Parent Pulse Blog සුව දිවිය දරුවන්ගේ සුව දිවිය විනයගරුක සන්නිවේදනයට වැදගත් වෙන කරුනු 10ක්
Uncategorized දරුවන්ගේ සුව දිවිය

විනයගරුක සන්නිවේදනයට වැදගත් වෙන කරුනු 10ක්

මිනිසා සමාජීය ජීවියෙකි. අපගේ දෛනික ජීවිතයේදී පවුලේ සාමාජිකයන්, මිතුරන්, ගුරුවරුන්, සහෝදර සහෝදරියන්, වැඩිහිටියන් සහ විවිධ පුද්ගලයන් සමඟ සම්බන්ධ වීමට අපට සිදුවේ. මේ සෑම සම්බන්ධතාවයකම පදනම වන්නේ සන්නිවේදනයයි. එහෙත් සන්නිවේදනය යනු අපගේ අදහස අනෙක් පුද්ගලයාට පැවසීම පමණක් නොවේ. අප කතා කරන ආකාරය, භාවිත කරන වචන, හඬේ ස්වරය, අනෙක් පුද්ගලයාට සවන් දෙන ආකාරය, අපගේ හැඟීම් පාලනය කරන ආකාරය සහ අපගේ වචනවලට වගකීම ගැනීමද සන්නිවේදනයේම කොටස් වේ. මෙහිදී වැදගත් වන සංකල්පයක් වන්නේ සන්නිවේදන විනය යන්නයි.

සන්නිවේදන විනය යනු තමන්ගේ අදහස්, හැඟීම් සහ අවශ්‍යතා අනෙක් පුද්ගලයන්ට ගෞරවයෙන්, පැහැදිලිව, වගකීමෙන් සහ සුදුසු අවස්ථාවට ගැළපෙන ආකාරයෙන් ප්‍රකාශ කිරීමේ හැකියාව ලෙස සරලව හඳුන්වා දිය හැකිය.

සන්නිවේදන විනය යනු කුමක්ද?

අපි බොහෝ විට සිතන්නේ “මම කියන්න ඕන දේ කිව්වා” නම් සන්නිවේදනය සාර්ථක බවයි. නමුත් සාර්ථක සන්නිවේදනයේදී වැදගත් වන්නේ අපි පැවසූ දේ පමණක් නොව, එය අනෙක් පුද්ගලයාට ලැබුණු ආකාරයද වේ.

උදාහරණයක් ලෙස, දරුවෙකු යම් වරදක් කළ විට,

ඔයාට කිසිම දෙයක් හරියට කරන්න බැහැ යනුවෙන් පැවසීමත්,

මේක ඔයාගෙන් සිදු වූ වැරැද්දක්. අපි බලමු ඊළඟ වතාවේ මේක වඩා හොඳින් කරන්නේ කොහොමද කියලා යනුවෙන් පැවසීමත් එකම සිදුවීමක් සම්බන්ධයෙන් කරන සන්නිවේදනයකි. නමුත් ඒ දෙකෙන් දරුවාට ලැබෙන පණිවිඩය සම්පූර්ණයෙන්ම වෙනස්ය.

ඒ නිසා සන්නිවේදන විනය යනු කතා නොකර සිටීම හෝ සෑම විටම මෘදු වචන භාවිත කිරීම පමණක් නොවේ. අවශ්‍ය අවස්ථාවකදී ස්ථිරව නැහැ කියන්නටත්, තම සීමා පැහැදිලි කරන්නටත්, වැරැද්දක් පෙන්වා දෙන්නටත් හැකි වීම එහි කොටසකි.

  1. කතා කිරීමට පෙර සවන් දීම

හොඳ සන්නිවේදකයෙකු වීමට නම් හොඳ කථිකයෙකු වීම පමණක් ප්‍රමාණවත් නොවේ. හොඳ සවන්දෙන්නෙකු වීම අත්‍යවශ්‍යය. අනෙක් පුද්ගලයා කතා කරන විට ඔහුගේ හෝ ඇයගේ වචන අතරමැද නතර කරමින් අපගේ අදහස පැවසීමට උත්සාහ කිරීම, දුරකථනය දෙස බැලීම, අවධානය වෙනතකට යොමු කිරීම හෝ පිළිතුරක් සූදානම් කරමින් සිටීම සාර්ථක සවන්දීමක් නොවේ.

