සැප්තැම්බර් 11, 2026

දරුවන් කියන්නේ ලෝකය ගැන හැම දෙයක්ම අත්හදා බලමින් ඉගෙන ගන්න පිරිසක්. විදුලි පේනු, චාජර්, විදුලි උපකරණ, කේබල් වගේ දේවල් ඔවුන්ට බොහෝවිට අලුත් සෙල්ලම් බඩුවක් වගේ පෙනෙන්න පුළුවන්.  ඒත් විදුලිය සම්බන්ධ අනතුරු තත්පර කිහිපයකින් සිදුවිය හැකි බරපතළ අනතුරු විය හැකියි. දරුවෙකුට විදුලි සැර වැදුණාම බය වෙලා කලබල වෙනවා වෙනුවට, වැදගත් වන්නේ මුලින්ම කළ යුතු දේ දැනගෙන සිටීමයි.

දරුවෙකුට විදුලි සැරක් වැදුණු අවස්ථාවකදී දෙමාපියන් බොහෝවිට මුලින්ම සිතන්නේ, “දරුවා දැන් හොඳින් ඉන්නවා නම් ඇති නේද?” කියන එකයි.

සමහර අවස්ථාවල දරුවා ඉක්මනින්ම සාමාන්‍ය තත්ත්වයට පත්වෙන්න පුළුවන්. නමුත් විදුලි සැරකින් සිදුවන බලපෑම හැමවිටම සම මත පෙනෙන තුවාලයකින් පමණක් තීරණය කරන්න බැහැ. ඒ නිසා විදුලි සැරක් වැදුණු විට කළ යුතු මූලික ආරක්ෂිත පියවර, වෛද්‍ය උපදෙස් ලබාගත යුතු අවස්ථා සහ ඉදිරියේදී එවැනි අනතුරු වළක්වා ගන්නේ කොහොමද කියලා දැනගෙන සිටීම සෑම දෙමාපියෙකුටම ප්‍රයෝජනවත්.

විදුලි සැරක් කියන්නේ මොකක්ද?

විදුලි ධාරාව ශරීරය හරහා ගමන් කරන විට විදුලි සැරක් ඇති වේ. එහි බලපෑම එකම ආකාරයෙන් සෑම අවස්ථාවකදීම සිදුවන්නේ නැහැ. විදුලියේ ප්‍රමාණය, එය ශරීරය හරහා ගමන් කළ ආකාරය, දරුවා කොපමණ වේලාවක් විදුලියට සම්බන්ධව සිටියාද සහ වෙනත් තත්ත්වයන් අනුව බලපෑම වෙනස් විය හැකිය.

විදුලි සැරකින් පිළිස්සුම්, මාංශපේශී හා ස්නායු ආශ්‍රිත ගැටලු සහ හෘද රිද්මයේ වෙනස්කම් වැනි තත්ත්වයන් ඇති විය හැකිය. බරපතළ අවස්ථාවකදී හුස්ම ගැනීම හෝ හෘද ක්‍රියාකාරිත්වය පවා බලපෑමට ලක් විය හැකිය. ඒ නිසා දරුවාගේ සමේ ලොකු තුවාලයක් නොපෙනුණත්, සිදුවීම නොසලකා හැරීම සුදුසු නැහැ.

පළමු සහ වැදගත්ම පියවර — දරුවාව එක්වරම අල්ලන්න එපා!

දරුවා තවමත් විදුලි ප්‍රභවයට සම්බන්ධ වී සිටිනවා නම්, ඔබේ ආරක්ෂාව ගැන පළමුව සිතන්න. විදුලි ධාරාව නතර කිරීමට හැකි නම්, ආරක්ෂිතව ප්‍රධාන විදුලි සැපයුම (mains) විසන්ධි කරන්න. විදුලිය තවමත් ක්‍රියාත්මකව තිබියදී දරුවාව අතින් අල්ලන්න යාමෙන් ඔබටත් විදුලි සැර වැදිය හැකියි. NHS මාර්ගෝපදේශයත් දරුවා වෙත ළඟා වීමට පෙර විදුලි බලය නතර කිරීමේ වැදගත්කම අවධාරණය කරයි. එම නිසා මුලින් විදුලි සැපයුම නතර කරන්න. ඊට පස්සේ දරුවා වෙත යන්න. විදුලි සැපයුම නතර කළ නොහැකි තත්ත්වයක් නම්, දරුවා වෙත ළඟා වීමට උත්සාහ කිරීම වෙනුවට වහාම හදිසි උපකාර ලබාගන්න.

විදුලිය විසන්ධි කළ පසු මොනවාද බලන්න ඕනේ?

විදුලි සැපයුම නතර කළ පසු දරුවාගේ තත්ත්වය පරීක්ෂා කරන්න.

