස් කියන දේ පිරිමින් ට වගේ ඕන ඕන වෙලාවක ඇතිවෙන්නේ නෑ. ආදරෙත් එක්ක ඒ ගණුදෙනු ව සිද්ධ වෙන්න ඕනී. ඔයා හැමදාම කළේ වැඩකළේ ආත්මාර්ථකාමී විදිහට. අඩු තරමේ ඉලීෂා හම්බ වෙන් ඉන්නකොට එක දවසක් මාත් එක්ක ක්ලිනික් ආවද නෑ, මාස නමයක් මම බඩගෙඩියත් උස්සන් තනියම යද්දි දැනෙන අසරණකම දන්නේ මං විතරයි. අනිත් ගෑණු සේරම මහත්තයත් එක්ක යනකොට මම තනියම යනවා. ඔයාට මාත් එක්ක එන්න තරම් වෙලාවක් නැහැ කිව්වා. දරුවා ලැබෙන්න ආපු දවසෙ ඉඳලම ඔයා මාව තනි කළා.මම ඔයත් එක්ක රණ්ඩු වුණා මාව තනි කරන්න එපා කියලා. ඔයා කිව්වේ ඔෆිස් එකේ වැඩ වැඩ වැඩ කියලා. දරුවා ලැබිලා මාස තුනක් යනතුරු රෑ නින්දක් නැතිව දරුවා බලා ගනිද්දි හිතට දැනුනේ තනිකමක්. ඒ එක දවසකවත් ඔයා මට උදව්වට ආවේ නැහැ.”
“ඔයා මහ දුෂ්ඨ ගෑනියෙක් ඕවා හිතේ තියාගෙන කැකෑරි කැකෑරී ඉන්න තරම්”
“මං දන්නේ නැහැ තෙදස් හැම දේම වුණේ නොහිතපු විදිහට. මං හිතාගෙන හිටපු සුන්දර ජීවිතේ නෙමේ මට ලැබුණේ. තලන්න තලන්න යකඩ මුවහත් වෙනවා වගේ ඔයා රිද්දන්න රිද්දන්න මගෙන් ඈත් වෙන්න වෙන්න මමත් මුවහත් වුණා. ඉතින් මම මට ලැබුණු ජීවිතේට හුරුවෙලා ජීවිතේ ගෙවනවා”
“ඒ කියන්නේ මං නැතත් ඔයාට ජීවත් වෙන්න පුලුවන් ”
“ඔව්, ඇත්තටම ඔව් , කාලයක් මට ඔයාගෙන් තොර ලෝකයක් ගැන හිතන්න බැරි වුණා. ඒත් දැන් මම ඕනම දෙයක් දරාගන්න පුලුවන් ගෑනියෙක්”
“එහෙනම් විශ්වයත් එක්ක තමුසෙගෙ සම්බන්ධයක් තියෙනවානේ. ඒකනේ ඌ මැසේජ් එවන්නේ” එවර පාරින්ද්‍යාගේ මුහුණ වෙනස් වූ බව තෙදස් දුටුවේය.
“ඔයා ඕන එකක් හිතාගන්න, මගෙ හිතට එකඟව මම වරදක් කරලා නැහැ, අනික මම කාත් එක්ක කතා කළත් ඔයාට මොකද?”
“මට මොකද කියන්නේ යකෝ උඹ මගේ කසාද ගෑනී”
“කඩදාසියක ලියවුණ සම්බන්ධයකින් වැඩක් තියෙනවද? මෙච්චර කල් හරි අපි එකට ඉන්න හේතුව ඉලීෂා”
පාරින්ද්‍යා හුන්තැනින් නැගිට ඉදිරියට අඩිය තබනවාත් සමඟම ඇගේ කෙස් කළඹෙන් අල්ලා ගත්තා තෙදස් වියරැවෙන් කෑ ගැසුවේය.
“ඔව් තෝත් තොගෙ අම්මා වගේම නැතැයි, තෝ වගේ දඩාවතේ ගිය එකියක් මට එපා පල මේ ගෙදරින් එළියට”
“ආව් රිදෙනවා මාව අතාරින්..න.තෙදස්… ඔය කියන කතා වලට තමුසෙට පව් සිද්ධ වෙනවා ඕයී… මං මං”
“වහපිය කට දැන්ම පල මේ ගෙදරින්”
“එහෙම කොහොමද යන්නේ මේ මමත් හදපු ගෙදර”
“ඒක පස්සේ බලා ගමු දැන් මෙතනින් මක බෑවුණේ නැත්නම්”
ඇගේ කෙස්වැටියෙන් අල්ලාගෙන ඇය ගේට්ටුවෙන් තල්ලු කළ වේගයට පාරින්ද්‍යා විසි වී වැටුණාය. තෙදස් එසැනින් කාරය ගෙන පිටව යන්නට සැරසුනේ ඔහුගේ දෙමාපියන්ගේ නිවසටය. ඒ ඉලීෂාව පාරින්ද්යට ගනීවී යැයි ක්ෂණික සිතුවිල්ල නිසාවෙන්ය.
“ආ මේ මොකද තාත්තා ඇවිත් අම්මනෙ එනවා කිව්වෙ, අපිත් මේ පාරී එක්ක පාර්.ක් යන්න ලෑස්ති වුණේ ”
තෙදස්ගේ මව පැවසුවේ තෙදස් ගෙට ඇතුලු වනවාත් සමඟය.
“ දුවව එක්කන් යන්න ඕනී අම්මා”
“ඒ මොකද ? ”
“එක්කන් යන්න ඕනී නිසා, දුව ලෑස්ති වෙන්න” තෙදස් පැවසුවේ නුරුස්නා හඬින්ය.
“මෙයාට යන තරහා, එක්ක යනවා ඉතින්”
අම්මාද නෝක්කාඩුවෙන් ගස්සාගෙන ගොස් මිණිපිරීගේ අඩුම කුඩුම එකතු කොට දුන්නාය. අත්තම්මාට වැඳ හාද්දක් දුන් ඉලීෂා බෑගයත් ඔසවාගෙන සාලයට දිව ගියාය.
“තාත්ති මං ලෑස්තියි ”
අම්මාට නිස්කාරණේ සැරවීම පිළිබඳ තෙදස්ගේ සිත ඔහුට දොස් නැගවේය. තවමත් අම්මා කාමරයෙන් පිටතට නාවේ ඔහු සමඟ අමනාපයෙන් බව ඔහු දැන සිටියත් පාරින්ද්‍යා පැමිණියහොත් මෙතන ලොකු ගැටලුවක් ඇති වන නිසාවෙන් ඔහු යන්නට සැරසුණේය.
“අම්මා අපි යනවා”
“ඉතින් යනවා මට මොකද?” අම්මා කාමරයේ සිටම පිළිතුරු දුන්නාය.
“අත්තම්මා සීයා බබීට කියන්න ඉලී බබා ගියා කියලා…”
ඉලීෂාගේ හඬට අම්මා කාමරයෙන් පිටතට පැමිණ නැවත ඉලීෂාට හාද්දක් දී සමු දුන්නේ තෙදස් දෙස නොබලාමය.
දියණියත් රැගෙන සිය මිතුරු හේෂාන්ගේ නිවසට යාමට තෙදස් තීරණය කළාය. දියණිය කාරයෙන් බස්සවා හේෂාන්ගේ නිවසේ විදුලි සීනුව නාද කළ විට හේෂාන්ගේ බිරිඳ අපර්.ණා පැමිණ ගේට්ටුව විවර කළාය. හේෂාන්ගේ නිවසේ මිදුලේ ඇති බංකුව වෙතට ගොස් ඉඳ ගත් තෙදස් හේෂාන්ගේ දියණියන් දෙදෙනා සමඟ ඉලීෂා සතුටින් නිවස තුලට යන දෙස බලා උන්නේය.
