රුධිරය එහෙම නැත්නම් ලේ යනුවෙන් අදහස් කරන්නේ අපේ ශරීරයේ තිබෙන තරලමය පටකයක්. විවිධ රෝගාබාධ සහ අනතුරුවලදී ශරීරයේ තිබෙන ලේ ප්‍රමාණය මදි වෙන්න පුළුවනි. රුධිරය කෘතිමව නිපදවන්න නොහැකි නිසා රුධිර දායකයන්ගෙන් ලබා ගන්නා රුධිරය මෙවැනි රෝගීන්ට ලබා දීම සිදු වෙනවා. මේ අන්දමින් රුධිර දායකයෙකුගෙන් ලබා ගන්නා රුධිරය එය අවශ්‍ය රෝගියෙකු වෙත ලබා දීම “ රුධිර පාරවියලනය ” යනුවෙන් හඳුන්වනවා.
ඕනෑම රුධිර දායකයෙකුගෙන් ලබා ගන්නා රුධිරය ඕනෑම රෝගියෙකුට දෙන්න පුළුවනිද…?
බැහැ. රුධිර පාරවියලනය පිළිබඳ අත්හදා බැලීම් නිසා අතීතයේදී රෝගීන් මිය ගියා. වාසනාවකට 1901 වසරේදී ඔස්ට්‍රියා ජාතික කාල් ලෑන්ඩ්ස්ටයිනර් නැමැති විද්‍යාඥයා රුධිර වර්ගීකරණය සොයා ගත්තා. අදටත් රුධිර පාරවියලනයේදී මේ සාධකය වැදගත්. මෙම සොයා ගැනීම වෙනුවෙන් ඔහු 1930 වසරේදී නොබෙල් ත්‍යාගයෙන් පවා පිදුම් ලැබුවා. ඒ වගේම මෙම විද්‍යාඥයාගේ ජන්ම දිනය යෙදෙන ජූනි 14 දිනය ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය ලෙස සෑම වසරකදීම ලොව පුරා සමරනවා.
රුධිර වර්ගීකරණය..
මෙම විද්‍යාඥයා විසින් සොයා ගත් ABO වැදගත් රුධිර ගණ ලෙස සලකනවා. රුධිර පාරවිලනයේදී ්ඊධ රුධිර ගණ ගැලපීම අත්‍යවශ්‍ය පියවරක්. ඊට පසුව විවිධ කාලවලදී සොයා ගත් රුධිර ගණ පද්ධති විශාල සංඛ්‍යාවක් තිබෙනවා.
අපට වැදගත් රුධිර ගණ කීයක් තිබෙනවාද…?
මම මුලින් සඳහන් කළ අන්දමට වැදගත්ම රුධිර ගණ වර්ගීකරණය ලෙස ABO රුධිර ගණ වර්ගීකරණය සැලකෙනවා. ABO රුධිර ගණ වර්ගීකරණයට අනුව සහ A, B, AB සහ O ලෙස ප්‍රධාන රුධිර ගණ හතරක් තිබෙනවා. මීට අමතරව ඉතාම කලාතුරකින් හමුවෙන බොම්බේ O කියන රුධිර ගණයක් තිබෙනවා. අපේ රටෙත් රෝගීන් කිහිප දෙනෙකු වගේම බොම්බේ ධ රුධිර දායකයින් පිරිසකුත් ඉන්නවා. මෙය ඉතාම දුර්ලභ රුධිර ගණයක් නිසා ABO රුධිර ගණ පද්ධතියේ තියෙන්නේ රුධිර ගණ හතරක් යැයි සඳහන් කිරීම වරදක් නැහැ.
නමුත් පසුකාලීනව සොයා ගත් අනෙකුත් රුධිර ගණ වර්ගීකරණය නිසා රුධිරය තව දුරටත් වර්ගීකරණය කරන්න පුළුවන්. 1940 වසරේදී සොයා ගත් Rh රුධිර රුධිර ගණ වර්ගීකරණයට අයත් D යන සාධකය පැවැතීම හෝ නොපැවතීම අනුව පොසිටිව් හා නෙගටිව් ලෙසත් රුධිරය වර්ග කරනවා. ඒ අනුව ප්‍රධාන රුධිර ගණ වර්ග 8 ක් ඇති බව සඳහන් කළොත් නිවරැදියි. මෙම රුධිර ගණ වර්ගීකරණය අනුව රෝගීන් සඳහා රුධිරය ගැලපීම සිදු වෙනවා.
රුධිර ගණ අනුව රෝගීන්ට රුධිරය ගැලපීම..
රුධිර දායකයන්ගෙන් ලබා ගන්නා රුධිරය ඉහත රුධිර ගණ අනුව ලේ බැංකුවේ ගබඩා කර තිබෙනවා. රෝගියෙකුට රුධිරය අවශ්‍ය වූ විට ලේ බැංකුවට රුධිර සාම්පලයක් යොමු කරනවා. එහි රුධිර ගණය පරීක්ෂා කිරීමෙන් පසුව ගැලපෙන රුධිර ඒකකය තෝරා ගන්නවා.
■ රෝගියාගේ රුධිර ගණය A නම් A සහ O රුධිර ගණ ලබා දිය හැකියි.