සවන්දීම යනු,

  • අනෙක් පුද්ගලයාගේ කතාව අවසන් වන තුරු සවන් දීම
  • ඔහුගේ හෝ ඇයගේ අදහස තේරුම් ගැනීමට උත්සාහ කිරීම
  • අවශ්‍ය විට පැහැදිලි ප්‍රශ්න ඇසීම
  • ඉක්මනින් විනිශ්චය නොකිරීම
  • තමන්ගේ පිළිතුර පමණක් ගැන නොසිතීම වැනි කරුණු ඇතුළත් ක්‍රියාවලියකි.

මට කියන්න තියෙන දේ ට වඩා ඔයා කියන්නේ මොකක්ද? යන්න තේරුම් ගැනීමට උත්සාහ කිරීම සන්නිවේදන විනයේ වැදගත් ලක්ෂණයකි.

  • වචන තෝරා ගැනීමේ විනය

වචනවලට බලයක් තිබේ. එකම අදහස විවිධ ආකාරවලින් පැවසිය හැකිය. ඔයා මෝඩයි යන වචනය පුද්ගලයෙකුගේ පෞරුෂයට පහර දෙයි. නමුත්, මේ තීරණය ගැන මට එකඟ වෙන්න අමාරුයි. අපි වෙනත් විකල්පයක් බලමු යනුවෙන් පැවසීමෙන් අදහස විවේචනය කළ හැකි නමුත් පුද්ගලයාට පහර නොදේ.

එබැවින් සන්නිවේදන විනය ඇති පුද්ගලයෙකු,

  • අපහාස නොකරයි.
  • නින්දා නොකරයි.
  • අනවශ්‍ය ලෙස ලේබල් නොගසයි.
  • අසභ්‍ය හෝ පහත් වචන භාවිතයෙන් තම අදහස බලෙන් පිළිගන්වීමට උත්සාහ නොකරයි.
  • කෝපයෙන් සිටින අවස්ථාවකදී වචන ගැන වඩාත් සැලකිලිමත් වේ.

අපට පසුව අමතක වුවත්, අප පැවසූ වචනයක් තවත් පුද්ගලයෙකුගේ මතකයේ දිගු කාලයක් රැඳී සිටිය හැකිය.

  • හැඟීම් පාලනය කරමින් සන්නිවේදනය කිරීම

කෝපය, දුක, කලකිරීම, බිය සහ අසහනය මිනිසුන්ට ස්වභාවික හැඟීම් වේ. සන්නිවේදන විනය යනු කිසිදා කෝප නොවීම නොවේ. එය කෝප වූ විට පවා කෙසේ හැසිරිය යුතුද යන්න තීරණය කිරීමට හැකි වීමයි. උදාහරණයක් ලෙස, මට දැන් මේ ගැන ගොඩක් තරහක් තියෙනවා. මම ටික වේලාවක් නිශ්ශබ්ද වෙලා ඉඳලා පස්සේ මේ ගැන කතා කරන්නම් යනුවෙන් පැවසීම, කෝපයෙන් කෑගැසීමකට වඩා සෞඛ්‍ය සම්පන්න සන්නිවේදනයකි.  විශේෂයෙන් පවුල තුළ මෙය ඉතා වැදගත්ය. මන්ද දෙමාපියන් දරුවන් සමඟ කතා කරන ආකාරය මඟින් දරුවන් ගැටලු විසඳන ආකාරය ඉගෙන ගන්නා බැවිනි.

  • පවුල තුළ සන්නිවේදන විනය

පවුල යනු දරුවෙකු සන්නිවේදනය පිළිබඳ පළමු පාඩම් ඉගෙන ගන්නා ස්ථානයයි. දරුවෙකුගේ අදහසට සවන් දීම, ඔහුට හෝ ඇයට ගෞරවයෙන් කතා කිරීම, වැරැද්දක් කළ විට අපහාස නොකර එය පැහැදිලි කර දීම, ප්‍රශ්නයක් ඇති වූ විට සාකච්ඡා කිරීම වැනි දේවල් පවුලේ සන්නිවේදන සංස්කෘතිය ගොඩනඟයි. දෙමාපියන් අතර නිතරම කෑගැසීම්, අපහාස කිරීම් සහ එකිනෙකාට දොස් පැවරීම් තිබේ නම්, දරුවා එය සාමාන්‍ය සන්නිවේදන රටාවක් ලෙස ඉගෙන ගැනීමට ඉඩ ඇත. ඒ වෙනුවට, අපි එකඟ නොවුණත් එකිනෙකාට ගෞරවයෙන් කතා කිරිම වැදගත් වේ යන ආකල්පය පවුල තුළ ඇති කිරීම ඉතා වැදගත්ය.

