ළමා ආරක්ෂණය පිළිබඳ ජාතික ප්රතිපත්ති කෙටුම්පතේ දැක්වෙන පරිදි පවුලක් යනුවෙන් අර්ථ දැක්වෙන්නේ දරුවන් සඳහා ආරක්ෂාව, පෝෂණය හා රැකවරණය සලසන මූලික ආයතනයක්. ඒ නිසා පවුල තුළ දරුවාගේ ආරක්ෂාවට උචිත පරිදි උපකාර කිරීම උදෙසා පවුලක් සතු හැකියාවන්, ශක්තීන් සහ දුර්වලතාවයන් රාජ්ය මගින් හඳුනා ගනු ඇත.
එහෙත්….
දරුවාගේ යහ පැවැත්මට පවුලක් වෙතින් ඉටු විය යුතු වගකීම සුලුපටු නැහැ. අපි එතරම් මේ ගැන අවධානය යොමු නොකළත් දරුවෙක් මානසික අපයෝජනයට පත් විය හැකි අවස්ථාවන් කීපයක් තිබෙනවා. සමහර විට ඔබ නොදැනම වුනත් මේ අන්දමේ වැරදි ඔබත් නොදැනීම ඔබේම දරුවාට සිදු වෙන්න ඉඩ තිබෙනවා. එවැනි අන්දමින් දරුවන් මානසික ලෙසින් අපයෝජනයට පත් කරන මව්පියන් විෂ සහිත මව්පියන් හෙවත් poison parenting යනුවෙන් හැඳින්වේ.
- ඔයා හරිම නරක ළමයෙක්… මම නම් ඔයාට පොඩ්ඩක්වත් ආදරේ නැහැ…
දෙමව්පියන් විදිහට ඔබ දරුවාට මේ අන්දමින් දොස් නගන්නේ ඔවුන් වැරදි කටයුතුවලින් දුරස් කිරීමටයි. මේ අන්දමින් ඔබ නගන චෝදනාවන් නිසා දරුවාගේ හිතට ඇති වෙන්නේ තමා ගැනම සෘණ සිතුවිලි නිසා ඔවුන්ගේ ආත්ම විශ්වාසය නොදැනීම බිඳ වැටීමට මේ චෝදනාවන් දරුණු විදිහට බලපානවා. දරුවන් කලු චරිතයක් විදිහටම හඳුන්වා දීම ඔවුන්ගේ පෞරෂ වර්ධනයට අහිතකර අන්දමින් බලපානවා.
- බලන්න ඔයා වගෙයිද….? අයියා මොනතරම් හොඳයිද…?
එක බඩවැල කඩාගෙන ආවත් දරුවන් අතර විවිධ වෙනස්කම් තිබෙන්න පුලුවනි. මේ තත්වය ඉතාම සාධාරණයි. අපි හැම දෙනක්ම හැසිරෙන්නේ විවිධ ගති පැවැතුම් සමගයි. ඒ නිසා එක අම්මාගේ දරුවන් වුනත් විවිධ අන්දමින් වෙනස් චරිත ලක්ෂණ පෙන්නුම් කරන්න පුලුවනි. නමුත් වැඩිහිටියෙක් විදිහට ඔබ තවත් දරුවෙක් සාපේක්ෂ කර ගෙන මේ අන්දමේ ප්රකාශයක් කළොත් ඔබ විසින් ආකෘතියක් විදිහට පෙන්වා දෙන දරුවා මුල් කර ගෙන ඇති වෙන ඊර්ෂ්යාාව නිසා පවුලක් තුළ පවතින සහෝදර බන්ධනය නොදැනීම බිඳ වැටෙන්න ඉඩ තිබෙන බව අමතක කරන්න එපා.
- බලන්න, ඔයාගේ යාළුවා… මොන පහසුකම්ද…ඒත් ඔයාට වඩා ලකුණු වැඩියි …
දරුවන්ගේ බුද්ධි මටට්ම් අතර විවිධ වෙනස්කම් තිබනවා. ඔබේ දරුවාට ඉගෙණුමට ඉතාම හිතකර පරිසර තත්වයක් තිබුනත් ඔහු කටයුතු කරන්නේ අදාල බුද්ධියේ වපසරියට අනුවයි. ඒ නිසා අල්ලපු ගෙදර දරුවා ඔබේ දරුවාට තරම් හිතකර පරිසර තත්වයක නොසිටියත් බුද්ධි මටට්මින් ඉහළ නිසා කැපී පෙනෙන චරිතයක් වෙන්න පුලවනි. ඒත් නිතරම ඔහුට සාපේක්ෂ කරමින් දොස් නගන විට ඔබේ දරුවා නොදැනීම ඊර්ශ්යාවෙන් පසු වෙන්න පටන් ගන්නවා. මෙතෙක් නොවූ චරිත ලක්ෂණයක් දරුවාට ආදේශ වෙන්නේ ඔබ විසින් තවත් දරුවෙකුට සාපේක්ෂ කරමින් ඔබේ දරුවාට දොස් නගන විටයි.