“හුඟ කාලෙකින් අපිව මතක් වෙලා තියෙන්නේ කෝ පාරී?“
“වෙන ගමනක් යන ගමන් ආවේ අපර්.ණා“
“ඉන්න මම තේ එකක් හදාගෙන එන්නම්”
ඇය නොපෙනී ගිය පසු තෙදස් හිඳගෙන සිටි තැන සිට ඈත අහස දෙස නෙත් යොමු කළාය. ඔහු පාරින්ද්‍යාගේ ජංගම දුරකථනයට ඇමතුම් කිහිපයක් ලබා ගත්ත ද ඇය ව සම්බන්ධ කරගන්නට නොහැකි වූ තැන නිවසේ දුරකථනට ඇමතුමක් ලබා ගත්තේය.
“හෙලෝ” එහා පසින් පාරින්ද්‍යාගේ හඬය.
“මම ඉලීෂව ගත්තා අපේ ගෙදර යන්න එපා ”
“එහෙම කොහොමද ඇයි දුවව ගත්තේ?”
“ඒ මගේ දරුවා, තමුසේ නටන නාඩගමක් මගේ ගෙදරින් ගිහින් නටා ගන්නවා”
“ඔහේ ඔය හිතන ජාතියේ දෙයක් වුණේ නැහැ මනුස්සයෝ”
“මට ඒකෙන් වැඩක් නැහැ”
ඇමතුම විසන්දි කොට දැමූ ඔහු දෑස් පියා ගත්තේය. පාරින්ද්‍යා” පැවසු දේවල් නැවත නැවතත් ඔහුගේ දෙසවන් තුල දෝංකාර දෙන්නට විය. තම ඉක්මන් කෝපය නිසා සෑම දිනකම කතා බස් අහවර වන්නේ ගැටලුවකින්ය. එක අතකට ඇය නිවැරදිය. ඇය උදෑසන අවදි වී නිවසේ සියලූම කටයුතු අවසන් කරන තුරුත් කාර්යාලයෙන් නිවසට පැමිණ නැවත නිවසේ සියලු කටයුතු අවසන් වන තුරුත් තමන් ඇයට සහය වන්නේ නැත. ඇය වැඩ අවසන් කොට නින්දට එන විට බොහෝ විට තමන් නින්දේය. ඔවුන් දෙදෙනාට දොඩමලු වන්නටවත් කාලයක් වෙන් නොකර ගත්තා නොවේද? විවාහ වූ මුල් කාලයේ ඔවුන්ටම කියා කාලයක් වෙන්විය. පාරින්ද්‍යාගේ අතොරක් නැති කියවිල්ල අසා සිටියද කල් යත්ම නිවසට පැමිණි පසු ඔහුට ඇවසි වූයේ නිදහසේ හිඳින්නටය.
එහෙත් පාරින්ද්‍යා තමන් අසල දැවටෙමින් දවසේ වත ගොත පැවසුවාය. දියණියගේ ආගමනයත් සමග සියල්ල උඩු යටිකුරු විය. ඇය වෙනදා මෙන් ඔහු අසල දැවටෙන්නට පැමිණියේ නැත. ඇගේ දවසම ගෙවුනේ දියණිය සමගය. තමන් පිළිබඳ පාරින්ද්‍යාගේ අවධානය කෙමෙන් ගිලිහෙද්දි තෙදස්ට දැනුනේද තනිකමකි.
මෙතෙක් පැවති තෙදස්ගේ කෝපය සෙමෙන් පහව යන බවක් ඔහුට දැනෙන්ට විය. ඇත්තටම තමන් කළ දෙය කොතරම් අනුවණකාරී දැයි ඔහුට සිතෙන්නට විය. ප්‍රථම වතාවට පාරින්ද්‍යාට තමන් අත එසවූවා නොවේ ද? ගැටලුව නිසියාකාරව නිරාකරණය නොකරම ඇයට චෝදනා කර, පහර දීම පිළිබඳ ඔහුට ඇතිවූයේ කණගාටුවකි. අපි දෙන්නම වැරදියි, ගෙදර ගිහින් මේ ප්‍රශ්නෙ හොඳට විසඳ ගන්නවා අවසන ඔහු ඔහුටම පවසා ගත්තේය.
“ඉතින් තෙදස් තේ එක්ක බොමු”
හේෂාන්ගේ බිරිඳ අපර්.ණා තේ බන්දේසිය පිළිගන්වමින් පැවසුවාය.
හේෂාන් තෙදස්ගේ පාසල් සමයේ සිටම මිතුරෙකි. අපර්.ණා පාරින්ද්‍යාගේ යෙහෙළියකි. හේෂාන්ගේ හා අපර්.ණාගේ ප්‍රේමයට දර දිය ඇද්දේ තෙදස්ය. වසර ගණනාවක සිටම ඔවුන් අතර තිබුණේ නොබිඳෙන දැඩි මිත්‍රත්වයකි.
“මොකෝ වලියක්වත් ගියා ද? “
“ඔයාටත් පේන කියන්න පුලුවන්නේ, හේෂට කියලා පොඩියට සාස්තර කියන පොට් එකක් දාගමු”
“අනේ නිකන් ඉන්න තෙදස්, අන්න හේෂාන් මහත්තයත් ඇවිත්”
හෝන් හඬ ඇසී අපර්ණා ගේට්ටුව දෙසට දිව ගියාය. හේෂාන් සමඟ පැයක් පමණ කතා බහේ යෙදුන තෙදස් විසිරී තිබූ සිත යම්තාක් දුරට එක්තැන් කරගනිමින් නිවස බලා පිටත් විය. දොරගුලු නොදැමු දොර හැර තෙදස් දියණිය සමග නිවසට ඇතුල් වූවෝය. නිවස තද අඳුරේ ගිලී තිබුණි. පාරින්ද්යාත නිවසේ දක්නට නොලැබුණු හෙයින් ඇයට දුරකථන ඇමතුමක් ලබා ගත්තද ප්‍රතිචාරයක් නොවීය. ඔහුගේ සිත බියෙන් ඇලලී යන්නට විය. වහා කාමරයට ගිය ඔහු අල්මාරිය හැර බැලුවේය. ඇගේ ඇඳුම් පැළඳුම් ඒ ආකාරයෙන්ම තිබෙනු දැක ඔහු සැනසුම් සුසුමක් හෙලුවේය. එහෙත් ඇය ගියේ කොහේ ද? රාත්‍රිය උදා වන විට පාරින්ද්‍යාව අසමින් ඉලීෂා හඬන්නට විය. ඇයව කෙසේ වත් නළවා ගන්නට නොහැකිව තෙදස් අසරණ විය. එක දිගටම ඇසුණු ඉලීෂාගේ හැඬුම නිසා ඔවුන්ගේ ඉදිරිපස නිවසේ රශී හා ඇගේ සැමියා නිවසට පැමිණියෝය.අවසන ඉලීෂාගේ හැඬුම නතර කරගත් රශී ඉලීෂාව ඔවුන්ගේ නිවසට කැඳවාගෙන ගියෝ ය.
වර්.තමානයට…
එදින රාත්‍රියේ ඔවුන්ගේ කතා බහ ඉලීෂාට ඇසෙන්නට ඇත. එහෙත් තමන් සිතා සිටියේ කිසිවෙක් මේ බවක් නොදන්නා බවය. තෙදස්ට තමන් පිළබඳවම දැනුනේ ලැජ්ජාවකි. රිසිවරය නාද වන හඬින් තෙදස් ගේ දැහැන බිඳ වැටුණි. දිව ආ ඉලීෂා රිසිවරය අතට ගත්තාය.
