ජූනි 8, 2025
Parent Pulse Article Featured Image
විශේෂී ලිපි

සවන් දීම බොහොමයක් ගැටලුවලට විසදුම් ගෙන එන බව දන්නවාද?

සමාජයේ ජීවත් වෙන අපට කවදාවත්ම හුදෙකලාව ජීවත් වෙන්න බැහැ. වචනයට සමහර අය මට කවුරුත් ඕනේ නැහැ කිව්වත් මිනිසුන් විදිහට අපි සමාජශීලි කොට්ඨාශයක්. ඒ නිසා හුදෙකලාව ජීවත්වීම එතරම් සතුටුදායක නැහැ.

අපේ කුඩාම ඒකකය පවුලයි. පවුල තුළ මව්පියන්, දරුවන් වගේම අත්තම්මා, සීයා වැනි වැඩිහිටියන්ගෙන් සමන්විතයි. මේ කුඩා කණ්ඩායම සමාජගත වුනාම විවිධ භුමිකාවන්හි නිරත වෙනවා. දරුවන් පාසලට, වැඩිහිටියන් සේවා ස්ථානයන්ට වැනි ආකාරයන්ගෙන් විවිධ භූමිකාවල යෙදෙනවා. භුමිකාව කුඩා වුනත් පුද්ගලයන් සමග ගනුදෙනු කරන කලාවක් තිබෙනවා. දරුවන් පමණක් නොව ස්වාමියාගෙන් නිවසේ උදව් සපයන්නියගෙන් වුවත් යම් කාර්යයක් කර ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා නිසි ආකාරයෙන් සන්නිවේදනයක් අත්‍යවශ්‍යයි.

යම් යම් වෘත්තීන්හි හැසිරෙන ආකාරය නිසාම සමහර උදවියගේ මානසික තත්වයත් ඒ අන්දමටම හැඩ ගැහෙනවා. සමහර බිරින්දෑවරු වගේම සැමියන් තමන්ගේ රාජකාරි භුමිකාව නිවස ඇතුලතදීත් බලාපොරොත්තු වෙනවා. කිසිම දවසක මේ භුමිකාවන් නිසා පවුල් අතර අරගල ගොඩ නගා නොගත යුතුයි. නිවසේ අයටත් ආදරය, කරුණාව අවශ්‍යයි. දෙමව්පියන් වුන පමණින්ම සෑහීමට පත් වෙන්න එපා. ඔබේ අම්මා, ඔබ හදා වඩා ගත් සමාජයට වඩා අද තත්වය වෙනස්. මේ පරිවර්තන යුගය ගැන අවබෝධයක් ලබා ගන්න. දරුවෝ හදන්න පොත් කියවන්න ඕන නැහැ. අපේ අත්තම්මලා දරුවෝ හැදුවේ පොත් කියවලා නොවෙයි කිව්වත් දෙමව්පියකරණය ගැන දැණුවත්වීම වැදගත්. ප්‍රශ්නයක් දිහා බුද්ධිමත්ව දකින ඇසක් ඇති වෙන්නේ එහෙම වුනාමයි. ඒ නිසා නිතරම පොත පත කියවන්න. තොරතුරු සොයන්න. දකින්න. ලෝකයට විවෘත. වෙන්න.

නිවසක සාමාජිකයන් සමග කටයුතු කිරීම තරම් පිටස්තර උදවිය සමග අන්තර් සම්බන්ධතාවයන් පවත්වා ගැනීම පහසු නැහැ. භෞතික සම්පත් සමග ගනුදෙනු කරනවාට වඩා මානව සම්පත් සමග ගනුදෙනු කිරීම අපහසුයි. ඔබ උදේ දොර ජනේල විවෘත කරන විට දකින්නේ අසල්වැසියාගේ නිවසයි. ඔහුගේ දර්ශනයයි. නමුත් ඔබ සහ අසල්වැසියන් අතර මනා සම්බන්ධතාවයක් නැත්නම් ඔවුන් දැක්මත් ඔබට මානසික වධයක් විය හැකියි. ඒ නිසා හැම දෙනා අතරම හොඳ සන්නිවේදනයක් ගොඩ නගා ගැනීම ඉතාම වැදගත්.

