Parent Pulse Blog Baby Bump ගැබිනි සමයේ පළමු සති 5 ගැන ඔබ දන්නේ මොනවද?
Baby Bump

ගැබිනි සමයේ පළමු සති 5 ගැන ඔබ දන්නේ මොනවද?

පුංචි අලුත් ජීවිතයක් නිහඬවම පටන් ගන්න කාලය ඇරඹිලා. ගැබිනි සමයේ පළමු සති 5 කියන්නේ බොහෝ වෙලාවට පිටින් ලොකු වෙනසක් නොපෙනෙන, නමුත් අම්මාගේ සිරුර තුළ විශාල කාර්යයක් සිදු වෙන ඉතාම වැදගත් කාලයක්. ඒත් බොහොමයක් අම්මලාට තමන්ගේ කුස තුළ අලුත් ජීවිතයක් ආරම්භ වන බව නොදැනෙනාවා විය හැකියි.

අලුත් ජීවිතයක පළමු සති 1 2 සඳහා අම්මාගේ සිරුර සූදානම් වන කාලය

මෙම සති දෙක ඇතුළත වුවත් තවමත් ගැබ්ගැනීමක් සිදුවී නැති විය හැකියි. මේ කාලයේදී මවකට කිසිදු වෙනස් වීමක් නොදැනේ

1 -2 පළමු දෙක තුළ සිදුවන දේවල්

  • ගර්භාෂය තුළ ඩිම්බ පිටවීම (ovulation) සඳහා සූදානම් වෙනවා
  • මාසික චක්‍රය පටන් ගන්න/අවසන් වන්න ලඟා වෙනවා
  • හෝමෝන මට්ටම් සෙමින් වෙනස් වෙනවා

3 වන සතිය එනම් අලුත් ජීවිතය ආරම්භ වන අවස්ථාව

මේ සතිය තුළ ගැබ්ගැනීම සිදු වෙනවා. මෙය අතිශය කුඩා නමුත් ඉතා වැදගත් ආරම්භයක්.

එනම්,

  • ශුක්‍රාණුව සහ ඩිම්බය එකතු වීම (fertilization)
  • සංසේචිත ඩිම්බය ගර්භාෂය වෙත ගමන් කිරීම

4 වන සතිය ගැබිනි බව තහවුරු වන කාලය

බොහෝ අම්මලාට තමන් ගැබ් ගෙන ඇති බව තහවුරු කර ගත හැකි සතිය මෙයයි.

4 වන සතිය තුළ සිදුවන දේවල්:

  • කලලය (embryo) ගර්භාෂ බිත්තියට ඇලී සිටීම
  • වැදැමහ (placenta) සැකසීම ආරම්භ වීම
  • මවගේ සිරුරේ hCG හෝමෝනය වැඩිවීම

මවගේ සිරුරට දැනිය හැකි වෙනස්කම්

  • තෙහෙට්ටුව
  • පියයුරු වේදනාව / සංවේදී බව
  • කුඩා උදර කැක්කුම
  • නිතර මුත්‍රා යාම
  • සිතුවිලි වෙනස් වීම

5 වන සතිය පුංචි ජීවිතයේ වර්ධනය ආරම්භය

මේ සතියේදී බිළිඳා ඉතා වේගයෙන් වර්ධනය වෙන්න පටන් ගන්නවා

5 වන සතිය තුළ සිදුවන දේවල්

  • කලලය ඉතා කුඩා (සීසම් බීජයක් තරම්) ප්‍රමාණයකි
  • මොළය සහ සුෂුම්නාවේ වර්ධනය ආරම්භ වීම
  • හෘදය සෑදීම ආරම්භ වීම
  • මූලික ශරීර පද්ධති පටන් ගැනීම

අම්මාට ඇති විය හැකි වෙනස්කම්

  • උදෑසන අපහසුතා/ ඔක්කාරය
  • දැඩි තෙහෙට්ටුව
  • සුවඳවලට සංවේදී වීම
  • ආහාර සම්බන්ධ රුචි අරුචිකම් වෙනස් වීම
  • සිතුවිලිවල වෙනස්කම්

ගර්භනී සමයේ මවගේ පෝෂණය සහ සෞඛ්‍ය පුරුදු

ගර්භනී සමයේ ලමණක් නොව ගැබ් ගැනීමට පෙර සිටම කාන්තාවක් තම පෝෂණය පිළිබඳව සැලකිලිමත් විය යුතුයි. විශේෂයෙන් පළමු සති කිහිපය තුළ මවගේ ශරීරය තුළ ඉතාමත් සංවේදී වෙනස්කම් සිදුවෙයි. ශරීරය අලුත් ජීවිතයක් වර්ධනය කිරීමට සූදානම් වන නිසා, නිසි පෝෂණය ලබාදීම මවටත් බබාටත් දෙදෙනාටම ආරක්ෂාවක් වේ. ගැබිනි සමයේ විශේෂයෙන් පළමු සතිවලදී බොහෝ මව්වරුන්ට වමනය, ඔක්කාරය සහ ආහාර රුචිය අඩුවීම වැනි ලක්ෂණ ඇතිවෙන්න පුළුවන්.
මෙය සාමාන්‍ය තත්ත්වයක් වන අතර, ශරීරය හෝමෝන වෙනස්කම් වලට අනුගත වීමේ ප්‍රතිඵලයකි. ෂෝෂණීය සැහැල්ලු ආහාර, නිතර නමුත් කුඩා ප්‍රමාණ වලින් ආහාර ගැනීම, සහ විවේකය මේ අවස්ථාවේදී උපකාරී වේ.

තවද ෆෝලික් අම්ලය (Folic Acid),  වෛද්‍ය උපදෙස් අනුව ඔබට ලබා දී ඇති ඖෂධ වර්ග ප්‍රෝටීන් සහ යකඩ අඩංගු ආහාර නිවැරදිව ලබා ගැනීම ඉතා වැදගත් වේ. ෆෝලික් අම්ලය විශේෂයෙන්ම බබාගේ මොළය සහ ස්නායු පද්ධතිය නිසි ලෙස වර්ධනය වීමට උපකාරී වේ.

මෙය අසනීප කාලයක් නොව අලුත් ජීවිතයක් ආරම්භ වන ඉතාමත් සංවේදී සහ වටිනා කාලයක් වේ. ඒ නිසා මවකගේ ශරීරයටත් හිතටත් ආදරයෙන් සලකන එක මේ අවස්ථාවේදී අතිශයින්ම වැදගත්ය.

ගැබිනි සමයේ පළමු සති 5 කියන්නේ ලොවට නොපෙනුනත් මවකගේ සිරුර තුළ අති විශාල වෙනස්කම් රාශියක් සිදුවන කාල සීමාවක්. තමන් මවක් වෙන්න යන බව සෙමින් සෙමින් කාන්තාවකට දැනෙන්න පටන් ගන්නේ මේ කාලය තුළයි.

අපි නැවතත් ගැබිනි කාල සීමාවේ 6 වන සතියෙන් හමුවෙමු.

මූලික අදහස සහ උපදෙස්

ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය

සූතිකා පුහුණු අධිශ්‍රේණි හෙද නිලධාරිනි

හෙද විද්‍යාවේදි (ගෞරව), සෞඛ්‍ය සේවා කළමනාකරණ (ගෞරව), , බාහිර දේශක සහ ලේඛිකා.

Exit mobile version