“ළමයෙක් කියන්නේ කුඩා වැඩිහිටියෙක් නොවේ. ඒ නිසා ඔහුට සෙමින්, ටිකෙන් ටික සහ හොඳින් උගන්වන්න.”
– Jean-Jacques Rousseau
ඉස්කෝලෙක ප්‍රින්සිපල්ගේ ඔෆිස් එකේ උඩම තැනක රූසෝගෙ මේ වාක්‍යය ගහල තියෙනව දැක්කා. ඒකත් එක්ක ආපු ගොඩාක් කමෙන්ට් දිහා බලද්දි මේක ලියන්නම ඕනේ කියලා හිතුනා.
අධ්‍යාපනය කියලා කියන්නේ හිස් භාජනයකට වතුර පුරවන එක නෙමෙයි. ඒක වැඩෙන මොලයක් පෝෂණය කරන්න වතුර වත්කරන එක. ඒක තවමත් වර්ධනය වෙමින් පවතින මනසක් හඳුනාගෙන, ආදරයෙන් මල් පිපෙනකන් ගොඩනඟන ක්‍රියාවලියක්.
රූසෝගේ ප්‍රසිද්ධ අදහස අද සෞඛ්‍ය විද්‍යාවෙන්, මනෝ විද්‍යාවෙන් සහ අධ්‍යාපන විද්‍යාවෙන් ලස්සනට විස්තර කරනවා.
දරුවෝ ඉගෙන ගන්න විදිය, හිතන විදිය, එයාලගේ හැඟීම් කළමනාකරන විදිය මේ ඔක්කොම වැඩිහිටියන්ගෙන් වෙනස්. එයාලගේ මොලය තාම වැඩෙමිනුයි පවතින්නේ. මේ වෙනස්කම් ඔලුවෙ තියාගෙනයි අපි එයාලට ඉගැන්විය යුත්තේ.
ස්නායු විද්‍යාඥයෝ පැහැදිලිවම පෙන්නලා තියෙනවා මනුස්සයෙක්ගේ පූර්ව මස්තිෂ්ක බාහිකය සම්පූර්ණයෙන්ම මෝරලා ඉවර වෙන්නේ වයස අවුරුදු විස්ස පැන්නට පස්සේ කියලා. මේ පූර්වමස්තිශ්ක බාහිකය තමයි අපේ ආවේග පාලනය කරන්න, සංවිධානය කරන්න, තර්කානුකූලව හිතන්න වග කියන්නේ.
ඒ හින්දා අපි ළමයෙක්ට උගන්වන්න ඕන, මොලේ නෑ හරි, මොලේ අඩුයි කියල හරි හිතාගෙන. මේ කාරණා තුන අපේ ඔලුවෙ තියා ගන්නම ඕන.
- දරුවන්ට අවධානය තියාගන්න පුළුවන් ප්‍රමාණය හරි කෙටියි
- ඒ වගේම එයාලා හිතාගන්නවා කෙලින්ම එයාලට දැනෙන දේ. ඒක ඇතුලේ හංගල කියන දේ එයාලට තේරෙන්නේ නැහැ
- ඒ වගේම එයාලට නැවත නැවත කියල දෙන්න. උදාහරණ සහිතව කියල දෙන්න. රූප සටහන් වලින් පෙන්නල දෙන්න. එහෙම නැත්නම් මෙහෙමයි වෙන්නේ කියලා ඇඳලා කියන්න මේ වගේ දේවල් අවශ්‍ය වෙනවා.
උදාහරණයක් විදිහට අවුරුදු හතක ළමයෙකුට ‘ඔයා වගකීමෙන් වැඩකරන්න පුතා’ කියලා කිව්වට වැඩක් නෑ. එයාට බෑග් එක අස් කරන්න, හැමදාම දත් මදින්න, සපත්තු හරි තැනින් තියන්න වගේ චෙක් ලිස්ට් එකකින් එහෙම නැත්නම් පින්තූරවලින් ඒක කිව්වොත් එයා ඒ ටික පිළිවෙලට කරයි.
