Parent Pulse Blog සුව දිවිය දරුවන්ගේ සුව දිවිය දරුවන්ටත් වැළඳිය හැකි ගැස්ට්‍රයිටීස් ගැන මව්පියන් දැනුවත් විය යුතු කරුණු
දරුවන්ගේ සුව දිවිය සුව දිවිය

දරුවන්ටත් වැළඳිය හැකි ගැස්ට්‍රයිටීස් ගැන මව්පියන් දැනුවත් විය යුතු කරුණු

ගැස්ට්‍රයිටීස් යනු වයස් භේදයකින් තොරව ඕනෑම අයෙකුට ඇතිවිය හැකි රෝගී තත්ත්වයකි. බොහෝ දෙනාගේ මතය වන්නේ මෙය තරුණ හෝ මැදිවියේ පුද්ගලයන්ට පමණක් වැළඳෙන රෝගයක් බවයි. නමුත් වර්තමානයේ කුඩා දරුවන් පවා ගැස්ට්‍රයිටීස් තත්ත්වයට ගොදුරු වන අවස්ථා වැඩි වශයෙන් වාර්තා වේ. එබැවින් මෙම රෝගය පිළිබඳ මව්පියන් දැනුවත් වීම ඉතා වැදගත් වේ.

ගැස්ට්‍රයිටීස් යනු කුමක්ද?

ගැස්ට්‍රයිටීස් යනු ආමාශයේ ඇතුළත ආවරණය කරන පටකයේ විවිධ හේතු නිසා ඇතිවන ප්‍රදාහමය (Inflammatory) රෝගී තත්ත්වයකි. මෙම තත්ත්වය නිසා ආමාශයේ සාමාන්‍ය ක්‍රියාකාරිත්වයට බාධා ඇති විය හැකි අතර, දරුවාගේ දෛනික ජීවිතයටද බලපෑම් එල්ල කළ හැකිය.

කුඩා දරුවන්ටත් ගැස්ට්‍රයිටීස් ඇති විය හැකිද?

ඔව්. විශේෂයෙන්ම පාසල් යන වයසේ දරුවන් අතර මෙම තත්ත්වය බහුලව දැකිය හැකිය. මෙය දරුවාගේ අධ්‍යාපන කටයුතු, පාසල් පැමිණීම සහ දෛනික ක්‍රියාකාරකම්වලට බාධාවක් විය හැකි බැවින්, මව්පියන් මේ පිළිබඳව අවධානයෙන් සිටීම වැදගත්ය.

එසේම වයස අවුරුදු දෙකත් තුනත් අතර කුඩා දරුවන්ටද ගැස්ට්‍රයිටීස් ඇති විය හැකිය. එවැනි අවස්ථාවලදී, වෙනත් රෝග සඳහා ලබා දෙන ඇතැම් ඖෂධවල අතුරු ආබාධයක් ලෙස මෙම තත්ත්වය මතුවිය හැකිය.

ගැස්ට්‍රයිටීස් ඇති වීමට බලපාන හේතු

දරුවන් තුළ ගැස්ට්‍රයිටීස් ඇතිවීමට ප්‍රධානතම හේතුවක් වන්නේ නියමිත වේලාවට ආහාර නොගැනීමයි. ආහාර නොමැති අවස්ථාවලදී ආමාශය තුළ ශ්‍රාවය වන එන්සයිම සහ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය වැනි ආම්ලික ද්‍රව්‍ය ආමාශයේ සහ බඩවැලේ පටකවලට බලපෑම් කර තුවාල ඇති කළ හැකිය.

මීට අමතරව දරුවන්ගේ මානසික පීඩනයද මෙම තත්ත්වයට සැලකිය යුතු ලෙස බලපායි. මව්පියන්ගේ අධික අපේක්ෂා, කඩඉම් විභාග සඳහා ඇති පීඩනය, අධික අධ්‍යයන බර සහ වෙනත් මානසික ආතති තත්ත්වයන් හේතුවෙන් ගැස්ට්‍රයිටීස් ඇති වීමේ අවදානම වැඩි විය හැකිය.

තවත් හේතුවක් වන්නේ ඇතැම් ඖෂධ භාවිතයයි. විශේෂයෙන් NSAID කාණ්ඩයට අයත් වේදනා නාශක ඖෂධ භාවිතයේදී අතුරු ආබාධයක් ලෙස ගැස්ට්‍රයිටීස් ඇති විය හැකිය.

