ශ්‍රී ලංකාවට ආසන්නයෙන් දිට්වා සුළි කුණාටුව වර්ධනය වීමත් සමඟ, රටේ බොහෝ ප්‍රදේශවලට අධික වර්ෂාපතනය, තද සුළං සහ හදිසි ගංවතුර තත්ත්වයන්ගේ බලපෑම තදින් දැනෙමින් පවතී. මෙම ස්වභාවික විපත හමුවේ, පුරවැසියන් ලෙස අපගේ හැසිරීම සහ ක්‍රියාකාරීත්වය රටේ සමස්ත ආරක්ෂාව සහ යථා තත්ත්වයට පත් වීම කෙරෙහි සෘජුවම බලපායි. මෙය සාමාන්‍ය වර්ෂාපතන තත්ත්වයක් නොව ජීවිත හා දේපළ ආරක්ෂා කර ගැනීම සඳහා තීරණාත්මක හා ක්ෂණික ක්‍රියාමාර්ග අවශ්‍ය වන හදිසි අවස්ථාවකි.
අපේ රටේ වත්මන් තත්ත්වය හමුවේ පුරවැසියන් ලෙස අපගේ වගකීම් කොටස් තුනකට බෙදා දැක්විය හැකිය.
- ආපදාව අතරතුර ක්ෂණික ආරක්ෂාව
- ආපදාවට ලක් වූවන් වෙනුවෙන් සහයෝගීතාව
- විනය
ඕනෑම ස්වභාවික ආපදා තත්ත්වයකදී පුරවැසියක් ලෙස අපි සැවොම අපගේ ආරක්ෂාව සම්බන්ධව සැලකිලිමත් වීම මූලික පියවරයි. එය කුමන ආපදා තත්ත්වයකදී වුවද එසේමය. එහිදී පුරවැසියන් ලෙස අපි මේ හා සම්බන්ධ විශේෂඥයින් විසින් ලබා දෙන උපදෙස් අකුරටම පිළිපැදීම වැදගත්ය.
- නිල අනතුරු ඇඟවීම් සහ උපදෙස් අකුරට පිළිපැදීම
- කලබල නොවී සත්‍යය විශ්වාස කිරීම – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) සහ ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය (NBRO) වැනි නිල ආයතනවලින් නිකුත් කරන ලද නිවේදන පමණක් විශ්වාස කරන්න. සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙන සාවද්‍ය තොරතුරු කිසිසේත් බෙදා හැරීමෙන් වළකින්න.
- ඉවත් වීමේ නියෝගය පිළිපැදීම – නාය යෑම් හෝ ගංවතුර අවදානම් සහිත ප්‍රදේශවලින් ඉවත් වන ලෙස නිල නියෝගයක් ලැබුණු වහාම දේපළ ගැන නොසිතා වහාම ක්‍රියාත්මක විය යුතුය. අනවශ්‍ය ප්‍රමාදයක් ඔබගේ ජීවිතයට මෙන්ම ගලවා ගැනීමේ කණ්ඩායම්වලට ද අවදානමක් ගෙන එයි.
- ජීවිත ආරක්ෂාවට මුල්තැන දීම
- ගංවතුර අවදානම – ජලයෙන් යට වූ මාර්ග හෝ පාලම් හරහා ගමන් කිරීමෙන් සම්පූර්ණයෙන්ම වළකින්න. දියේ ගිලීම මෙවැනි ආපදාවලදී සිදුවන මරණවලට ප්‍රධානතම හේතුවයි.
- නාය යෑමේ අවදානම් හැසිරීම – කඳුකර හෝ බෑවුම් සහිත ප්‍රදේශවල ජීවත් වන පුරවැසියන්, නිවසේ බිත්තිවල හෝ බිමෙහි ඉරිතැලීම්, පොළොවේ කුඩා ගල් වැටීම හෝ ජල උල්පත් ඇතිවීම වැනි පූර්ව ලක්ෂණ පිළිබඳව දැඩි විමසිල්ලෙන් සිටිය යුතු අතර, එවැනි ලක්ෂණ දුටු වහාම සුරක්ෂිත ස්ථාන කරා යන්න.
- විදුලි අවදානම – ගස් කඩා වැටීම හෝ තද සුළං නිසා හානි වූ විදුලි රැහැන්, කණු හෝ ට්‍රාන්ස්ෆෝමර් අසලට යාමෙන් වළකින්න. එවැනි අනතුරුදායක තත්ත්වයන් වහාම ලංකා විදුලි බල මණ්ඩලයට (CEB) හෝ ප්‍රාදේශීය බලධාරීන්ට දැනුම් දෙන්න.
- පවුලේ හදිසි අවශ්‍යතා සූදානම් කිරීම
- අත්‍යවශ්‍ය භාණ්ඩ – දින තුනක් සඳහා ප්‍රමාණවත් වන වියළි ආහාර, පානීය ජලය, ඇඳුම්, මුදල්, වැදගත් ලේඛනවල පිටපත් සහ අවශ්‍ය ඖෂධ සහිත බෑගයක් සුදානම් කරගන්න.
- විදුලිය විසන්ධි වූ විට – විදුලි පන්දම්, බැටරි සහ ජංගම දුරකථන චාජර් සම්පූර්ණයෙන් ආරෝපණය කර තබා ගන්න.
- අත දීම සහ වගකීම බෙදා ගැනීම
ස්වභාවික ආපදාවක බලපෑම සමස්ත ජාතියටම දැනෙන බැවින් අපි කාටත් පුරවැසියන් ලෙස එකිනෙකාට උපකාර කිරීමේ මානුෂීය වගකීමක් පැවරී ඇත.