“අනේ අම්මී මගේ සුදු බෝලේ ඔයා නැතිව මම ගොඩක් පාලුවෙන් ඉන්නේ, ඊයෙත් ගොඩක් ඇඬුවා. අනේ මගේ අම්මි පැටියෝ ඉක්මණට එන්නකෝ”
රිසිවරයෙන් එහා කොන සිට පාරින්ද්යාය පවසන්නේ මොනවාදැයි දැන ගැනීමට තෙදස්ට ඇවසි විය. එහෙත් දියණියගේ පිළිතුරු වලින් පමණක් ඇය පවසන දෑ තේරුම් ගැනීමට ඔහුට සිදු විය.
“ආ…. ඇත්ත ද ඔයා එන ගමන්, මගේ හොඳ අම්මි මං ඔයාට ගොඩාක් ගොඩාක් ආදරෙයි… ”
“හරි අම්මා ඔයා පරිස්සමින් එන්න මං ඔයා එනකල් බලං ඉන්නවවා”
රිසිවරය තැබූ ඉලීෂා ඇගේ කාමරයට දිව ගියා ය. ඇගේ අල්මාරියෙන් ඇඳුමක් ගෙන නාන කාමරයට යන්නට සැරසෙන විටම
“මේ මොකද ඉලීෂා”
“ඇයි මම වොෂ් දාන්න යන්නේ, අම්මා එනවනේ මම ලස්සනට ඉන්න ඕනී”
ඇය කඩි මුඩියේ නාන කාමරයට ගියේ කිරිල්ලියක ලෙසටය. තෙදස්ගේ මුවට සිනාවක් සමඟම සිතේ සියුම් ඉරියාවක්ද ගෑවී නොගෑවී ගියේය. අම්මට මමෙච්චර ආදරයක් ඔහු ඔහුට මුමුණා ගත්තේය.
ඉලීෂා නාන කාමරයෙන් එනතුරු තෙදස් සෝපාවේ හිඳ ගත්තේය. තම සිත තුල ද පාරින්ද්යා එන බව ඇසීමෙන් වර්ණවත් වූවා නොවෙදැයි ඔහුට සිතුනි. පාරින්ද්යා නැතිව ගෙවී ගිය රාත්රිසය කෙතරම් නම් දිගු වී ද ? ඔහුට ජීවිතේ මග හැරුණේ කොතැනදැයි අපැහැදිලිය. මම මොන වැරැද්ද කළත් ඔයා කොහොමද වෙන මිනිහෙක් ගැන හිතුවේ? ඔහු දිගින් දිගටම සිතුවේ එසේය. පිරිමින් එසේය. තමන් කොපමණ වැරදි කළ ද ඒවාට සාධාරණ හේතු ඇත. එහෙත් ගැහැණියක් වැරැද්දක් කිරීමට සිතීම පවා කටු ඉඹුලේ දඬුවම් ලැබිය යුතු වරදකැයි ඔවුන් සිතයි.
තෙදස්ට පාරින්ද්යාැ හමු වීමට පෙර පෙම්වතියන් කිහිප දෙනෙක් ඇසුරු කළ ද ඒ සෑම කෙනෙක්ටම පෙර කුලුඳුලේම ආදරයක් ඇති වූයේ දහම් පාසලේ සිටි පාරින්ද්යා් පිළිබඳව ය. සිතට තදින් ම කා වැදුණු සිතුවිලි කෙතරම් අකාමකා දමන්නට වෙර දැරුව ද කිසි දා ඒ සිතුවිලි වලින් මිදීමට ඔහුට අසීරූ විය. එහෙත් එදවස් වල පාරින්ද්යාද ඉඟියකින්වත් තමන් පිළිබඳ කිසිඳු විශේෂත්වයක් නොදැක් වූ නිසාවෙන් ඒ ආදරය අප්රටකාශිතවම සිත තුල වැළලී ගියද දෛවය විසින් නැවත් වතාවක් ඇයව තමන්ගේ ජීවිතයට මුණ ගැස්සුවේ පුදුම සහගත ලෙසටය. පාරින්ද්යාමගෙන් තමන් ලැබුවේ අසීමිත ආදරයකි. එසේම තමන් ද ඇයට පෙරලා අසීමාන්තිකව ආදරය කළේ දිනක් හෝ ඇයව නොදැක සිටින්නට බැරි ලෙසට නොවේදැයි තෙදැස්ට සිතුණේය.
එහෙත් විවාහයත් සමග විපර්යාස බොහෝමයක් සිදුවිය. දුරින තිබෙන වටිනා යමක් සතු කරගත් පසු එහි කිසිඳු වටිනාකමක් නැතිවන්නා සේ විවාහයෙන් පසු පුද්ගල සම්බන්ධතා ද දියාරු වී යයි. එහි වටිනාකම් රැක ගැනීමට නම් දෙදෙනාගේම අවංක උත්සහයක් තිබිය යුතුය.
දියණියගේ උපත ඒ ඈත් බව තවත් වැඩි කළාය. ඇය රැකියාව සමඟ, නිවසේ වැඩ සමඟ මෙන්ම දියණියගේ වැඩ සමඟ ද කාර්යය බහුල වන විට තමා පිළිබඳව ඇය දැක් වූ අවදානය නැතිවම ගියා ය. අඹු සැමි සබඳතා ද ගිලිහී ගියේ ඇගේ කාර්යය බහුල ජීවිතය නිසාවෙන්ය. බොහෝ විට ඇය සයනයට පැමිණියේ මධ්යයම රාත්රි යේය. බෙහෙවින් විඩාබරව ඇඳට පැමිණෙන ඇය ඇඳට ගොඩ වූයේම අඩනින්දෙය. තෙදස්ට ඒ අතීතය සිහිවද්දි ඇති වූයේ තමන් පිළිබඳවම කළකිරීමකි. ඇයගේ කටයුතු වලට තමන් උදව් වූවා නම් ඇය එතරම් වෙහෙසට පත් නොවෙන්නට ඉඩ තිබුණා නොවෙ ද? ඔහුගේ සිත ඔහුටම අවලාද නැගුවේය.
මිනිස් පරිනාමයේ දීම ස්වභාව ධර්මයේ නියමයන්ට අනුව ගැහැණියට වඩා පිරිමියකුට ලිංගිකව එක්වීම අත්යේවශ්යතම කාරණයක් බවට පත් කොට ඇත.
පිරිමියෙක් තම සහකාරියගෙන් ජීවිතෙය දුක සැප මෙන්ම ලිංගික ආශාවන් ද තෘප්තිමත් කර ගැනීමක් අපේක්ෂා කරයි. බොහෝ පිරිමින් සහකාරියගෙන් ජීවිතයේ අනෙක් කාරණා සාක්ෂාත් කරගත්ත ද ලිංගික වශයෙන් ඇය දක්වන උදාසීන බව නිසාවෙන් එම අවශ්යසතා වෙනත් මාර්ගයකින් හෝ සපුරා ගැනීමට දෙවරක් නොසිතයි. සමාජය සම්මතයට අනුව තමන්ගෙ බිරිඳගෙන් ඒ දේ බලාපොරොත්තු වුණත් බිරිඳට ඒ හැඟීම වටහා ගන්නට නොහැකි වන තාක් ඒ විවාහ ජීවිතය අසාර්ථකය. ලිංගික අධ්යාුපය පිළිබඳ නිසි දැනුමකින් තොර නිසාවෙන්ම පවුල් ආරවුල් වෙන් වීම් කොතෙක් නම් අප රට තුල සිදුවන්නේ ද?
