ඔක්තෝබර් 29, 2025
Skin Care Parent Pulse Article Featured Image
වැඩිහිටියන්ගේ සුව දිවිය සුව දිවිය

සුදු වෙන්න ආසයි ද? ඊට පෙර මේ ලිපිය කියවන්න

ශ්‍රි ලාංකිකයන් බොහෝ දෙනෙකුට උපතින්ම දුඹුරු හෝ කළු පැහැයට හුරු සමක් ලැබී තිබෙනවා. මෙලනින් වර්ණකය අධික සමක් සහ නිරන්තරව අව් රශ්මියට නිරාවරනය වීම නිසා මෙම තද පැහැති සම අපට උරුම වී තිබෙනවා. අපට උපතින් ලද මේ සමේ වර්ණය වෙනස් කර ගැනීමට නොහොත් සරලව කිව්වොත් සම සුදු කර ගැනීමට අද බොහෝ අය විවිධ වර්ගයේ ප්‍රමිතියක් නොමැති රූපලාවන්‍ය ද්‍රව්‍ය භාවිත කිරීමට යොමු වී සිටිනවා. මෙය කාන්තාවන් පමණක් නොව පුරුෂයන් අතරත් දැන් දක්නට ලැබෙන තත්වයක්. ඒ වගේම දැන් ජනප්‍රිය චරිත විසින් රූපලාවන්‍ය නිෂ්පාදන අලෙවි කර බෙදා හැරීම ප්‍රවර්ධනය කිරීමේ ප්‍රවනතාවයක් ගොඩ නැගී තිබෙනවා.

  • ප්‍රමිතියක් නැති ආලේපන සමට අහිතකරයි

ප්‍රමිතියක් නොමැති රූපලාවණ්‍ය නිෂ්පාදන භාවිත කිරීම නිසා අන්තරායකර තත්වයන් ඇති වෙනවා. බොහෝ රූපලාවන්‍ය ආලේපනවල ප්‍රමිතිය පිළිබඳව අපට සහතික වෙන්න බැහැ. බොහෝ රූපලාවන්‍ය නිෂ්පාදනවල අඩංගු විය යුතු බැර ලෝහ ප්‍රමාණය අනුමත මාත්‍රාව ඉක්මවා තිබෙනවා.

  • ස්ටෙරොයිඩ් ඖෂධ

ස්ටෙරොයිඩ් කාණ්ඩයේ ඖෂධවල අතුරු ආබාධයක් විදිහට සම සුදු වෙනවා. ස්ටෙරොයිඩ් එකක් කිසිම විදිහකින් රූපලාවන්‍ය නිෂ්පාදනයක තිබෙන්න බැහැ. නමුත් ක්‍රිම් පාවිච්චි කරන බොහෝ අයට ඇති වෙන අතුරු ආබාධවලට හේතුව ස්ටෙරොයිඩ් බව රෝගීන් පරීක්ෂා කිරීමේදී වෛද්‍යවරුන් හඳුනාගන්නා බව බොහෝ අවස්ථාවල සඳහන් වෙනවා.

  • විශාලම හානිය සමට

ප්‍රමිතියක් නොමැති සුදු වීමේ ආලේපන වගේම සම පැහැපත් කිරීමේ ආලේපන භාවිතය නිසා විශාලතම හානියක් සමට සිදු වෙනවා. අපේ ශරීරයේ විශාලතම අවයවය වන්නේ සමයි. සම යටට ඉතා පහසුවෙන් ලේ ගැලීමක් සිදු වීමට පුළුවන්. එය මතුපිටින් නොපෙනුනත් යටින් තුවාල වෙන්න ඉඩ තිබෙනවා. මේ තුවාල සුව වීමත් ඉතාම සෙමෙන් සිදු වෙන්නක්. ඒ වගේම ස්ටෙරොයිඩ් අධි මාත්‍රාවක් සමට උරා ගත්තොත් එය හරියට ස්ටෙරොයිඩ් අඩංගු ඖෂධ පාවිච්චි කිරීම නිසා ඇති වෙන අතුරු සංකුලතාවයකට සමානයි. ස්ටෙරොයිඩ් විශාල ප්‍රමාණයෙන් සමේ ආලේප කිරීම නිසා ඇති වන ශරීරය අභ්‍යන්තරයේ වෙනස්කම් හේතුවෙන් අධි වෘක්ක ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය අඩු වීමේ අවදානමක් පවතිනවා.