විද්‍යාඥයෝ පෙන්නන විදියට එයාලට වැඩ කරන්න ඕනේ මතකය හා අවදානය පවත්වා ගැනීමේ කාලය හරිම සීමා සහිතයි. ඒ හින්දා දරුවෙක්ට මතක තියාගන්න පුළුවන් නව සංකල්ප තියෙන්නේ, එක වෙලාවකට එකක් විතර. එකපාර ගොඩක් දෙන්න ගියහම එයාලා කලබල වෙනවා වගේම එයාල ඒක අත ඇරලා දානවා, මල්පැලේකට වතුර වැඩිවුනාම කූණු වෙනව වගේ. ඒ නිසා එකවර වැඩි දේවල් උගන්වන්න හොඳ නැහැ. ඒ වෙනුවට පියවරෙන් පියවර උගන්වන්න වෙනවා. ටිකෙන් ටික කියන්නෙ ඒකයි.
උදාහරණයක් විදිහට දශම, භාග සහ ප්‍රතිශත එකවර උගන්වනවට වඩා, ඒවා වෙන වෙනම, උදාහරණ සහ ක්‍රියාකාරකම් සමඟ ඉගැන්වීම වඩා විධිමත්. මොකද ඒවා ගැන අවුරුදු දහයක ළමයෙකුට තේරෙන්නේ නැහැ. අපි ඒවා හිමින් සීරුවේ තමයි එයාගේ මොළේට කා වද්දන්නේ? ඒ හින්දා අපි පහේ පන්තියේ ළමයෙකුට අනුකලනය උගන්වන්නේ නැහැ. අපි ඒකට එයා හෙමින් සීරුවේ සූදානම් වුණාට පස්සේ උසස් පෙළ පන්තියේදී ඒ ටික උගන්වනවා.
දරුවන් ඉගෙන ගන්නේ ක්‍රියාකාරකම් සහ කුතුහලය තුළින් විමසා බැලීම තුළින්.
දරුවෝ හොඳින්ම ඉගෙන ගන්නේ එයාලට ලැබෙන අත්දැකීම් තුළින් වගේම ස්වභාවික පරිසරයේදී එයාල දකින දේවල් වලින්. එහෙම නැතුව බලෙන් පෙන්නලා උගන්වන පාඩම් වලින් නෙමෙයි. මේ ක්‍රියාවලිය තමයි මොන්ටිසෝරියේදි සිද්ධ වෙන්නේ. ඒකෙදි දරුවෝ එයාලගේ දැනුම හදාගන්නේ අත්දැකීම් වලින් කරලා බලලා.
උදාහරණයක් විදිහට අවුරුදු හයක ළමයෙකුට එක එක භාජනයකට අල්ලන වතුර දාරිතාව බලන්න විවිධ හැඩ තියෙන බාජන ටිකක් එක්ක වතුර ටිකක් දුන්නහම තේරෙනවා. පස්සෙ බැරියැ ආකීමිඩීස්ගේ සොයාගැනීම් ටිකත් එක්ක, ඒකට වෙනම සමීකරණ දාලා පෙන්නන්න.
දරුවන් අත්දැකීම් තුළින් ඉගෙන ගන්නවා.
විශේෂයෙන්ම ක්‍රීඩාව හා ක්‍රියාකාරකම් තුළින්. ක්‍රීඩාව දරුවාගේ මොලේ සංවර්ධනය කරනවා වගේම එයාට මොළේ සියලුම කළමනාකාරීත්වය, නිපුණතා සහ නිර්මාණශීලීතාවයත් එක්ක පරිකල්පනයත් දියුණු කරනවා.
අපිට ඉගෙන ගන්න උනන්දු කරවන ලොකුම සාධකය තමයි හැඟීම්.
අපිට අපේ හැඟීම් පාලනය කරන්න උදව් වෙන ලිම්බික් සිස්ටම් එක දරුවන්ගේ පුදුම විදිහට ක්‍රියාකාරීයි. ඒ හින්දා එයාලා හැමතිස්සෙම හැඟීම් එක්ක තමයි ඉගෙන ගන්නේ. එයාලට ආතතිය, බය, ලැජ්ජාව වගේ දේවල් ආවොත් එයාලා ඉගෙන ගන්න එක අතැරලා දානවා.