තෙදස්ට සිදු වූයේ ද මේ ගැටලුවමය. නොසිතූ ලෙස විවාහයෙන් හා දරු ප්ර සූතියෙන් පසු පාරින්ද්යා ගේ දුරස් වීම ඔහුට ගෙන ආවේ තනිකම,පාලුවකි හා කාන්සිය පමණකි. කලකට පෙර කාර්යාල මිතුරියක වූ නිෂි මුහුණු පොතෙන් හමු වුයේද එම කාලයේදීමය. නිෂීගේ සැමියා හදිසි අනතුරකින් මිය ගොස් ඒ වන විට වසර දෙකක් ගත වී තිබුණි. තනිවම සිටි ඇය සමඟ තෙදස් සමීප සම්බන්ධයක් ගොඩ නගාගත්තේ බොහොමත් ඉක්මණින්ය. ගින්දර හා පුළුන් ලං වූ විට සිදු වන විනාශය පිළිබඳ අමුතුවෙන් කිව යුතු නැත. නිෂී නවාතැන් ගෙන සිටියේ බත්තර මුල්ලේ කුඩා ඇනෙක්සියකය. ඇගේ නවාතැනේදී හමු වූ සෑම විටම ඇය තමන්ව වෙනම ලෝකයකට ගෙන යන්නට සමත් වූවා නොවේද ? පාරින්ද්යාුගෙන් නොලද ආශ්වාදයක් නිෂිගෙන් ලැබෙන විට ඔහු තව තවත් නිෂිගේ සමාගම පැතුවේය. එහෙත් ඒ ජීවිතය පුරාම ඇය හා දුක සැප බෙදා ගැනීමට නොව හුදෙක් ලිංගික ආශ්වාදයක් සඳහාම පමණක් බව ඔහු ද දැන සිටියා ය.
“ඒක නෙමේ තෙදා දැන් පාරී දැන ගත්තොත් එහෙම ඔයා මාත් එක්ක කියලා හෙන අවුලක් වෙයිනේ ”
“ම් අවුලක් නෙමේ විනාසයක් වෙන්නේ ”
“ඉතින් පාරිව ඩිවෝස් කරලා ඔයා මගේ ළඟට එන්නකෝ ” ඇය යටැසින් බලා පැවසුවාය.
“ඔයාට පිස්සු ද නිෂී ඒ මගේ දරුවගේ අම්මා ”
“ඉතින් මොකෝ ? ”
“ඔයාව මැරි කරන්න කියල ද කියන්නේ? ”
“අපෝ නෑ, බය වුණා නේද? මම විහිලුවට එහෙම ඇහුව්වේ. ”
“මට ඔයාව ඕන ”
“ඔහෝ… ගැණීත් ඕනී ආතල් එකට හොර ගෑනිත් ඕනී. ”
නිෂී තෙදස්ගෙන් මෑත්ව විසිරී තිබුණු ඇගේ කඩා හැලෙන කෙටි කොණ්ඩය මුදුනට කොට බඳමින් කොක් හඬලමින් සිනාසෙමින් කීවාය. එහෙත් ඒ ඇස් වල කුමක්දෝ වේදනාවක් ලියැවී තිබුණද ඒ අවස්ථාව මගහැර තෙදස් නිහඬවම ඇය දෙස බලා සිටියේය.
“මොකෝ කන්න වගේ බලන්නේ ? මට වෙලාවකට මේ දකින්නේ හීනයක්ද කියලත් හිතෙනවා. ප්රසගීතුයි මායී පුදුම සක්කස් ලයිෆ් එකක් ගත කළේ. කොහෙවත් ඉන්න දෙන්නෙක් එක වහලක් යටට ආවම එතන ගැලපෙන අය නෙමේ ඉන්නේ. කවදාවත් ගැලපෙන කෙනෙක් හම්බ වෙන්නෙත් නෑ. කරන්න වෙන්නේ ගලපගෙන ජීවත් වෙන එකයි. එහෙම නොකර හිටියම තමයි ඔයා වගේ ගෙදර ගෑනීට ආදරේ නැහැ ඒත් එයා ඕනේ කිය කිය වෙන ගෑණු එක්ක හුරතල් වෙන්නේ. ඇත්තට ඔයාට බැරි ද පාරීට පැහැදිලි කරලා දෙන්න මිනිහෙක්ට සෙක්ස් ලයිෆ් එකක් ඕනිමයි කියලා. ඔය කෙහෙල්මල් කසාදේ රැකෙන්න නම් මිනිහව හොඳට ඇඳේ දී සනසන්න ඕනී කියලා. එහෙම වුණා නම් ඔයාට හොරෙන් හොරෙන් මං ගාවට හරි වෙන ගෑනියෙක් ළඟට හරි යන්න ඕනී වෙන්නේ නැහැනේ.”
“මම වෙන ගෑණු ළඟට ගිහින් නෑ. එහෙම නෙමේ නිෂී, ඔයාට තේරෙනවනේ එයා අම්මා කෙනෙක්. අපි මේ ගෙවන ජීවිතේ නිදහස් නැද්ද? අපිට ඕනී වෙලාවට හම්බ වෙනවනේ”
“ඒත් පාරී මමත් දන්න නිසා මට අවුල්. අනික ඔයාගෙයි මගේ බොන්ඩ් එකත් සෙක්ස් නිසාම නේද මේ රැඳිලා තියෙන්නේ. ප්රහගීත්ගෙන් පස්සේ මම ලංවුණා නම් ලංවුනේ ඔයාට විතරයි. හැබැයි අපේ රටේ මිනිස්සු නම් ඩිවෝස් වෙච්ච ගෑනියෙක් දිහා බලන්නේ ගණිකාවක් දිහා බලනවා වගේ. පිරිමි හිතන් ඉන්නේ ඩිවෝස් වෙච්ච ගෑනියෙක් ඕන එකෙක් එක්ක යන්න එනවා කියලා. ඔයයි මමයි එන්ජෝයි කරන එක හරි. ඒත් කිසිම ගෑණියෙක් කැමති නෑ තමන්ගේ මිනිහව බෙදා ගන්න. සීරියස් මම ඔයාට ලව් කළේ ඔෆිස් කාලේ දී. ඒත් එතකොට ඔයා පාරීට ලව්. ඔයා මං ළඟට ආවම මම පිළිගත්තා තමයි. බට් මට ඔයා එක්ක ෆැමිලි ලයිෆ් එකක් ගැන හිතුනේ නෑ. මම හිටියෙත් මෙන්ටලි හොඳටම වැටිලා. ඒ වගේ වෙලාවකට හිතට සමීප කෙනෙක් හම්බ වුණාම පුදුම සහනයක් දැනෙන්නේ. දන්නෙම නැතිව අපි ගොඩක් දුර ගියා.”
තෙදස්ගේ ගෙල වටා දෑත් යවා ඔහුගේ දෑස් දෙස සෘජුවම බලාගෙන පැවසූ ඇය ඔහුව මුදා හැර ජනේලය අසල සිට ඈත බැලුවාය. තෙදස් පිටු පසින් ගොස් ඇයගේ බඳවටා දෑත් යවා ඇයව ළංකරගත්තේය.
“තෙදා ආයේ මෙහේ එන්න එපා”
“ඇයි ?”
“ගිය අවුරුද්දේ නිව්සීලන්ඩ් වල ලොකු අක්කිලගේ ගෙදර ගිය වෙලේ එයාලගේ යාලුවෙක් හම්බ වුණා, නම මාක්, මේ පාර ගිය වෙලෙත් එයාව හම්බ වෙලා ගොඩක් කතා කළා. ඇත්තටම මාක් වගේ මනුස්සයෙක් මම කවදාවත් දැකලා නෑ. ඒ ගතිගුණ වලට මම කැමතියි. එයත් ඩිවෝස් වුණ කෙනෙක්. අපි අපි ගැනම කතා කළා. මං ලංකාවට ආවට පස්සේත් අපි කතා කළා. එයා කැමතියි මාව මැරි කරන්න.”
