ඔක්තෝබර් 29, 2025
Children Balance Parent Pulse Article Featured Image
දරුවන්ගේ සුව දිවිය සුව දිවිය

සමබරතාවය, නිසි ඉරියව්ව ඔබේ දරුවාට ලබා දෙන වාසි ගැන දැනුවත්ද?

දරුවෙකුගේ වර්ධනයේදී, සමබරතාවය සහ නිවැරදි ඉරියව්ව යනු කායික මෙන්ම මානසික යහපැවැත්මටද අතිශයින් වැදගත් වන මූලික කුසලතා දෙකකි. නිවැරදි ඉරියව්ව යනු ශරීරයේ අස්ථි සහ මාංශ පේශී නිවැරදිව පෙළගස්වා තිබීමයි. එය මාංශ පේශි වේදනාව, තෙහෙට්ටුව සහ පසුකාලීනව ඇති විය හැකි කොඳු ඇට පෙළේ ගැටළු වළක්වාලයි. සමබරතාවය යනු ඕනෑම චලනයකදී හෝ නිශ්චලව සිටීමේදී ශරීරය පාලනය කිරීමේ හැකියාවයි. මෙම කුසලතා දරුවාට ක්‍රීඩා කිරීමට, පාසල් කටයුතු සාර්ථකව නිම කිරීමට සහ විශ්වාසයෙන් යුතුව ලෝකය ගවේෂණය කිරීමට අත්‍යවශ්‍ය පදනම සපයයි.

අවාසනාවකට, රූපවාහිනිය, පරිගණක සහ ජංගම දුරකථන භාවිතයට වැඩි කාලයක් ගත කිරීම නිසා, බොහෝ දරුවන්ගේ ඉරියව් සහ සමබරතා කුසලතා දුර්වල වී ඇත. එමනිසා, දෙමාපියන් ලෙස, ඔවුන්ගේ දෛනික ක්‍රියාකාරකම් තුළින් මෙම වැදගත් කුසලතා දියුණු කිරීමට සහාය වීම ඔබේ වගකීමයි. දරුවාගේ සමබරතාවය සහ ඉරියව්ව නිවැරදිව පවත්වා ගැනීම සඳහා නිවසේදී යෙදිය හැකි ප්‍රායෝගික ක්‍රමවේද සහ ක්‍රියාකාරකම් පිළිබඳව අපි දැනුවත් වෙමු.

සමබරතාවය රඳා පවතින්නේ අභ්‍යන්තර කනේ ඇති වෙස්ටිබියුලර් පද්ධතිය (Vestibular System), පෙනීම සහ ශරීරයේ පිහිටීම පිළිබඳ සංවේදනය (Proprioception) මතයි. මෙම පද්ධති තුන එකට වැඩ කිරීමෙන් දරුවාට චලනයන් පාලනය කිරීමට හැකි වේ.

  • තනි කකුලෙන් සිටගෙන සිටීම

සෙල්ලමක් ලෙස එක් කකුලක් ඔසවා සිටීමට දරුවාට දිරි දෙන්න. පළමුව, බිත්තියකට හෝ පුටුවකට අත තබා ආධාරකයක් සහිතව පුහුණු කරන්න. කාලයත් සමඟම, ආධාරකයකින් තොරව සිටින කාලය වැඩි කරන්න. ඔවුන්ට “ෆ්ලැමින්ගෝ” වැනි සතුන්ගේ ඉරියව් අනුකරණය කිරීමට දිරිගන්වන්න. එමගින් ශරීරයේ කේන්ද්‍රීය ස්ථාවරත්වය සහ පාදවල ඇති කුඩා මාංශ පේශිවල ශක්තිය වැඩි දියුණු කරයි.

  • ඇවිදීමේ ක්‍රීඩා

දරුවාගේ හිස මත කුඩා බැලූනයක් තබාගෙන, එය බිම නොදමා ඇවිදීමට සලස්වන්න. බිම ඇලවුම් පටියක් හෝ කඹයක් දිගට තබා, කඹය මත දෙපා එක පෙළට තබා ඇවිදීමට දිරි ගන්වන්න. මෙවැනි ක්‍රියාකාරකම් මගින් ශරීරය පාලනය කිරීමේ හැකියාව වැඩි දියුණු කරයි.

  • චලනය වන මතුපිට මත සිටීම

වැඩිහිටි අධීක්ෂණය යටතේ කුෂන් හෝ කොට්ට මත සිටගෙන සිටීම, පැද්දෙන පුවරුවක් (Rocker Board) මත සිටීම හෝ ට්‍රැම්පොලීනයක (Trampoline) සෙල්ලම් කිරීම වැනි ක්‍රියාකාරකම් මගින් ශරීරයේ ගැඹුරු මාංශ පේශී (Core Muscles) ක්‍රියාත්මක වීමට සලස්වන අතර, වෙස්ටිබියුලර් පද්ධතියට අභියෝග කරයි.

