තවමත් ඔබේ කුසට පිටතින් ලොකු වෙනසක් නොපෙනුණත්, ඇතුළත පුංචි ජීවිතය දිනෙන් දින වෙනස් වෙමින් පවතී…
පළමු ත්‍රෛමාසිකයේ අවසානයට ඔබ තව තවත් ළං වෙමින් සිටින මේ කාලය, බිළිඳාගේ වර්ධනයේ ඉතා වැදගත් අවධියකි. පසුගිය සති කිහිපය තුළ බිළිඳාගේ මූලික අවයව සහ ශරීර ව්‍යුහයන් නිර්මාණය වීම වේගයෙන් සිදුවුණා. දැන් ඒවා තවදුරටත් වර්ධනය වෙමින්, වඩාත් පැහැදිලි හැඩයක් ගනිමින් පවතී.
තවමත් “මගේ බඩක් පේන්නේ නැහැ” කියලා ඔබට හිතෙන්න පුළුවන්. ඒ ගැන කලබල වෙන්න අවශ්‍ය නැහැ. ගැබිනි මවකගේ ශරීරයේ බාහිර වෙනස්කම් මවගෙන් මවට වෙනස් වෙනවා. මේ සතියේදීත් ඔබේ කුස ඇතුළත ඔබේ පුංචි පැටියා වේගයෙන් වර්ධනය වෙනවා.
11 වන සතිය වන විට ඔබේ බිළිඳා කොතරම් විශාලද?
11 වන සතියේදී බිළිඳාගේ දිග සාමාන්‍යයෙන් සෙන්ටිමීටර 4කට ආසන්න විය හැකි අතර, ප්‍රමාණය කුඩා දෙහි ගෙඩියකට සමාන කර දැක්විය හැක. පලතුරකට සමාන කිරීම හුදෙක් බිළිඳාගේ ප්‍රමාණය තේරුම් ගැනීමට උපකාර වන උදාහරණයක් පමණි. බිළිඳාගේ සැබෑ ප්‍රමාණය සහ වර්ධනය එක් එක් ගර්භණී අවස්ථාව අනුව වුවද වෙනස් විය හැක.
- බිළිඳාගේ මොළය වේගයෙන් වර්ධනය වෙයි – 11 වන සතියේදී බිළිඳාගේ මොළය තවදුරටත් ඉතා වේගයෙන් සංවර්ධනය වෙමින් පවතී. මොළයේ විවිධ කොටස් වර්ධනය වෙමින්, ස්නායු පද්ධතියද වඩාත් සංකීර්ණ වෙමින් පවතී. මේ කාලයේ සිදුවන මෙම වර්ධනය ඉදිරියේදී බිළිඳාගේ චලනය, සංවේදන, ඉගෙනීම, ශරීරයේ විවිධ ක්‍රියා පාලනය වැනි ක්‍රියාවලීන් සඳහා පදනම සකස් කරයි. ඒ නිසාම ගැබිනි සමයේ මුල් මාස කිහිපය මවගේ සෞඛ්‍යය සහ පෝෂණය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ යුතු කාලයකි.
- හෘදය සහ රුධිර සංසරණ පද්ධතිය – බිළිඳාගේ හෘදය මේ වන විට ක්‍රියාත්මක වන අතර, එහි ව්‍යුහය තවදුරටත් සංවර්ධනය වෙමින් පවතී. අල්ට්‍රා සවුන්ඩ් පරීක්ෂණයකදී බිළිඳාගේ හෘද ක්‍රියාකාරිත්වය සහ වර්ධනය වෛද්‍යවරයාට නිරීක්ෂණය කළ හැක. බිළිඳාගේ හෘද ස්පන්දනය සම්බන්ධයෙන් සෑම ගර්භණී අවස්ථාවකටම එකම නිරීක්ෂණ කාලයක් නොමැත. එබැවින් පරීක්ෂණ සම්බන්ධයෙන් ඔබේ වෛද්‍යවරයාගේ උපදෙස් අනුගමනය කරන්න.