ඒ හින්දා පන්ති කාමර ඇතුළෙ කරන සමහර දඩුවම්, හයියෙන් ළමයෙකුට කෑ ගහන එක, එහෙම නැත්තං දැඩි දඬුවමක් දෙන එක, හිත රිදෙන විහිලු කරන එක වගේ දේවල් හින්දා ළමයි කට වහගන්නවා. එයාලා ආපහු දිරිගැන්වෙන්නෙ නැහැ. එහෙම නැත්නම් ආපහු ගොඩනැගෙන්නෙ නෑ. ඒ වගේමයි ධනාත්මක දේවල් එක්කයි එයාලා විශ්වාසය ගොඩනගා ගන්නේ. ලොකු හරියක්, ඉමොජි එකක්, ප්‍රසංසාවක්, අත්පුඩියක්, පන්තියේ ඉස්සරහට කැදවීමක් එයාලව දිරි ගන්වනවා.
අපේ ඇඟ ඇතුලෙන්ම ඉගෙන ගන්න ඕනේ කියලා එන දැනීම එහෙම නැත්නම් මෝටිවේශන් එක.
එයාලා ඕනෑවට වඩා ආතතියට ලක් කිරීමෙන් වගේම එයාලට හැමදේම ඇඟිල්ලෙන් ඇන කරගන්ඩ යන එකෙන් එයාලා ඉගෙන ගන්නවට වඩා එයාලා කැමතියි එයාලා පිළිබඳ එයාලට අවබෝධයක් ඇවිල්ලා එයාලා ගැන විශ්වාසයක් ගොඩනැගීම තුළින් ඉගෙන ගන්න ලැබෙනවාට . ඒක අපි කියනවා ඇඟ ඇතුලෙන්ම එයාලව උද්දීපනය කරනවා කියලා.
ඒ වගේම ළමයෙක්ට එයාගේ තියෙන වර්තමාන හැකියාවන් එක්ක ඉගෙනීම වෙනස් වෙන්න ඕන. ඒ නිසා එයාගේ මට්ටම දැනගෙනයි අපි ඊට වැඩිය උඩ මට්ටමකින් ඒවා උගන්වන්න ඕනේ. එහෙම නොකළොත් ඊට වැඩිය අඩු දෙයක් ඉගෙන ගන්නකොට එයාලා කඩා වැටෙනවා වගේම එයාලා ඉගෙන ගන්න එක අත ඇරලා දානවා. ඒ උනාට තව කෙනෙක්ගෙ උදව්වෙන් එයාලව අපිට ඕනේ විදියට අබන්න පුළුවන්. එයාට අද අපි උදව් කරොත් හෙට එයා තනියෙන් නැගී සිටිනවා.
ළමයෙක් ව්‍යාකරණ සහිතව වාක්‍යයක් ලිව්වහම රතු පෑනෙන් එකෙ ග්‍රැමර් චෙක් කරනවට වඩා ඒකේ කොහොමද වාක්‍ය පටන් ගන්නේ, කොහොමද ඒකට උදව් කරන්නේ, එහෙම නැත්නම් වාක්‍යයක් ගොඩනගන්නේ කොහොමද කියලා අපි ඒක පුහුණු කරන තරමටයි ඒක ළමයෙක් ඔලුවට යන්නෙ.
