දරුවකු බිහි කිරීම යනු කාන්තාවකගේ ජීවිතයේ සිදු වන සුන්දරම, ආශ්චර්යවත්ම පරිවර්තනයයි. නමුත්, මේ අලුත් ගමනේදී බොහෝ මව්වරුන්ට මුහුණ දීමට සිදුවන පොදු අත්දැකීමක් වන්නේ තමාගේම අනන්‍යතාවය මඟ හැරී යාමේ හැඟීමයි.
මම කලින් හිටිය කෙනා දැන් මට මඟ හැරිලා…
මට දැන් මගේම කියලා වෙලාවක් නැහැ…
මම ‘අම්මා’ කියන ලේබලයට විතරක් සීමා වෙලාද?
ඔබටත් මේ වගේ හැඟීම් දැනෙනවා නම්, ඔබ තනි වී නැති බව දැනගන්න. මෙය මාතෘත්වයේ ස්වභාවික, නමුත් අභියෝගාත්මක, පැතිකඩකි.
මෙවැනි හැඟීම ඇති වෙන්න බලපාන ප්‍රධාන හේතු කිහිපයක් තියෙනවා.
- අවශ්‍යතා වල ප්‍රමුඛතාවය වෙනස් වීම
දරුවකු ලෝකයට ගෙන ඒමත් සමඟම, 180° කින්ම ඔබේ ජීවිතය වෙනස් වෙනා කිව්වොත් නිවැරදියි. දරුවාගේ නින්ද, ආහාර, සනීපාරක්ෂාව සහ චිත්තවේගීය අවශ්‍යතා ක්ෂණිකවම ඔබේ ප්‍රමුඛතා ලැයිස්තුවේ ඉහළින්ම සටහන් වෙනවා. ඔබ නිතරම එම අවශ්‍යතා සපුරාලීමට වෙහෙසෙන අතර, ඔබේ විවේකය, විනෝදාංශ, මිත්‍ර සබඳතා සහ වෘත්තීය අරමුණු ක්‍රමයෙන් පසුපසට තල්ලු වෙනවා. මට මොනවද ඕන යන්න වෙනුවට දරුවාට මොනවද ඕන යන්න ප්‍රශ්න කිරීම ඔබේ පුරුද්දක් බවට පත්වෙනවා.
- කාලය සහ ශක්තියේ හිඟකම
මව්කිරි දීම, රාත්‍රියේ අවදිවීම සහ දරුවා රැකබලා ගැනීම යනු නිමක් නැති කාර්යයක්. මෙය ශාරීරික හා මානසික වශයෙන් ඔබව දුරුවල කරනවා. යමක් කිරීමට ශක්තියක් ලැබුණත්, ඔබ කරන්නේ අවශ්‍යම දේ (ගෙදර දොරේ වැඩ වගේ දේවල්) යැයි සිතා මිස කැමති දේ ලෙස නොවේ. අවසානයේදී, ඔබටම වෙලාවක් හෝ ශක්තියක් ඉතිරි වෙන්නේ නැහැ.
- සමාජ අපේක්ෂාවන් සහ වරදකාරී හැඟීම
සමාජය විසින් මවකගෙන් විශාල කැපකිරීමක් බලාපොරොත්තු වෙනවා. මවක් තමා වෙනුවෙන් කාලය වැය කිරීම ආත්මාර්ථකාමී කමක් විදියට සමාජය සිතනවා. අන්න ඒ නිසාම දෝ ඔබ, ඔබේ රූපලාවන්‍ය කටයුත්තකට, මිතුරියක සමඟ කෝපි කෝප්පයකට හෝ පොතක් කියවීමට කාලය වෙන් කළහොත්, මම දරුවා අතපසු කරනවාද? යන වරදකාරී හැඟීමෙන් ඔබ පීඩා විඳිනවා.