- අත්, පාද සහ ඇඟිලි තවදුරටත් පැහැදිලි වෙයි – පසුගිය සතිවලදී ආරම්භ වූ අත් සහ පාදවල වර්ධනය මේ සතියේදීත් ඉදිරියට යයි.
මෙම කාලයේදී:
- අත් සහ පාද තවදුරටත් දිගු වේ.
- ඇඟිලි වෙන්වීම වඩාත් පැහැදිලි වේ.
- සන්ධි වර්ධනය වෙමින් පවතී.
- බිළිඳාගේ චලනයන් වැඩි වීමට පටන් ගනී.
බිළිඳා චලනය වන නමුත්, 11 වන සතියේදී බොහෝ මව්වරුන්ට ඒ චලනය තවමත් දැනෙන්නේ නැත. ඒ ගැන කලබල විය යුතු නැහැ. සාමාන්‍යයෙන් බිළිඳාගේ චලනය මවට දැනෙන්න පටන් ගන්නා කාලය පුද්ගලයා අනුව වෙනස් වන අතර, පළමු ගැබ් ගැනීමකදී එය තවදුරටත් පසුව දැනිය හැක.
- මුහුණේ ලක්ෂණ තවදුරටත් වර්ධනය වේ – බිළිඳාගේ මුහුණ දැන් ක්‍රමයෙන් වඩාත් පැහැදිලි හැඩයක් ගනිමින් පවතී.
මෙම කාලයේදී
- ඇස්වල ව්‍යුහය වර්ධනය වෙමින් පවතී
- කන්වල ව්‍යුහය වඩාත් පැහැදිලි වේ
- නාසයේ ව්‍යුහය සංවර්ධනය වේ
- මුඛය සහ තොල්වල ව්‍යුහය තවදුරටත් වර්ධනය වේ.
එහෙත් මේවා තවමත් සම්පූර්ණයෙන් වර්ධනය වී අවසන් වී නැත.
- අස්ථි සහ ශරීර ව්‍යුහය – බිළිඳාගේ ශරීර ව්‍යුහය තවදුරටත් ශක්තිමත් වෙමින් පවතී. ඉදිරියේදී අස්ථි සහ ශරීරයේ අනෙකුත් ව්‍යුහයන් තවදුරටත් වර්ධනය වීමට අවශ්‍ය පදනම මේ කාලයේදී සකස් වෙමින් පවතී. ඒ නිසා මවට ප්‍රමාණවත් පෝෂණයක් ලබාගැනීම වැදගත්ය.
11 වන සතියේදී මවගේ ශරීරයට මොකද වෙන්නේ?
බිළිඳාගේ වර්ධනයට අමතරව, මවගේ ශරීරයත් මේ වන විට විශාල වෙනස්කම්වලට අනුවර්තනය වෙමින් පවතී. සමහර මව්වරුන්ට 11 වන සතිය වන විට මුල් සතිවල තිබූ අපහසුතා ටිකෙන් ටික අඩුවෙන්නට පටන් ගත හැක. තවත් මව්වරුන්ට ඒවා තවදුරටත් පවතින්න පුළුවන්. මේ දෙකම ගැබිනි සමයේ ඇති විය හැකි සාමාන්‍ය අත්දැකීම් වේ.
ඔක්කාරය – 11 වන සතියේදීත් ඔක්කාරය හෝ වමනය ඇති විය හැක. සමහර මව්වරුන්ට මෙම කාලය වන විට එය අඩුවෙමින් පවතින අතර, තවත් සමහරුන්ට තවමත් ආහාරවල සුවඳ පවා අපහසු විය හැක. ඔබට උදෑසන ඔක්කාරය, ආහාරවලට අකමැත්ත, ඇතැම් සුවඳවලට සංවේදී වීම, ආහාර රුචියේ වෙනස්කම් වැනි දේවල් දැනෙන්න පුළුවන්.