“ඉතින් ඔයා කැමතියි කිව්ව ද?”
හිතේ ක්ෂණිකව මතුව ආ ඉරිසියා සහගත සිතුවිල්ල මැඩගෙන තෙදස් ඇසුවේය.
“නෑ, ඒත් මම කැමතියි. හැම ගෑණියෙක්ම පිරිමියෙක්ගේ ආරක්ෂාව හොයනවා, හොඳ ෆැමිලි ලයිෆ් එකක් හොයනවා. මාත් එහෙමයි. ඔයා කරන්නේ වැරැද්දක් තෙදා. අපි බොරු කරනවා පාරීට. දැන්වත් ඔයා හැදෙන්න. මම නෙක්ස්ට් මන්ත් නිව්සීලන්ඩ් යනවා ”
එදා නිෂී තමන්ව ප්රආතික්ෂේප කර රට හැර නොයන්නට මේ වන විට කුමක් සිදු වන්නට තිබුණා ද? තෙදස් නිෂීගෙන් සතුටක් ලබා ගත්තද පාරින්ද්යාගෙන් වෙන් වන්නට සිහිනයකින්වත් නොසිතුවේය. ඒ දින වල තමන් බෙහෙවින් වෙනස් පුද්ගලයෙක් විය. පාරින්ද්යා දකින වාරයක් පාසා වරදකාරී හැඟීමින් ඔහු මිරිකී ගිය ද ඔහුට ඇය පිළිබඳ ඇති වූයේ නොරිස්සුමකි. ඇය ඔහු වෙනුවෙන් සිදු කරන සෑම දෙයකම අඩු පාඩු සොයමින් ඇයට නිස්කාරණේ බැණ වැදුනේය. තමන් දෙසට ඇඟිලි හතරම හැරී තියෙද්දිත් නිශ්චිත නොවන කාරණාවක් වෙනුවෙන් පාරින්ද්යසට ඇඟිල්ල දික් කිරීම කෙතරම් නම් නිවට ක්රිියාවක්දැයි තෙදස්ටම සිතුණේය.
ජීවිතේ ආකාසයක් වාගේමය. තත්පරයෙන් තත්පරය වෙනස් වේ. ඒ වෙනසට ශක්තිමත්ව මුහුණ දෙන්නට නොහැකි වූ තැන වැහිවලාවක් වී කඩා වැටෙන්නට සිදුවේ. පාරින්ද්‍යාට වැහිවලාවක් වන්නට ඇවසි වූයේ නැත.
“නංගී මේක පොඩ්ඩිට දෙන්න. ඔයා කුකුළත් අතින් අරන් යන නිසා මොනවත් හදලා දෙන්නවත් වෙලාවක් නැහැ”
“ඒකට කමක් නෑ අක්කා. මං දෝනිත් එක්කම එන්නම් කෝ.”
“පුංචෝ මං ඔයාව ගෙදරට ම දාන්නම්.”
“එපා සුදු පුතා ඔයා මාව හයිවේ බස් එකට දාන්න. එතන ඉඳන් දෙල්කඳට පික් මී එකක් දාගෙන යන්නම්.”
“කොහෙද ගෙදරටම ගිහින් ඇරලවන්න හැදුවට ඕනෙ නැහැ කියනවනේ. මෙයා තරම් බකපණ්ඩිතයෙක් තවත් නැහැ” විමංසා පැවසුවේ බොරු තරහක් මවා ගනිමින්ය.
“හරි අනේ ඉක්මණින් යන්න පුලුවන්නේ සුදු අක්කේ. මං දන්නවා ඔයා මට ආදරේ තරම”
“මේ අහනවා පිස්සී, තනිකඩ කාලේ වගේ නෙමෙයි දැන් තීරණ ගනිද්දි එකම කාරණය දහදොළොස් වතාවක් හිතන්න ඕනී. මොකද අපේ ජීවිත වල හෙවනේ තියෙන පුංචි පැළ වල අනාගතය තීරණය වෙන්නේ අපේ රැකවණය යට”
“ඉවසල ඉවසලා බැරි තැන”
“ඒත් ඉවසන්න ඕනී”
අනේ මන්දා තුවාලේ තියෙන මනුස්සයනේ වේදනාව දන්නේ. වටේ ඉන්න අයට ඉතින් මොනවා කියන්න බැරිද? පාරින්ද්‍යා නිහඬවම සිතමින් තම අක්කාණ්ඩියව වැළඳ ගත්තාය.
බසයට ගොඩවන විටත් හීන් කුඩු පොද වැස්සක් ඇද හැලෙමින් තිබුණි. ඉදිරි පස අසුනේම ජනේලය ළඟින් ඉඳ ගත් පාරින්ද්‍යා වැහිබරව ඇති අහසට නෙත් අයා සිටියා. වැස්ස…. අහස… වැස්ස…අහස…අහස… වැස්ස ජීවිතේටම බද්ධ වූ ආකාසය.
පාරින්ද්‍යාගේ ජංගම දුරකථය නාදවන්නට පටන ගත්තේ සීතලව තිබූ ඇගේ සිත තවත් සීතල කරමින්ය.
“හෙලෝ විශ්ව”
“පාරින්ද්යාන මම විශ්ව”
“ඔව් ඉතින් මේ නම්බර් එක සේව් කරලනෙ තියෙන්නේ. කියන්න විශ්ව”
“නැහැ මම මේ නිකං ගත්තේ”
විශ්ව නිසා තමන්ගේ පවුල් සංස්ථාව ගිනිගෙන දැවෙන බව ඔහු නොදනියි.. ඇත්තටම මේ යකාට පිස්සු ද පාරින්ද්‍යාට සිතුනාය. චංචල වූ සිතින් සිටි පාරින්ද්යා ට එවර ඇවසි වූයේ නිහඬව සිටින්නටය.
“මුකුත් ප්‍රශනයක් නැහැ නේද? ඔයා හොඳින් නේද?”
“ඔව් හොඳින්, ඇයි ඒත් විශ්ව එහෙම අහන්නේ?”
“නැහැ මට නිකමට හිතුනා, ඊයේ හවස ඉඳන් ගත්තට ඔයා ආන්සර් කළේ නැහැනේ”
“අනේ මන්දා විශ්ව ප්‍රශ්න වල කෙළවරක් නැහැ, ඒත් දැන් මට ඔයත් එක්ක කතා කරන්න බැහැ”
“ඒකට කමක් නෑ, ඕනී වුණොත් මට කතා කරන්න. පරිස්සමින් යන්න. බායී”
පාරින්ද්‍යා කිසිවක් නොපවසා දුරකථනය විසන්දි කළාය.
උදෑසන පෑයූ ඉර බසය හා සම සමව ගස් කොළන් පසු කරමින් වේගයෙන් තමන් සමඟම ඉදිරියට ඇදෙන්නාක් සේය. සිත යකාගේ කම්මලටත් වඩා හපන් යැයි ඇයට සිතුනේය. එකවරම මේ සියලු දෑ අතහැර කවුරුත්ම නොදන්නා ඉසව්වකට පැන යන්න ඕනෑ යැයි ඇයට සිතුනාය. ඒ සමඟම ඉලීෂාගේ තරු ඇස් මැවෙන්නට විය.
විශ්ව කඩවසම් තරුණයෙක්ය. ඔහු කතාවට අති දක්ෂයෙකි. ඔහු කාර්.යාලයට පැමිණි දවසේ සිට සෑම අංශකම අය සමඟ සුහදව කටයුතු කළේය. කෙල්ලන් ඔහුට රහසින් පෙම් කරන බවත් පාරින්ද්‍යා දැන සිටියේ රන්දීගෙන්ය.
