නොවැම්බර් 9, 2025
Bedding Parent Pulse Article Featured Image
සොදුරු නිවස

ඔබත් ඇඳේ ඇතිරිල්ල, කොට්ට උර මාරු කරන්න අතපසු කරනවාද?

නින්ද යනු අපගේ සෞඛ්‍යයට සහ යහපැවැත්මට අත්‍යවශ්‍යම දෙයකි. අපගේ ජීවිතයෙන් තුනෙන් එකක් පමණ ගත කරන්නේ නිදා ගැනීමටය. එවැනි වැදගත් ක්‍රියාවලියකට අප සූදානම් කරන පරිසරය, විශේෂයෙන්ම අප නිදාගන්නා ඇඳ, පිරිසිදුව තබා ගැනීම ඉතා වැදගත් වේ. එසේනම්, අපගේ ඇඳ ඇතිරිලි, කොට්ට උර මාරු කළ යුත්තේ කොපමණ කාලයකට වරක්ද? මෙම සරල ප්‍රශ්නයට පිළිතුර ඔබේ සෞඛ්‍යයට සහ සමස්ත ජීවන තත්ත්වයට කෙලින්ම බලපායි.

ඔබේ ඇඳ ඇතිරිලි පිරිසිදු බව පෙනුනත්, රාත්‍රියේදී, අපගේ ශරීරයෙන් පිටවෙන දේ නිසා දින කිහිපයකින් පසුව ඒවා ක්ෂුද්‍ර ජීවීන්ගේ සහ අපද්‍රව්‍යවල තෝතැන්නක් බවට පත් විය හැකිය.

  • මිය ගිය සමේ සෛල – සෑම දිනකම අපේ ශරීරයෙන් සමේ සෛල මිලියන ගණනක් ගැලවී යයි. මේවා ඇඳ ඇතිරිලි මත තැන්පත් වේ.
  • දහඩිය සහ ශරීර තෙල් – නිදාගන්නා විට දහඩිය දැමීම සාමාන්‍ය දෙයකි. මේවා සහ සමේ ස්වභාවික තෙල් ඇඳ රෙදිවලට අවශෝෂණය වේ.
  • දූවිලි මයිටාවන් – කුඩා කෘමීන් වන දූවිලි මයිටාවන් බහුලවම ජීවත් වන්නේ ඇඳ ඇතිරිලි මතය. මේවා ආසාත්මිකතා සහ ඇදුම රෝග ලක්ෂණ ඇති කළ හැකිය.
  • බැක්ටීරියා සහ දිලීර – අපගේ ශරීරයෙන් සහ පරිසරයෙන් පැමිණෙන විවිධ බැක්ටීරියා වර්ග ඇඳ ඇතිරිලි මත වර්ධනය විය හැකිය.

මෙම සියලු අපද්‍රව්‍ය සති කිහිපයක් සෝදා නොගත් විට දුර්ගන්ධය, සමේ රෝග, කුරුලෑ (Acne) සහ වෙනත් සෞඛ්‍ය ගැටලු ඇති කළ හැකිය.

වෛද්‍ය විශේෂඥයින් සහ සනීපාරක්ෂක විශේෂඥයින්ගේ පොදු නිර්දේශය වන්නේ, ඇඳ ඇතිරිලි සහ කොට්ට උර අවම වශයෙන් සතියකට වරක්වත් සෝදා මාරු කළ යුතු පවයි. නමුත් එතරම් දහඩිය නොදමන, අසාත්මිකතා නොමැති සහ සතුන් ඇඳේ නිදා නොගන්නා අවස්ථාවලදී පමණක් සති දෙකකට වරක් ඇඳ ඇතිරිලි සහ කොට්ට උර මාරු කිරීමේ වරදක් නැත. කොට්ට උර ඔබේ මුහුණ, හිසකෙස් සහ බෙල්ල සමඟ සෘජුවම ස්පර්ශ වේ. සමේ ගැටළු (කුරුලෑ, සමේ රෝග) ඇති අය සතියකට දෙවරක් හෝ ඊට වඩා වැඩි වාර ගණනක් කොට්ට උර මාරු කිරීම ගැන සලකා බැලිය යුතුය.