එවිට කුඩා ප්‍රමාණවලින් නිතර ආහාර ගැනීම සහ ප්‍රමාණවත් දියර ලබාගැනීම දිගු වේලාවක් හිස් බඩින් නොසිටින්නත් වගබලා ගත යුතුය. ඔබට අපහසු සුවඳ සහ ආහාර හඳුනාගෙන ඒවා අඩු කරන්න. ඔක්කාරය නිසා ආහාර හෝ දියර කිසිවක් තබාගත නොහැකි නම් වෛද්‍ය උපදෙස් ලබාගැනීම වැදගත්ය.
- වෙහෙස – ගැබිනි සමයේ මුල් අවධියේදී වෙහෙස දැනීම ඉතා සාමාන්‍ය අත්දැකීමකි.
ඔබේ ශරීරය මේ වන විට
- ගර්භාෂයේ වෙනස්කම් සිදුකරමින්,
- වැදෑමහ වර්ධනය කරමින්,
- රුධිර සංසරණ පද්ධතිය වෙනස් කරමින්,
- බිළිඳාගේ වර්ධනයට අවශ්‍ය පරිසරය සකස් කරමින් විශාල කාර්යයක් කරමින් සිටී.
ඒ නිසා ඔබට වෙනදාට වඩා නිදිමත හෝ වෙහෙස දැනෙන්නේ ඔබ “දුර්වල” නිසා නොවන බව මතක තබා ගන්න.
කුස පිටතද පෙනෙනවාද?
11 වන සතියේදී සමහර මව්වරුන්ට බඩේ සුළු වෙනසක් පෙනෙන්න පුළුවන්. නමුත් තවත් මව්වරුන්ට තවමත් ගැබිනි බව පිටතින් නොපෙනෙන්න පුළුවන්.
මේ සඳහා බලපාන්නේ:
- මවගේ ශරීර හැඩය
- පෙර ගැබ් ගැනීම් තිබේද යන්න
- ගර්භාෂයේ පිහිටීම
- බිළිඳාගේ වර්ධනය
- ශරීරයේ ස්වභාවික වෙනස්කම් වැනි කරුණුය.
එබැවින් “මගේ බඩ තවමත් පොඩියි” කියලා අනෙක් මව්වරුන් සමඟ ඔබව සසඳන්න එපා. බිළිඳාගේ වර්ධනය නිවැරදිදැයි තීරණය කරන්නේ වෛද්‍ය පරීක්ෂණ මත මිස බඩේ පෙනුම මත පමණක් නොවේ.
11 වන සතියේ ඔබට දැනිය හැකි වෙනත් ලක්ෂණ
මෙම කාලයේදී සමහර මව්වරුන්ට:
✔ පියයුරු සංවේදී වීම
✔ නිතර මුත්‍රා කිරීමට අවශ්‍ය වීම
✔ මලබද්ධය
✔ බඩ පිපීම
✔ හිසරදය
✔ මනෝභාව වෙනස්වීම්
✔ ආහාර රුචියේ වෙනස්කම් වැනි ලක්ෂණ ඇති විය හැක. සෑම මවක්ම මේ සියලු දේ පෙන්නුම් කරන්නේ නැත.
ඔබට මේ සතියේත් ඔක්කාරය තිබෙන්න පුළුවන්. ඔබට වෙහෙස දැනෙන්න පුළුවන්. ඔබේ කුස තවමත් පෙනෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ කිසිවක් ඔබේ ගැබිනි සමයේ ගැටලුකාරි තත්ත්වයන් නම් නොවේ. මවකගෙන් මවකට ගැබිනි සමයේ අත්දකින දේ වෙනස් විය හැකිය. ඔබේ කුස තුළ සිදුවන දේ ඔබට නොපෙනුණත්, ඔබේ ශරීරය ඒ වෙනුවෙන් දිනපතා ක්‍රියාත්මක වේ. ඔබේ බිළිඳාගේ වර්ධනය වේගයෙන් ඉදිරියට යන අතර, ඔබේ ශරීරයත් ගර්භණී සමයේ වෙනස්කම්වලට අනුගත වෙමින් පවතී.