දෙදෙනාම එකම බසයේ ගමන් කරන නිසා කාර්.යාලය නිමවී පාරින්ද්‍යා පිටත්වන්නේ රන්දිතා සමඟය. කෙලිළොල් තරුණියක වූ රන්දිතා ද විවාහයට සූදානමින් සිටියාය.
“පාරින්ද්‍යා අර අලුත් කොල්ලට කෙල්ලො වහ වැටිලා, පොර කසාද බැඳලද? “
“ආ ඒ පාර රන්දිටත් හිත ගිහින් වගේ විශ්වට”
“අනේ නැහැ මට මගේ මනුකගෙන් තොර ලෝකයක් හිතා ගන්නටවත් බෑ ඈ… ඒ වුණාට ඉතින් වැඩක් තියෙන එකෙකුට හෙල්ප් එකක් දුන්නට වරදක් නැහැනේ. ලබන ආත්මෙත් වේලි වේලී ඉන්නෙ නැතිව ඉක්මණින්ම කොල්ලෙක් ලැබෙන්න මේ පින් අනුමෝදන් වෙයිනේ” රන්දිතා කිව්වේ දෑත් එකට එකතු කොට වන්දනා කරමින්මයි.
“කොල්ලා නුවර, අම්මයි මල්ලියි ඉන්නේ අක්කා බැඳලා ඔස්ට්‍රේලියාවේ, තාම තනිකඩයි. මම දන්නෙ ඔච්චරයි ඉතිරි හරිය විශ්වගෙන්ම අහගන්න”
“අර එකවුන්ට්ස් සෙක්ෂන් එකේ ඉරෝමීට නම් කොල්ලව බොක්කටම වැදිලා. හිතින් විතරක් පෙම් කරන්නම් කිය කිය ඉන්නවා, කෙල්ලත් ඉටි රූපේ වගේ, හා මං අහන්නේ උං දෙන්නා මැචින් නැද්ද? “
රන්දිතා එසේ පවසන විට පාරින්ද්‍යගේ සිත සියුම් ඉරිසියාවකින් පිරී යන්නට විය.
“මැචින් මැචින්… අනේ රන්දි පෙනුමෙන් නෙමෙයි අදහස් අතිනුයි මිනිස්සු ගැලපෙන්න ඕනී එහෙම නොවුනොත් ජීවිතේම අපායක් වෙනවා”
“ඔව් ඒකත් ඇත්ත. හැබැයි ඉතින් අදහස් ගැලපෙන ඈයොත් බොහොම හිඟයි. අදහස් ගලපගන්න පුලුවන් නම් අවුලක් නැහැ”
“ඔයා එහෙනම් රන්දී මගුල් සේවාව කියලා බෝඩ් කෑල්ලක් ගහ ගන්න. ඔයාලගේ ලොක්කත් බැඳලා නැති එකේ සෑහෙන්න කපුකම් ලැබෙයි”
“ඒකත් ඇත්ත තමයි, අපේ බොසාට හොයන්න වෙන්නේ ඉතින් අඹලා තමයි”
දෙදෙනා ම හිනැහෙමින් බස් නැවතුම් පළට පිය නැගුවෝය.
“මිස් මෙන්න ටිකට් එක”
කොන්දොස්තරගේ හඬින් ඇය සිතුවිලි දැහැනින් මිදුනාය. මුදල් ගෙවා පාරින්ද්‍යා ජංගම දුරකථනයෙන් නිවසේ දුරකථනයට ඇමතුමක් ගත්තා ය.ඉලීෂාගේ ඒ ප්‍රිතීමත් කටහඬ ඇයව මොහොතකට නිරුත්තර කළාය. තමන්ගේ පැමිණීම අපේක්ෂාවෙන් ඒ තරු ඇස් මගබලා ඉන්නවා ඇත. තමන්ගේ ජීවිතය තෙදස් හා බැඳ දැමූ එකම හේතු සාධකය ඇයයි. ඇය නොසිටින්නට මේ දීගය අතහැර ගොස් බොහෝ කල්ය.
පාරින්ද්‍යා සැපයුම් අංශයේ ප්‍රධාන ලිපිකාරිනිය වූ නිසා විශ්වට කටයුතු කිරීමට සිදු වූයේ පාරින්ද්‍යා සමගය. විහිලුවෙන් තහලුවෙන් දවස ගෙවන විශ්ව සැහැල්ලු චරිතයක් විය. බොහෝ විට දිවා ආහාරය ඔවුන් දෙදෙනා ගත්තේ එකටය. විශ්ව පාරින්ද්‍යා අතර වූයේ මිතු දමක්ය. සමාජයේ බොහෝ දෙනා සිතන්නේ ගැහැණු පිරිමි සම්බන්ධතා ලිංගිකත්වයෙන් කෙළවර වන සම්බන්ධතා පමණක්ම බවය. විශේෂයෙන් විවාහක ගැහැණියක හා පිරිමියකුගේ සම්බන්ධයක් දෙස සමාජය දකින්නේ වපැරසින්ය.
තමන්ගේ මුලු ජීවිතයම යැයි සිතා උන් තෙදස්ගේ වෙනස් වීමත් ඈත්වීමත් නිසා ජීවිතය නීරස වූ කාලෙක හිතට වදනකින් හෝ අස්වැසිල්ලක් ඇවසි මොහොතක විශ්ව තම ජීවිතයට ළං වූවා නොවෙදැයි පාරින්ද්‍යාට එකවරම සිතුනාය. ඉලීෂා ගේ සිනහවෙන් පමණක් විකසිත කරගත හැකි වූයේ හදවතේ එක් අර්.ධයක් පමණක්ය. තමන් පිළිබඳවම තමන්ට ඇති වී තිබුණු කළකිරීම එපා වීම හිස් බවින් ඇගේ හදවතේ අනෙක් අර්.ධය පීඩාවට පත්ව තිබුණි. තමන්ගේ පුද්ගලික ජීවිතය පිළිබඳ කිසිවෙක් හා මින් පෙර කතා නොකළ පාරින්ද්‍යා විශ්ව සමඟ යම් යම් දුක් පීඩාවන් පැවසුවේ මන්ද යැයි ඇය වේගයෙන් ඉදිරියට ඇඳී යන බසයේ කවුලුවෙන් හිරු දෙස බලාගෙනම සිතුවාය.
විවාහක ගැහැණියක් නිතරන්තරවම තම සැමියාගේ ආදරය,අවධානය, අගය කිරීම, රැකවරණය බලාපොරොත්තු වේ. එය අහිමි වන තැනක ඇයගේ මුලු ලෝකයම රික්තකයක්වේ. ආදරය,අවධානය, අගය කිරීම,රැකවරණය ලබා දෙන්නට යැයි පසු පස ගොස් ඉල්ලා සිටියද එයිනුත් පලක් නොමැති වන විට ඇය එතැනම නතර වේ. එතැනින් එහාට ඇය රත් වූ යකඩයකි. තලන්නට තලන්නට ඇය මුවහත් වනවා මිස මොට වන්නේ නැත. ලෝකය දිනූ බොහෝ ගැහැණුන් එසේය. දවසට එක් ආදර බැල්මක්, ආදරණීය හාද්දක්, පුංචි අගය කිරීමක් තුලින් සැමියෙකුට තම බිරිඳගේ මුලු හදවතම සුවපත් කරන්නට හැකිය. ඇගේ මුලු ලෝකයම සතුටින් පුබුදුවාලිය හැකිය. එහෙත් එය පිරිමින්ට නොතේරනේනේ මන්ද?
“අම්මා”
“මගේ දෝණී”
ඉලීෂා ඉදිරියට දිවගොස් පාරින්ද්‍යාට තුරුලු විය.
