ඔක්තෝබර් 24, 2025
වැඩිහිටියන්ගේ සුව දිවිය සුව දිවිය

ඩෙංගු, චිකුන් ගුනියා වගේම ඉන්ෆ්ලුවන්සාවෙනුත් ප්‍රවේසම් වෙන්න

මින් පෙර ලිපියකදීත් මාරන්තික විය හැකි ඩේංගු රෝගය පිළිබඳව අපි සාකච්චා කළ. අද වෙද්දී ඩෙංගු රෝගය විතරක් නෙවෙයි ඩෙංගු රෝගය බෝ කරන මදුරු විශේෂය මගින් එනම් ඊඩිස් නම් මදුරු විශේෂය මගින් මිනිසා වෙත සම්ප්‍රේෂණය වන චිකුන් ගුනියා රෝගී තත්ත්වයත් වසංගත තත්ත්වයක් කරා ගමන් කරමින් සිටින බව කිව හැකියි. ඒ වගේම ඉන්ෆ්ලුවන්සා රෝගයත් බොහෝ සෙයින් පැතිර යනවා. මේ ලිපිය තුළින් ඒ රෝග තුනම පිළිබඳව සාකච්ඡා කරමු.
ඩෙංගු රෝගය මාරාන්තික වුවත් චිකුන් ගුනියා රෝගය මාරාන්තික රෝග තත්ත්වයක් නොවේ. එය සතුටට කරුණක් වුවත් චිකුන් ගුනියා යනු ඉතාමත් පීඩාකාරී වේදනාත්මක රෝගයක්. ඒ චිකුන් ගුනියා රෝගයේදී ඇති කරන සන්ධි වේදනාවන් නිසයි. මෙහිදී රුධිර වහනයන් සිදු නොවන නිසා සම මත රත් පැහැ පැල්ලම් හෝ සිරුර අභ්‍යන්තර රුධිර වහන තත්ත්වයන් ඇති නොවේ.

ඩෙංගු රෝගයේදී අතපය හන්දි වේදනා පැවතිය ද හන්දිවල ඉදිමුම ඇති නොවේ. එසේම අභ්‍යන්තර හෝ බාහිර රුධිර ගැලීම් පැවතියද චිකුන් ගුනියා වලදී රුධිර ගැලීම් දක්නට නොමැත. ඩෙංගු රෝගයේදී උණ තදින් ඇතිවීමත් උණ බැස ගොස් යළිත් උණ ඇතිවීමත් සිදුවිය හැකි වුවත් චිකුන් ගුනියා රෝගයේදී තද උණ දිගටම පැවතීමට හැකි මෙන්ම පසු විපාක තරමක කාලයක් පැවතිය හැකියි. ඒ අනුව උණ දින කිහිපයකින් බැස ගිය ද සන්ධි වේදනා, කෑම අරුචිය ආදිය චිකුන් ගුනියා රෝගයේදී යම් කාලයක් පැවතිය හැකියි.

ඩෙංගු රෝගය සෑදීමෙන් පසු නැවත නැවත ඩෙංගු රෝගයට ගොදුරු වීමට ඉඩකඩ පැවතියද චිකුන් ගුනියා වැළඳුනු අයෙකුට ඇතිවන ප්‍රතිශක්තිය ශරීරය තුළ දිගු කාලීනව පවතින නිසා නැවත වැළඳෙන්නේ නැහැ. කෙසේ වුවද මෙම රෝග තත්ත්ව දෙකේදීම වේදනා නාෂක ලෙස පැරසිටමෝල්වලට අමතරව වෙනත් ඖෂධ ලබාගන්නේ නම් ඒවා වෛද්‍ය උපදෙස් වලින් තොරව ලබා නොගැනීඹට වගබලා ගන්න.

  • හන්දි පත් ඉදිමීම
  • සන්ධි වේදනාව
  • සම මත පලු මතුවීම
  • අධික මහන්සිය
  • වමනය/ඔක්කාරය
  • ඇඟිලි පුරුක් වල වේදනාව
  • වළලුකර මැණික් කටුව හා දණහිස් ඉදිමුම
  • කොන්දේ දැඩි වේදනාව

රුධිර පරීක්‍ෂණ මගින් සිදු වේ. ඩෙංගු රෝගයේදී රුධිර පට්ටිකා ප්‍රමාණය අඩුවීම පෙන්නුම් කරයි. චිකුන් ගුනියා රෝගයේදී එතරම් පට්ටිකා අඩු වීමක් සිදු නොවේ.

  • සම්පූර්ණ රුධිර පරීක්ෂාව (FBC)
  • උණ ඇති වී දින 5 -7 කාලයේදී PCR පරීක්ෂණය
  • උණ ඇති වී දින 5 – 8 අතර චිකුන් ගුනියා ප්‍රතිදේහ (Antibody) පරීක්ෂණය

ඉන්ෆ්ලුවන්සා රෝගයද වෛරස අසාදන තත්ත්වයකි. මෙය  ස්වසන පද්ධතිය ආශ්‍රිතව ඇති වන බෝවන රෝගයකි. මෙම රෝගය බිඳිති ආසාධනයක් මගින් ඇතිවන නිසා වාතය මගින් ඉක්මනින් සම්ප්‍රේෂණය විය හැකියි. එනම් කැස්ස, කිවිසුම් හෝ කතා කිරීම යන අවස්ථාවලදී පිට කරන බිංදු ආසාදනය අන් අය ආශ්වාස කිරීමෙන් හෝ ස්පර්ශ මගින් ආසාදනය විය හැකියි.