ඒ නිසා දරුවන්ට හෙමින් පියවරෙන් පියවර හොඳින් උගන්වන්න. මතක තියාගන්න ඕනේ කාරණය තමයි දරුවෙක් කියලා කියන්නේ හිස් භාජනයක් නෙමේ, පුළුවන් තරම් වතුර පුරවන්න. ඒක උස්සගෙන යන්න පුළුවන් ප්‍රමාණයට ටිකෙන් ටික පුරවන්න. ළමයා ලොකු වෙනකොට අපිට ගොඩක් පුරවන්න පුළුවන්. ඒ වගේම එයාලට උගන්වනකොට අපිට ගොඩක් වෙලාව යයි. අපිට එයාල ගැන සහකම්පනයෙන් හිතන්න සිද්ධ වෙයි වෙයි. ඒ වගේම එයාලට පහසුවෙන් ගොඩ නැගෙන්න පුළුවන් ක්‍රම අත්හදා බලන්න සිද්ධවෙයි. මතක තියාගන්න ඕන දේ තමයි එයාලාගේ මොළයෙන් එයාල තාම වැඩිලා ඉවර වෙලා නැහැ. එයාලා හරිම වෙනස් ජීවීන් කණ්ඩායමක්.
ඒ හින්ද රූසෝ දරුවොන්ට හිමින් පියවරෙන් පියවර හොඳින් උගන්වන්න කියලා කියනකොට ඒ මොන ඉස්කෝලෙද එහෙම කරන්නේ කියලා අහනවාට වැඩිය ඔයා උගන්නන ඉස්කෝලේ ඒ විදිහට කරන්න උත්සාහ කරන්න. ඒකට කාලයක් යාවි. ගොඩක් ඉවසන්න සිද්ධ වෙයි. ඒ වගේම ඒ ලමයා ඔයාගේ දරුවෙක් කියලා ඔයාට සහකම්පනයෙන් හිතන්න සිද්ධ වෙයි. ඒ හින්දා පුරවන්නම් වාලේ පුරවන් නැතිව අපිට ගෙනියන්න පුළුවන් ගානට ළමයෙක්ගෙ මොළේට දැනුම දෙන්න ඕන.
සෙමින්, හොඳින්, ආදරයෙන් උගන්වන්න
දරුවෙකුට උගන්වන්න ඕන මෙන්න මේ අභ්‍යන්තරයෙන් වර්ධනය වන මනසක් හඳුනාගෙනයි. ඔවුන්ට විභාගයක් සදහා පමණක් නොව, ජීවිතය සදහා උගන්වන්න ඕනේ.
අද ලංකාවේත්, ලොවම පුරාත් ළමයින්ගේ අධ්‍යාපන ගමන වගේම ඔවුන්ගේ ළමා කාලයත්, අවධානයේ හා කාර්යබහුලත්වයේ පීඩනයක් යටතේ පැවැත්වෙන එකක් වෙලා තියෙනවා.
අධ්‍යාපන කරිකියුලම් එකට අදාලවත්, අමතර පන්ති ගමන්, අනවශ්‍ය ඒත් ආකර්ශනීය විභාග සාධනයක්, මවිතයට පත් කරවන ඉලක්ක, සහ ඔබ-මම වගේම දෙමාපියන්ගේ බලාපොරොත්තු හින්දයි ඒ.
මේ හැම එකම එකට එකතු වුණාම ලැබෙන්නේ කුමක්ද?
- හෝඩිය උගන්වන්න කලින් අනාගතය සැලසුම් කරන වැඩසටහනක්
- සිසුවෙකුට නොව, කුඩා වැඩිහිටියෙකුට සපයන ලද පාඩම් කිරිමක්.