ඒ වගේම වයිට්නින් ක්‍රිම් පාවිච්චි කිරීම නිසා අත්වල පොඩි සන්ධි උඩ තිබෙන සම කළු පාට වෙනවා. සමහර විට අල්ලත් කළු පාට වෙනවා. නියපොතු දුඹුරු පාට වෙනවා. මේ තත්වය ඇති වෙන්නේ බැර ලෝහ නිසාද, එහෙම නැත්නම් ස්ටෙරොයිඩ් නිසාද යන්න පිළිබඳව තවම ලෝකයේ කොතැනකවත් පර්යේෂන සිදු වී නැහැ. මෙවැනි ප්‍රමිතියෙන් තොර ආලේපන පාවිච්චි කිරීම නිසා රෝගී තත්වයට පත් වූ පුද්ගලයන් සිටිනවා.

  • නිසි පුහුණුවක්

රූපලාවන්‍ය ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම නිසි පුහුණුවක් සහ සුදුසු පරිදි සකස් කර ගත් නිෂ්පාදනාගාරයක සිදු විය යුත්තක්. නිත්‍යානුකුළ වගේම ප්‍රමිතිගත ලෙස පවත්වා ගෙන යන රූපලාවන්‍ය නිෂ්පාදන ආයතන බොහොමයක් අපේ රටේ තියෙනවා. ඒ වගේම මෙම නිෂ්පාදන සම්මත තත්වයක පවත්වා ගෙන යෑම සඳහා සම්මත තත්ව යටතේ නිෂ්පාදන සිදු කිරීමට තත්ව සහතික තිබීම අනිවාර්ය කිරීම සිදු විය යුතු දෙයක්. හතු පිපෙනවා වගේ මේවා නිෂ්පාදනය කිරීමේ පාඨමාලා තිබෙනවා. ඒවායේ නියාමනයක් නැහැ. සමාජ මාධ්‍ය දිහා බැලුවොත් රූපලාවන්‍ය නිෂ්පාදන උගන්වන ආයතන බොහොමයක් තිබෙනවා.

නමුත් මෙම ආයතන මොනවාද..? ඉගැන්වීම වෙනුවෙන් ඔවුන්ට ඇති අයිතිය කුමක්ද..? මේවා අනිවාර්යෙන්ම නියාමනය විය යුතු වුනත් එවැනි ක්‍රමවේදයන් තවමත් ක්‍රියාත්මක තත්වයක නැහැ. ඒ නිසා තවමත් ශ්‍රී ලංකාව තුළ රූපලාවන්‍ය ආලේපනවල ප්‍රමිතිය හෝ ආරක්ෂිත බව ගැන වගකීමෙන් සහතික කරන්න නොහැකියි.

ප්‍රමිතියක් ඇති රූපලාවන්‍ය නිෂ්පාදනයක් තෝරා ගැනීමේදී එහි ලේබල් එක බලන්න. එය නිෂ්පාදනය කළ ආයතනයක් තියෙන්න ඕන. එහි ලිපිනය වගේම දුරකථන අංකය සඳහන් වෙන්න ඕන. එහි අඩංගු ද්‍රව්‍ය ඇතුලත්ව තිබෙන්න ඕන. නිෂ්පාදිත දිනය, කල් ඉකුත්වීමේ දිනය බලන්න. ඒ වගේම විදේශ රටවල සන්නාමයන් යටතේ නිෂ්පාදනය කරන අනුකරණ බොහොමයක් අපේ රටේ තිබෙන නිසා ඒ ගැනත් සැලකිලිමත් වෙන්න.

සුදු වුනොත් ලස්සනයි කියල හිතන්න එපා.. ක්ෂණිකව සුදු වීමට යැයි සිතමින් අනාරක්ෂිත ක්‍රමවේදයන් පසු පස හඹා නොයන්න. ඔබට ඔබේ පෙනුම වැඩිදියුණු කර ගැනීමට අවශ්‍ය නම් සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකුගේ උපදෙස් මත රූපලාවන්‍ය ද්‍රව්‍ය භාවිත කරන්න.


BBC පුවත් වෙත සමේ රෝග විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට මහත්මිය විසින් ලබා දුන් සාකච්ඡාවක් ඇසුරෙනි.

සටහන

පුන්‍යා චාන්දනී ද සිල්වා

Leave feedback about this

  • Quality