- ඔයාට ඕක කරන්න බැහැ… මට වැඩ කර ගන්න දීලා අයින් වෙන්න…
දරුවාගේ වයසේ මට්ටමට ඇත්තටම ඒ කටයුත්ත කිරීමට අපහසු වෙන්න පුලුවනි. නමුත් ඔහු ඒ සඳහා යොමු වෙන්නේ ලොකු ආත්ම විශ්වාසයක් ඇතුවයි. නමුත් ඔබ විසින් “ ඔයාට බැහැ…” යන චරිත සහතිකය සමග අදාල කාර්යය වෙනුවෙන් අවසර නොදුන්නොත් දරුවාටත් නොදැනීම ඔහුගේ හැකියාවන් බිඳ වැටෙන තත්වයට පත් වෙනවා. ඒ නිසා දරුවාට ඇති හැකියාව අනුව අදාල කටයුත්ත කිරීමට අවසර දෙන්න. ඔබ අතුගාන විට කොස්ස ඉල්ලා “මටත් අතුගාන්න ඕන කියමින් කරදර කරනවා නම් ඔහුටත් කුඩා කොස්සක් සහ ඉදලක් සකස් කර දෙන්න. එවිට ඔවුන්ද ඔබ සමග හරි හරියට අතුපතු ගෑමට සූදානමින් සිටිනවා පමණක් නොව මමත් යම් හැකියාවක් තිබෙන චරිතයක් යන ආත්මාභිමානය ගොඩ නගා ගන්නවා.
- අම්මේ මේ කුරුල්ලෝ කොහාටද යන්නේ…
පුංචි දරුවන්ට වයසට වඩා ප්රශ්න ගොඩයි. ඒවා ස්වභාව ධර්මයේ පටන් අලුත් නංගි, මල්ලී අම්මාගේ බඩට ආවේ කොහොමද යන තැන දක්වා දිවෙන ප්රශ්න විය හැකියි. ඒ විදිහට කුතුහලයෙන් ප්රශ්න නගන්නේ බුද්ධිමත් දරුවන්. ඒ නිසාවෙන්ම දරුවන් නගන ප්රශ්න තිඹිරි ගෙදරදීම විනාශ කරනන් එපා. “ යන්න ළමයෝ අහකට…මට වැඩ ගොඩක් තියෙනවා…. කියමින් දරුවා නෙරපා හරින්න එපා. ඔබට හැකි විදිහට අවස්ථාවට ගැලපෙන සේ පිළිතුරු දෙන්න. දරුවාගේ කුතුහලය තවත් වැඩි දියුණු වෙමින් නිර්මානශීලී චින්තනය අවදි වෙන්නේ එවිටයි.
- දරුවන් හුදෙකලා කරන්න එපා..
අද බොහෝ දෙමව්පියන් ඔවුන්ගේ වැඩ කටයුතු වලට දරුවන්ගෙන් ඇති වෙන කරදර නිසා ඔවුන් දුරස් කිරීමට කටයුතු කරනවා. ඒ ඔවුන්ට ආදරය නැති නිසා නොවේ. දෙමව්පියන් සීමිත කාල රාමුවක විශාල වැඩ කොටසක් ඉටු කළ යුතු නිසා ඒ අන්දමින් කටයුතු කරනවා. ඔබ දරුවන් දුරස් කිරිම නිසා ඔවුන් මානසික හුදෙකලා චරිත බවට පත් වෙනවා. ඒ නිසා නිතරම හැකි තරම් කාල වේලාවක් දරුවන් සමග ගෙවීමට අමතක කරන්න එපා.
- නම් පටබදින්න එපා…
වර්තමානයේ උක්ත පරිසරය බොහෝ දුරට දුරස්ව තිබෙනවා. අද ශාරිරික ආබාධ සහිත දරුවන්ගේ බිහිවීම් අඩු වීමත් එක් හේතුවක්. ඒ වගේම බොහෝ මව්පියන් ආබාධ සහිතව උපත ලැබුවත් ඒ අඩුපාඩු වෛද්ය ප්රතිකාර මගින් සුවපත් කර ගන්නවා. නමුත් අතීතයේදී දරුවන්ගේ ශාරිරික ආබාධවලට විවිධ නම් පටබඳින්න පටන් ගත්තා. ඒ තත්වය අද මනෝ විද්යාඥයින් හඳුන්වන්නේ දරුවන් මානසිකව අපයෝජනය කිරීමක් විදිහටයි.
මව්පියන් ලෙස ඔබ දරුවාගේ කායික සංවර්ධනය පිළිබඳව යම් උනන්දුවක් දක්වනනේ යම් සේද, ඊට නොදෙවෙනි ලෙසින් දරුවන්ගේ මානසික සුවතාවය වෙනුවෙන් සැලකිලිමත් විය යුතුය. ඒ නිසා දෙමව්පියකරණය පිළිබඳව මව්පියන් දැණුවත් කිරීම ඉතා වැදගත් මෙහෙවරක් බව සඳහන් කළ යුතුයි.
මනෝ වෛද්ය විශේෂඥ එස්. සී. ඒ අරඹේපොල
සටහන
පුන්යා චාන්දනී ද සිල්වා