“ආයෙත් නම් මාව දාලා කොහෙවත් යන්න එපා, මං මීට පස්සේ අත්තම්ලගේ ගෙදරවත් යන්නෙ නැහැ”
“එහෙම යන්නෙ නැහැ මැණික ආයෙත්, ඒත් අත්තම්මා බලන්න නම් යන්නම වෙනවා. මෙන්න මේක ලොකු අම්මි දෙන්න කිව්වා”
“පාර්සලය අතට ගත් ඉලීෂා එය රැගෙන කුස්සියට දිව ගියා ය”
“දැන් තමුසෙට සතුටු ද? “
“තෙදස් කාමරයට ඇවිදගෙන යන පාරින්ද්‍යාට ඇසෙන්නට පැවසුවද ඇය නිහඬව කාමරයට පිවිසියා ය. හිත නොසන්සුන්ව වී ඇත. හිතේ එකම සැනසීම වුණු තම නිවසම ඇයට සිරගෙයක් මෙන් දැනෙන්නට විය. හෑන්ඩ් බෑගය ඇඳ මතට විසි කළ ඇය කවුලුවේ තිර පට හැර ජනෙල් හැර දැමුවාය. පිටු පසින් කිසිවෙක් සිටින බව දැනී ඇය වහා හැරී බැලුවාය. අනපේක්ෂිත ලෙස තෙදස් ඇයගේ බාහුවෙන් තදින් අල්වා ගත්තාය.
“තමුසෙ හිතන්න ඇති නේද අපිව දාලා යන්න”
වික්ෂිප්ත දෑස් වලින් ඔහු දෙස බලන සැනින් ඔහු ඇයව තුරුලු කරගත්තේය.
“ආයේ අපිව දාලා යන්න එපා”
“ඔයානේ මාව එළෙව්වේ, මට යන්න කිව්වේ”
“තරහා ගියාම කියන දේවල් වලට එහෙම කරන්න එපා”
නිදහසේ තිබුණු දෑත් වලින් පාරින්ද්‍යා තෙදස්ව තදින් අල්වා ගත්තාය. බොහෝ කලකින් නියඟයෙන් පීඩා වින්ද මහ පොළවකට වැසි වැටෙන විට හමන නැවුම් සුවඳ මෙන් ඔවුන් දෙදෙනාගේ හදවත් වලින් ප්‍රේමයේ නැවුම් සුවඳ හමා එන්නට විය.
“යේ ඒ අම්මියි තාත්තියි යාලු වෙලා…මාවත් ගන්නකෝ”
ඉලීෂා දිව ආවේ අත තිබූ සිසිල් බීම වීදුරුව කණ්නාඩි මේසය උඩ තබමින්ය.
“අනේ මගේ පැටියා බීමත් හදලා පාරින්ද්‍යා පැඩවසුවේ ඉලීෂාට හාද්දක් දෙමින්ය”
“ඔව් අම්මිට මහන්සි ඇති කියලා හිතුනා කේකුත් කැපුවා”
“හරි අපි එහෙනම් අපි මෙයාව අටුව පුටුව ගෙනියමුකො”
තෙදස් හා පාරින්ද්‍යගේ දෑත් මත හිඳ ගත් ඉලීෂාව මිදුලටම ගෙන යද්දි ඇයගේ සිනහ හඬිට රශී බැල්කනියට ආවාය.
ගෑනිගෙයි මිනිහගෙයි රණ්ඩු බත ඉදෙන කල් විතරයි නේ කියලා කියන්නේ කතාවටැයි සිතමින් ඇය නැවත නිවස තුලට පිවිසියා ය. රශීගේ සිතටද අමුතු සැහැල්ලු බවක් දැනුනාය. සැබෑ මිතුරියන්ගේ හදවත් එසේය. තම මිතුරියට අවැඩක් සිදු වන තැන් වල දී සැබැවින්ම දුකටත් ඇයගේ සතුට දැක හිනැහෙන්නටත් හැකිය.
රාත්‍රිය උදා වී තවත් විඩාබර දිනයක නිමාව සනිටුහන් කරන්නට විය. පෙරදින රාත්‍රියේ නින්දක් නොවූයෙන් රාත්‍රී ආහාරය ගත් සැනින්ම ඉලීෂා නින්දට ගියාය. ඇයට නින්ද යන තුරු පාරින්ද්‍යාට තුරුලුව උන්නාය. සුරඟනක් සේ කිසිඳු බරපලක් නොමැතිව නිදන තම දියණියගේ රෝස කම්මුල් පාරින්ද්‍යා අතොරක් නැතිව සිප ගත්තාය. පරිස්සමින් ඇයගෙන් මිදුනු පාරින්ද්‍යා මිදුලට ඇවිද ගියාය.
මෙළොව උපන් සෑම ගැහැණියක්ම උපන්දා සිට අවසන් හුස්ම හෙළන තෙක්ම අභියෝග රැසක් සමඟ ජීවිතය හා සටන් කරයි. ගැහැණිය පුරුෂාධිපත්‍යයට නිරායාසයෙන් යටත්වේ. සමතැන් ඉල්ලා ගැහැණුන් කෑ ගසන්නේ එනිසාවෙන්ය. එහෙත් ඇයට ලැබිය යුත්තේ නිසි තැනය. අන්ධකාර අකාසය පුරා එකදු තරුවක්වත් නොවීය. සිත පුරා ගුප්ත මූසල බවක් අරක් ගෙන ඇත. සිදු වූ සිදුවීම් තුලින් ජීවිතයේ බොහෝ දේවල් සිතන්නට ඉතිරි කොට ඇත.
විශ්ව පිළිබඳ තමන්ට තිබුණු හැඟීම විග්‍රහ කරන්නට ඇය උත්සහ කළාය. ගැහැණියකට ඇවසි බොහෝ දොඩමලු වන්නටය. එහෙත් බොහෝ ස්වාමිපුරුෂයන්ට එය කන්දොස් කිරියාවකි. එහෙත් පිරිමි යහලුවෙකු ඒ කන්දොස් කිරියාව මග හැර යන්නේ නැත. මිත්‍රත්වය යනු එයයි. විශ්ව දැන හඳුනා ගත් දින සිටම විශ්වාසවන්ත මිතුරකු විය. ඔහු තම මුහුණේ හැඟීම් වලින් දුක සතුට වටහා ගත්තේය. සිත රිදී ජීවිතය එපා වී අන්තයටම වැටුන අවස්ථා වල වැටෙන්නට නොදී වදන් වලින් තම සිත ශක්තිමත් කළේ ඔහුය. කිසිඳු දිනක අයුතු දේවල් තමන්ට පවසා නැත. ඉතින් ගැහැණියකට හොඳම මිතුරකු සිටිය නොහැකි ද?
“පාරී”
“හ්ම්”
“මොනවද හිතන්නේ?”
“හිතන්න දේවල් නෙවේද අපිට සිද්ධ වුණේ? මට තාමත් හිතා ගන්න බැහැ ඔයා කොහොමද මම දඩාවතේ ගියා කියලා හිතුවේ තෙදස්. ඔයාට කොහොමද පුලුවන් වුණේ මාව ඒ තරම් පහත් තත්වයට දාලා හිතන්න”
“පාරින්ද්‍යා ඇසුවේ හදවතේ උපන් අත්මානුකම්පාවත් සමඟමය”
“මම කේන්තියට කිව්වේ මොනවද කියලා මට මතක නැහැ, මට සමාවෙන්න” තෙදස් පාරින්ද්‍යාගේ දෑතක් අල්වා තම ලයෙහි තබා ගනිමින් පාරින්ද්‍යාගේ දෑස් මත දෑස් දල්වා පැවසුවේය.
