ඇස යනු ශරිරයේ ඉතා කුඩා අංගයකි. එය එසේ වුවද එහි සැකැස්ම ඇදහිය නොහැකි තරමටම සංකීර්ණය. ඇසි පිය, ඇස් පිහාටු මෙන්ම කඳුළු ඇසට ඇතුළු වන කුණු, දූවිලි හා ආසාදන තත්ත්වවලින් ඇස ආරක්ෂා කරයි.
ළදරුවකු උපත ලැබ සුළු මොහොතකට පසු අවට පරිසරය තම දෙනෙතින් ස්පර්ශ කිරීමේ හැකියාව මේ අලුත් අමුත්තාට හිමිවේ. නමුත් ළදරුවන්ගේ ඇසි පිය පෘෂ්ඨිමත් බැවින් දෙනෙත් පහසුවෙන් හැර බලන්නට නොහැකිය. ඒ නිසා එකවරම සියල්ලක්ම තම දෘෂ්ඨියට ග්‍රහණය කර ගැනීමේ හැකියාව අඩුය. මාස දෙකක් තුනක් පමණ වන විට මෙම තත්ත්වයෙන් මිදීමේ හැකියාව ඇත. සාමාන්‍යයෙන් දරුවකුගේ ඇසෙහි හැඩය සම්පූර්ණයෙන්ම වර්ධනය වන්නට වසර තුනක් පමණ ගතවේ. ශරිරයේ පාලක මධ්‍යස්ථානය මොළයයි. ඒ අනුව ඇසත් මොළයත් අතර ස්නායු වර්ධනය දරුවකුගේ වයස අවුරුදු 10ක් පමණ වනතුරුම සිදුවේ.
අලුත උපන් දරුවකුගේ දෙනෙත් එනම් සුදු ඉංගිරියාව පෙදෙස රත්පැහැ ගැන්වී තිබීම දෙමාපියන් කලබලයට පත් වන අවස්ථාවකි. දරුවා උපත ලබන අවස්ථාවේදී ඇති වන පීඩනය හේතුවෙන් මෙවැනි තත්ත්වයක් ඇති විය හැකි අතරම එය දින කිහිපයකින් මඟහැරී යනු ඇත. එසේම අලුත උපන් දරුවන්ගේ දැකිය හැකි තවත් තත්ත්වයක් වන්නේ කඳුළු හා කබ ගැලීමයි. එය එතරම් බිය විය යුතු කාරණයක් නොවේ. ඇස් පිහාටු අග ඇති කඳුළු නාලිකාව මගින් ඇසෙහි කබ හා කඳුළු, නාසය ඔස්සේ පිට කිරීම සිදුවේ. දරුවන් උපදින විට මෙම නාලය සම්පූර්ණ වී නාසයට විවෘතව තිබෙන නමුත් දරුවන් සිය දෙනෙකුගෙන් පස් දෙනෙකුගේ පමණ මෙම නාලය විවෘත නොවී තිබිය හැකිය. මෙම තත්ත්වය වසරක් පමණ වන විට ඉබේම මඟහැරී යයි. මෙම කඳුළු නාලය ඉක්මණින් විවර කර ගැනීම සඳහා සම්බාහන ක්‍රමයක් භාවිත කරනු ලැබේ. ඇසි පිය ඉදිමී සුදු ඉංගිරියාව පෙදෙස රත්පැහැ ගැන්වී කබ හා කඳුළු ගලයි නම් මෙය අසාදන තත්ත්තවයක් විය හැකි බැවින් වෛද්‍යවරයකු වෙත යොමු කළ යුතුය.
ආලෝකයක් ඇසේ බබා වෙත යොමු කිරීමේදී සාමාන්‍යයෙන් ඇසේ බබා රත් පැහැයක් ගන්නා අතර එය සාමාන්‍ය තත්ත්වයකි. නමුත් එය සුදු පැහැයට පෙනෙයි නම් ළදරුවා වහාම වෛද්‍යවරයකු වෙත යොමු කළ යුතුය.