එමෙන්ම Helicobacter pylori (H. pylori) බැක්ටීරියාව ආමාශයේ වර්ධනය වීමද ගැස්ට්‍රයිටීස් ඇතිවීමට හේතුවක් විය හැකිය.

ගැස්ට්‍රයිටීස් රෝගයේ මූලික රෝග ලක්ෂණ

දරුවෙකුට පහත සඳහන් රෝග ලක්ෂණ පෙනෙන්නට තිබේ නම්, ගැස්ට්‍රයිටීස් පිළිබඳ සැලකිලිමත් වීම වැදගත්ය.

  • බඩේ සහ පපුවේ වේදනාව හෝ පිරී ඇති බවක් දැනීම
  • ඔක්කාරය
  • පපුවේ දැවිල්ල හෝ වේදනාව
  • කෑම රුචිය අඩුවීම
  • තාවකාලික ගිලීමේ අපහසුතාව
  • මලපහ තද දුඹුරු හෝ කළු පැහැයට හැරීම

ගැස්ට්‍රයිටීස් ඇති දරුවෙකුට ගත යුතු ක්‍රියාමාර්ග

මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා මූලිකවම එයට හේතු වන සාධක අවම කිරීම වැදගත් වේ.

ඒ සඳහා,

  • දරුවාට නිසි ආහාර පුරුදු ඇති කිරීම.
  • නියමිත වේලාවට ආහාර ලබා දීම.
  • කෙටි ආහාර සහ ක්ෂණික ආහාර හැකිතාක් අවම කර ස්වභාවික හා පෝෂ්‍යදායී ආහාර ලබා දීම.
  • මානසික පීඩනය අවම කර ගැනීමට උපකාර කිරීම.
  • ප්‍රමාණවත් නින්දක් ලබා ගැනීමට අවධානය යොමු කිරීම.
  • අධික ආම්ලිකතාවයෙන් යුතු ආහාර සීමා කිරීම.
  • ආහාර පිසීමේදී අනවශ්‍ය ලෙස තුනපහ සහ සැර කුළුබඩු භාවිතය අවම කිරීම.

වෛද්‍යවරයෙකු හමුවීමට පෙර නිවසේදී කළ හැකි දේ

පාසල් යන වයසේ දරුවන් තුළ ගැස්ට්‍රයිටීස් ඇතිවීමට බොහෝ විට බලපාන්නේ උදෑසන ආහාරය මඟ හැරීමයි. එබැවින් දරුවා නියමිත වේලාවට ආහාර ලබා ගැනීමට පුරුදු කිරීම ඉතා වැදගත් වේ.

බොහෝ අවස්ථාවලදී නිසි ආහාර රටාවක් පවත්වාගෙන යාම සහ වෛද්‍ය උපදෙස් අනුව ආමාශයේ ආම්ලිකතාවය අඩු කරන ඖෂධ ලබා ගැනීමෙන් මෙම තත්ත්වය සාර්ථකව පාලනය කළ හැකිය.

එහෙත් එම ප්‍රතිකාරවලට යහපත් ප්‍රතිචාරයක් නොලැබේ නම්, වෛද්‍යවරයාගේ නිර්දේශය මත ප්‍රතිජීවක ඖෂධ කිහිපයක් එකවර ලබා දීමට අවශ්‍ය විය හැකිය. තවද, අවශ්‍ය නම් විශේෂඥ වෛද්‍යවරයෙකු විසින් එන්ඩොස්කොපි පරීක්ෂණයක් සිදු කර ආමාශයේ පටක කොටසක් (බයොප්සි) ලබාගෙන පරීක්ෂා කිරීමෙන් රෝගී තත්ත්වය නිවැරදිව හඳුනාගෙන සුදුසු ප්‍රතිකාර ලබා දෙනු ඇත.

දරුවන්ට ගැස්ට්‍රයිටීස් ඇතිවීම මව්පියන්ටද සැලකිය යුතු මානසික පීඩාවක් ඇති කරන තත්ත්වයකි. එහෙත් බොහෝ අවස්ථාවලදී නිසි ආහාර රටාවක්, නියමිත වේලාවට ආහාර ලබාදීම, පෝෂණයෙන් සපිරි සමබල ආහාර වේලක් ලබාදීම සහ දරුවාගේ මානසික සුවතාව පිළිබඳ සැලකිලිමත් වීම මඟින් මෙම තත්ත්වය වළක්වා ගැනීමට හෝ පාලනය කර ගැනීමට හැකියාව ඇත.

Exit mobile version