- අසල්වැසි සහය – තම ප්‍රජාවේ සිටින වැඩිහිටියන්, ආබාධිත පුද්ගලයන්, කුඩා දරුවන් සිටින පවුල් සහ රෝගීන් පිළිබඳව අවධානය යොමු කර ඔවුන්ට ආරක්ෂිත ස්ථාන කරා යාමට සහාය වන්න.
- නිවැරදි තොරතුරු සන්නිවේදනය – හදිසි අවස්ථාවක සිටින පුද්ගලයෙකු පිළිබඳව තොරතුරු තිබේ නම්, හදිසි සේවා අංකවලට වහාම දැනුම් දී, ඔවුන්ට ළඟා වීමට නිවැරදි ස්ථානය පෙන්වා දෙන්න.
- විධිමත් ආධාර ලබා දීම – ආපදාවට පත් ජනතාව සඳහා ආහාර, ඇඳුම් පැළඳුම් හෝ මුදල් පරිත්‍යාග කරන්නේ නම්, කිසිවිටෙකත් අවිධිමත් මාර්ගවලින් ලබා නොදෙන්න. ප්‍රාදේශීය ලේකම් කාර්යාල, රජයේ පිළිගත් සහන මධ්‍යස්ථාන හෝ විශ්වසනිය හා පිළිගත් සංවිධාන හරහා පමණක් ආධාර ලබා දීමෙන් ඒවා නිවැරදි පුද්ගලයන්ට කාර්යක්ෂමව ලැබෙන බවට සහතික විය හැකිය.
- ස්වේච්ඡා ශ්‍රමය – ගලවා ගැනීමේ හෝ පිරිසිදු කිරීමේ කටයුතුවලට හැකියාව සහ පුහුණුව ඇත්නම් පමණක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන්න. එසේ නොමැති නම්, පුහුණු කණ්ඩායම්වල කටයුතුවලට බාධා නොකිරීමට වග බලා ගන්න.
- තත්ත්වය යථා තත්ත්වයට පත් කිරීමේ සහය
ආපදාව පහව යද්දී රටේ යටිතල පහසුකම් යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලියේදී පුරවැසියන්ගේ විනය අත්‍යවශ්‍ය වේ.
- අනවශ්‍ය ගමන් සීමා කිරීම – රජය විසින් විශේෂ නිවාඩු දිනයක් ප්‍රකාශ කිරීම හෝ ගමන් සීමා කිරීමට ලබා දෙන උපදෙස් පිළිපැදීමෙන්, ගලවා ගැනීමේ සහන කණ්ඩායම්වලට ඔවුන්ගේ කාර්යයන් ඉක්මනින් හා බාධාවකින් තොරව ඉටු කිරීමට ඉඩ සැලසේ. මාර්ග අවහිර වන ආකාරයට අනවශ්‍ය ගමන්වල නිරත වීමෙන් වළකින්න.
- ජලය සහ විදුලිය පරෙස්සමෙන් භාවිතය – ජල සැපයුම් පද්ධතිවලට හානි සිදුවිය හැකි බැවින්, පානීය ජලය මෙන්ම ජලය පරිභෝජනයද පරිස්සමෙන් කළ යුතු අතර විදුලිය කප්පාදුවකදී විදුලිය අවම වශයෙන් භාවිත කරන්න.
- අවදානම උග්‍ර නොකිරීම – පස් කඳු කැපීමෙන්, වගුරු බිම් ගොඩකිරීමෙන් හෝ ජල මාර්ග අවහිර වන පරිදි කසළ බැහැර කිරීමෙන් සම්පූර්ණයෙන්ම වැළකී සිටීමට පුරවැසියන් ලෙස අප වගබලා ගත යුතුය. මෙවැනි ආපාදා තත්ත්ව හමුවේ නාය යෑම් සහ ගංවතුර අවදානම් උග්‍ර වන්නේ මෙවැනි මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙනි.
- සමාජ වගකීම – ආපදාවෙන් ප්‍රයෝජන ගනිමින් භාණ්ඩ හා සේවා මිල ඉහළ දැමීම, කෘතිම හිඟයක් ඇති කිරීම වැනි අයුතු ක්‍රියාවන්ගෙන් වැළකී සිටීම පුරවැසියෙකුගේ සදාචාරාත්මක වගකීමයි.
අද වන විට දිට්වා සුළි කුණාටුවේ බලපෑම ශ්‍රී ලංකාවට අභියෝගාත්මක කාල පරිච්ඡේදයක් ගෙන දී ඇත. මෙය අපේ රටේ ජනතාවගේ ශක්තිමත්භාවය, විනය සහ අන්‍යෝන්‍ය බැඳීම පෙන්විය හැකි අවස්ථාවකි. පුරවැසියන් ලෙස අප සියලු දෙනාම නිල උපදෙස්වලට කීකරු වෙමින්, සාවද්‍ය තොරතුරු ප්‍රතික්ෂේප කරමින් සහ අවදානම් අවම කර ගනිමින් වගකීමෙන් යුතුව හැසිරෙන්නේ නම්, මෙම විපතේ බලපෑම අවම කර ගැනීමටත් අනතුරුව ශක්තිමත් ජාතියක් ලෙස නැවත නැගී සිටීමටත් අපට හැකි වනු ඇත. ආපදා තත්ත්වයකදී මම නොව අපි යන සාමූහික හැඟීම පෙරට ගන්න.
