Parent Pulse Blog විශේෂී ලිපි අනේ අම්මේ….. ගෙදරට බල්ලෙක් ගේමුද? පූස් පැටියෙක් හදමුද?
විශේෂී ලිපි

අනේ අම්මේ….. ගෙදරට බල්ලෙක් ගේමුද? පූස් පැටියෙක් හදමුද?

මේ වගේ ඉල්ලීමක් ඔබේ දරුවාගෙනුත් කවදා හරි ඇවිත් ඇති. එහෙමත් නැත්නම්, නිවසේ තනිකම මකාගන්න, දරුවන්ගේ සතුට වෙනුවෙන් හෝ සතුන්ට ඇති ආදරය නිසා ඔබත් සුරතල් සතෙක් නිවසට ගෙන ඒමට සිතා ඇති.

සුරතල් සතෙක් නිවසට ගේන්න කලින් අපි අපෙන්ම එක ප්‍රශ්නයක් අහමු.

සුරතලාට අපේ ගෙදර තැනක් විතරක්ද? ආදරය, රැකවරණය සහ වගකීම පිරුණු ජීවිතයක් සුරතලාට හිමි වෙයිද?

සුරතල් සතෙක් කියන්නේ ගෙදර ලස්සනට තියාගන්න පුළුවන් දෙයක්වත්, දරුවන්ගේ සෙල්ලම් බඩුවක්වත්, අපි කන බොන දේවල ඉතිරි ටික දීලා ඇති කරන කෙනෙක් නම් නෙවෙයි. ඒත් හැඟීම් දැනෙන, වේදනාව දැනෙන, බියට පත්වෙන, ආදරය බලාපොරොත්තු වෙන ජීවියෙක්.

1. සුරතල් සතෙක් කියන්නේ තවත් දරුවෙක් වගේ වගකීමක්!

ඔබ දරුවෙක් හදනවා නම්, දරුවාට බඩගිනි වූ විට පමණක් කෑම දීලා ඔබේ වගකීම අවසන් කරන්නේ නැහැ නේද? දරුවාට පෝෂණය, ආරක්ෂාව, සෞඛ්‍ය රැකවරණය, ආදරය, අවධානය සහ සතුට ලබා දෙන්න ඔබ උත්සාහ කරනවා. සුරතල් සතෙකු සම්බන්ධයෙන්ද වගකීමේ මූලික අදහස ඒ හා සමානයි. ඒ සතාට කතා කරන්න බැරි වුණාට බඩගිනි දැනෙනවා. අසනීප වුණාම වේදනාව දැනෙනවා. බියක් දැනුණාම ආරක්ෂාව අවශ්‍ය වෙනවා. තනිකම සහ නොසලකා හැරීම නිසාත් පීඩාවක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා සුරතල් සතෙක් නිවසට ගෙන එන විට, අපි මේ සතාට කන්න දෙන්නේ කොහොමද? කියන ප්‍රශ්නයට අමතරව තවත් බොහෝ දේ ගැන හිතන්න වෙනවා.

  • සුදුසු පෝෂණයක් ලබා දෙන්න අපට පුළුවන්ද?
  • අසනීප වූ විට පශු වෛද්‍යවරයකු වෙත ගෙන යන්න අපට පුළුවන්ද?
  • දිනපතා අවශ්‍ය කාලය සහ අවධානය ලබා දෙන්න පුළුවන්ද?
  • සුරතලාගේ ජීවිත කාලය පුරාම වගකීම භාරගන්න අපි සූදානම්ද?

සුරතලුන් කුඩා කාලයේදී ලස්සනයි, හුරතල් කියලා ගෙනැවිත්, වැඩිහිටි වුණාම හෝ රැකබලා ගැනීම අපහසු වුණාම අතහැර දමනවා නම්, එය ආදරය නෙවෙයි. සතෙකුට ආදරය කිරීම කියන්නේ එය අපට අවශ්‍ය කාලය තුළ පමණක් ආදරයෙන් තබාගැනීම නොවෙයි. අපේ ජීවිතයේ වෙනස්කම් ඇති වුණත් එහි ආරක්ෂාව වෙනුවෙන් වගකීමෙන් කටයුතු කිරීමයි.

2. ගෙදර ඉතිරි වන කෑම දීලා විතරක් සතෙක් හදන්න පුළුවන්ද?