  • බාධක තරණය

නිවසේ ඇති පුටු, කුෂන් සහ පෙට්ටි භාවිතයෙන් කුඩා බාධක මාලාවක් සාදන්න. දරුවාට බඩගා යාමට, නැඟීමට, පැනීමට සහ වටේ ඇවිදීමට සලස්වන්න. මෙවැනි ක්‍රියාකාරකම් මගින් විවිධ චලන හරහා වේගය, දිශාව සහ ශරීරයේ බර බෙදී යන ආකාරය පිළිබඳ අවබෝධය වර්ධනය කරයි.

නිවැරදි ඉරියව්ව රඳා පවතින්නේ ශරීරයේ කේන්ද්‍රීය ශක්තිය (Core Strength) සහ දරුවාගේ පුරුදු මතය. වැරදි ඉරියව් දීර්ඝ කාලීනව පැවතීමෙන් කොඳු ඇට පෙළේ විකෘතිතා ඇති විය හැකිය.

  • කේන්ද්‍රීය ශක්තිය වැඩි කිරීම (Building Core Strength):

ශරීරයේ කේන්ද්‍රීය මාංශ පේශී ශක්තිමත් වීම නිවැරදි ඉරියව්වක පදනමයි. දරුවාට බිම මුනින් අතට දිගා වී, එකවරම දෑත් සහ දෙපා ඔසවන්නට (තත්පර 5-10ක් රඳවා තබා ගන්න) කියන්න. උඩුබැලි අතට දිගා වී, දණ නවා, තට්ටම බිමෙන් ඔසවන්නට දිරි දෙන්න. වයසින් වැඩි දරුවන්ට පවා සෙල්ලමක් ලෙස බඩගා යාමට දිරි දීමෙන් උරහිස් සහ කඳ ශක්තිමත් වේ. මේ හරහා ශක්තිමත් කඳක් මගින් හිස සහ උරහිස් නිවැරදිව පවත්වා ගැනීමට අවශ්‍ය ස්ථායිතාව (Stability) ලබා දේ. මේ සියල්ල වැඩිහිටි අධීක්ෂණය යටතේ සිදුකිරීමට වගබලා ගන්න.

  • නිවැරදිව වාඩි වීමේ පුරුදු

දරුවා පාසලේදී හෝ ගෙදර වැඩ කරන විට, ඔවුන්ගේ පාද දෙකම බිම හෝ පා ආධාරකයක් (Footrest) මත ස්ථීරව තබා ඇති බවට වග බලා ගන්න. දණහිස් අංශක 90 කට නැමිය යුතු අතර, මේසය වැලමිට මට්ටමේ තිබිය යුතුය.

කොම්පියුටර්/ටැබ්ලට් භාවිතයේදී තිරය ඇස් මට්ටමේ තබා ගන්න. දිගු වේලාවක් පුටුවේ නොසිට, පැය භාගයකට වරක් නැගිට ඇවිදීමට දිරිමත් කරන්න.
W ඉරියව්වෙන් වාඩි වීම එනම් දෙපා පිටුපසට නැවී, තට්ටම දෙපා අතරට වැටෙන “W” ඉරියව්වෙන් වාඩි වීමෙන් දරුවා වළක්වන්න. එය උකුලට සහ දණහිස් සන්ධිවලට අනවශ්‍ය පීඩනයක් ඇති කරයි. සාමාන්‍යයෙන් කකුල් හරස් කර හෝ ඉදිරියට දිගා කර වාඩි වීමට පුරුදු කරන්න.

නිවැරදි වාඩි වීමේ පුරුදු කොඳු ඇට පෙළේ ස්වාභාවික වක්‍රය ආරක්ෂා කිරීමට සහ පීඩනය සමව බෙදා හැරීමට උපකාරී වේ.

  • නිවැරදිව සිටගෙන සිටීම

දරුවාට උරහිස් පිටුපසට ඇද, හිස කෙළින් තබා, ශරීරයේ බර දෙපා මත සමබරව තබාගෙන සිටීමට පුරුදු කරන්න. සිවිලිමෙන් එල්ලෙන කඹයකින් ඇදගෙන යනවා යැයි සිතාගෙන උසට සිටීමට දිරි දීම විනෝදජනක ක්‍රමයකි.එවැනි ක්‍රියාකාරකම් කොන්දේ වේදනාව සහ බෙල්ලේ පීඩනය වළක්වා ගැනීමට උපකාරී වේ.