  1. දරුවා ප්‍රතිචාර දක්වනවාද?

දරුවාට කතා කර බලන්න. ඔහු/ඇය සාමාන්‍ය ලෙස ප්‍රතිචාර දක්වනවාද කියලා බලන්න.

  •  හුස්ම ගැනීම සාමාන්‍යද?

හුස්ම ගැනීමට අපහසු නම්, හුස්ම නොගන්නේ නම් හෝ සාමාන්‍ය හුස්ම ගැනීම වෙනුවට අසාමාන්‍ය ලෙස හුස්ම ගන්නවා නම් එය හදිසි තත්ත්වයක් ලෙස සලකන්න.

  • පිළිස්සුම් තිබෙනවාද?

විදුලි සැර වැදුණු ස්ථානයේ හෝ ශරීරයේ වෙනත් ස්ථානයක පිළිස්සුම් ලකුණු තිබේද බලන්න. විදුලි සැරකින් ඇතිවන පිළිස්සුම් සමහරවිට කුඩා ප්‍රදේශයක පෙනෙන්නට පුළුවන්. නමුත් එයින් සිදුවූ බලපෑමේ තරම තීරණය කළ නොහැකියි.

  • දරුවා සාමාන්‍ය ලෙස හැසිරෙනවාද?

දරුවා හදිසියේ අසාමාන්‍ය ලෙස නිදිමත, අවුල් සහගත, දුර්වල හෝ ප්‍රතිචාර අඩු තත්ත්වයක සිටිනවා නම් ඒ ගැන විශේෂ අවධානයක් යොමු කරන්න.

දරුවා වෛද්‍යවරයෙකුට පෙන්වන්න ඕනේද?

මෙය “ඔව් හෝ නැහැ” කියලා හැම විදුලි සැරකටම එකම පිළිතුරක් දෙන්න පුළුවන් ප්‍රශ්නයක් නොවේ. එය විදුලි සැරේ ස්වභාවය සහ දරුවාගේ තත්ත්වය අනුව තීරණය වෙනවා. විශේෂයෙන්ම පහත ලක්ෂණ තිබේ නම් වහාම හදිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම අවශ්‍යයි.

  • දරුවා සිහිසුන් වීම
  • ප්‍රතිචාර නොදැක්වීම
  • හුස්ම ගැනීමේ අපහසුතාව
  • හුස්ම නොගැනීම
  • වලිප්පුව ඇතිවීම
  • හෘද ස්පන්දනය අසාමාන්‍ය බවක් පෙනීම
  • දැඩි පිළිස්සුම්
  • දරුවා දැඩි ලෙස දුර්වල වීම හෝ අසාමාන්‍ය ලෙස හැසිරීම
  • විදුලි සැරෙන් පසු බරපතළ තුවාලයක් ඇතිවීම

දරුවා හොඳින් ඉන්නවා වගේ නම් වෛද්‍ය උපදෙස් අනවශ්‍යද?

මේක තමයි දෙමාපියන්ට ඇතිවන සාමාන්‍ය ප්‍රශ්නය. විදුලි සැර වැදිමෙන් පසු ඉක්මනින්ම සාමාන්‍ය ලෙස කතා කරමින් සිටීම හොඳ ලකුණක්. නමුත් එය සියලු අවදානම් අවසන් කියා සිතිමට හේතුවක් නොවේ. විශේෂයෙන්ම දරුවාට කොපමණ විදුලි බලයක් සම්බන්ධ වූවාද, කොපමණ වේලාවක් සම්බන්ධව සිටියාද, විදුලි ධාරාව ශරීරය හරහා ගමන් කළ හැකි ආකාරය සහ පිළිස්සුම් හෝ වෙනත් තුවාල තිබේද යන්න වැදගත් වේ. ඒ නිසා දරුවෙකුට විදුලි සැරක් වැදුණා නම්, විශේෂයෙන් සිදුවීම පැහැදිලි නැත්නම් හෝ දරුවා කුඩා නම්, වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබාගැනීම ආරක්ෂිතම පියවරයි. විදුලි සැර නිසා දරුවෙකුට පිළිස්සුම් ඇතිවී ඇත්නම්, එවැනි පිළිස්සුම් වෛද්‍ය ඇගයීමක් අවශ්‍ය වන අවස්ථාවක් ලෙස සලකයි. මෙවැනි පිළිස්සීමකදි කෝමාරිකා, දත් බෙහෙත්, තෙල්/බටර් වැනි නිවසේ පිලියම් නොයොදා  වෛද්‍ය උපදෙස් ලබාගන්න. —

විශේෂයෙන් සැලකිලිමත් විය යුතු කරුනු

  • දරුවාව බලෙන් ඇවිද්දවන්න එපා.
  • පිළිස්සුම්වලට හිතුමතේ ප්‍රතිකාර කරන්න එපා.
  • දරුවා අසාමාන්‍ය ලෙස හැසිරෙනවා නම් “නිදාගත්තම හරි යයි” කියලා සිතන්න එපා
  • බරපතළ ලක්ෂණ තිබේ නම් වෛද්‍ය උපකාර ලබාගැනීම ප්‍රමාද කරන්න එපා.

