දරුවෙකුගේ දවසේ වැදගත්ම කොටසක් වන්නේ රාත්‍රී නින්දයි. හොඳ නින්දක් යනු හුදෙක් විවේකයක් පමණක් නොව, දරුවාගේ ශාරීරික වර්ධනයට, මානසික සංවර්ධනයට සහ ප්‍රතිශක්තිය ගොඩනැගීමට අත්‍යවශ්‍ය මූලික අවශ්‍යතාවයකි. සාමාන්‍යයෙන්, මව්පියන් දරුවාගේ ඇඳ, මෙට්ටය, සහ නින්දට පෙර චර්යාවන් ගැන ඉතා සැලකිලිමත් වන නමුත්, බොහෝවිට මඟහැරෙන වැදගත්ම සාධකයක් ලෙස දරුවාගේ නිදන ඇඳුම දැක්විය හැකියි. නමුත් ඔබේ දරුවාගේ නිදන ඇඳුම යනු නිකම්ම ඇඳුමක් නොවේ. එය දරුවා රාත්‍රිය පුරාම සමීපව අත්විඳින, සෞඛ්‍යයට සහ සුවපහසුවට සෘජුවම බලපාන සහ ඇතැම් විට ජීවිතයට ආරක්ෂාවක් සපයන වැදගත් වස්ත්‍රයක් ලෙසද නම් කිරීමේ වරදක් නැත.
ඔබේ දරුවාගේ නිදන ඇදුම ගැන සැලකිලිමත් විය යුතු කරුණු
- සමට හිතකර රෙදි වර්ග
හොඳ නින්දකට ඇති ලොකුම බාධාවක් වන්නේ සුවපහසුව නොමැතිකමයි. එම සුවපහසුව තීරණය කරන ප්‍රධාන සාධකය වන්නේ ඇඳුම සෑදීමට යොදාගෙන ඇති රෙදි වර්ගයයි. ළදරු සහ කුඩා දරුවන්ගේ සම අතිශයින් සංවේදීය. කෘත්‍රිම තන්තු (Synthetic fibers) වලින් නිපදවන ලද නිදන ඇඳුම් සමහර විට කැසීම, ආසාත්මිකතා සහ දද ඇති කළ හැකිය. එබැවින්, ඔබ සැමවිටම තෝරාගත යුත්තේ ස්වභාවික මෙන්ම වාතය හුවමාරු විය රෙදි වර්ගයි.
- 100% කපු (Cotton) – කපු යනු සමට ඉතාමත් හිතකර රෙදි වර්ගයකි. එය මෘදු වන අතර, පහසුවෙන් තෙතමනය අවශෝෂණය කර වාෂ්ප කර හරින බැවින් රාත්‍රිය පුරාම සම වියළිව තබා ගනී. මෙය සමේ ආසාදන ඇතිවීම අවම කරයි.
- උණ බම්බු තන්තු (Bamboo Fiber) – මෑතකදී ජනප්‍රිය වූ මෙම රෙදි වර්ගය අධික ලෙස මෘදු වන අතරම, ස්වභාවිකවම ප්‍රතිබැක්ටීරියා ගුණ (Anti-bacterial properties) වලින් යුක්තය. එය උෂ්ණත්වය පාලනය කිරීමේ විශිෂ්ට හැකියාවක් පෙන්වයි.
- උෂ්ණත්වය පාලනය කිරීම
දරුවෙකුට අධික ලෙස උණුසුම් වීම හෝ අධික ලෙස සීතල වීම යන දෙකම නින්දට බාධා ඇති කරයි.
- අධික උණුසුම – දරුවා අධික ලෙස දහඩිය දැමීම නින්ද කැඩීමට හේතුනිවැරදි නිදන ඇඳුමක් මගින් දහඩිය සමෙන් ඈත් කර වාෂ්ප කර හරිනු ලැබේ.
- අධික සීතල – සිසිල් පරිසරයක නිදාගන්නා දරුවෙකුට පාද, අත්, හෝ පපුව ආවරණය වන, නමුත් අධිකව ඝනකම් නොවන, කපු මිශ්‍රිත නිදන ඇඳුම් අවශ්‍ය වේ. අධික ලෙස ඝනකම් ඇඳුම් ඇඳීමෙන් දරුවාට අධික උණුසුම ඇතිවීමේ අවදානම නැවත ඇති විය හැකිය.
නිවැරදි රෙදි වර්ගයක් තෝරාගැනීමෙන් දරුවා රාත්‍රිය පුරාම ස්ථාවර සහ සුවපහසු ශරීර උෂ්ණත්වයක් පවත්වා ගැනීමට සමත් වෙයි.
