ඔක්තෝබර් 24, 2025
Happy Life Parent Pulse Article Featured Image
විශේෂී ලිපි

ජීවත්විමේ කලාව ඉගෙන ගන්න වටිනා කරුණු 10ක්

ගමක රටක ජිවත්වෙන විට එකිනෙකා අතර සුහදතාවය, සමගිය අවශ්‍යයි. අද බොහොම දෙනා අතර මෙම රටාව දකින්නට ලැබන්නේ නැහැ. සමහර අය මුලදි කිරි පැණි වගේ මිත්‍රත්වය පටන්ගෙන ටික දවසක් යන විට නයි පොලොංගු වගේ … තවත් පිරිසක් ඉන්නවා ගේට්ටුවෙන් එහාට කිසිම කෙනෙක් එක්ක සම්බන්ධයක් නැහැ. ඉතින් මේ පිලිවෙත් දෙකම අපිට අනුමත කරන්න බැහැ. පුද්ගලයෙකුට කිසිම දිනක තනිව ජිවත් වෙන්න බැහැ. සමාජ සම්බන්ධතාවයන් අවශ්‍යයි. මේ සමාජ සම්බන්ධතාවයන් මධ්‍යම ප්‍රතිපදාවෙන් පවත්වා ගැනීමත් අවශ්‍යයි. ඉතිං එහෙම නම් අසල්වැසියන් සමග හැමදාම සහජිවනය ගොඩ නගා ගන්නේ කොහොමද?

අද බොහෝ දෙනාගේ හිත් අමනාපකම් ගොඩ නැගෙන්නේ කේලම නිසයි. මිනිසුන් අතර පවතින සම්බන්ධතාවයන් ඇතැමුන්ට රුස්සන්නේ නැහැ. තවත් අයට ඒ විදිහේ අවශ්‍යතාවයකට නොවුනත් නිකරුනේ ඇති වෙන දොඩමලුබව නිසා නොදැනම කේලම් වලට ඔවුන් මැදිහත් වෙනවා.මේ නිසා වචනයක් පිට කිරිමට පෙරාතුව දෙවරක් සිතන්න.

බොරු කියන පුද්ගලයන්ට අපි කැමැති නැහැ. ඔවුන් සමාජයට පිලිලයක්.මේ නිසා බොරු කියන උදවිය සමග ඇසුරුකම් ගොඩ නගා ගන්න බොහොම දෙනා කැමැති නැහැ. ඉතිං ඔබත් බොරුවෙන් ජිවත්වෙන , බොරුවෙන් අනුන් මුලා කරන චරිතයක් නම් නොදැනම ඔබෙන් ඔබ ඇසුරේ සිටින උදවිය දුරස් වෙනු ඇති. ඇත්ත කියන්නයි- බිම ඉඳගන්නයි බිය විය යුතු නැත… කියන්නා සේ ඔබ සත්‍යවාදි පුද්ගලයෙක් නම් සමාජය තුළ ඔබ වටා විශාල පිරිසක් එක් වෙනු ඇත.

ගමක, කන්තෝරුවක ගෙවන ජිවිතය තුළ අනවශ්‍ය ලෙසින් වු කතාබහට අනෙක් අය රුචියක් නොදක්වනු ඇත. එය තවත් කෙනෙකුට වෙහෙසක් මෙන්ම කාලය අපතේ යෑමක් වෙනු ඇත. මේ නිසා ඔබගේ ප්‍රතිරූපය වාචාලයෙක්ය… යන සංකල්පයෙන් මිදුනොත් ඔබ ජිවත්විමේ කලාව දැන ගත් අයෙක් වෙනු ඇත.

සමාජය යනු ඔබ පමණක් නොව ඔබ වටා වූ කන්ඩායමක් සමග වු අන්තර් සම්බන්ධතාවයකි. මේ නිසා නිතරම ඔබගේ කතා බහට අනුන් සම්බන්ධ කර ගන්නා සේම ඔවුන්ගේ කතාබහටද සවන් දිමට පුරුදු වෙන්න. ඇතැම් උදවිය වෙනත් අයට කතා කිරිමට ඉඩක් නොතබාම තමාගේ කතා බහ පමණක් ඉස්මතු කරනු ඇත. එවන් චරිත වෙනුවෙන් සමාජයේ ඇගයිමක් ගොඩ නැගෙන්නේ නැත.මේ නිසා නිතරම අනුන්ගේ කතා බහ වෙනුවෙන්ද සවන් දිමට පුරුදු විම ජිවත්විමේ කලාවේ තවත් එක් පියවරකි.

ඇතැම් අයට කතාවට නිමිති ගොඩ නැගෙන්නේ තවත් අයෙකු විවේචනය කිරිමෙන්ය. අනෙකාගේ කතා බහ, ඇඳුම් පැළඳුම් , කන බොන විධි, දරුවන්ගේ තොරතුරු ඉතා විවේචනාත්මකව කතා බහ කිරිම නිසා තවත් අයෙකු ඔබ දකින්නේ කට ඇරියොත් තවත් කෙනෙක් විවේචනය කරන්න බලාගෙන ඉන්නේ… මම නම් කතාවටවත් කැමැති නැහැ… සමාජය තුළ ඔබ මුල්කරගෙන එවන් සංකල්ප ගොඩ නැගී ඇත්තේ නම් ඔබ ජිවත්විමේ කලාව දත්තෙකු නොවනු ඇත.