  • වැළඳී ඇති රෝගීන් සමග සම්බන්ධතා සීමා කිරීම
  • නාසය, මුඛය, ඇස ස්පර්ශ කිරීමෙන් වැළකීම
  • දෑත් නිතරම නිවැරදි ලෙස සෝදා පිරිසුදුව තබා ගැනීම
  • කැස්ස/කිවිසුම් ඇති වන විට ආවරණය කර ගැනීම
  • පරිසරය පිරිසිදු තබා ගැනීම බොහෝ සෙයින් වැදගත් වේ.
  • උණ
  • හිසරදය
  • පේෂි වේදනාව
  • උගුරේ වේදනාව
  • නාසයෙන් සොටු දීර ගැලීම
  • කිවිසුම් යාම
  • වෙහෙසකර බව
  • කැස්ස

ඉන්ෆ්ලුවන්සා රෝගය ඇති කරන වෛරසයේ බීජෞසන සමය දින දෙකත් හතත් අතර වේ. මෙම රෝගය සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යා, උණ ලෙස වැරදි වැටහීමක් ඇති වුවද ඊට වඩා බරපතල වෙනස් වූ වෛරස කාණ්ඩයක් මගින් ඇතිවන නිසා තදබල ලෙස ආසාදනය වූ විට මාරාන්තික නියුමෝනියා තත්ත්වය දක්වා වුවද වර්ධනය විය හැකියි.

ඉන්ෆ්ලුවන්සා රෝගයේදී කුඩා දරුවන්ට වමනය හා ඔක්කාරය ඇති විය හැකිවා මෙන්ම අජීරණය හෝ පාචනයද ලක්ෂණ ද පෙන්නුම් කළ හැකියි. මේ සඳහා එන්නත් නිෂ්පාදනය කර නොමැත. එසේ වන්නේ කාලයේයෙන් කාලයට ඇති විය හැකි වෛරස ප්‍රභේදයන් අලුත් වන හෙයිනි. සෞඛ්‍ය සම්පන්න භාවය අනුව රෝගයේ බලපෑම වෙනස් වේ.

  • ප්‍රතිශක්තිකරණය දුර්වල කාණ්ඩ
  • නිදන්ගත රෝග ඇති හෝ වැඩිහිටි පුද්ගලයන්
  • අවුරුදු පහට අඩු දරුවන්
  • ගර්භනී හෝ පසුපසව මව්වරු
  • ශරීර ස්කන්ධ දර්ශකය වැඩි එනම් අධි බර ඇති අය
  • විශාල කණ්ඩායම් එක්රොක් වන ස්ථානවලට යෑමෙන් වැළකීම හෝ මුව ආවරණ පැලද ආරක්ෂාකාරීම යාම
  • පුද්ගලයින් අතර දුර පවත්වා ගැනීම
  • මුහුණු ආවරණ පැළඳීම
  • බීජ නාශක දියර හෝ සබන් යොදා දෙඅත් සේදීම

ඩෙංගු, චිකුන් ගුනියා මෙන්ම ඉන්ෆ්ලුවන්සා යන සෑම රෝගයක් සඳහාම වෛද්‍ය උපදෙස් අත්‍යවශ්‍ය සේම වෛද්‍ය උපදෙස් අනුවම ඖෂධ ප්‍රතිකාර ලබා ගැනීම ඉතාම වැදගත් වේ. පැරසිටමෝල්ට්වලට අමතරව ඒ සදහා වෛද්‍ය නිර්දේශය අත්‍යවශ්‍ය බව සිහිතබාගන්න. තවද රෝග හඳුනා ගැනීම සඳහා වෛද්‍යවරයා ලබා දෙන පරීක්ෂණ වෙත යොමු වීම වැදගත් වන්නේ සෑම රෝගයකම එකම රෝග ලක්ෂණය දැකිය හැකි නිසයි.

  • විවේකීව සිටිය යුතුමය
  • හැකිතාක් දියර වර්ග වැඩි ප්‍රමාණයක් ලබා ගත යුතුය
  • රෝගියාගෙන් රෝගියාට ඇතිවන රෝග ලක්ෂණ වෙනස් වන නිසා ඊට අනුරූපව ප්‍රතිකාර ලැබිය යුතුය
  • ඩෙංගු හෝ චිකුන් ගුණියා රෝගීන් දිවා කාලයාටත් මදුරු දැල් නිවැරව පාවිච්චි කළ යුතුය
  • පරිසරය මනාව කළමනාකරණය කරගනිමින් කසල ක්‍රමවත්ව බැහැර කළ යුතුය
  • මදුරුවන් බෝවීම වළක්වා ගැනීමට කටයුතු කළ යුතුය.
  • වෛරස බෝවන ක්‍රමය හඳුනා ගනිමින් බෝවන ක්‍රමවලින් වැළකීමට උත්සාහ ගත යුතුය

දැනුවත් කිරීම

අයිරාංගනී ගගලගමුව
පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණි
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය
බුලත්සිංහල

Leave feedback about this

  • Quality