11 වන සතියේ අම්මාගේ පෝෂණය
දෙදෙනෙකු වෙනුවෙන් දෙගුණයක් නොව, පෝෂණයෙන් පිරි ආහාර එනම්ගැබිනි සමයේදී ආහාර ගැනීමේදී ප්‍රමාණයට වඩා ගුණාත්මකභාවය වැදගත්ය.ඔබේ ආහාර වේලට විවිධ ආහාර කාණ්ඩ ඇතුළත් කිරීමට උත්සාහ කරන්න.
කාබෝහයිඩ්‍රේට් – බත්, පාන්, ඕට්ස්, අල, බතල වැනි ආහාර ශරීරයට ශක්තිය ලබා දෙයි. හැකි හැමවිටම සම්පූර්ණ ධාන්‍ය වර්ග තෝරාගැනීම ප්‍රයෝජනවත් විය හැක.
ප්‍රෝටීන් – බිළිඳාගේ වර්ධනය සඳහා ප්‍රෝටීන් වැදගත්ය.
ආහාරයට හොඳින් පිසූ බිත්තර, මාළු, හොඳින් පිසූ මස්, පරිප්පු, කඩල, බෝංචි, ඇට වර්ග වැනි ආහාර ඇතුළත් කළ හැක.
එළවළු සහ පලතුරු – විවිධ වර්ණවල එළවළු සහ පලතුරු මඟින් විවිධ විටමින්, ඛනිජ සහ තන්තු ලබාගත හැක. ආහාරයට පෙර ඒවා හොඳින් සෝදා ගැනීම වැදගත්ය.
ෆෝලික් අම්ලය – ගර්භණී සමයේ මුල් අවධියේදී ෆෝලික් අම්ලය ඉතා වැදගත් පෝෂකයකි.එය බිළිඳාගේ ස්නායු පද්දතියේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වේ. වෛද්‍යවරයා නිර්දේශ කර ඇති ෆෝලික් අම්ල මාත්‍රාව නිවැරදිව ලබාගන්න. ඔබට නිර්දේශ කළ මාත්‍රාව වෙනස් කිරීමට හෝ නතර කිරීමට පෙර වෛද්‍යවරයාගෙන් විමසන්න.
යකඩ – රක්තහීනතාවයෙන් ආරක්ෂා වීමට ඉතා වැදගත් වන අතරම ගර්භණී සමයේදී රුධිරයේ නියමිත යකඩ ප්‍රමාණය නිවරදිව පැවතිය යුතුමය. යකඩ අඩුවීමෙන් රක්තහීනතාව ඇති විය හැකි අතර, එමඟින් අධික වෙහෙස සහ දුර්වල බව වැනි ලක්ෂණ ඇති විය හැක. හොඳින් පිසූ මස්, බිත්තර, පරිප්පු සහ බෝංචි, කොළ පැහැති එළවළු වැනි ආහාර මගින් සිරුරේ යකඩ අවශ්‍යතාවය සපුරා ගත හැකි අතරම අමතර යකඩ ලබාගත යුතුද යන්න වෛද්‍යවරයා තීරණය කරනු ඇත.
කැල්සියම් සහ විටමින් D – බිළිඳාගේ අස්ථි සහ දත් වර්ධනය සඳහා කැල්සියම් වැදගත් වන අතර, මවගේ අස්ථි සෞඛ්‍යයටත් එය අවශ්‍ය වේ.කිරි, යෝගට්, චීස් සහ කැල්සියම් අඩංගු වෙනත් ආහාර ප්‍රයෝජනවත් විය හැක. විටමින් D ශරීරයට කැල්සියම් අවශෝෂණය කරගැනීමට උපකාරී වේ.ඔබට විටමින් D හෝ වෙනත් පෝෂකයක් අඩු බවට සැකයක් තිබේ නම් වෛද්‍ය උපදෙස් ලබාගන්න.