මේ ගැන විශේෂයෙන් කතා කරන්න ඕනේ. සමහර අය සුරතල් සතෙක් ගෙදරට ගේන්නේ, “අපි කන කෑම ටිකක් ඉතිරි වෙනවානේ. ඒක දුන්නාම ඇති” කියන අදහසින්. නමුත් මෙතැනදී අපි තේරුම් ගත යුතු වැදගත් කරුණක් තිබෙනවා. අපට සුදුසු ආහාරයක් සතෙකුටත් සුදුසු වේවි කියලා හිතන්න බැහැ. බල්ලන්ට, පූසන්ට සහ වෙනත් සුරතල් සතුන්ට අවශ්‍ය පෝෂක වර්ග සහ ප්‍රමාණ වෙනස් වෙනවා. ඔවුන්ගේ වයස, බර, සෞඛ්‍ය තත්ත්වය සහ විශේෂ අවශ්‍යතා අනුවත් ආහාර වෙනස් විය යුතුයි. විශේෂයෙන් පූසන්ට අවශ්‍ය පෝෂක අතරින් සමහරක් ලබාගැනීමට ඔවුන්ට නිසි ලෙස සකස් කළ ආහාර අවශ්‍ය වෙනවා. බල්ලන්ටත් නිසි පෝෂණ සමතුලිතතාවක් අවශ්‍යයි. ගෙදර පිසූ ඇතැම් ආහාර සුදුසු ලෙස සකස් කළ විට සුරතල් සතුන්ගේ ආහාර වේලට ඇතුළත් කළ හැකි වුණත්, අහඹු ලෙස ඉතිරි වන කෑම පමණක් ලබා දීමෙන් ඔවුන්ට අවශ්‍ය පෝෂණය සම්පූර්ණ නොවෙන්න පුළුවන්. තවද, අපි සාමාන්‍යයෙන් භාවිත කරන ඇතැම් ආහාර ද්‍රව්‍ය සතුන්ට නුසුදුසු විය හැකියි. සුරතල් සතෙකුට නිසි ආහාර ලබා දීම යනු මිල අධිකම ආහාරය මිලදී ගැනීමම නොවෙයි. ඔබට දැරිය හැකි වියදම තුළ එම සත්වයාට අවශ්‍ය පෝෂණය ලබා දෙන, සුදුසු සහ ආරක්ෂිත ආහාර සැලැස්මක් සකස් කරගැනීමයි. අවශ්‍ය නම් පශු වෛද්‍ය උපදෙස් ලබාගන්න. ඔබට සතෙකුට අවශ්‍ය ආහාර සහ මූලික සෞඛ්‍ය රැකවරණය ලබා දීමට හැකියාවක් නැත්නම්, එය ගෙදරට ගෙන ඒමට පෙර දෙවරක් සිතන්න. ඒක සතුන්ට කරන අසාධාරණයක් වළක්වා ගැනීමට ගන්නා වගකීම් සහගත තීරණයක්.

3. කෑම දීම විතරක් සුරතල් සතෙකු රැකබලා ගැනීමක් නොවෙයි!

සතාට කෑම සහ වතුර දීලා කූඩුවක හෝ ගෙදර මුල්ලක තබාගැනීමෙන් පමණක් අපේ වගකීම අවසන් වෙන්නේ නැහැ.

පිරිසිදු ජලය – සෑම විටම බීමට සුදුසු පිරිසිදු ජලය ලබා දිය යුතුයි.

ආරක්ෂිත නවාතැනක් – අධික උණුසුමෙන්, වැස්සෙන්, සීතලෙන් සහ වෙනත් අනතුරුවලින් ආරක්ෂා වන ස්ථානයක් අවශ්‍යයි.

ව්‍යායාම සහ ක්‍රියාකාරකම් – බල්ලන්ට ඇවිදීම, සෙල්ලම් කිරීම සහ ඔවුන්ගේ ශාරීරික හා මානසික අවශ්‍යතා සපුරාලන ක්‍රියාකාරකම් අවශ්‍ය වෙනවා. පූසන්ටත් සෙල්ලම් කිරීමට, නැගීමට, සැඟවීමට සහ ස්වභාවික හැසිරීම් පෙන්වීමට සුදුසු පරිසරයක් තිබිය යුතුයි.

සෞඛ්‍ය රැකවරණය – එන්නත්, පරපෝෂිතයන් පාලනය කිරීම, නිසි පරීක්ෂා කිරීම් සහ අවශ්‍ය විට ප්‍රතිකාර ලබාදීම වැදගත්.