ඇඳ ඇතිරිලි සහ කොට්ට උර නිතර මාරු කළ යුතු අවස්ථා ද වේ. සතියකට වරක් යන සාමාන්‍ය රීතිය තිබියදීත්, ඔබේ ජීවන රටාව අනුව ඇඳ ඇතිරිලි නිතර මාරු කිරීමට සිදු විය හැකිය.

  • ඔබට දහඩිය දැමීම අධික නම්, අධික තෙතමනය බැක්ටීරියා වර්ධනයට හිතකර බැවින් සතියකට 2 – 3 වතාවක් ඇඳ රෙදි සහ කොට්ට උර මාරු කිරීම සුදුසුය.
  • සුරතල් සතුන් ඇඳේ නිදා ගන්නේ නම් සත්ව ලොම්, කෙල, අපද්‍රව්‍ය සහ බැක්ටීරියා ඇඳට එකතු වීම සිදුවන බැවින් සතියකට දෙවරක්වත් ඇඳ රෙදි සහ කොට්ට උර මාරු කිරීම වැදගත් වේ
  • සතියකට වරක් දෙවරක් දූවිලි මයිටාවන් සහ ඒවායේ අපද්‍රව්‍ය නිසා ආසාත්මිකතා (Allergies) හෝ ඇදුම රෝග ලක්ෂණ උත්සන්න කරයි.
  • කුරුලෑ වැනි සමේ ගැටළු ඇත්නම් බැක්ටීරියා සහ තෙල් සමට නැවත පැමිණීම වැළැක්වීමට ඇඳ ඇතිරිලි මෙන්ම විශේෂයෙන්ම කොට්ට උර සතියකට දෙවරක්වත් මාරු කිරීම සුදුුසු වේ.
  • ඇඳ මත ආහාර ගැනීම හෝ බීම වැගිරීම වැනි අවස්ථාවලදී වහාම ඇඳ ඇතිරිලි මාරු කිරීම වැදගත් වේ.
  • තෙල් සහිත හිසකෙස්/ සමක් ඇත්නම් විශේෂයෙන්ම කොට්ට උර සතියකට දෙවතාවක්වත් මාරු කළ යුත්තේ තෙල් ඉක්මනින් ඇඳ ඇතිරිලි මත තැන්පත් වීම සිදුවන නිසයි
  • උදෑසන ස්නානය කර රැකියා කටයුතුවලට පිටතට ගියද බොහෝදෙනෙක් නැවත රාත්‍රියට නිවසට පැමිණ ස්නානය නොකරන නිසා දවස පුරා එකතු වන දූවිලි ඇති බැවින් එවැනි තත්ත්ව යටතේ සතියකට වරක් දෙවරක්වත් ඇඳ රෙදි කොට්ට උර මාරු කිරීම යෝග්‍යය
  • අසනීප වූ අවස්ථාවන්වලදී රෝග කාරකයන් ඇඳ ඇතිරිලි මත රැඳී සිටිය හැකි නිසා ඇඳ ඇතිරිලි දිනපතා වුවද මාරු කිරීම සුදුසුය.

ඇඳ ඇතිරිලි මාරු කර පිරිසිදු තත්ත්වයේ පවත්වා ගැනීම ඔබේ ජීවිතයට බොහෝ ප්‍රතිලාභ හිමි කරයි.

  1. සමේ සෞඛ්‍යය – කොට්ට උර නිතිපතා සේදීමෙන් කුරුලෑ ඇතිවීමේ හේතු අවම කරයි. අපිරිසිදු තෙල් සහ බැක්ටීරියා මුහුණට ඇතුළු වීම වළක්වයි.
  2. ශ්වසන සෞඛ්‍ය – දූවිලි මයිටාවන් ඉවත් කිරීමෙන් ආසාත්මිකතා සහ ඇදුම රෝග ලක්ෂණ සැලකිය යුතු ලෙස අඩු කර ගත හැකිය.
  3. සුවඳ සහ නැවුම් බව – පිරිසිදු ඇඳ ඇතිරිලිවලින් ලැබෙන නැවුම් සුවඳ හොඳ නින්දකට මඟ පාදයි.
  4. හොඳ නින්දක් – පිරිසිදු සහ සුවඳවත් ඇඳක් සුවපහසු හැඟීමක් ලබා දෙන අතර, වඩා හොඳ නින්දක් ලබා ගැනීමට උපකාරී වේ. අධ්‍යයනවලින් පෙනී යන්නේ මිනිසුන් පිරිසිදු ඇඳක නිදා ගන්නා විට වඩා හොඳ විවේකයක් හිමිවන බවයි.
  5. මානසික සුවය – පිළිවෙළකට සහ පිරිසිදුව ඇති නිදන කාමරයක් සහ ඇඳක් මානසික සුවයට දායක වේ.