ජලය – අමතක නොකරන්න. ගර්භණී සමයේදී ප්‍රමාණවත් දියර ලබාගැනීම වැදගත්ය.ජලය පානය කිරීමශරීරය සජලව තබා ගැනීමට, මලබද්ධය අඩු කිරීමට, සාමාන්‍ය ශාරීරික ක්‍රියාකාරිත්වයට උපකාරී වේ. ඔක්කාරය නිසා ජලය පානය කිරීමට අපහසු නම්, කුඩා ප්‍රමාණවලින් නිතර පානය කිරීමට උත්සාහ කරන්න.
11 වන සතියේදී වැළකිය යුතු දේ
- දුම්පානය – ගර්භණී සමයේදී කෙලින්ම හෝ වක්‍රාකාරව දුම්පානය හෝ එයට නිරාවරණය වීම හෝ නුසුදුසුය.
- මත්පැන් – ගර්භණී සමයේදී මත්පැන් භාවිතයෙන් සම්පූර්ණයෙන් වැළකීම නිර්දේශ කෙරේ.
- කැෆේන් – කෝපි, තේ, කෝලා සහ ශක්ති ජනක පාන වැනි පානවල කැෆේන් අඩංගු විය හැක. ගර්භණී සමයේදී කැෆේන් ප්‍රමාණය පාලනය කිරීම වැදගත්ය.
- වෛද්‍ය උපදෙස් නොමැති ඖෂධ – සාමාන්‍ය ඖෂධයක් කියා සිතා තමන්ම ඖෂධ ගැනීමෙන් වළකින්න. ඔබට වේදනාවක්, උණක් හෝ වෙනත් අපහසුතාවක් ඇත්නම් ඔබේ වෛද්‍යවරයාගෙන් හෝ සෞඛ්‍ය සේවකයෙකුගෙන් උපදෙස් ලබාගන්න.
11 වන සතියේ සිටින ගැබිනි මවකට ව්‍යායාම කළ හැකිද?
ගර්භණීභාවය සාමාන්‍ය ලෙස සිදුවන සහ වෛද්‍යවරයා විසින් ව්‍යායාම තහනම් කර නොමැති මව්වරුන්ට සාමාන්‍යයෙන් සුදුසු මට්ටමේ ශාරීරික ක්‍රියාකාරකම් ප්‍රයෝජනවත් විය හැක.
උදාහරණයක් ලෙස සැහැල්ලු ඇවිදීම, ගර්භණී සමයට සුදුසු ව්‍යායාම සිදු කල හැකි වුවත් ත් ඔබට විශේෂ සෞඛ්‍ය තත්ත්වයක් තිබේ නම් හෝ වෛද්‍යවරයා ක්‍රියාකාරකම් සීමා කර තිබේ නම්, වෛද්‍ය උපදෙස්වලට මුල් තැන ලබා දිය යුතුය.
නින්ද සහ විවේකය
11 වන සතියේදීත් වෙහෙස දැනෙන්නේ නම්, එය නොසලකා හරින්න එපා.
ඔබට හැකි පරිදි
- නිසි නින්දක් ලබාගන්න
- දිවා කාලයේදී අවශ්‍ය විට කෙටි විවේකයක් ගන්න
- නිදාගැනීමට පෙර තිර කාලය අඩු කරන්න
- සවස සහ රාත්‍රියේ කැෆේන් අඩු කරන්න
පහත ලක්ෂණ තිබේ නම් වෛද්‍ය උපදෙස් ලබාගන්න
ගැබිනි සමයේදී යම් අපහසුතාවක් ඇති වීම සාමාන්‍ය විය හැකි නමුත්, පහත ලක්ෂණ නොසලකා නොහරින්න
🔸 අධික හෝ අසාමාන්‍ය යෝනි මාර්ග රුධිර වහනය
🔸 දැඩි හෝ නොනවතින උදර වේදනාව
🔸 දියර පවා තබාගත නොහැකි තරම් වමනය
🔸 අධික දුර්වල බව හෝ සිහි නැතිවීමට ආසන්න බව
🔸 උණ හෝ වෙනත් ආසාදන ලක්ෂණ
🔸 වෛද්‍යවරයා විසින් විශේෂයෙන් පරීක්ෂා කළ යුතු යැයි පැවසූ වෙනත් ලක්ෂණ
හදිසි හෝ වෙනත් දැඩි ලක්ෂණ ඇති විට ප්‍රමාද නොවී වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්න.
