දෙසැම්බර් 5, 2025
Kids Dreams Parent Pulse Article Featured Image
විශේෂී ලිපි

ඔබේ දරුවා, ඔබේ සිහින ඉටු කිරීමට යෙදවිය හැකි නියෝජිතයෙක් යැයි ඔබ සිතනවාද?

අපගේ උවමනාව මත මේ ලෝකයට ජනිත වන අපේ දරුවන් අපේ අසාවන් සිහින උදෙසා වෙහෙස විය යුතුය යන මතයේ ඇතැම් මව්වරුන් සිටියත් එය දරුවන් ඇති දැඩි කිරීමේදී මව්පියන් කරන ප්‍රබලතම වරදක් ලෙස හැදින්වීමේ වරදක් නැත. තමන්ගේ යටපත් වූ සිහින සහ නොලැබුණු අවස්ථා දරුවන් මත පැටවීමට උත්සාහ කිරීම මව්පිය සෙනෙහසින් සහ යහපත් චේතනාවෙන් ආරම්භ වුවත් මෙම ක්‍රියාවලිය අවසානයේදී පවුල තුළ, දරුවාගේ මනස තුළ සහ සමාජය තුළ පවා ඉතා භයානක සහ විනාශකාරී ප්‍රතිවිපාක ඇති කරයි.

මෙය සමස්ත ගැටලුවේ වඩාත්ම සංවේදී සහ හානිකර කොටසයි. මව්පිය සිහිනවලට හසුවන දරුවෙකුගේ මානසික සෞඛ්‍යය බරපතළ ලෙස පිරිහීමට ලක්විය හැකිය.

  • අනන්‍යතාව නැතිවීම – දරුවා තම ජීවිතය ගත කරන්නේ තමාගේ අභිලාෂයන් වෙනුවෙන් නොව, මව්පියන්ගේ අභිලාෂයන් වෙනුවෙන් වූ විට, ඔවුන්ගේ සැබෑ අනන්‍යතාවය යටපත් වේ. ඔවුන් තමන් කවුද, තමන්ට අවශ්‍ය කුමක්ද යන්න දැන ගැනීමට අරගල කරයි. ඔවුන්ගේ තීරණ, අධ්‍යයනය සහ විනෝදාංශ තෝරා ගන්නේ මව්පියන් සතුටු කිරීමට මිස, තමන්ගේ සතුට වෙනුවෙන් නොවේ.
  • දැඩි මානසික පීඩනය සහ කාංසාව – මව්පියන්ගේ අපේක්ෂා ඉහළ වන විට, දරුවාට නිරන්තරයෙන් සාර්ථක විය යුතුය යන පීඩනයට මුහුණ දීමට සිදු වේ. අසමත් වුවහොත් මව්පියන්ගේ ආදරය හෝ පිළිගැනීම අහිමි වේ යැයි බියක් ඇති වේ. මෙය කාංසාව, මානසික අවපීඩනය සහ සමහර විට ආහාර ගැනීමේ අක්‍රමිකතා වැනි බරපතළ මානසික සෞඛ්‍ය ගැටලුවලට මඟ පෑදිය හැකිය.
  • අභ්‍යන්තර පෙළඹවීම බිඳ වැටීම – දරුවා යම් ක්‍රියාවක් කරන්නේ තමන්ගේ සතුට වෙනුවෙන් නොව, මව්පියන්ගේ ප්‍රශංසාව (බාහිර පෙළඹවීම) වෙනුවෙන් නම්, ඔවුන්ගේ අභ්‍යන්තර පෙළඹවීම නැති වී යයි. ඔවුන්ගේ දක්ෂතාව දියුණු කිරීමට ඇති සැබෑ ආශාව වියැකී යන අතර, ඔවුන් ඉගෙනීමට හෝ පුහුණුවට දක්වන්නේ අකමැත්තකි. දිගුකාලීනව මෙය ඔවුන්ගේ ඵලදායිතාවයට හා ජීවිතයේ තෘප්තියට අහිතකර ලෙස බලපායි.

මව්පිය සිහින දරුවන් ලවා ඉටු කරගැනීමට යාම පවුල නම් ආයතනයේ මුල් බැසගත් සබඳතා බිඳ දමයි.

  • කොන්දේසි සහිත ආදරය – මව්පියන් විසින් දරුවාට ආදරය සහ අවධානය ලබා දෙන්නේ ඔවුන් යම් නිශ්චිත ඉලක්ක සපුරා ගත් විට පමණක් නම්, දරුවාට හැඟෙන්නේ තමන්ව කොන්දේසි සහිතව පිළිගන්නා බවයි. ඔබ මේ විභාගය සමත් වුණොත් මම ආදරෙයි හෝ ඔබ ක්‍රිකට් තරඟය දිනුවොත් විතරයි මම සතුටු වන්නේ වැනි හැඟීම් දරුවා තුළ බද්ධ වේ. මෙය මව්පියන් සහ දරුවන් අතර ඇති විය යුතු නිරෝගී සෙනෙහස බිඳ දමා, විශ්වාසය පළුදු කරයි.
  • බලය සඳහා අරගලයක් – දරුවා යම් වයසකට පැමිණි විට, ඔවුන් තම පෞද්ගලික තේරීම් වෙනුවෙන් මව්පියන්ට එරෙහිව නැගී සිටීමට පටන් ගනී. මෙය පවුල තුළ නිරන්තරයෙන් ගැටුම් ඇතිවීමට හේතු වේ. මව්පියන් බලය යෙදවීමෙන් දරුවා තව තවත් දුරස් වේ.
  • සමබරතාව බිඳ වැටීම – මව්පියන් තම සිහින පසුපස හඹා යන විට, ඔවුන් පවුලේ අනෙක් දරුවන්ට දිය යුතු කාලය හා අවධානය අහිමි කරයි. මෙය පවුල තුළ ඊර්ෂ්‍යාව සහ කෝපය වර්ධනය වීමට හේතු වන අතර, සමස්ත පවුලේ සබඳතා අවුල් කරයි.