ඇඳ ඇතිරිලි සේදීමේදී නිවැරදි ක්‍රම භාවිතා කිරීම ඒවායේ පිරිසිදුකම සහ කල්පැවැත්ම සඳහා වැදගත් වේ.

  • උණු වතුර භාවිතය – දූවිලි මයිටාවන් සහ බැක්ටීරියා ඵලදායී ලෙස විනාශ කිරීම සඳහා, රෙදිපිළි වලට හානියක් නොවන උපරිම උෂ්ණත්වයකින් (සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 60 ක්/ ෆැරන්හයිට් අංශක 140 ක් පමණ) ඇඳ ඇතිරිලි සෝදන්න. කෙසේ වෙතත්, සෑම විටම ඇඳ ඇතිරිලිවල ඇති ලේබලය (Care Label) පරීක්ෂා කරන්න.
  • රෙදි සෝදන ද්‍රව්‍ය – හොඳ තත්ත්වයේ රෙදි සෝදන ද්‍රව්‍ය භාවිත කරන්න. සංවේදී සමක් ඇති අය සුවඳ රහිත ආරක්ෂාකාරී රෙදි දෙන දුව්‍ය තෝරාගත යුතුය.
  • හොඳින් වියලීම – සේදීමෙන් පසු ඇඳ ඇතිරිලි සම්පූර්ණයෙන්ම වියළා ගැනීම අත්‍යවශ්‍යය. තෙතමනය බැක්ටීරියා වර්ධනයට හේතු විය හැක.

ඔබේ ඇඳ ඇතිරිලි වෙනස් කිරීමේ පුරුද්ද ඔබේ ජීවන රටාවට අනුව සකස් කර ගන්න.

  • වෙන්කරන ලද දවසක් – සෑම සතියකම සති අන්තයේ යම් දවසක් හෝ ඔබට පහසු ආකාරයට ඇඳ ඇතිරිලි වෙනස් කිරීමේ දිනය ලෙස නම් කරන්න. මෙය ඔබට එම පුරුද්ද පවත්වාගෙන යාමට උපකාරී වේ.
  • අමතර කට්ටලයක් – පහසුව සඳහා ඇඳ ඇතිරිලි සහ කොට්ට උරවල අමතර කට්ටලයක් තබා ගන්න. මෙහිදී එක කට්ටලයක් සේදීමට තිබෙන විට අනෙක් කට්ටලය භාවිත කිරීමට හැකියාව ලැබේ.
  • කොට්ට සහ ඩුවට් – මේවා බෙඩ් ෂීට් සහ කොට්ට උර මෙන් නිතර වෙනස් කිරීමට අවශ්‍ය නැතත්, කොට්ට සහ ඩුවට් ආවරණද මසකට වරක් හෝ දෙවරක් සෝදා පිරිසිදු කරන්න. කොට්ට සහ ඩුවට් ෆිලර්ස් මාස 3 – 6 කට වරක් සේදිය යුතුය.

පිරිසිදු ඇඳ ඇතිරිලි යනු පිරිසිදු නින්දක් සඳහා වූ වැදගත්ම සාධකයකි. සතියකට වරක් හෝ ඔබේ පෞද්ගලික අවශ්‍යතා අනුව ඊට වඩා නිතර කොට්ට උර සහ ඇඳ ඇතිරිලි මාරු කිරීමෙන්, ඔබට හොඳ සෞඛ්‍යයක්, සුවපහසු නින්දක් සහ සමස්තයක් ලෙස වැඩි යහපැවැත්මක් ලැබෙනු ඇත. එය වෙහෙසකර වැඩක් ලෙස පෙනුනත්, නැවුම් ඇඳක නිදාගැනීමේ හැඟීම, එම උත්සාහය වටින බව ඔබට පසක් කරනු ඇත. ඔබේ නිදන කාමරය නැවුම් සහ සෞඛ්‍ය සම්පන්න කර ගන්න.


Leave feedback about this

  • Quality