11 වන සතිය – මවගේ හිත, බිය, ආදරය සහ ඉදිරියට යන ගමන
ගැබිනි සමයේ 11 වන සතියේත් බිළිඳාගේ ශරීරය තවදුරටත් හැඩගැසෙමින් පවතින අතර, අම්මාගේ හිතත් “මම දැන් ඇත්තටම අම්මා කෙනෙක් වෙන්න යනවා” කියන හැඟීමට ටිකෙන් ටික හුරු වෙමින් පවතින කාලයක්. පසුගිය සති කිහිපය තුළ ඔබට ඔක්කාරය, වෙහෙස, ආහාර රුචියේ වෙනස්කම් සහ විවිධ ශාරීරික අපහසුතා දැනෙන්න ඇති. ඒ සියල්ල අතරින් තවත් දෙයක් සිදුවෙමින් පවතී. ඔබේ මනසත් මේ අලුත් ගමනට සූදානම් වෙමින් පවතී.
“මගේ බබා හොඳින්ද?” – මේ බිය සාමාන්‍යයි
ගැබිනි මවකට ඇති විය හැකි විශාලතම කනස්සල්ලක් තමයි, මගේ බබා හොඳින් වැඩෙනවාද? කියන ප්‍රශ්නය. විශේෂයෙන්ම පළමු ත්‍රෛමාසිකයේ බිළිඳාගේ චලනය තවමත් දැනෙන්නේ නැති නිසා, සමහර මව්වරුන්ට තමන්ගේ බිළිඳා ගැන නිතරම කනස්සල්ලක් ඇති විය හැක. ඒ අතර අන්තර්ජාලය හරහා තොරතුරු සෙවීමත්, වෙනත් මව්වරුන්ගේ අත්දැකීම් සමඟ තමන්ව සංසන්දනය කිරීමත් මේ කනස්සල්ල තවත් වැඩි කළ හැක. ඔබේ ගැබිනි සමය තවත් කෙනෙකුගේ ගැබිනි සමය සමග සැසදිය යුතු නැහැ.
බඩේ ප්‍රමාණය ගැන අනවශ්‍ය ලෙස කනස්සලු වෙන්න එපා
“අපේ අක්කාට මේ කාලෙදි බඩ ලොකු වෙලා තිබුණා.”
“මගේ යාළුවාට නම් දැන් බඩ පේනවා.”
“මගේ බඩ තවමත් පේන්නේ නැත්තේ ඇයි?”
මෙවැනි සංසන්දනයන් ගැබිනි මවකට අනවශ්‍ය බියක් ඇති කළ හැක. 11 වන සතියේදී මවකගේ බඩේ පෙනුම විශාල ලෙස වෙනස් විය හැක. ඒ නිසා බඩේ ප්‍රමාණය පමණක් බිළිඳාගේ සෞඛ්‍යය මැනීමට භාවිතා කළ නොහැක. වෛද්‍ය පරීක්ෂණ සහ අල්ට්‍රාසවුන්ඩ් වැනි සුදුසු පරීක්ෂණ මඟින් බිළිඳාගේ වර්ධනය තක්සේරු කරයි.
“මම හොඳ අම්මා කෙනෙක් වෙයිද?”
මේ ප්‍රශ්නයත් බොහෝ මව්වරුන්ගේ සිතට එන එකක්. ඔබට දරුවෙක් ලැබෙන්න යන බව දැනගත් දවසේ සිටම, “මම මේ හැම දෙයක්ම හරියට කරයිද?” කියන සිතුවිල්ල ඇතිවෙන්න පුළුවන්. නමුත් අම්මා කෙනෙක් වීම කියන්නේ හැම දෙයක්ම කලින් දැන සිටීම නොවේ.