පිරිසිදුකම – නිදාගන්නා ස්ථානය, ආහාර භාජන සහ වැසිකිළි ප්‍රදේශ නිසි ලෙස පිරිසිදු කළ යුතුයි.

ආදරය සහ අවධානය – සතා සමඟ කාලය ගත කිරීම, එහි හැසිරීම් තේරුම් ගැනීම සහ බියට පත් නොකර මෘදු ලෙස පුහුණු කිරීමත් රැකවරණයේ කොටසක්.

සතා අසනීප වූ විට, වයසට ගිය විට හෝ විශේෂ රැකවරණයක් අවශ්‍ය වූ විට ඒ වෙනුවෙන් කාලය සහ මුදල් වෙන් කිරීමටත් සූදානම් විය යුතුයි. ඒ නිසා සුරතල් සතෙකු හදනවා කියන්නේ විනෝදයක් පමණක් නොවෙයි. එය දිනපතා ඉටු කළ යුතු වගකීමක්.

4. ආදරය කියන්නේ හුරතල් කිරීම විතරක් නෙවෙයි!

සමහර සතුන්ට නිතරම අපේ ළඟ ඉන්න කැමතියි. තවත් සමහර සතුන්ට නිහඬව තනිව ඉන්න කාලයත් අවශ්‍යයි. සතා අපේ කැමැත්තට අනුව හැම වෙලාවකම හැසිරිය යුතුයි කියලා බලාපොරොත්තු වීම නිවැරදි නැහැ. එයට බියක් දැනෙන විට, අසනීප වූ විට හෝ අපහසුතාවක් ඇති විට එය පෙන්වන සංඥා හඳුනාගන්න අපි ඉගෙනගත යුතුයි.

කන් පිටුපසට හරවාගැනීම, වලිගය හෝ ශරීරය තද කරගැනීම, ගොරවීම, සැඟවීම හෝ අපෙන් ඈත් වීමට උත්සාහ කිරීම වැනි හැසිරීම් සතාට අපහසුතාවක් ඇති බව පෙන්විය හැකියි. එවැනි අවස්ථාවලදී සතාට බලෙන් හුරතල් කිරීමට හෝ අල්ලාගෙන සිටීමට උත්සාහ නොකරන්න. දරුවන්ටත් සතාගේ සීමාවන්ට ගරු කරන්න උගන්වන්න. සැබෑ ආදරය කියන්නේ අපට සතාගෙන් අවශ්‍ය දේ ලබාගැනීම නොවෙයි. සතාට අවශ්‍ය දේ තේරුම්ගෙන එයට ගෞරව කිරීමයි.

5. නිවසේ කුඩා දරුවන් ඉන්නවා නම් විශේෂයෙන් සැලකිලිමත් වන්න!

සුරතල් සතුන් සහ දරුවන් අතර ඇති සම්බන්ධය ඉතා සුන්දර එකක් විය හැකියි. සතුන් සමඟ වැඩීමෙන් දරුවන්ට කරුණාව, වගකීම, ඉවසීම සහ ජීවීන්ට ගරු කිරීම වැනි ගුණාංග ඉගෙනගැනීමට අවස්ථාව ලැබෙනවා. නමුත් සතා කොතරම් හුරුබුහුටි වුණත්, දරුවා කොතරම් සතාට ආදරය කළත්, ඔවුන් දෙදෙනා එකට සිටින විට වැඩිහිටියකුගේ අධීක්ෂණය අත්‍යවශ්‍යයි. හොඳින් පුහුණු කළ සතෙකුට වුවත් බියක්, වේදනාවක් හෝ තර්ජනයක් දැනුණු විට අනපේක්ෂිත ලෙස ප්‍රතිචාර දැක්විය හැකියි. ඒ වගේම කුඩා දරුවන්ට සතාගේ හැසිරීම් සංඥා නිවැරදිව තේරුම්ගැනීමට තවම හැකියාව නොතිබෙන්න පුළුවන්. එබැවින් මේ කරුණු ගැන සැලකිලිමත් වන්න.

දරුවන්ට මේ දේවල් කියා දෙන්න…

  • සතා නිදාගෙන සිටින විට හෝ ආහාර ගන්නා විට බාධා නොකිරීම.
  • සතාගේ වලිගය, කන් හෝ පාදවලින් ඇදීමෙන් වැළකීම.
  • සතාට ගල් ගැසීම, පහර දීම හෝ බිය ගැන්වීම නොකිරීම.
  • සතාගේ මුහුණට ඉතා ළං නොවීම සහ එය බලෙන් වැළඳ නොගැනීම.
  • සතාගේ සෙල්ලම් බඩු හෝ ආහාර බලෙන් උදුරා නොගැනීම.
  • සතා සමඟ සෙල්ලම් කිරීමෙන් පසු සබන් යොදා අත් සේදීම.

