නොවැම්බර් 4, 2025
Microorganisms parent Pulse Article Featured Image
විශේෂී ලිපි

ඔබේ ගෙදරට ක්ෂුද්‍ර ජීවීන් නැතිවම බැරි ඇයි?

කිරි මුදවන්නේත්, පාන් පුළුස්සන්නේත්, ගෙවත්තේ පස සරුවන්නේත් අපට ඇසට නොපෙනෙන කුඩාම වීරයන් කණ්ඩායමක් වන ක්ෂුද්‍ර ජීවීන් නිසයි. යෝගට් කෝප්පයක් තුළ පවා මිලියන ගණනින් වෙසෙන මොවුන්, අපගේ මුළුතැන්ගෙයින් පටන්ගෙන පරිසරය දක්වාම අතිශය කාර්යක්ෂමව වැඩ කරනවා.

කාබනික ද්‍රව්‍ය දිරාපත් කිරීමේ සිට, වායුගෝලයේ ඇති නයිට්‍රජන් වායුව පසට එකතු කිරීම දක්වා අපට කළ නොහැකි බොහෝ දේ ක්ෂුද්‍ර ජීවීන්ට පුළුවන්. මේ ඔවුන්ගෙන් අපේ දෛනික ජීවිතයට ලැබෙන ප්‍රයෝජනයි.

ක්ෂුද්‍ර ජීවීන් නොසිටියේ නම්, අපගේ ප්‍රියතම ආහාර බොහොමයක් නොලැබෙනු ඇත.

කිරි ආහාර නිෂ්පාදනයට

  • මුදවපු කිරි සහ යෝගට් – කිරි දියර වශයෙන් තිබියදී ඒවා කැටි බවට පත්කිරීම අපට කළ නොහැකියි. ඒ සඳහා අවශ්‍ය වන්නේ ලැක්ටොබැසිලස් (Lactobacillus acidophilus) වැනි බැක්ටීරියා විශේෂයි. මුදවපු කිරි (මී කිරි) සහ දරුවන්ට අවශ්‍ය යෝගට් සෑදීමට මොවුන් අත්‍යවශ්‍යයි.
  • චීස් – උසස් වර්ගයේ චීස් සාදා ගැනීමට ස්ට්‍රෙප්ටොකොකුස් ලැක්ටිස් (Lactococcus lactis) වැනි බැක්ටීරියා භාවිත කෙරේ.

බේකරි කර්මාන්තයට

  • පාන්, බනිස් වැනි දේ නිපදවීමේදී පිටි මෝලිය පැයක් දෙකක් ඇතුළත හොඳින් පිපෙන්නේ යීස්ට් (Yeast) නම් ක්ෂුද්‍ර ජීවියාගේ ක්‍රියාකාරිත්වය හේතුවෙනි. මොවුන් පිටිවල ඇති සීනි භාවිත කරමින් කාබන් ඩයොක්සයිඩ් වායුව නිපදවන අතර, එමගින් පිටි මෝලිය විශාල වී අපට රසවත් පාන් ලැබෙනවා.

ආහාර දාමයේ මූලාරම්භය

  • මුහුදේ සහ ජලාශවල දක්නට ලැබෙන කොළ, රතු, දුඹුරු ඇල්ගී (Algae) සහ සයනොබැක්ටීරියා විශේෂ (රතු මුහුද රතු කිරීමට හේතු වූ Trichodesmium) ප්‍රභාසංශ්ලේශණය මගින් තමන්ගේ ආහාර නිපදවයි. සාගර පරිසර පද්ධතිවල ඇති සියලුම ආහාර දාම ආරම්භ වන්නේ මේ ඇල්ගS විශේෂ වලිනි. අපගේ මහා ජීවී ආහාර චක්‍රයේ පදනම මොවුන්ය.

දරුවන්ට වස විසෙන් තොර එළවළුවක් පලතුරක් ගෙවත්තේ වගා කරන්නට වෙහෙසෙන මව්පියන් ලෙස අපට ගෙවතු වගාවේදී ක්ෂුද්‍ර ජීවීන්ගේ දායකත්වය මිල කළ නොහැකියි.

පසට නයිට්‍රජන් එකතු කිරීම (ස්වභාවික පොහොර)

  • නයිට්‍රජන් තිර කිරීම – ගහකොළට වායුගෝලයේ ඇති නයිට්‍රජන් වායුව සෘජුවම උරා ගැනීමට නොහැකියි. ඒ සඳහා අවශ්‍ය වන්නේ රයිසෝබියම් (Rhizobium) වැනි නයිට්‍රජන් තිර කරන බැක්ටීරියා විශේෂයි. මොවුන් වායුගෝලීය නයිට්‍රජන් ශාකවලට උරා ගත හැකි සංයෝග බවට පත් කර, පස ස්වභාවිකව සාරවත් කරයි.

කාබනික ද්‍රව්‍ය දිරාපත් කිරීම

  • කුණු කසළ පොහොර බවට පත් කිරීම – අප පරිසරයට මුදා හරින කොළ, දර, සහ අනෙකුත් කාබනික ද්‍රව්‍ය (කුණු කසළ) ඉක්මනින් දිරාපත් කරන්නේ දිලීර සහ බැක්ටීරියා මගිනි.
  • ඛනිජ ප්‍රතිචක්‍රීකරණය – ඔවුන්ගේ ජීර්ණ ක්‍රියාවලියේදී මෙම කාබනික ද්‍රව්‍ය විවිධ ඛනිජ කොටස්වලට වෙන් වී නැවත පසට එකතු වේ. මෙලෙස ඛනිජ ප්‍රතිචක්‍රීකරණය වීමෙන් ගහකොළට අවශ්‍ය පෝෂණය හිඟ නොවන අතර පස සාරවත් වේ.

ක්ෂුද්‍ර ජීවීන් විශාලත්වයෙන් නැනෝ පරිමාණයේ තරම් වුවත්, ඔවුන්ගේ කාර්යක්ෂමතාව ඉතා වැඩිය. යෝගට් කැටි කිරීමේ සිට, අපේ ගෙවත්තේ පස පොහොර කිරීම දක්වා මහා ජීවීන් වන අපට කළ නොහැකි බොහෝ දේ වඩාත් කාර්යක්ෂමව ඉටුකරන්නට ක්ෂුද්‍ර ජීවීන්ට හැකියි. ඔවුන් අපගේ දෛනික ආහාර සුරක්ෂිතතාවය සහ පරිසරයේ සමබරතාවය සඳහා අත්‍යවශ්‍ය වීරයෝ වෙයි.


සටහන

උදානි ජයසේන

Leave feedback about this

  • Quality