- නිදන ඇඳුමේ නිවැරදි ප්‍රමාණය
නිදන ඇඳුමක් දරුවාට ප්‍රමාණයෙන් විශාලව මිලදී ගැනීම නුසුදුසුය. ඇතැම් මව්වරුන් දරුවා ප්‍රමාණයෙන් වැඩෙන බව සිතා ඇතැම් විට දරුවාට වඩා ප්‍රමාණයෙන් වැඩි නිදන ඇඳුම් මිලදී ගනී. එය එතරම් සුදුසු අදහසක් නෙවේ.. දරුවාගේ ශරීරයට නිවැරදි ප්‍රමාණය ඉතා වැදගත් වන්නේ ප්‍රමාණයෙන් විශාල ඇඳුම් වලින් දරුවාගේ ශරීරය රාත්‍රියේදී පැටලී යාමට ඉඩ ඇති අතර, එය බරපතළ ආරක්ෂක අවදානමක් ඇති කරන නිසායි. විශේෂයෙන් කුඩා ළමුන්ගේ ඇඳුම් වල අතේ සහ බෙල්ලේ කොටස් නිවැරදිව ගැලපිය යුතුය.
ඒ වගේම අධික ලෙස තද ඇඳුම් ඇඳීමෙන් රුධිර සංසරණයට බාධා ඇති විය හැකි අතර, අධික ලෙස ලිහිල් ඇඳුම් යටින් සීතල වාතය ඇතුළු වී දරුවාට සීතල දැනීමට ඉඩ ඇත.
කුඩා දරුවන්ගේ නිදන ඇඳුම් වල බොත්තම්, දිගු ලේස්, රිබන් හෝ කුඩා අලංකරණ කොටස් නොතිබිය යුතුය. නින්දේදී ඒවා ගැලවී ගොස් හුස්ම හිරවීමේ අවදානමක් (Choking Hazard) ඇති විය හැකිය. සිපර් තිබේ නම්, එය දරුවාට විවෘත කළ නොහැකි ලෙස ආරක්ෂාකාරීව අවසන් කළ යුතුය.
දරුවාට නිදන ඇඳුම ඇන්ද වූ විට, ඔවුන්ට පහසුවෙන් දණ නැමීමට, පෙරළීමට සහ අතපය දිග හැරීමට හැකි විය යුතුය. නමුත් එය දරුවාගේ ශරීරයෙන් ලිස්සා ගොස් පැටලී යාමට තරම් ලිහිල් නොවිය යුතුය.
- වයස අනුව නිදන ඇඳුම් තෝරාගැනීම
දරුවෙකු වැඩෙන විට, ඔවුන්ගේ නින්දේ අවශ්‍යතා සහ නිදන ඇඳුම් වල ස්වභාවය ද වෙනස් වේ. වයස් කාණ්ඩයට ගැලපෙන ඇඳුමක් තෝරාගැනීම මඟින් හොඳ නින්දක් සහතික කළ හැකිය.
අලුත උපන් සහ කුඩා ළමුන්ට ප්‍රමුඛතාවය විය යුත්තේ උෂ්ණත්වය පාලනය කිරීම සහ ආරක්ෂාවයි. ජීවිතයේ මුල් සති කිහිපය තුළ දරුවා ආරක්ෂිතව ඔතා තැබිය යුතුය. නවජ දරුවන්ට බ්ලැන්කට් වෙනුවට ආරක්ෂිත විකල්පයක් ලෙස Sleep Sacks (නිදන මල්ල) දැක්විය හැකිය. අත් නැති, කකුල් ආවරණය වන මෙමගින් දරුවාට හුස්ම හිරවීමකින් තොරව උණුසුම ලබා දෙයි.
පෙර පාසල් දරුවන්ගේ වයසේදී දරුවන් වඩාත් ක්‍රියාශීලී වන අතර, ඔවුන්ගේ සුවපහසුව සඳහා නිදහස අවශ්‍ය වේ. කෙටි හෝ දිගු කලිසම් සහිත කපු රෙද්දෙන් සකසන ලද නිදන ඇඳුම් කට්ටල ඔවුන්ට වඩාත් සුදුසුය. වැසිකිලි යාමට පුහුණු වන දරුවන්ට පහසුවෙන් ගලවා නැවත ඇඳිය හැකි ඇඳුම් තෝරන්න. උඩ හ යට කොටස යන දෙකම එකට සවිකර ඇති ඇදුම් මේ වයසේ දරුවන්ට අපහසු විය හැකිය.
පාසල් යන වයසේ දරුවන් තම කැමැත්ත ප්‍රකාශ කරන අතරම ඇතැම් විට ඔවුන් කාටූන් චරිත සහිත හෝ විලාසිතාමය ඇඳුම් ඉල්ලා සිටිය හැකියි. එවැනි මෝස්තර තේරීමේදී වුවද රෙදි වර්ගය 100% කපු වැනි ස්වභාවික රෙද්දෙන් නිමවා ඇත්ද යන්න ගැන සැලකිලිමත් විය යුතු අතරම සිල්ක් රෙදි හෝ අධික කෘත්‍රිම රෙදි වර්ගවලින් නිමවා ඇති රාත්‍රී ඇඳුම් තෝරා ගැනීමෙන් වලකින්න.