විශේෂයෙන්ම, කුඩා දරුවකු සහ සුරතල් සතෙකු එකම කාමරයේ සිටින විට පමණක් නොව, ඔවුන් එකිනෙකාට ළඟින් සෙල්ලම් කරන විටත් වැඩිහිටියකු සමීපව සිටිය යුතුයි.

“අපේ බල්ලා කවදාවත් කාවවත් හපලා නැහැ” කියන විශ්වාසය මත දරුවකු සහ සතෙකු තනිව තැබීම සුදුසු නැහැ. ඒ වගේම සතෙකුට දරුවාගේ කෑම හෝ සෙල්ලම් බඩු ලබාගැනීමට නිදහසේ ඉඩ නොදෙන්න. දරුවාගේ ආරක්ෂාවත් සතාගේ ආරක්ෂාවත් දෙකම වැදගත්.

6. සුරතල් සතුන්ගෙන් දරුවන්ට රෝග බෝවිය හැකිද?

ඔව්, ඇතැම් රෝග සතුන්ගෙන් මිනිසුන්ට සම්ප්‍රේෂණය විය හැකියි. එහෙත් නිසි සෞඛ්‍ය රැකවරණය, පිරිසිදුකම සහ ආරක්ෂිත හැසිරීම් මඟින් බොහෝ අවදානම් අඩු කරගත හැකියි. මෙහිදි විශේෂයෙන් සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් තිබෙනවා.

  • ජලභීතිකාව (Rabies) – ආසාදිත සතෙකු සපාකෑමෙන් හෝ සීරීමෙන්, ආසාදිත කෙළ තුවාලයකට හෝ ඇස්, නාසය, මුඛය වැනි ශ්ලේෂ්මල පටලවලට ඇතුළු වීමෙන් සම්ප්‍රේෂණය විය හැකියි. සුරතල් සතුන්ට නිසි එන්නත් ලබාදීම අත්‍යවශ්‍යයි.
  • පරපෝෂිතයන් – ඇතැම් පණුවන් සහ වෙනත් පරපෝෂිතයන් සතුන්ගේ මළපහ හෝ දූෂිත පස හරහා මිනිසුන්ට පැතිරිය හැකියි.
  • සමේ දිලීර ආසාදන – සමහර දිලීර ආසාදන ආසාදිත සතෙකුගෙන් මිනිසුන්ට පැතිරිය හැකියි.
  • බැක්ටීරියා ආසාදන – සපා කෑම් සහ සීරීම් හරහා බැක්ටීරියා ශරීරයට ඇතුළු විය හැකියි.

ඒ නිසා සතාගේ එන්නත් සහ පශු වෛද්‍ය පරීක්ෂා කිරීම් නිසි පරිදි සිදු කරන්න. සතාගේ මළපහ පිරිසිදු කිරීමෙන් පසු සහ සතා සමඟ සෙල්ලම් කිරීමෙන් පසු අත් සෝදන්න. කුඩා දරුවන්ට සතාගේ මළපහ පිරිසිදු කිරීමට ඉඩ නොදෙන්න. ඔවුන් සතාගේ කෙළ, මළපහ හෝ අපිරිසිදු ආහාර භාජනවලට නිරාවරණය වීම වළක්වන්න.

සතා සපා කෑවොත් හෝ සීරුවොත් තුවාලය සබන් සහ ගලායන ජලයෙන් විනාඩි 15ක් පමණ හොඳින් සෝදා, වහාම වෛද්‍ය උපදෙස් ලබාගන්න. ජලභීතිකා අවදානම තක්සේරු කිරීම සහ අවශ්‍ය ප්‍රතිකාර ප්‍රමාද නොකළ යුතුයි.

එසේම දරුවකුට හෝ වැඩිහිටියකුට සතාගේ කෙළ ඇස්වලට, මුඛයට හෝ විවෘත තුවාලයකට ඇතුළු වුවහොත් වෛද්‍ය උපදෙස් ලබාගන්න.