විදුලි අනතුරු වළක්වාගන්න දෙමාපියන්ට කළ හැකි දේ

විදුලි අනතුරක් සිදුවූ පසු ප්‍රතිකාර කරනවාට වඩා, එය සිදුවීමට පෙර වළක්වාගැනීම වැදගත්.

  • විදුලි සොකට් ආරක්ෂිත ආවරණවලින් වසා තබන්න.
  • විදුලි වයර් දරුවන්ට ළඟා විය නොහැකි ලෙස සකස් කරන්න.
  • කැඩුණු හෝ හානි වූ විදුලි වයර් භාවිත නොකරන්න.
  • තෙත් අත් වලින් විදුලි උපකරණ ඇල්ලීමෙන් වළකින්න.
  • විදුලි උපකරණ ජලය අසල තබන්න එපා.
  • භාවිතයෙන් පසු විදුලි උපකරණ විසන්ධි කර තබන්න.
  • දරුවන්ට විදුලි උපකරණ සමඟ සෙල්ලම් කිරීමට ඉඩ නොදෙන්න.
  • විදුලි පේනු සහ වයර් දරුවන්ගෙන් ඈත් කර තබන්න.
  • දරුවන් විදුලි උපකරණ භාවිත කරන විට වැඩිහිටි අධීක්ෂණය ලබා දෙන්න.
  • විදුලි පද්ධතිය කාලානුරූපව සුදුසුකම් ලත් විදුලි කාර්මිකයෙකු ලවා පරීක්ෂා කරවා ගන්න.
  • විදුලි උපකරණවල ආරක්ෂිත භාවිතය පිළිබඳව දරුවන්ට වයසට ගැළපෙන ලෙස කියා දෙන්න.
  • විදුලි සැර වැදීමක් සිදුවුවහොත් දරුවා කෙළින්ම ස්පර්ශ නොකර, පළමුව විදුලි සැපයුම විසන්ධි කරන්න.

මව්පියන් ලෙස මතක තබාගත යුතු වැදගත්ම දේ

දරුවෙකුට විදුලි සැරක් වැදුණාම කලබල වීම ස්වභාවිකයි. ඒත් ඒ මොහොතේ හොඳම දේ වන්නේ ඉක්මනින් නමුත් ආරක්ෂිතව ක්‍රියා කිරීමයි.

  • මුලින්ම විදුලි සැපයුම නතර කරන්න.
  • ඔබේ ආරක්ෂාව තහවුරු කරගන්න.
  • දරුවා ප්‍රතිචාර දක්වනවාද සහ හුස්ම ගැනීම සාමාන්‍යද බලන්න.
  • බරපතළ ලක්ෂණ තිබේ නම් වහාම හදිසි වෛද්‍ය උපකාර ලබාගන්න.
  • පිළිස්සුම් හෝ වෙනත් තුවාල තිබේ නම් වෛද්‍ය පරීක්ෂාවක් ලබාගන්න.

දරුවන් සිටින සෑම නිවසකම විදුලි ආරක්ෂාව ගැන දෙමාපියන් පමණක් නොව, දරුවන්ටත් ඔවුන්ගේ වයසට ගැළපෙන ආකාරයෙන් කියා දීම වැදගත්. අනතුරක් සිදුවූ විට නිවැරදි පියවර දැන සිටීම, ඉතා වැදගත් වනු ඇත.

මූලික අදහස සහ උපදෙස්

ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය

(හෙද විද්‍යාවේදි – ගෞරව, සෞඛ්‍ය සේවා කළමනාකර – ගෞරව, බාහිර දේශක සහ ලේඛිකා)

සුතිකා පුහුණු අධිශ්‍රේණි හෙද නිලධාරිනි

නව ඡන්ම ළදරු දැඩි සත්කාර ඒකකය, ශික්ෂණ රෝහල, කුරුණැගල

මෙම ලිපිය සාමාන්‍ය දැනුවත් කිරීම සඳහා පමණි. විදුලි සැරක් වැදුණු දරුවෙකුගේ තත්ත්වය අනුව වෛද්‍ය පරීක්ෂාව අවශ්‍ය විය හැකි බැවින්, සුදුසු වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබාගන්න. බරපතළ හෝ ජීවිතයට තර්ජනයක් විය හැකි ලක්ෂණ තිබේ නම් වහාම හදිසි වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු වෙන්න.

https://nusantarabola.id/