මාතෘත්වය තුළ ඔබට මඟ හැරුණු ඔබව සොයා ගැනීම යනු පෙර සිටි ඔබ වෙතම ආපසු යාම නොවේ. එය, අලුත් වූ ඔබ තුළ පැරණි ආසාවන් සහ නව ශක්තීන් සමබරව තබා ගැනීමක් පමණයි.
- ඔබේ මිනිත්තු 15 – 30 ඔබටම වෙන් කරන්න
දිනකට අවම වශයෙන් විනාඩි 15 ක් හෝ 30 ක් ඔබ වෙනුවෙන් වෙනස් නොවන කාලයක් වෙන් කර ගන්න. උදෑසන දරුවාට පෙර අවදි වී උණුසුම් තේ කෝප්පයක් සමඟ නිහඬව සිටීම, දරුවා නිදා ගත් පසු පොතක පිටු කිහිපයක් කියවීම හෝ ඔබටම ප්‍රිය වූ සංගීතයක් ඇසීම මේ කාලය තුළ ඔබට කළ හැකියි. - අම්මා යන්න හැර ඔබ හැඳින්විය හැකි වෙනත් වචන නිර්වචනය කරන්න
කඩදාසියක් ගෙන මම අම්මා යන වචනය භාවිත නොකර ඔබ කවුදැයි විස්තර කරන වචන 10 ක් ලියන්න. නිර්මාණශීලී, හාස්‍යජනක, ඉලක්ක සපුරා ගන්නා, කාරුණික, සංචාරයට ප්‍රිය කරන, හොඳ රසිකාවියක් යනාදි ලෙස එය ඔබට කළ හැකියි. මෙම ගුණාංග තවමත් ඔබ තුළ පවතින බව මතක තබා ගන්න. - උදව් ඉල්ලන්න
සහකරුගෙන්, පවුලේ අයගෙන් හෝ මිතුරන්ගෙන් සහාය ලබා ගැනීමට පසුබට නොවන්න. දරුවා බැලීමට ඔවුන්ට දීමට ලැබෙන සුළු වෙලාව පවා ඔබට නැවත ශක්තිමත් වීමට අවස්ථාවකි. ස්වයං ආරක්ෂාව යනු ආත්මාර්ථකාමීත්වයක් නොව, මාතෘත්වයේ ජීවත් වීම සඳහා වූ අවශ්‍යතාවකි. - සබඳතා අලුත් කර ගන්න
ඔබ කලින් ආශා කළ විනෝදාංශයක් නැවත පටන් ගන්න. ඔබව උත්තේජනය කළ මිතුරන් සමඟ නැවත සම්බන්ධ වන්න. ඔවුන් සමඟ කතා කරන විට ඔබේ අම්මා නම් වූ භූමිකාව ගැන පමණක් නොව, ඔබේ අනාගත බලාපොරොත්තු ගැනද කතා කරන්න.
මවක් වීම යනු ඔබේ අනන්‍යතාවය නැති කර ගැනීමක් නොවේ. එය වෙනස් කර ගැනීමකි. ඔබ නව පුද්ගලයකු ලෙස, වඩාත් සංකීර්ණ, ශක්තිමත් සහ මුදු මොළොක් කෙනකු ලෙස නැවත උපත ලබා ඇත. ඔබට මඟ හැරුණු ඔබේ කොටස, ඔබ තුළම සැඟවී සිටී. ඒ කොටසට ඉඩක්, කාලයක් සහ ආදරයක් ලබා දෙන්න. ඔබ ඔබටම හොඳින් සැලකුවහොත්, ඔබ ඔබේ දරුවන්ට ලබා දෙන හොඳම තෑග්ග වන්නේ සතුටින් හා පූර්ණත්වයෙන් ජීවත්වන මවක් දැකීමට ලැබීමයි.
සටහන
දිශාන්ති වෙදගේ
මනෝ උපදේශන ඩිප්ලෝමාධාරීණී
මානසික සෞඛ්‍ය සරසවිය
Leave feedback about this