එය, ඉගෙන ගැනීමකි. අත්දැකීමකි. වැරදිවලින් ඉගෙන ගැනීමකි. අවශ්‍ය විට උදව් ඉල්ලීමකි. දරුවා සමඟ දිනෙන් දින සම්බන්ධතාවය ගොඩනගා ගැනීමකි. අද ඔබ නොදන්නා බොහෝ දේ ඔබ ඉදිරියේදී ඉගෙන ගනීවි.
සහකරුගේ සහය මේ අවධියේදීත් වැදගත්
ගැබිනි මවකට අවශ්‍ය වන්නේ “කෑවද?” කියා අසන එක පමණක් නොවේ.
සහකරුට කළ හැකි සරල දේවල්
💜 ඇයගේ වෙහෙස තේරුම් ගැනීම
💜 නිවසේ කටයුතු බෙදාගැනීම
💜 ඇය සමඟ වෛද්‍ය හමුවීම්වලට සහභාගී වීම
💜 ඇයගේ බිය සහ ප්‍රශ්න විනිශ්චය නොකර අසා සිටීම
💜 ඇයට විවේක ගැනීමට අවස්ථාව ලබාදීම
සමහරවිට “ඔයාට කොහොමද?” කියන සරල ප්‍රශ්නයක් පවා ගැබිනි මවකට විශාල සහනයක් විය හැක.
අන්තර්ජාලයෙන් එන හැම දෙයක්ම විශ්වාස කරන්න එපා
ගැබිනි සමයේදී ප්‍රශ්නයක් ඇති වූ විට අන්තර්ජාලයෙන් තොරතුරු සෙවීම ස්වභාවිකයි. නමුත් ඔබට තිබෙන එක් ලක්ෂණයක් සෙවූ විට, අන්තර්ජාලයේ දරුණුම තත්ත්වයන් ගැන පවා කියවීමට සිදුවිය හැක. එයින් අනවශ්‍ය බියක් ඇතිවිය හැක.
ඒ නිසා විශ්වාසදායක සෞඛ්‍ය මූලාශ්‍ර තෝරාගන්න. ඊටත් වඩා වැදගත් වන්නේ, ඔබේම ගර්භණී තත්ත්වය පිළිබඳ ගැටලුවක් ඇත්නම් ඔබව පරීක්ෂා කරන වෛද්‍යවරයාගෙන් උපදෙස් ලබාගැනීමයි.
11 වන සතියේදී ඔබ වෙනුවෙන් කුඩා “self-care” routine එකක්
- ඔබේ දවස පරිපූර්ණ කරගන්න අවශ්‍ය නැහැ, කුඩා දේවල් ප්‍රමාණවත්.
උදෑසන – ප්‍රමාණවත් දියර පානය කර, ඔබට පහසු පෝෂ්‍යදායී ආහාරයක් ගන්න.
දවල් – වැඩ අතරතුර ඔබට වෙහෙස දැනෙන විට කෙටි විවේකයක් ගන්න.
සවස – වෛද්‍ය උපදෙස් අනුව සැහැල්ලු ක්‍රියාකාරකමක් හෝ ඇවිදීමක් කරන්න.
රාත්‍රිය – දවස පුරා සිදුවූ දේවල් ගැන අනවශ්‍ය ලෙස සිතමින් සිටිනවාට වඩා, සන්සුන් වෙලා නිදාගැනීමට සූදානම් වන්න.
ඔබේ ගැබිනි සමයේ ගමන සටහන් කරගන්න
11 වන සතියේදී ඔබේ බිළිඳා තවමත් ඉතා කුඩායි. ඒ නිසා මේ කාලයේ සිදුවන දේවල් අනාගතයේදී ඔබට අමතක විය හැක. ඒ වෙනුවෙන් කුඩා දින පොතක් තබා ගත හැකියි.