- නිදන ඇඳුම් නඩත්තු කිරීම සහ සේදීම
නිදන ඇඳුම්වල සෞඛ්‍යාරක්ෂාව රඳා පවතින්නේ ඒවා නඩත්තු කරන ආකාරය මතය. නිදන ඇඳුම් නිතිපතා සේදීම අත්‍යවශ්‍යයි. ඒවා දහඩිය, සමේ සෛල සහ දූවිලි එකතු කර ගනී. දැඩි රසායනික ද්‍රව්‍ය හෝ සුවඳ විලවුන් අඩංගු රෙදි සෝදන සබන් මඟින් දරුවාගේ සංවේදී සමේ ආසාත්මිකතා ඇති කළ හැකි නිසා දරුවන්ට සුදුසු මෘදු සබන් වර්ග පමණක් භාවිත කරන්න.
- ගිනි අවදානම් රෙගුලාසි (Flammability Regulations)
නිදන ඇඳුම් තෝරාගැනීමේදී සුවපහසුව මෙන්ම, ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වීම මව්පියන්ගේ ප්‍රමුඛතම වගකීමකි. විශේෂයෙන්ම කුඩා දරුවන් සිටින විට, නිදන ඇඳුම් මඟින් ඇතිවිය හැකි අනතුරු අවම කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රමිතීන් පවා අනුගමනය කළ යුතුය. අපිි නොසිතුවද බොහෝ රටවල, කුඩා දරුවන්ගේ නිදන ඇඳුම් සඳහා දැඩි ගිනි අවදානම් රෙගුලාසි පනවා ඇත.
ඇතැම් කෘත්‍රිම රෙදි වර්ග (විශේෂයෙන් පොලියෙස්ටර්) ගිනි නොගන්නා ලෙස විශේෂයෙන් සකස් කර ඇත. මෙම ඇඳුම් තෝරාගැනීමේදී, නිෂ්පාදකයා විසින් ඒ බව පැහැදිලිව සඳහන් කර ඇත්දැයි පරීක්ෂා කරන්න. කපු වැනි ස්වභාවික රෙදි වර්ග, ගිනි නොගන්නා ලෙස සකස් කර නොමැති නම්, ඒවා සමට තදට ඇලී සිටින (Snug-Fit) ආකාරයේ විය යුතුය. ලිහිල් ඇඳුම් වලට වඩා, සමට තදට ඇති ඇඳුම් වල ගින්න පැතිරීමේ අවදානම අඩුය. ඇමෙරිකානු පාරිභෝගික නිෂ්පාදන ආරක්ෂණ කොමිසම (CPSC) වැනි ආයතන මෙම රීතිය දැඩිව නිර්දේශ කරයි. ඔබ ඔබේ දරුවාට කපු නිදන ඇඳුම් තෝරා ගන්නේ නම්, එය ලිහිල් (Loose) එකක් වෙනුවට තදින් ඇලෙන (Snug) එකක් බවට වග බලා ගන්න.
ඔබේ දරුවාගේ රාත්‍රී නිදන ඇඳුම තෝරාගැනීම යනු තවත් ඇඳුමක් මිලදී ගැනීමක් නොවේ. එය සෞඛ්‍යය, ආරක්ෂාව සහ සාර්ථක නින්ද වෙනුවෙන් කරන ආයෝජනයකි.
නිවැරදි රෙදි වර්ගයක් තෝරාගැනීම, ඇඳුමේ ප්‍රමාණය නිවැරදි බවට වග බලා ගැනීම සහ නිසි නඩත්තුවක් පවත්වා ගැනීම මඟින් දරුවාට රාත්‍රිය පුරාම බාධාවකින් තොරව සුවසේ නිදා ගැනීමට හැකි වේ. දරුවෙකු හොඳින් නිදා ගන්නේ නම්, ඔවුන් දිවා කාලයේදී වඩාත් සතුටින්, වඩා හොඳින් ඉගෙන ගන්නා අතර, සමස්තයක් ලෙස පවුලේ සාමය හා සෞඛ්‍යය ද වර්ධනය වේ. ඔබේ දරුවාගේ නින්දේ සාර්ථකත්වයේ පළමු පියවර නිවැරදි නිදන ඇඳුමයි. අද සිට ඒ ගැන සැලකිලිමත් වෙන්න.
දැනුවත් කිරීම
ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය
සූතිකා පුහුණු හෙද නිළධාරිනි
නවජ සූති දැඩි සත්කාර ඒකකය
පළාත් මහ රෝහල, කුරුණෑගල


Leave feedback about this