ඇතැමුන් කියන්නේ මට වැරැද්දක් දැක්කාම නොකියා ඉන්න බැහැ… යනුවෙන්ය. එය ඇත්තක් විය හැක. නමුත් එම වැරැද්ද පෙන්වා දෙන විට එය තවත් අයෙකුගේ චරිතයට හානියක් නොවන්නට වග බලා ගැනීම අවශ්‍ය වෙනවා. කෙනෙකුගේ වැරැද්දක් පෙන්වා දිය යුත්තේ ඔහු හෝ ඇය ප්‍රසිද්ධියේ නිරුවත් කිරිමට නොව එම වැරැද්ද නැවත නොකරන ලෙසින් වලක්වා ගැනිමේ සද් භාවයෙන්ය.

තමන්ගේ දුක, වේදනාව හෝ වෙනත් ගැටළුවක් හිත දරා ගෙන සිටිමේ අපහසුවෙන් තමන්ගේ පුද්ගලික පුවතක් රහසක් ලෙස රකින්නට කෙනෙක් ඔබෙන් ඉල්ලා සිටිනු ඇත. ඔබ ජිවත් වෙන කලාව දන්නෙක් නම් මෙම රහස තවත් කණක් වෙත සන්නිවේනය නොකරනු ඇත. නමුත් ඇතැම් පුද්ගලයන් තමන්ට කෙනෙකු රහසක් කි විට අනේ…කාටවත් කියන්න එපා..මටත් මේ ගැන කිව්වේ කාටවත් කියන්න එපා යන පොරොන්දුවෙන්… මේ විදිහට රහස සන්නිවේදනය වි අවසානයේදි එය ප්‍රසිද්ධ රහසක් බවට පත් වෙනු ඇත.

දෙතුන් දෙනකු සිටින තැනකදි ඔබ තවත් අයට රහස් කිමත් ජනප්‍රිය චරිතයක හැඩ රුව නොවන්නේය. එවිට රහස නොකියන ලද පුද්ගලයාගේ පෞරෂයට මහත් පහරක් වෙනු ඇත. ටිකකට එනවාද?…රහසක් තියෙනවා කියන්න.. දෙතුන් දෙනෙක් අතරින් ඔබ කෙනෙකුට මේ අන්දමට ආරාධනා නොකල යුතුය. එයින් අර්ථවත් වන්නේ එම තැනැත්තා ගැන විශ්වාසයක් නොමැති බවයි. මේ නිසා රහසට සම්බන්ධ නොවු පුද්ගලයා ඔබ ගැන ගොඩ නගා ගන්නා ආකල්පය එතරම් සුබවාදි නොවන්නේය.

සෑම පුද්ගලයෙකුටම කුමක් හෝ වටිනාකමක් ඇත. පුද්ගලයන්ගේ අඩු පාඩු ඉතා කැමැත්තෙන් කතා බහ කිරිමට විවෘත සංවාද ගොඩ නගා ගන්නා ඔබ ඔවුන්ගේ චරිතයේ තිබෙන වටිනාකම් ඇගයිමෙන් කතා බහ කිරිමටත් මැලි විය යුතු නැත. ඒ වගේම හැකි හැම විටම හැකි අන්දමින් අනන්‍යන්ට උදව් කිරිමද ජිවත්විමේ කලාව තුළ ඔබේ සාර්ථක හැසිරීමට හේතු වෙනු ඇත.

ඔබ ජනප්‍රිය චරිතයක් විමට නම් නිරන්තරව සිනාවෙන් අන්‍යයන්ට සංග්‍රහ කිරිම අවශ්‍යය. සිනාවට මිළක් අවශ්‍ය නැත. සිනාව ඔබේ ශාරිරික සෞඛ්‍යය වෙනුවෙන්ද හේතු වේ. මාංශ පේශි ලිහිල් විම නිසා ඇති වෙන නිරෝගිතාවයත් වඩාත් වටිනා ඔසුවකි. සිනාවක් නැති ඔබ අනුන්ගේ ප්‍රසාදයට පාත්‍ර වෙන්නේ නැත. අවුරුදු ගණනාවක් උදේ හවස මුණ ගැහුනට හිනාවෙන්නේවත් නැහැ…මොකද හිනාවෙන්න සල්ලි යනවද?

මේ විදිහට ඔබේ ජිවිතයේද අත්දැකිම් ඇතුවාට සැකයක් නැත. සිනාව නිසා ඔබට වටිනා පිරිසක් ගොඩ නගා ගැනීමට අවශ්‍ය මුලික අත්තිවාරම සැකසෙනු ඇත. ඒ වගේම ඔබ සමග සමිප සම්බන්ධතාවයන් ගොඩ නගා ගැනීමට බොහෝ පිරිසකගේ දායකත්වය ඔබට ලැබෙනු ඇත.

ඇත්තටම ජිවත්විම පහසු නැත. ඔබ ජිවත් විය යුත්තේ “ මාවත් මගේ අඔුවත්. දරුවොත් රැකුනොත් මදිද…? යන සංකල්පයෙන් නොවේ. දුක සැපට වු නෑ හිත මිතුරන්ගේ සම්බන්ධතාවයෙන් යුක්තව ජිවත්විම ඇත්තෙන්ම කලාවකි. මෙම කලාව තවත් පසෙකින් ඔබට විශාල ආශිර්වාදයක් වෙනු ඇත.


සටහන

පුන්‍යා චාන්දනි ද සිල්වා

Leave feedback about this

  • Quality