7. පුරතලාට ආරක්ෂිත නිවසක් ලබාදෙන්න

සුරතල් සතෙකුට නිවසක් තිබීම පමණක් ප්‍රමාණවත් නැහැ. එය නිවස තුළ ආරක්ෂිතව ජීවත් වීමටත් අවශ්‍යයි. විවෘත දොරවල් සහ ගේට්ටු හරහා පාරට දිව යාම, වාහන අනතුරු, විෂ සහිත ද්‍රව්‍ය ආහාරයට ගැනීම සහ විදුලි රැහැන් හපාකෑම වැනි අනතුරු ගැන සැලකිලිමත් වන්න.

පිරිසිදුකාරක, කෘමිනාශක, මීයන් මර්දනය කරන විෂ, ඖෂධ සහ සතුන්ට හානිකර ආහාර ඔවුන්ට ළඟා විය නොහැකි ස්ථානවල තබන්න.

පූසන්ට ආරක්ෂිතව නැගීමට, සැඟවීමට සහ වැසිකිළි අවශ්‍යතා ඉටු කිරීමට සුදුසු ස්ථාන සකස් කරන්න. බල්ලන්ට ප්‍රමාණවත් ව්‍යායාම, සෙල්ලම් කිරීම සහ විවේකය සඳහා අවස්ථා ලබා දෙන්න.

දවස පුරාම කූඩුවක හෝ ඉතා කුඩා ස්ථානයක සිර කර තබාගැනීම එහි ශාරීරික හා මානසික යහපැවැත්මට අහිතකර විය හැකියි.

ආදරය කියන්නේ සතාට අපේ නිවසේ ඉඩක් ලබාදීම පමණක් නොවෙයි. එම ඉඩ තුළ නිදහසේ, ආරක්ෂිතව සහ සත්වයාට ගැළපෙන ලෙස ජීවත් වීමට අවශ්‍ය පරිසරය සකස් කර දීමයි.

8. සතෙකුට ආදරය කරනවා නම්, කිසිදා අතහැර දමන්න එපා!

සුරතල් සතෙක් හදන්න පටන්ගන්න විට හැමදේම සුන්දරයි. පුංචි පැටියා සෙල්ලම් කරනවා, අපේ පස්සෙන් එනවා, අපි ළඟට වෙලා නිදාගන්නවා. නමුත් කාලය ගතවෙද්දී සතා ලොකු වෙනවා. ඇතැම් විට ගෙදර අපිරිසිදු වෙනවා. අසනීප වෙනවා. ගෘහ භාණ්ඩවලට හානි සිදු කරනවා. වැඩි අවධානයක් සහ වියදමක් අවශ්‍ය වෙනවා. එවිට “දැන් මේ සතාව තියාගන්න අමාරුයි” කියලා සිතෙන අවස්ථා ඇති විය හැකියි. නමුත් සතාගේ පැත්තෙන් සිතා බලන්න. සුරතලා ඔබේ ගෙදරට ගෙන ආවේ ඔබයි. ඔබව විශ්වාස කරන්න පුරුදු කළේ ඔබයි. ඔබේ නිවස එහි ආරක්ෂිත ස්ථානය බවට පත් කළේ ඔබයි. එවැනි සතෙකු හදිසියේම අතහැර දැමීමෙන් බිය, කුසගින්න, රෝග, අනතුරු සහ අසරණභාවයට මුහුණ දෙන්න සිදුවිය හැකියි. ඇත්තටම සතෙකු රැකබලා ගැනීමට නොහැකි වන බරපතළ තත්ත්වයක් ඇති වුවහොත්, එය පාරට දමා යාම වෙනුවට වගකීමෙන් යුතුව නව නිවසක් සොයා දීම හෝ සත්ව සුබසාධන ආයතනයක සහාය ලබාගැනීම වඩාත් සුදුසුයි. ඒ නිසා සුරතල් සතෙක් ගෙදරට ගේන්න කලින් එහි ජීවිත කාලය, වියදම්, රැකවරණය සහ ඔබේ පවුලේ අනාගත වෙනස්කම් ගැනත් සිතා බලන්න. සතෙකුගේ ජීවිතය අපේ තාවකාලික සතුට වෙනුවෙන් ආරම්භ කර, අපේ පහසුව වෙනුවෙන් අවසන් කළ යුතු දෙයක් නොවෙයි.