අද ළමයින්ගේ දිනපතා කාලසටහන බලද්දි හිතා ගන්නත් අපහසුයි. උදේ පහමාරට විතර නැගිට්ට තැන ඉදන් එයාලා ඉස්කෝලෙ යන්න ලෑස්ති වෙන එකයි, ඉස්කෝලෙට යන එකයි, ඊට පස්සේ අමතර පන්ති වලට යන එකයි කාල බීල නිදාගන්න එකයි කරද්දී රෑ දහය වෙලා ඉවරයි. එයාලගේ කාල සටහනේ පැය 6ක්ම එයාලා ඉන්න ඉස්කෝලේ ඇතුලේ. ඒ හින්දා ඉස්කෝලේ ඇතුලෙදී එයාලගේ ඔලුව සංවර්ධනය කරන ක්‍රියාවලියේ බහුතරය කරලා තියෙන්න ඕනෑ. ඒ අතරේ කාලසටහනට යටින් මේ ටිකත් සිද්ධ වෙනවා
- තරඟකාරිත්වය
- ආතතිය
- පරස්පර සසඳීම්
- අනුන්ගෙ හීන
අද අපි පුංචි දරුවන්න්ගේ විභාග ජයග්‍රහණයක් සදහා උන්ගේ ජීවිතය සම්පූර්ණයෙන්ම විකුණනවා. අපි කොහොම කොච්චර වැරවීරිය දාලා ඉගැන්නුවත් මොලය ඉගෙන ගන්නේ තවත් විදිහකට. මනසට එකවර දැනුම ගබඩා කරන්න පුළුවන් ප්‍රමාණය සීමිතයි. අපි ඔවුන්ට විෂයන්, අමතර විෂයන් සහ සපොර්ට් පැකේජ් එකක් එක්ක දවස පිරවූවට
ඒ මනසක් – ඉගෙනගන්න එකක්.
ඒ මනසක් – ගැටෙන එකක්.
මේ අධ්‍යාපනයක් නොවෙයි – මේක යුද්ද පුහුනුවක්
ඒ හින්දා අනුකලනය උගන්නන්ඩ ඕනේ වයසට එනකම් අනුකලනය උගන්නන්න එපා. හැබැයි ඒක ඉගෙන ගන්න අවශ්‍ය පුංචි පුංචි දේවල් හෙමින් ටිකෙන් ටික පියවරෙන් පියවර ආදරයෙන් ළමයගේ මොළයට දැනෙන්න සලස්වන්න.
උගන්වන එකයි ළමයට එන බුද්ධියයි අතර ලොකු පරතරයක් තියෙනවා. අද උගන්වන කරිකියුලම් එකෙන් දරුවාට දැනීමක් දෙනවාද? නෑ. ඒක මොහොතකට විභාගයට ලියන්න පුළුවන් දේවල් දෙන්න උත්සාහ කරන එකක්.
විද්‍යාත්මක වශයෙන් Meaningful Learning කියන විදියට මතකයේ තබාගන්නේ අවබෝධයක් ඇතිවන දේවල්, සම්බන්ධතා සහ තේරුම් ඇති දේවල්, පුනරීක්ෂණ සහ ක්‍රීඩා සහිත දේවල් වෙනුවට අද තියෙන්නේ පුළුවන් තරම් උපරිමයෙන්ම ළමයාගේ ඔළුවට දාන්නම්. හැබැයි විභාගයට ලියාගන්න බැරි වුනොත් නං අපි ඒකට වග කියන්නේ නෑ. ඇති තරම් උගන්නලයි තියෙන්නේ වැනි අදහස්ය. උගන්නන්නෙම නැති ඉස්කෝලවලට මේ වාක්‍ය ගැලපෙන්නේ නැහැ. ඒ හින්දා එයාලා අඩුම ගානේ පොඩ්ඩක් හරි උගන්වන්න පටන් ගන්න
ආදරයෙන් උගන්වන්න.
අද තරඟයට පීඩනයෙන් ගොදුරු වෙන ළමයෙකුට අවශ්‍ය වෙන්නේ ආදරය, වටපිටාව, මනසක් විතරයි ඒ හින්දා දරුවෙකුට උගන්වනකොට මතකම තියාගන්න මේ උගන්නන්නෙ විභාගයකට නෙමෙයි දරුවෙකුට.
“මම ඔයාට උගන්වන්නේ විභාගය ජයගන්න නෙවෙයි. මම උගන්වන්නේ ජීවිතය ජයගන්න.”
දරුවාට වතුර දාන්න මලක් පිපෙන තරමට
දරුවා දකින හීනේ කොටස්කාරයෙක් වෙලා එයත් එක්ක හීනෙට යන්න. එහෙම නැතුව අනික් මිනිස්සුන්ගේ හීන වලට පාර කපන්න දරුවාව පාවිච්චි කරන්න එපා.
සටහන
වෛද්‍ය කිලෝශිනී හෙන්දවිතාරන
Leave feedback about this