ඔබ වචන දහසකින් කියන දෙයකට වඩා ඔබේ ශරීර භාෂාව වැදගත්. ඒ නිසා සවන්දීමේදී ඔබ දක්වන ප්‍රතිචාර එය කියන පුද්ගලයාට ශක්තියක්. ඔබ විසින් පෙන්වන ඉරියව් අනුව ඔහුගේ කතාවට සක්‍රිය ලෙසින් සවන් දීමක් යොමු නොවන බව ඒත්තු යනවා. ඒ නිසා තවත් කෙනෙකුගේ සංවාදයකදී වචනවලින් නොවුනත් ශරීර භාෂාවෙන් හෝ යහපත් ප්‍රතිචාර දැක්වීම වැදගත්.

අපට කිසිම කෙනෙක් ගැන විනිශ්චයන් දෙන්න බැහැ. එහෙම කරනවා නම් එය වැරදියි. කිසිම දවසක මත්පැන් කටේවත් තියා නැහැ.

අපි කිසිම කෙනෙක් ගැන පූර්ව විනිශ්චයන් ගොඩ නගා ගැනීම පෙර ඔවුන්ට ඇහුම්කන් දී ඉතාම වැදගත් වෙනවා.

දරුවන් මත්ද්‍රව්‍ය සහ ජංගම දුරකථනවලට ඇබ්බැහි වී ඇති බවට අප චෝදනා නැගුවත් එය පවුලක් තුළ වැඩිහිටි පුද්ගලයන් අතරද අද වන විට දැකිය හැකි තත්ත්වයක්. පවුල ඇතුලත අඹු සැමි, දූ දරු සබඳතා බිඳ වැටීම නිසාම අදහස් හුවමාරුව වීම් අවම වනවා. තමන්ට ඇති වූ ගැටලුවක් පිළිබඳව තකා බහ කිරීමට අයෙකු නැති නිසා ඒ සඳහා විකල්ප සෙවීමට පෙළඹෙනවා.

එදා ලෝකය සරලයි. පවුල, ගම ඇතුලත ලොකු බැඳීමක් තිබුණා. කුඹුරු වැඩට, මගුල් ගෙදරට, දානයට, පිං කමට හැම දෙනාම එකතු වුණා. තොරතුරු එකිනෙකා අතර හුවමාරු වුණා. මිනිසුන් අතර කතා බහ ඇති වුණා. නමුත් අද එවැනි තත්වයක් නැහැ. අද වන විට ලෝකයම පුංචි ගම්මානයක් වුවත් පවුල, ගම යන කුඩා සංස්ථාවන් අතර සම්බන්ධතාවය රැක ගන්න එය කිසිදු විටෙක් බාධාවක් වන්නේ නැහැ.

දිනපතා අපට අසන්න ලැබෙන සෑම ශෝකාකුල සිදුවීමක්ම විශ්ලේෂණ කළොත් පෙනී යන්නේ යහපත් සන්නිවේදනය සහ හොඳ සවන්දීමක් නොමැති වීම මේ සිදුවීම්වලට හේතු වී ඇති බවයි. ඒ නිසා නිතරම ඔබ අනිත් පුද්ගලයාට ඇහුම්කන් දෙන්න. ඔබ හා සමාජය අතර මනා සම්බන්ධතාවයක් ගොඩ නැගෙන්නේ එවිටයි. සමාජයේ ඔබට හුදෙකලාව ජීවත් වෙන්න බැහැ. නිතරම අනිත් අයට ඇහුම්කන් දෙන්න. එවිට ඔබ වටා ඉතා යහපත් සමාජ ජාලයක් ගොඩ නැගෙනවා.


Leave feedback about this

  • Quality