■ රෝගියාගේ රුධිර ගණය B නම් B සහ O රුධිර ගණ ලබා දිය හැකියි.
■ රෝගියාගේ රුධිර ගණය AB නම් ඒ රෝගියාට ඕනෑම රුධිර ගණයක් ලබා දෙන්න පුළුවන්
■ රෝගියාගේ රුධිර ගණය O නම් එම රෝගියාට ලබා දිය හැක්කේ එම වර්ගයේම රුධිරය පමණයි.
■ ඒ අනුව AB රුධිර ගණය ඇති අයට ඕනෑම රුධිර ගණයක් ලබා ගත හැකි නිසා ඔවුන් සර්ව ප්‍රතිග්‍රාහකයන් ලෙසත් O රුධිර ගණය ඕනෑම අයෙකුට ලබා දිය හැකි නිසා සර්ව දායකයෙකු විදිහටත් හඳුන්වනවා.
රෝගියෙකුට රුධිර පාරවියලනය සම්බන්ධයෙන් ABO රුධිර ගණ ගැලපීම පමණක් ප්‍රමාණවත්ද..?
නැහැ.. රුධිර පාරවියලනයට පෙර රෝහලේ ලේ බැංකුවේදී සම්පූර්ණ සැසඳුම් පරීක්ෂාවක් සිදු වෙනවා. රුධිර පාරවියලනයට පෙර රෝගියාගේ රුධිර සාම්පලයක් යවන්නේද ඒ නිසයි. ඒ සඳහා මනාව පුහුණු කරන ලද වෛද්‍ය නිළධාරීන් විසින් මෙම පරීක්ෂණය සිදු කරනවා. මෙහිදී රෝගියාගේ රුධිර ගණය සහ රුධිරයේ ප්‍රතිදේහ සෑදී තිබේදැයි පරීක්ෂා කරනවා. ඒ වගේම පාරවියලනයට භාවිතා කිරීමට නියමිත රතු සෛල ඒකකය රෝගියාගේ රුධිරයේ ප්ලාස්මාව සමග ප්‍රතික්‍රියා කර පරීක්ෂා කරනවා. මෙම පරීක්ෂාව ගැලපුනොත් පමණක් රුධිර පාරවියලනය සඳහා රතු සෛල නිකුත් කරනවා. ඒ වගේම ABO සහ RhD රුධිර ගණ වර්ගීකරණවලට අමතරව රතු රුධිරාණු වලට වෙනත් ප්‍රතිදේහ සෑදී ඇත්නම් අදාල ප්‍රතිදේහජනක අඩංගු නොවන රතු රුධිර සෛල ඒකක ගැලපිය යුතු වෙනවා. මේ වෙනුවෙන් වැඩි කාලයක් ගත වෙනවා.
නොගැලපෙන රුධිරය රෝගීන්ට ලබා දීමෙන් විය හැකි සංකුලතාවයන් මොනවාද…?
ABO වර්ගීකරණයට නොගැලපෙන රුධිර ඒකකයක් රෝගියෙකුට පාරවියලනය වුනොත් ඉතාම භයානකයි. රෝගියාගේ රුධිරයේ ඇති ප්‍රතිදේහ මගින් ක්ෂණිකවම එම රතු රුධිරාණු බිඳ වැටීමකට ලක් කරනවා. උණ, හුස්ම ගැනීමේ අපහසුතාවය, පපුවේ වේදනාව, උදරයේ සහ පිටුපස කොන්දේ වේදනාව, වමනය ,රුධිර පාරවියලනය කරන ලද එන්නත් කටුව අසල වේදනාව මෙවැනි රෝග ලක්ෂණයි. මෙවැනි ලක්ෂණ ඇති වුනොත් වහාම රුධිරපාරවියලනය නැවැත්විය යුතුයි. තත්වය ඉක්මනින් හඳුනා ගෙන නිසි ප්‍රතිකාර නොකලහොත් රෝගියාගේ ජිවිතයද අවදානමකට ලක් වෙන්න පුළුවන්.
රුධිර පාරවියලනය හැර රුධිර ගණ වැදගත් වෙන වෙනත් අවස්ථා මොනවාද…?
ABO රුධිර ගණ පද්ධතියට අදාල ප්‍රතිදේහ ජනක ශරීරයේ වෙනත් පටකවලත් පිහිටා තිබෙනවා. ඒ නිසා වෙනත් අවයව බද්ධ කිරීමකදී ABO රුධිර ගණ ගැලපීම අත්‍යවශ්‍යයි. උදාහරණයක් විදිහට වකුගඩු අකර්මන්‍ය වීමකදී වකුගඩු බද්ධ කිරීමට සිදු කරන බව අපි දන්නවා. ඒ අවස්ථාවලදී සලකා බලන වැදගත්ම සාධකය රුධිර ගණයයි. ඒ වගේම පෙනහලු අක්මාව හෘදය වැනි අවයව බද්ධ කිරීම්වලදීත් ABO රුධිර ගණ ගැලපීම ප්‍රධාන සාධකයක්.

වෛද්‍ය සමන්ත කේ සෙනෙවිරත්න
රුධිර පාරවියලනය පිළිබඳ විශේෂඥ
මහ රෝහල, අම්පාර
සටහන
පුන්‍යා චාන්දනී ද සිල්වා


Leave feedback about this