දරුවන්ගේ ජීවිතයට ඕනෑවට වඩා මැදිහත් වන මව්පියන් (Helicopter Parents) සමාජය තුළ පත්වන තත්ත්වයද යහපත් නොවේ.

  • සමාජයෙන් බැහැරවීම – දරුවා නිරන්තරයෙන් පුහුණුවීම්වලට හෝ අමතර පන්තිවලට යොමු කිරීම නිසා, ඔවුන්ට මිතුරන් සමඟ සෙල්ලම් කිරීමට, සමාජ අන්තර්ක්‍රියා ඇති කර ගැනීමට සහ සමාජ කුසලතා වර්ධනය කර ගැනීමට අවස්ථාව අහිමි වේ. මෙය දරුවාගේ සමාජ බුද්ධිය සහ චිත්තවේගීය බුද්ධිය හීන වීමට හේතු වේ.
  • විනිශ්චය සහ විවේචනයට ලක්වීම – වෙනත් මව්පියන් සහ සමාජය, අධික අපේක්ෂා ඇති මව්පියන් දෙස බලන්නේ අධි ආරක්ෂක සහ තරඟකාරී පුද්ගලයන් ලෙසය. ඔවුන් විනිශ්චය සහ විවේචනයට ලක්වන අතර ඔවුන්ගේ ක්‍රියාකලාපය නිසා දරුවාද මිතුරන් අතර අසහනයට පත් වේ. මිතුරන් අතරදී පවා දරුවාට තමන්ගේම අනන්‍යතාවයකින් කටයුතු කිරීමට නොහැකි තත්ත්වයක් ඇති වේ.
  • අසාර්ථකත්වය හමුවේ සමාජ අපකීර්තිය – දරුවාගේ සාර්ථකත්වය පිළිබඳව අධික ලෙස ප්‍රසිද්ධියක් ලබා දී තිබේ නම්, යම් දිනක දරුවා අසමත් වුවහොත්, මව්පියන් සහ දරුවා යන දෙදෙනාම සමාජ අපකීර්තියට පත් වේ. මෙය මව්පියන්ගේ ආත්ම ගෞරවයට හා දරුවාගේ මානසිකත්වයට දරුණු ලෙස බලපායි.

තම සිහින දරුවන් ලවා ඉටු කරගැනීමට වෙහෙසෙන මව්පියන් බොහෝ විට පත්වන්නේ කනගාටුදායක තත්ත්වයකටය.

  • කාලය අහිමි වීම – තම දරුවාගේ ජීවිතයේ ඉතා වැදගත් අවස්ථාවන්හිදී, තමන්ගේ අපේක්ෂාවන් පසුපස හඹා යෑම නිසා සැබෑ සතුට අත්විඳීමට ඔවුන්ට නොහැකි වේ. දරුවාගේ සැබෑ සතුට සහ දියුණුව දැකීමට ඇති අවස්ථාව ඔවුන්ට මඟ හැරේ.
  • තෘප්තියක් නොලැබීම – දරුවා මව්පියන්ගේ සිහිනය ඉටු කළත්, මව්පියන්ට සැබෑ තෘප්තියක් නොලැබේ. මන්ද, එය ඔවුන් විසින්ම අත්පත් කරගත් සාර්ථකත්වයක් නොවන බැවිනි. එය නිරන්තරයෙන් අලුත් වන සහ කිසිදා අවසන් නොවන අපේක්ෂාවන් චක්‍රයක් යැයි පැවසීම නිවැරදිය.
  • වැඩිහිටි ජීවිතයේ කණගාටුව – දරුවා වැඩිහිටියෙකු වූ පසු, මව්පියන්ගේ බල කිරීම මත ගත් තීරණ සම්බන්ධයෙන් ඔවුන් කෝපයෙන් හා කණගාටුවෙන් සිටියහොත්, මව්පියන්ට ඉතිරි වන්නේ පසුතැවිල්ල පමණි.

මව්පියන් ලෙස අපගේ කාර්යභාරය විය යුත්තේ දරුවන්ගේ ගමන පාලනය කිරීම නොව, ඔවුන්ගේ ගමනට ආලෝකයක් සැපයීමයි. දරුවා යනු අපේ සිහින ඉටු කිරීමට තෝරාගත් නියෝජිතයෙක් නොවන අතර, ඔවුන් තමන්ගේම පෞද්ගලික අරමුණු සහ සිහින සහිත ස්වාධීන පුද්ගලයන්ය. තම සිහින දරුවන් ලවා ඉටු කරගැනීමට යාමෙන්, මව්පියන් අවසානයේදී පත්වන්නේ, කනස්සල්ලෙන්, ගැටුම්වලින් සහ පසුතැවීම්වලින් පිරුණු තත්ත්වයකටය. දරුවෙකුට දිය හැකි හොඳම දායාදය වන්නේ ඔවුන්ගේ හැකියාවන් අවබෝධ කර ගැනීමටත්, තමන් තෝරාගත් ක්ෂේත්‍රයේ සාර්ථක වීමටත් අවශ්‍ය අවකාශය, සහයෝගය සහ කොන්දේසි විරහිත ආදරය ලබා දීමයි.


Leave feedback about this

  • Quality