“පිහි පාරකින් මිනිහෙක් ඇණලා මරනවටත් වඩා හපන් වචන වලින් දමලා ගහලා මිනිහෙක්ව තුවාල කරන එක. ජීවිත කාලෙටම ඒ තුවාල හොඳ වෙන්නෙ නැහැ”
“මම කිව්වනේ මට සමාවෙන්න. මං ඔයාට ආදරෙයි. පහුගිය කාලේ අපි අතර තිබුණු දුරස් වීම නිසා මට එක එක විකාර හිතුනා. මට දුවවත් ඔයාවත් නැතිව ඉන්න බැහැ. “
“අපි අතර වෙච්ච හැම දේකටම මම විතරද වැරදි, අපි කසාද බැඳලා එක වහලක් යටට යන්නේ තවත් ආදරෙන් ඉන්න. විශේෂයෙන් ගැණූ ලොකු ද පොඩි ද වයස ද කියලා නෑ, තමන්ගේ හස්බන්ඩ්ගේ ආදරේට හරිම පෙරේතයි. ඒත් යාලු වෙලා ඉන්න කාලෙට වඩා හාත්පසින්ම වෙනස් විවාහයක් ඇතුලේ ජීවත් වෙන්න ගත්තම.ඒත් ඒ වෙනස් වීම එක පාර දරාගන්න බෑ ගැණියෙක්ට. උන්ට යාලු වෙලා හිටිය කාලේ වගේම හුරතල් වෙන්න, තොදොල් වෙන්න පැලෙන්න ආදරේ කරන්න ඔනේ. ඉතින් මාත් එහෙමමයි. ඒත් අපි හිතන හීන ලෝකේ ඇත්ත කසාද ජීවිතේ නැහැ”
“මං ඔයාගේ ආයෙමත් සමාව ඉල්ලනවා.ඔයා කියන්නෙ ඇත්ත අපි අපෙන් හුඟක් ඈත් වුණා අදහස් ගැලපෙන කල් බලා හිටියා මිසක් අදහස් ගලපන්න උත්සහ කළේ නැති එකයි අපේ වැරැද්ද. හිතක් කැඩුනට පස්සෙ හදාගන්න එක ලේසි නැහැ. අපි ආයෙත් අලුතින් පටන් ගමු පරණ වැරදි හදාගෙන ඉස්සරහට යමු”
“ඔව් ඔයා කියන එකත් ඇත්ත අපිට ආයේ මුලට යන්න බැහැ. ඒත් ඉන්න තැනින් ආයෙමත් අලුතින් පටන් ගත්තොත් අවසානය වෙනස් කරන්න පුලුවන්ලුනේ”
යැයි පවසමින් පාරින්ද්‍යා තෙදස්ගෙ උරහිස මත හිස තබද්දි ඒ ශක්තිමත් දෑත් වලින් ඔහු ඇයව වෙලා ගත්තේය. ඒ රාත්‍රිය ජීවිතයේ පරණ අමිහිරි පිටු කඩා දමා නැවත ජීවිත තුනක් එකම පොතක එකට එක්ව ලියන්නට ඔවුන් දෙදෙනා ගිවිස ගත්හ.
හතරේ කනිසම නාද වන ඔරලෝසුවේ එලාමය හතරහාමාරට සකසා පාරින්ද්‍යා දෑස් පියා ගත්තාය. අඩහෝරාවක් අසුරු සැනින් ගෙවී එළාමය නැවත කෑ මොර දෙන්නට විය. වෙන කවරදාටත් වඩා හිතට අලස බවක් දැනුනද පාරින්ද්‍යා තවත් පුමාද වුවහොත්වී සියලු කටයුතු උඩු යටි කුරු වන බව දන්නා හෙයින් වහ වහා පිබිද මුහුණ සෝදා බුදු පහන දල්වා දවස ඇරඹුවාය.
කේතලය ලිප තබා සහල් ටික සෝදා රයිස් කුකරයට දැමූ ඇය ශීතකරණයෙන් එළවලු කූඩය ගත්තේ උයන්නට දෙයක් ගලපා ගන්නටය.
“ගුඩ් මෝර්.නිග්”
“ආ… මේ මොකද කුකුළත් අතින්ම අරන්” ඇය තෙදස් දෙස හැරී ඇසුවාය.
“උදව්වට තමයි කෝ පොල් ටික දෙන්න මං ගාලා දෙන්නම්”
“ඔයා යන්න අනේ මං කරගන්නම්”
“පණ්ඩිත නොවී ඔන්න ඔය පොලේ බිඳලා දෙන්න රානී”
“රානී!! “
“ඇයි නරකද ඒ නම රානී”
“නරකමත් නෑ” දෙදෙනාම සිනාසෙන්නට විය. පොල් ගා අවසන් කොට නිවස අස්පස් කොට අතු ගා මිදුල ද අතුගා තෙදස් මුලු තැන් ගෙට ගොඩ විය.
“තේ හැදුවද? “
“ඔව් ඉන්න ගේන්නම්”
“යමු දෙන්නම අඹ ගහ යට මේසෙට”
“මේ පින්නේ… “
“යමුකො ඉතින්”
හිරු සෙමෙන් සෙමෙන් එබී බලමින් ලෝකයට තවත් නැවුම් දිනයක් රැගෙන වඩිමින් සිටියේ ය. ස්වභාව ධර්.මය විසින් නව දිනයක් උදා කරවන්නේ චමත්කාරජනක ලෙසය. ආකාසයේ පාට පාට වලා කුළු අතරින් ලාහිරු රැස් කදම්බයන් විසුරුවමින් හිරු එබී බලයි. දසන්තයේ කුරුලු කූජනයන් ඇසෙයි. නෙක පාටින් හැඩරුවින් සුවඳින් මල් විකසිත වේ. හමා යන සීතල මද නල ගත සිත පුබුදුවාලයි. උදෑසන මේ අසිරිය වින්දේ විවාහ වූ අලුතය. තෙදස්ගේ සහය ලැබුණු බැවින් වැඩ කටයුතු බොහෝමයක් අවසන් ව තිබූ නිසා උණුසුම් තේ කෝප්පයේ රස වෙනදාටත් වඩා දැනෙන්නට විය. වෙනදාට නම් ඇල්මැරුණු තේ කෝප්පය වැඩ කරන අතර තුර තොල ගාන්නේ කඩිමුඩියේය. ජීවිතයට නැවුම් බවක් මුසු වී ඇත. වේදනාවෙන් ඉරි තැලී තිබූ සිත ආදරයේ වැස්සෙන් යළිඳු නැවුම් සුවඳකින් සුවඳවත් වී ඇත. ඉදිරියේ පාරින්ද්‍යාත් තෙදසුත් එක්ව උණු උණුවෙන්ම තේ කේප්පයක රස බලන ප්‍රබෝධමත් උදෑසනවල් ගෙවී යන්නට විය.
ගැහැණුන් මෙන්ම පිරිමින්ටද ආදරය අවධානය ඇවසිය. ගැහැණියක්ගේ රූමත් රුවක් ළඟ පිරිමින්ගේ ඇස් නැවතුනද ගැහැණියකගේ අපරිමිත ආදරයකට හා අවබෝධයක් අසල පිරිමින්ගේ ආත්මයම නවතා ගත හැකිය. විවාහයක් යනු ජීවිතයේ නව පරිච්ජේදයකි. බිරිඳ හා සැමියා එකට එක්ව එහි කතාංග රචනා නොකළහොත් නොගැලපෙන කතාවක් එහි ලියැවෙනු ඇත. ජීවිතය ආකාසය වාගේමය. තත්පරයෙන් තත්පරය ආකාසය වෙනස් වනු ඇත. ඒ වෙනස් වීම් දෙදෙනාම නිරීක්ෂණය නොකළහොත් අදහස් නොගැලපී කතාවද නොගැලපී යනු ඇත.
Leave feedback about this