ඔක්තෝබර් 23, 2025
Newborn Baby Parent Pulse Article Featured Image
ගැබිණි මව

අලුත් බබාටම කැප වෙන බිරිඳ ගැන හැම සැමියෙක්ම දැනගතයුතු කරුණු 5ක්

ගැබිනි සමය යනු කාන්තාවකගේ ජීවිතයේ අභියෝගාත්මක කාලසීමාවක් ලෙස නම් කිරීම වැරදි නැත. අලුත උපන් දරුවෙකු සමග ගෙවන කාලය ද මවකට අභියෝගාත්මකය. ඒ අභියෝගයන්ට තනිව මුහුණ දීම අපහසු සේම ඒ වෙනුවෙන් තමා සමග අයෙක් සිටීම ඇයට මහත් අස්වැසිල්ලක් වනු නිසැකය. අන්න ඒ නිසාම බිරිඳගේ සහනය උදෙසා සැමියාගේ සහය අත්‍යවශ්‍යය. ඔබේ බිරිඳත් ගත කරන්නේ මේ අවධීන් නම් ඔබත් මේ කරුණු ගැන අවධානය යොමු කරන්න.

    දරු ප්‍රසුතිය සඳහා වූ කාලයේදී බොහෝ විට බිරිඳගේ සායනයට සහභාගී වීම තනියෙන් සිදු වුනත්, දරුවා ලැබීමෙන් පසුවත් ඒ අන්දමින්ම බිරිඳ සායනයට සහභාගී වීම අපහසුයි. ඊට හේතුව දරුවා සමග රැගෙන යන උපකරණ සහ දරුවා වඩා ගෙන සිටීම, කිරි පොවන විට යම් යම් උදව් ලබා ගැනීමට අත්උදව් අවශ්‍ය වෙනවා. ඒ වෙනුවෙන් බිරිඳට සිටින හොඳම සහයෝගය ලැබෙන්නේ සැමියාගෙන්. ඒ නිසා හැම අවස්ථාවකදීම නොවුනත් බිරිඳ සමග සායනයට යෑමට සැමියා සූදානමින් සිටින බව ඒත්තු ගියොත් එය බිරින්දෑගේ හිතට විශාල ශක්තියක්.

    අම්මා කෙනෙක් වුනොත් ඇගේ වැඩ කොටස් සහ දරුවාගේ වැඩ කටයුතු කර ගැනීම සාමාන්‍ය දෙයක් බැව් පවසමින් සැමියා මේ කාර්යන්ගෙන් නිදහස් වීම එතරම් සුබ නැත. ඊට හේතුව මේ කාලයේදී බිරිඳ වඩාත් කාර්ය බහුලයි. දරුවා නිසා රාත්‍රිය කාලයේ සැප නින්දක් නැති වෙන්නත් පුලුවන්. ඒ සමග එක් වෙන වැඩ කොටස් නිසා ඇය මානසිකවත් දැඩි වෙහෙසකට පත් වීම නිසා පසු ප්‍රසව විශාදය තත්වයට ඉතාම පහසුවෙන් ගොදුරු වෙන්න පුලුවන්. මේ තත්වයෙන් ඔබේ බිරින්දෑ මුදවා ගැනීමට නම් හැකි හැම විටම බිරිඳගේ සහ දරුවාගේ වැඩ කටයුතු වෙනුවෙන් සැමියාගේ සහයෝගය ලබා දීම ඉතාම වැදගත්.

    ඇගයීමට හැම දෙනෙක්ම කැමැතියි. ඒ නිසා සැමියාගේ ඇගයීමත් බිරිඳට වඩාත් විශේෂයි. ඕවා සාමාන්‍ය දේවල්. හැම කාන්තාවක්ම දරුවන් ලබනවා. දරුවන් හදනවා යැයි සාමාන්‍යකරණය කිරීමට වඩා ඇයට ඇගයීමක් ලබා දෙනවා නම් එයින් ලැබෙන සතුට ඇගේ මානසික නීරෝගීතාවයට වඩාත් වැදගත් විය හැකියි.

    සමහර විට බිරිඳගේ ජීවන රටාවේ ඇති අවිවේකී බව නිසා සැමියාගේ කටයුතු හෝ දරුවාගේ කටයුතු පිලිබඳව යම් අතපසුවීමක් ඇති වුනොත් ඒ ගැන ඇයට දොස් පවරන්න එපා. ඔයාට ඉතින් දරුවාගෙන් තොර ලෝකයක් නැහැ. මං ගැන කිසිම තැකීමක් නැහැ. මේ එක් ආකාරයක චෝදනාවක්. සමහර විටෙක දරුවා ගැන කිසිම සැලකීමක් නැහැ. මට හිතාගන්න බැහැ ඔයා අම්මා කෙනක්ද…? යැයි චෝදනා නැගීම කිසිම දිනක නොකල යුතුයි. මෙවැනි චෝදනා නිසා ඇති වෙන මානසික පසුතැවිල්ල පසු ප්‍රසව මානසිකත්වයට ගොදුරක් බවට පත් වීම ඉතාම පහසුවෙන් සිදු වෙන්න පුලුවනි.

    මවක්, බිරිඳක් විදිහට ඔබේ බිරිඳ වෙතින් ඔබට වගේම දරුවාට නොදැනීම යම් යම් අතපසුවීම් සිදු වෙන්න පුලුවනි. එවැනි අවස්ථාවන්හිදී වෙනත් කාන්තාවන් සමග සංසන්දනාත්මකව ඇගයීම් නොකරන්න. ඔබේ බිරිඳ යනු එක් චරිතයක් මිස ඇය සෙසු කාන්තාවන්ට ආදේශකයක් නොවෙන නිසා කිසිම විටෙක සංසන්දනය නොකළ යුතු බැව් ඔබ තරයේම සිතට ගන්න.


    සටහන

    පුන්‍යා වාන්දනී ද සිල්වා

    Leave feedback about this

    • Quality