ආපදා තත්ත්වයකදී පරිසරය දූෂණය වීම, සනීපාරක්ෂක පද්ධති බිඳ වැටීම සහ ජනතාව තදබදයට පත් කඳවුරුවල රැඳී සිටීම හේතුවෙන් බෝවන රෝග ඉතා ශීඝ්‍රයෙන් පැතිර යාමේ අවදානමක් පවතී. මෙම අවදානම කළමනාකරණය කිරීම සඳහා රෝග පිළිබඳ නිවැරදි අවබෝධයක් සහ නිසි ක්‍රියාමාර්ග අනුගමනය කිරීම අත්‍යවශ්‍ය වේ.
ජලයෙන් බෝවන රෝග
- ආපදා කාලවලදී, විශේෂයෙන් ගංවතුර තත්ත්වයන් යටතේ, පානීය ජල මූලාශ්‍ර මල අපද්‍රව්‍ය සමඟ මිශ්‍ර වීමෙන් ජලයෙන් බෝවන රෝග බහුල වේ.
- කොළරාව – මෙය Vibrio cholerae බැක්ටීරියාව මගින් ඇති කරන උග්‍ර පාචන රෝගයකි. වේගවත් විජලනය හේතුවෙන් ජීවිත අවදානමක් ඇති කරයි.
- ටයිපොයිඩ් උණ – Salmonella typhi බැක්ටීරියාවෙන් බෝවන අතර, අධික උණ, හිසරදය සහ උදරයේ අපහසුතා ඇති කරයි.
- හෙපටයිටිස් A – දූෂිත ජලය හෝ ආහාර මගින් බෝවන අක්මාවේ ආසාදනයකි.
- අතීසාරය සහ පාචනය – E. coli සහ Shigella වැනි බැක්ටීරියා මෙන්ම රොටාවෛරස් වැනි වෛරස් මගින් ඇතිවේ.
සතුන් මගින් බෝවන රෝග
- ගංවතුරෙන් පසු ඉතිරිවන ජලය සහ අවට පරිසරයේ වෙනස්කම් හේතුවෙන් කෘමි දෛශික බෝවීම වැඩි වේ.
- ඩෙංගු සහ චිකුන්ගුන්‍යා – මදුරුවන් බෝවන ස්ථාන වැඩි වීම හේතුවෙන් මේ රෝග ශීඝ්‍රයෙන් පැතිර යයි.
- මී උණ – මීයන්ගේ මුත්‍රා දූෂිත ජලයට මුසු වී, සමේ තුවාල හරහා ශරීරගත වීමෙන් ඇතිවන බරපතල බැක්ටීරියා ආසාදනයකි.
- මැලේරියාව – මැලේරියා අවදානමක් සහිත ප්‍රදේශවල, මදුරුවන් බෝවීම නිසා රෝගය නැවත පැතිර යාමේ අවස්ථාවන් ඇතිවිය හැක.
වාතය සහ සමීප ඇසුර මගින් බෝවන රෝග
- තදබදයට පත් රැඳවුම් කඳවුරුවලදී රෝගකාරක පහසුවෙන් එක් අයෙකුගෙන් තවත් අයෙකුට සම්ප්‍රේෂණය වේ.
- ශ්වසන ආසාදන – සෙම්ප්‍රතිශ්‍යාව, උණ සහ නියුමෝනියාව වැනි රෝග කඩිනමින් පැතිර යයි.
- ක්ෂය රෝගය – පුද්ගලයන් සමීපව ඇසුරු කිරීමේදී රෝගය පැතිරීමේ අවදානම ඉහළ යයි.
ආපදා තත්ත්වයකදී රෝග වළක්වා ගැනීම සඳහා මූලිකව අවධානය යොමු කළ යුත්තේ පිරිසිදු ජලය, සනීපාරක්ෂාව මතය.
- ජලය සහ ආහාර සුරක්ෂිතතාව
- ජලය උණු කිරීම – පානයට, ආහාර පිසීමට, දත් මැදීමට සහ තුවාල සේදීමට ගන්නා ජලය සම්පූර්ණයෙන්ම උණු කර නිවා ගැනීම අත්‍යවශ්‍ය වේ.
- ජලය ක්ලෝරිනීකරණය – උණු කිරීමට නොහැකි නම් අදාළ උපදෙස් අනුව ජලය පිරිසිදු කරන්න.
- ආහාර – පිසින ලද ආහාර හැකි ඉක්මනින් පරිභෝජනය කරන්න. පිරිසිදු නොකළ හෝ දූෂිත විය හැකි පලතුරු සහ එළවළු අනුභව කිරීමෙන් වළකින්න.
- සනීපාරක්ෂාව සහ පෞද්ගලික ආරක්ෂාව
- අත් සේදීම – ආහාර ගැනීමට පෙර, වැසිකිළි භාවිතයෙන් පසු සහ අපිරිසිදු දෑ ඇල්ලීමෙන් පසු සබන් යොදා විනාඩි 20ක්වත් හොඳින් අත් සෝදන්න.
- පරිසරය පිරිසිදු කිරීම – නිවසේ සහ අවට පරිසරය පිරිසිදුව තබා ගන්න. මල අපද්‍රව්‍ය සහ කසළ නිසි පරිදි බැහැර කරන්න.
- තුවාල ආවරණය – සිරුරේ ඇති ඕනෑම තුවාලයක් පිරිසිදු ජලයෙන් සෝදා විෂබීජ නාශකයක් යොදා පිරිසිදු වෙළුම් පටියකින් ආවරණය කරන්න. මී උණ වළක්වා ගැනීම සඳහා දූෂිත ජලය සමඟ සම ස්පර්ශ වීම අවම කරන්න.
- මදුරු මර්දනය
- ජලය බැස යාමට සැලැස්වීම – ගංවතුර බැස ගිය පසු, අවට පරිසරයේ රඳා ඇති ටයර්, බඳුන්, පොල් කටු සහ අනෙකුත් භාජනවල එකතු වී ඇති ජලය ඉවත් කරන්න.
- මදුරු දැල් භාවිතය – විශේෂයෙන් සවස් වරුවේ සහ රාත්‍රියේදී නිදන විට මදුරු දැල් භාවිත කරන්න.
- ආරක්ෂිත ඇඳුම් – දෑත් සහ දෙපා හැකි තරම් ආවරණය වන පරිදි දිගු ඇඳුම් අඳින්න. මදුරු විකර්ෂක ආලේපන භාවිත කරන්න.


Leave feedback about this