ළදරුවා සාමාන්‍යයෙන් ආලෝකයට සංවේදීය. අධික ආලෝක තත්ත්වයකදී ඔවුන් දෙනෙත් හකුලවා ගන්නේ එහෙයින්ය. වයස මාස දෙකක් තුනක් පමණ වන විට දරුවා එහා මෙහා යන දාව්‍ය දෙස දෙනෙත් එහා මෙහා කරමින් බලයි. වර්ණවත් සෙල්ලම් බඩු දරුවාගේ ඇස ගැටෙන පරිදි තැබීම වඩාත් සුදුසුය. නමුත් එවැනි ප්‍රතිචාරයක් නොදක්වන දරුවකු පිළිබඳ අවධානය යොමු කිරීම ඉතා වැදගත්ය. ඇතැම් විට සමහර දරුවන්ගේ එක් ඇසක් පමණක් පෙනීම දුර්වල විය හැකිය. එවැනි අවස්ථාවක එක ඇසක් රෙදි කඩකින් හෝ අතින් වසන්න, දරුවා එවිට හඬයි නම් ඇසෙහි බාධකය ඉවත් කිරීමට උත්සහ දරයි නම් අනෙක් ඇසටද එම පරික්ෂාවම සිදු කරන්න. දරුවා නිහඬ නම් ඇසෙහි බාධකය ඉවත් කිරීමට උත්සහ නොදරයි නම් එම ඇසෙහි පෙනීම සම්බන්ධ දෝෂයක් ඇති බවට පූර්ව නිගමනයකට එළැඹිය හැකිය.
ළදරුවන්ගේ ඇස්වල හැඩය, පෙනීම උපතින් පසුවද කෙමෙන් වර්ධනය වන බව ඔබ දන්නා කාරණයකි. දරුවාගේ යම් යම් අවස්ථාවල ඔබ වපරයක් දුටුවාද? එය සාමාන්‍ය තත්ත්වයකි. ළදරුවාට මාස හතරක් හයක් පමණ ගත වන විට වපර තත්ත්වය සම්පූර්ණයෙන්ම මඟ හැරී යයි. නමුත් මාස හයකට පසුවද වපර තත්ත්වය පවතී නම් “පින් වපරය” යැයි සලකා එම තත්ත්වය නොසලකා හැරීමට ඔබට කිසිසේත් ඉඩක් නොමැත. කිසිම විටක පිනට පහළ වූ වපරයක් තිබිය නොහැක. වපරය නිසාවෙන් දරුවාගේ පෙනීම දුර්වල විය හැකිය. අනෙක් අතට පෙනීමේ දුර්වලතාවයක් හේතු කොට ගෙන වපරය ඇති විය හැකිය. ඔබ කළයුත්තේ දරුවා සුදුසු අක්ෂි වෛද්‍යවරයකු වෙත යොමු කිරීමය.
දෙමාපියන්ගේ ජානමය බලපෑම මතද දරුවකුට පෙනීමේ දුර්වලතා මතු විය හැකිය. කුඩා වයසින් දෙමාපියන් අක්ෂි රෝගවලට ගොදුරු වූවා නම් සහ මවගේ හෝ පියාගේ ඇසෙහි ගැටලුව අනුව දරුවාටද මෙය බලපෑ හැකිය. ඕනෑම දරුවකුට වයස අවුරුදු තුනක් පමණ වන විට අක්ෂි පරික්ෂාවක් කිරීම වඩාත් සුදුසුය. මන්ද කුඩා කළ හඳුනාගන්නා පෙනීමේ දුර්වලතා බොහෝවිට සියයට සියයක්ම සුව කරගැනීමේ හැකියාව ඇති බැවින්ය.
දැනුවත් කිරීම

වෛද්‍ය අරුණ ප්‍රනාන්දු
අක්ෂි රෝග විශේෂඥ
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයීය රෝහල
Leave feedback about this