  • බර උසුලන ආකාරය

පාසල් බෑගයේ බර දරුවාගේ ශරීර බරෙන් 10% – 15% නොඉක්මවිය යුතුය. දරුවාට උරහිස් පටි දෙකම භාවිත කිරීමටත්, බරම පොත් පිටුපසට ආසන්නව තැබීමටත් පුරුදු කරන්න. බර එක් පැත්තකට පමණක් යෙදීමෙන් කොඳු ඇට පෙළේ ඇදවීම් ඇති විය හැකි බැවින්, එය සමබරව තබා ගැනීමට උපදෙස් දෙන්න.

දරුවෙකුගේ ඉරියව් සහ සමබරතා ගැටළු නිරාකරණය කර ගැනීමට දෙමාපියන් ගත යුතු පුළුල් පියවර කිහිපයක් දැක්විය හැකිය.

  • ශාරීරික ක්‍රියාකාරකම් සඳහා දිරි දීම:
    දිනපතා පැයකටවත් සක්‍රීයව ක්‍රීඩාවල නිරත වීමට දිරිමත් කරන්න. පිහිනීම, නර්තනය සහ යෝගා වැනි සමබරතාවය සහ කේන්ද්‍රීය ශක්තිය වැඩි දියුණු කරන ක්‍රීඩා ඉතා සුදුසුය. ඒ හරහා ශාරීරික ක්‍රියාකාරකම් මාංශ පේශී ශක්තිමත් කරන අතර චලන සම්බන්ධීකරණය ස්වභාවිකව වර්ධනය කරයි.
  • නිදා ගැනීමේ පුරුදු
    දරුවා නිදා ගත යුත්තේ ස්ථිර මෙට්ටයක් මතය. කොට්ට ඉතා උසට හෝ බෙල්ල නැමෙන ආකාරයට භාවිත නොකළ යුතුය. නින්දේදී කොඳු ඇට පෙළ නිවැරදිව පෙළගැසී තිබීම ඉතා වැදගත් වේ.
  • වෘත්තීය උපදෙස් ලබා ගැනීම
    දරුවා නිතර වැටෙන්නේ නම්, ඔවුන්ගේ ඇවිදීමේ රටාව අසාමාන්‍ය නම්, හෝ නිවැරදි ඉරියව්වෙන් සිටීමට නිරන්තරයෙන් අපහසු නම්, ළමා භෞත චිකිත්සකයෙකු (Pediatric Physiotherapist) හෝ වෘත්තීය චිකිත්සකයෙකු (Occupational Therapist) හමුවන්න. ඔවුන්ට, ගැටලුවේ මූල හේතුව හඳුනා ගැනීමට සහ දරුවාගේ අවශ්‍යතා අනුව සකස් කරන ලද විශේෂිත ව්‍යායාම සහ ක්‍රියාකාරකම් (සංවේදී ඒකාබද්ධතා චිකිත්සාව – Sensory Integration Therapy) ලබා දිය හැකිය.

දරුවෙකුගේ සමබරතාවය සහ ඉරියව්ව වර්ධනය කිරීම යනු ක්ෂණිකව සිදුවන දෙයක් නොවේ. එය දිනපතා පුහුණුවීම්, දිරිගැන්වීම් සහ නිවැරදි පුරුදු ඇති කිරීම මත රඳා පවතී. දෙමාපියන් ලෙස, ඉහත සඳහන් කළ ක්‍රියාකාරකම් ක්‍රීඩා ලෙස ඔවුන්ගේ දෛනික ජීවිතයට ඇතුළත් කිරීමෙන්, ඔබට ඔවුන්ගේ ශාරීරික වර්ධනයට ශක්තිමත් පදනමක් දැමිය හැකිය. එමෙන්ම, නිවැරදි ඉරියව්ව පවත්වාගෙන යන ආකාරය පිළිබඳ ඔබම ආදර්ශයක් වීමෙන්, ඔවුන් නිරෝගී, ක්‍රියාශීලී සහ විශ්වාසවන්ත පුද්ගලයන් ලෙස වැඩීමට අවශ්‍ය මඟ පෙන්වීම ලබා දෙනු ඇත. ඕනෑම සංවර්ධන ප්‍රමාදයක් හෝ ගැටලුවක් මුලින්ම හඳුනාගෙන වෘත්තීය උපදෙස් ලබා ගැනීම ඔවුන්ගේ අනාගත සාර්ථකත්වයට තීරණාත්මක වනු ඇත.


දැනුවත් කිරීම

රුවනි විජේවර්ධන
භෞතචිකිත්සක, නවලෝක රෝහල

Leave feedback about this

  • Quality