  • දරුවන්ට සන්නිවේදන විනය ඉගැන්වීම

දරුවන්ට හොඳට කතා කරන්න, කෑගහන්න එපා, අනෙක් අයට ගරු කරන්න යනුවෙන් පැවසීම පමණක් ප්‍රමාණවත් නොවේ. දරුවාට ආදර්ශයක් අවශ්‍යය.

දෙමාපියෙකු දරුවාට, මම ඔයා කියන දේට එකඟ නැහැ. ඒත් ඔයාගේ අදහස මට අහන්න ඕන යනුවෙන් පැවසීමෙන් දරුවාට ඉතා වැදගත් පාඩමක් ලැබේ. එනම් එකඟ නොවීම යනු අගෞරව කිරීම නොවේ යන්නයි.

දරුවෙකුට තම අදහස ප්‍රකාශ කිරීමට ඉඩ දීමෙන් ඔහුගේ හෝ ඇයගේ විශ්වාසය වර්ධනය වේ. එසේම අනෙක් පුද්ගලයාගේ අදහසට සවන් දීමටද පුරුදු කළ යුතුය.

  • ඩිජිටල් ලෝකයේ සන්නිවේදන විනය

අද සන්නිවේදනය මුහුණට මුහුණ කතා කිරීමෙන් පමණක් සීමා නොවේ. WhatsApp, Facebook, Instagram, TikTok සහ අනෙකුත් සමාජ මාධ්‍ය හරහාද අපි දිනපතා සන්නිවේදනය කරන නිසාම ඩිජිටල් සන්නිවේදන විනයද ඉතා වැදගත්ය. අපි අන්තර්ජාලයේ යමක් ලිවීමට පෙර සිතා බැලිය යුතු ප්‍රශ්න කිහිපයක් තිබේ.

  • මෙය ලිවිම අවශ්‍යද?
  • මේ පණිවිඩයෙන් කෙනෙකුට අනවශ්‍ය ලෙස හානියක් සිදුවේද?
  • මම මෙය මුහුණට කියන්නත් සූදානම්ද?
  • මෙය සත්‍ය තොරතුරක්ද?
  • වෙනත් පුද්ගලයෙකුගේ පෞද්ගලිකත්වයට ගරු කරනවාද?

විශේෂයෙන් සමාජ මාධ්‍යවලදී ක්ෂණිකව ඇති වන තරහා සමග අදහස් එකතු කිරිම පසුව ගැටලුවක් විය හැකිය.

එබැවින්, Type → Think → Check → Send යන පුරුද්ද ඇති කර ගැනීම ඉතා වැදගත්ය.

  • නිහඬව සිටීමත් සන්නිවේදනයකි

සන්නිවේදනය යනු වචන පමණක් නොවේ. අපගේ නිහඬභාවය, මුහුණේ හැඟීම්, ශරීර භාෂාව සහ ක්‍රියාකාරකම්ද පණිවිඩ ලබා දෙයි. කෙනෙකු කතා කරන විට ඇස් දෙස නොබලා සිටීම, උපහාසාත්මක ලෙස සිනාසීම, දොර වසා දැමීම හෝ නොසලකා හැරීම වැනි හැසිරීම්වලින්ද පණිවිඩයක් ලැබේ. ඒ නිසා සන්නිවේදන විනය යනු අප කතා කරන දේ පමණක් පාලනය කිරීම නොව, අපගේ හැසිරීම පිළිබඳවද අවධානයෙන් සිටීමයි.

  • එකඟ නොවීම්වලදී සන්නිවේදන විනය

සෑම සම්බන්ධතාවයකම එකඟ නොවීම් ඇති වේ. පවුලේ අය අතර, මිතුරන් අතර හෝ පාසලේදී පවා අදහස් වෙනස් විය හැකිය. සන්නිවේදන විනය ඇති පුද්ගලයෙකු එකඟ නොවීම ගැටුමක් බවට පත් නොකර සාකච්ඡාවක් බවට පත් කිරීමට උත්සාහ කරයි.

