Parent Pulse Blog සුව දිවිය දරුවන්ගේ සුව දිවිය ටියුෂන් පීඩනයෙන් තොරව දරුවා අධ්‍යාපනයෙන් ඉහළට ඔසවන්නේ කෙසේද?
දරුවන්ගේ සුව දිවිය සුව දිවිය

ටියුෂන් පීඩනයෙන් තොරව දරුවා අධ්‍යාපනයෙන් ඉහළට ඔසවන්නේ කෙසේද?

Tuition Parent Pulse Article Featured Image

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය තුළ, අද වන විට සාම්ප්‍රදායික පාසල් අධ්‍යාපනයට අමතරව ටියුෂන් සංස්කෘතිය ප්‍රබල ලෙස මුල් බැසගෙන ඇත. ප්‍රාථමික ශ්‍රේණිවල සිට විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගය දක්වා දරුවන්ගේ දෛනික කාලසටහන පාසලෙන් පසු ටියුෂන් පන්තිවලින් පිරී ඇත. දෙමාපියන් මෙය සලකන්නේ දරුවාගේ අධ්‍යාපන සාර්ථකත්වය සහ අනාගතය සුරක්ෂිත කිරීමේ අත්‍යවශ්‍ය ආයෝජනයක් ලෙසය.

කෙසේ වෙතත් මෙම අධික පීඩනය දරුවාගේ මානසික සෞඛ්‍යයට, නිදහස් නිර්මාණශීලීත්වයට සහ ශාරීරික යහපැවැත්මට බරපතළ බලපෑම් එල්ල කරන බව නොරහසකි. දරුවන්ගේ ටියුෂන් පීඩනය අවම කරමින් අධ්‍යාපන සාර්ථකත්වය සහ පෞරුෂ සංවර්ධනය ඉහළට ඔසවා තැබීමට අවශ්‍ය ප්‍රායෝගික උපාය මාර්ග සහ නිවසේදී ක්‍රියාත්මක කළ හැකි ඵලදායී ඉගෙනුම් පරිසරයක් සකස් කරන්නේ කෙසේද යන්න පිළිබඳව ශ්‍රී ලාංකේය දෙමාපියන් දැනුවත් වීම අත්‍යවශ්‍ය වන්නේ මේ නිසයි.

ටියුෂන් පන්තිවලට දරුවන් යොමු කිරීමේ ප්‍රධානතම හේතු වන්නේ තරඟකාරීත්වය, පාසල් පද්ධතිය හා සම්බන්ධ විශ්වාසය අඩු වීම සහ සමාජීය පීඩනය යන ඒවායි.

  • තරඟකාරීත්වය
    අද වන විට විශේෂයෙන්ම ශිෂ්‍යත්වය, අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග විභාග සඳහා රටේ අධ්‍යාපන ක්‍රමයේ පවතින අධික තරඟකාරීත්වය හේතුවෙන්, දරුවා අන් අයට වඩා ඉදිරියෙන් සිටිය යුතු යැයි යන හැඟීමයි.
  • පාසල් පද්ධතිය පිළිබඳව ඇති විශ්වාසය අඩු වීම
    පාසලේදී සියලු විෂය නිර්දේශ නිසි පරිදි ආවරණය නොවන බවට හෝ දරුවාට අවශ්‍ය අවධානය නොලැබෙන බව සිතීම
  • සමාජීය පීඩනය – අනිත් හැම දරුවෙක්ම ටියුෂන් යනවා, අපේ දරුවා නොගියොත් අසාර්ථක වෙයි යන බිය

කෙසේ වෙතත්, සාර්ථක අධ්‍යාපනයක් යනු පන්තිවලට සහභාගී වීම පමණක් නොවේ. එය නිවසේදී සහ පාසලේදී නිවැරදි ඉගෙනුම් ක්‍රමවේදයක් අනුගමනය කිරීම සහ දරුවාගේ අභ්‍යන්තර අභිප්‍රේරණය දියුණු කිරීම මත රඳා පවතී.

ටියුෂන් පන්ති වෙනුවට නිවසේදී දරුවාගේ සාර්ථකත්වය ගොඩනැගීමට නම්, නිවසේ ඉගෙනුම් පරිසරය ඵලදායී ලෙස සකස් කිරීම අත්‍යවශ්‍ය වේ.

ස්ථාවර කාලසටහනක් සහ විවේකයක්

පාසලෙන් පසු දරුවාට නිරන්තරයෙන්ම වැඩ කිරීමට බල කිරීම වෙනුවට, විවේකය සහ සෙල්ලම් කිරීමට ප්‍රමාණවත් ඉඩක් සහිත සමතුලිත කාලසටහනක් සකස් කරන්න. දිගු කාලීන මතකය සහ අවධානය වැඩි දියුණු කිරීම සඳහා නිතිපතා මොළයට කෙටි විවේක අවශ්‍ය වේ. පැය භාගයක ඉගෙනීමෙන් පසු විනාඩි 10ක විවේකයක් ලබා දීම සුදුසුය. හොදින් අධ්‍යයනය කටයුතුවල යෙදීමට ඉතාමත්ම වැදගත් අංගයක් වන්නේ නින්දයි. නින්දේදී මොළය දවස පුරා ඉගෙන ගත් කරුණු තැන්පත් කරයි. පාසල් යන දරුවෙකුට දිනකට අවශ්‍ය අවම නින්දවත් ලබා ගැනීම අත්‍යවශ්‍යය.