9. සුරතල් සතෙකු ඇති කිරීමෙන් අපේ දරුවන්ට කියා දිය හැකි වටිනා පාඩම

දරුවෙකුට කරුණාව ගැන පොතකින් කියා දීමට පුළුවන්. නමුත් දිනපතා තමන්ගේ සුරතලාට ආදරය දක්වන ආකාරය, එයට ආහාර හා ජලය ලබාදීම, එය බියට පත් වූ විට සැනසීම සහ අසනීප වූ විට රැකබලා ගැනීම දැකීමෙන් දරුවාට කරුණාව ජීවිතයෙන්ම ඉගෙනගන්න පුළුවන්. එහෙත් මෙහිදී දෙමාපියන් මතක තබාගත යුතු දෙයක් තිබෙනවා. සතෙකු රැකබලා ගැනීමේ සම්පූර්ණ වගකීම කුඩා දරුවෙකුට පැවරිය යුතු නැහැ. දරුවාට වයසට සහ හැකියාවට ගැළපෙන සරල කාර්යයන් ලබා දිය හැකි වුණත්, ආහාර, සෞඛ්‍යය, ආරක්ෂාව සහ ප්‍රධාන රැකවරණය පිළිබඳ වගකීම වැඩිහිටියන් සතුයි.

දරුවාට මෙවැනි දේ කියා දෙන්න.

“පුතේ, මේ සතාටත් බඩගිනි දැනෙනවා.”

“දුවේ, එයාට බය හිතුණොත්… අපි එයාට කරදර නොකර ඉමු.”

“අපිට කතා කරන්න පුළුවන් වුණාට එයාට කතා කරන්න බැහැ. ඒ නිසා එයාගේ හැසිරීමෙන් එයාට දැනෙන දේ තේරුම්ගන්න අපි උත්සාහ කරමු.”

මේ වගේ පුංචි පාඩම් දරුවාගේ හදවතේ ජීවීන් කෙරෙහි ගෞරවයක් සහ වගකීමක් ඇති කිරීමට උපකාරී වෙනවා. සතාට ආදරය කරන දරුවෙක් කියන්නේ එය හුරතල් කරන දරුවෙක් පමණක් නොවෙයි. එයට වේදනාවක් නොදෙන, එහි සීමාවන්ට ගරු කරන සහ එහි යහපැවැත්ම ගැන සිතන දරුවෙක්.

සුරතල් සතෙක් ඔබේ නිවසට ගේන විට, ඔබ එයට ලබා දෙන්නේ නවාතැනක් පමණක් නොවෙයි. ඔබ එයට ආරක්ෂාවක් ලබා දෙනවා. විශ්වාසයක් ලබා දෙනවා. ආදරය විඳීමට අවස්ථාවක් ලබා දෙනවා. ඒ වෙනුවට එය ඔබේ පවුලට ලබා දෙන්නේ වචනවලින් විස්තර කරන්න අමාරු බැඳීමක්. ඔබ නිවසට පැමිණෙන තෙක් දොර ළඟ බලා සිටින පුංචි බල්ලෙක්. ඔබ අසලට ඇවිත් නිහඬව ගුලි වී නිදාගන්නා පූසෙක්. ඔබ දුකින් සිටින විට ඔබේ ළඟින් නොසෙල්වී සිටින සුරතලෙක්… මේ සියල්ල ලස්සන අත්දැකීම්. නමුත් ඒ ආදරය පවත්වාගෙන යාමට අපෙන් වගකීමක් අවශ්‍යයි.

ගෙදර ඉතිරි වන කෑම ටිකක් දීමෙන්, කූඩුවක තබා ගැනීමෙන් හෝ ඉඳහිට හුරතල් කිරීමෙන් පමණක් සතෙකුට සම්පූර්ණ ජීවිතයක් ලබා දෙන්න බැහැ. එයට අවශ්‍ය වන්නේ නිසි පෝෂණය, සෞඛ්‍ය රැකවරණය, ආරක්ෂාව, ක්‍රියාකාරකම්, නිදහසට ගරු කිරීම සහ අඛණ්ඩ ආදරයයි. සුරතල් සතෙක් ගෙදරට ගේන්න කලින්, එය අපේ පවුලට එකතු කරගන්න අපි සූදානම්ද කියලා හිතන්න. ගෙනාවට පස්සේ, එය අපේ පවුලේ සාමාජිකයෙක් ලෙස සලකා රැකබලා ගන්න. මොකද, අපට එය අපේ ජීවිතයේ එක් කොටසක් පමණක් වුණත්, අපි තමයි සුරතලාගේ මුළු ජීවිතයම.

Exit mobile version