ඔයා හැමදාම මෙහෙමයි යනුවෙන් චෝදනා කිරීම වෙනුවට, මේ සිදුවීම ගැන මට මෙහෙම හැඟුණා යනුවෙන් තම හැඟීම පැහැදිලි කිරීම වඩාත් ඵලදායීය. එසේම අනෙක් පුද්ගලයාගේ අදහසට සවන් දීමත් අවශ්‍යය. සමහරවිට අවසානයේදී දෙදෙනාම එකම අදහසකට නොපැමිණිය හැකිය. නමුත් ගෞරවයෙන් එකඟ නොවී සිටීමට හැකි වීමද පරිණත සන්නිවේදනයක ලක්ෂණයකි.

  • සමාව ඉල්ලීම සහ වැරැද්ද පිළිගැනීම

සන්නිවේදන විනය ඇති පුද්ගලයෙකු තමන් කිසියම් වරදක් කළ විට එය පිළිගැනීමට බිය නොවේ. මම එහෙම අදහස් කළේ නැහැ යනුවෙන් තමන්ව ආරක්ෂා කර ගැනීම වෙනුවට, මම පැවසූ ආකාරය වැරදියි. ඒකෙන් ඔයාට වේදනාවක් ඇති වුණා නම් මට කණගාටුයි. ඊළඟ වතාවේ මම ඒක වෙනස් විදිහට කියන්නම් යනුවෙන් පැවසීම වඩාත් වගකීම් සහගතය. සමාව ඉල්ලීම දුර්වලකමක් නොවේ. එය තමන්ගේ වචන සහ ක්‍රියා සඳහා වගකීම ගැනීමේ ලක්ෂණයකි.

  1. සන්නිවේදන විනය දරුවෙකුගේ අනාගතයට බලපාන්නේ කෙසේද?

සන්නිවේදනය හොඳින් කළ හැකි පුද්ගලයෙකුට තම අදහස් පැහැදිලිව ප්‍රකාශ කිරීමටත්, ගැටලු සාකච්ඡා කිරීමටත්, සබඳතා පවත්වා ගැනීමටත් පහසු වේ.

පාසල් ජීවිතයේදී පමණක් නොව, අනාගත රැකියා ජීවිතයේදීද සන්නිවේදන හැකියාව ඉතා වැදගත් වේ.

නමුත් එය ලස්සනට කතා කිරීම පමණක් නොවේ. හොඳින් සවන් දීම, නිවැරදි ප්‍රශ්න ඇසීම, අදහස් පැහැදිලි කිරීම, ගැටලු සාමකාමීව සාකච්ඡා කිරීම, විවේචනයක් පිළිගැනීම සහ ගෞරවයෙන් ප්‍රතිචාර දැක්වීම යන සියල්ලම එයට අයත් වේ.

සන්නිවේදන විනය යනු දරුවෙකුට කට වහගෙන ඉන්න කියා ඉගැන්වීම නොවේ.

  • ඔබේ අදහස කියන්න. නමුත් අනෙක් පුද්ගලයාගේ අදහසටත් ඉඩ දෙන්න.
  • කෝප වුණාට කමක් නැහැ. නමුත් කෝපය නිසා අනෙක් කෙනාට රිදවන වචන කියන්න එපා
  • ඔබ එකඟ නොවුණාට කමක් නැහැ. නමුත් ගෞරවය නැති කරගන්න එපා
  • වැරදුණා නම් සමාව ඉල්ලන්න
  • කතා කිරීමට පෙර සිතන්න
  • පිළිතුරු දීමට පෙර සවන් දෙන්න යන ජීවන කුසලතා දරුවෙකු තුළ වර්ධනය කිරීමයි.

දරුවෙකුගේ සන්නිවේදන විනය ගොඩනැගෙන්නේ එක දවසකින් නොවේ. එය නිවසේදී, පාසලේදී, මිතුරන් අතරදී සහ දෛනික අත්දැකීම් තුළින් ක්‍රමයෙන් වර්ධනය වේ. ඒ නිසා දරුවෙකුට හොඳ සන්නිවේදනයක් උගන්වන්නට අවශ්‍ය නම්, පළමුව අපිම එයට ආදර්ශයක් විය යුතුය. අපි කතා කරන වචන දරුවෙකුට ඇසෙනවා පමණක් නොව, ඔහුගේ හෝ ඇයගේ සන්නිවේදන රටාවක් බවටද පත්විය හැකිය. එබැවින් දරුවන්ට අපි උගන්වන වැදගත්ම සන්නිවේදන පාඩම වන්නේ අපේ වචනවලින් පමණක් නොව, අපේ හැසිරීමෙන්ද පෙන්වන “ගෞරවයෙන් සන්නිවේදනය කිරීම”යි.

Exit mobile version