ඉගෙනුම් කලාපයක් නිර්මාණය කිරීම

නිවසේදී දරුවාට ඉගෙනීමට වෙනම, නිස්කලංක සහ ස්ථාවර ස්ථානයක් වෙන් කරන්න. මෙම ස්ථානය ජංගම දුරකථන, රූපවාහිනිය වැනි දරුවාගේ අවධානය වෙනතකට යොමු කරන දේවල්වලින් ෙතොර විය යුතුය. එසේම හොඳ ආලෝකයක් සහ ප්‍රමාණවත් වාතාශ්‍රයක් තිබීම ශාරීරිකව සහ මානසිකව දරුවාට දැනෙන වෙහෙස අඩු කිරීමට උපකාරී වේ. දරුවාට අවශ්‍ය පොත්පත්, ලිපි ද්‍රව්‍ය සහ වෙනත් දේ පහසුවෙන් ලබා ගත හැකි වන සේ තබන්න.

දෙමාපියන්ගේ ක්‍රියාකාරී සහභාගීත්වය

දෙමාපියන් ගුරුවරුන් වීමට උත්සාහ කිරීමට වඩා ඉගෙනීමේ යෙදනෙ දරුවෙකුට පහසුකම් ලබා දෙන අයෙකු ලෙස කටයුතු කිරීම වඩාත් උචිතය. එනම් ගෙදර වැඩේ නිවැරදිද වැරදිද යන්න පමණක් බැලීම වෙනුවට අදාල පාඩමෙන් දරුවා ඉගෙන ගත්තේ කුමක්ද? හෝ මේ ගැටලුව දරුවා විසඳුවේ කෙසේද? වැනි විවෘත ප්‍රශ්න යොදාගෙන සාකච්ඡා කරන්න.

ටියුෂන් පන්ති මඟ හැරීමෙන් පමණක් දරුවාට සාර්ථක විය නොහැක. ඒ වෙනුවට ඵලදායී ඉගෙනුම් ක්‍රම ආදේශ කළ යුතුය.

පාසල් අධ්‍යාපනයෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට නම්, දරුවාට ඵලදායී ලෙස සටහන් ගැනීමට පුහුණු කරන්න. බොහෝ ටියුෂන් පන්තිවල සිදු කරන්නේ ගුරුවරයා විසින් සකස් කරන ලද සටහන් පිටපත් කිරීමයි. නමුත් තමන්ගේම වචනවලින් තමන්ට වැදගත් වන කරුණු පමණක් සටහන් කර ගැනීමෙන් මොළයේ ක්‍රියාකාරීත්වය ඉහළ යයි. සංකීර්ණ මාතෘකා තේරුම් ගැනීමට සහ මතක තබා ගැනීමට උපකාරී වන මයින්ඩ් මැප්ස් සැකසීමට දරුවාට උගන්වන්න.

සාර්ථක ශිෂ්‍යයෙකුගේ ප්‍රධාන ලක්ෂණය වන්නේ ස්වයං අධ්‍යයනයට ඇති හැකියාවයි. පාඩම් කළ දේ පොතේ නොබලා මතකයෙන් නැවත කීමට හෝ ලිවීමට දරුවාට පුරුදු කරන්න. මෙය නිෂ්ක්‍රීයව පොත් කියවනවාට වඩා මතක ශක්තියට බෙහෙවින් උපකාරී වේ. සෑම පාඩමක් අවසානයේම හෝ මාතෘකාවක් අවසානයේම කාලය සීමා කරමින් ආදර්ශ විභාග හෝ අභ්‍යාස පත්‍රිකා කිරීමෙන් විභාගයට මුහුණ දීමේ පුරුද්ද වර්ධනය වේ.

අධික ටියුෂන් පීඩනයෙන් මිදීමෙන් දරුවාට අහිමි වන කාලය පෞරුෂ සංවර්ධනයට යොදා ගත යුතුය. ක්‍රීඩා, සංගීතය, චිත්‍ර ඇඳීම වැනි විෂය බාහිර ක්‍රියාකාරකම් සඳහා කාලය වෙන් කරන්න. මේ හරහා අධ්‍යයන කටයුතුවලින් ලැබෙන මානසික ආතතිය අඩු කරන අතරම කණ්ඩායම් ක්‍රීඩා මඟින් සමාජ කුසලතා, නායකත්වය සහ සහයෝගීතාවය වර්ධනය කරයි. පාසල් විෂය නිර්දේශයෙන් බැහැර පොත් කියවීමට දරුවා දිරිමත් කරන්න. කියවීමෙන් දරුවාගේ සාමාන්‍ය දැනීම, භාෂාමය කුසලතා සහ විචාරාත්මක චින්තනය වැඩි දියුණු වේ.

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය තුළ දරුවෙකුගේ සාර්ථකත්වය තීරණය වන්නේ, ඔවුන් කොපමණ ටියුෂන් පන්තිවලට සහභාගී වෙනවාද යන්න මත නොව, නිවසේදී ලබා දෙන මානසික සහයෝගය, නිවැරදි ඉගෙනුම් පුරුදු සහ සමබර ජීවිතයක් මතය. ටියුෂන් යනු රෝග ලක්ෂණයකට දෙන බෙහෙතක් මිස අධ්‍යාපනයේ මූලික රෝගයට සැබෑ ප්‍රතිකාරයක් නොවේ. දෙමාපියන් ලෙස අපගේ වගකීම විය යුත්තේ, ටියුෂන්වලට මුදල් ගෙවීම වෙනුවට, දරුවාගේ අභ්‍යන්තර හැකියාවන් හඳුනාගෙන, ටියුෂන් පීඩනයෙන් තොර සුවපහසු පරිසරයක් නිර්මාණය කිරීමයි. එසේ කිරීමෙන්, අධ්‍යාපන සාර්ථකත්වය ස්වභාවිකවම ලඟා කර ගැනීමටත්, මනා පෞරුෂයකින් යුත් සමබර දරුවෙකු බිහි කිරීමටත් හැකි වනු ඇත.


Exit mobile version