💜 අද මට දැනුණු හැඟීම
💜 මට තිබුණු ආහාර ආශාව
💜 මට දැනුණු අපහසුතාව
💜 වෛද්‍යවරයා කියූ වැදගත් කරුණු
💜 මගේ බබා වෙනුවෙන් මට ඇති පළමු බලාපොරොත්තු
යන තොරතුරු එහි සටහන් කරන්න. වසර ගණනකට පසුවත් ඒ සටහන් ඔබට වටිනා මතකයක් වේවි.
දැන් ඔබ 12 වන සතියට ළඟා වෙමින් සිටිනවා. මේ වන විට ඔබ පළමු ත්‍රෛමාසිකයේ අවසානයට තවත් ළං වෙමින් සිටී. ඉදිරියේදී බොහෝ මව්වරුන්ට මුල් ගැබිනි ලක්ෂණ කිහිපයක් ටිකෙන් ටික අඩුවීමට පටන් ගත හැක. නමුත් මෙය සෑම මවකටම එකම ආකාරයෙන් සිදු නොවේ. සමහරුන්ට ඔක්කාරය තවදුරටත් තිබිය හැක. සමහරුන්ට වෙහෙස අඩුවිය හැක. තවත් සමහරුන්ට තවමත් ගැබිනි සමයේ මුල් ලක්ෂණ දැනෙන්න පුළුවන්. ඔබේ අත්දැකීම වෙනස් වීම ගැටලුවක් අතැයි යන අදහසක් නොවන බව අමතක කරන්න එපා.
ගැබිනි සමයේ 11 වන සතිය කියන්නේ ඔබේ බිළිඳාගේ ශරීරය තවදුරටත් හැඩගැසෙමින් පවතින, මවගේ ශරීරය ගැබ් ගැනීමට අනුවර්තනය වන, සහ මවගේ හිත අලුත් ජීවිතයකට සූදානම් වන සුන්දර අවධියකි.
මේ සතියේ ඔබට දැනෙන්නේ:
- ඔක්කාරය වෙන්න පුළුවන්.
- වෙහෙස දැනෙන්න පුළුවන්.
- බිය ඇතිවෙන්න පුළුවන්.
- බබා ගැන ආදරයක් දැනෙන්න පුළුවන්.
- හෙට ගැන බලාපොරොත්තුවක් ඇතිවෙන්න පුළුවන්.
ඒ සියල්ල ඔබේ ගැබිනි ගමනේ කොටස්.
ඔබේ බබා තවමත් ඔබේ අතට ලැබුනේ නැහැ. ඔබට ඔහුගේ හෝ ඇයගේ මුහුණ තවමත් දැකගන්න බැහැ. ඔබට තවමත් ඔහුගේ හෝ ඇයගේ චලනය දැනෙන්නේ නැති වෙන්න පුළුවන්.
නමුත්… ඔබ දැනටමත් අම්මා කෙනෙක් ලෙස ඔහු/ඇය වෙනුවෙන් සිතමින්, ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙමින්, ඔහු/ඇය වෙනුවෙන් තීරණ ගනිමින් සිටී. ඒ තමයි මාතෘත්වයේ සුන්දර ආරම්භය.

ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය
(හෙද විද්‍යාවේදි – ගෞරව, සෞඛ්‍ය සේවා කළමනාකරණ – ගෞරව, බාහිර දේශක සහ ලේඛිකා)
සුතිකා පුහුණු අධිශ්‍රේණි හෙද නිලධාරිනි
නව ඡන්ම ළදරු දැඩි සත්කාර ඒකකය, ශික්ෂණ රෝහල, කුරුණැගල
මෙම ලිපිය සාමාන්‍ය දැනුවත් කිරීම සඳහා පමණි. ඔබගේ ගැබිනි සමය සම්බන්ධයෙන් ඕනෑම ගැටලුවක් හෝ සැකයක් ඇත්නම්, ඔබගේ ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයා හෝ සුදුසුකම් ලත් සෞඛ්‍ය වෘත්තිකයෙකුගේ උපදෙස් ලබාගැනීම අත්‍යවශ්‍ය වේ.