කිචන් එකේ වැඩ සමහර වෙලාවට එපා වෙනවා කියන ගෘහණියන්ට අපහසු වැඩ පොඩ්ඩක් හරි පහසුවකින් කරන්න මෙන්න මේ ටිප්ස් ටික වැදගත් වේවි.
ළුණු කපද්දි ඇඬෙනවද?
ගෙදර දොර ඉවුම් පිහුම් කටයුතුවලදී ටිකක් වැඩි ප්‍රමාණයෙන් ළුෑණු කපන්න සිද්ධ වුනොත් තරමක අපහසුවක් ඇති වෙන අවස්ථා තිබෙනවා. ඇස් දැවිල්ල, කඳුලු ගැලීම වගේ අපහසුතාවයන් ඇති වුනත් අපි අඬ අඬා හෝ අපේ කාර්යය කරනවා.
ළුණු කපන විට එහි අන්තර්ගත lachrymator සංයෝගය විසිරී යනවා. ඒ නිසා ඇස් වටා ඇති ලැක්රිමල් ග්‍රන්ථි උද්දීපනය වීම නිසා කඳුළු ගලන්න පටන් ගන්නවා. ඉතින් මේ තත්වය වලක්වා ගත්තොත් කඳුළු නැතුව ළුණු කපන්න පුළුවනි.
ළුණු කපන්න පෙරාතුව ශීතකරණයක දමා සිසිල් කරන්න. එවිට lachrymator නිදහස් වීම වැලකෙනවා. එහෙම නැත්නම් කපන්න පෙර වතුරේ පෙඟෙන්න තබන්න. එවිට ඇමයිනෝ අම්ල විසිරීමක් සිදු වෙන්නේ නැහැ.
ඒ වගේම පිහිණුම් කණ්ණාඩියක් හෝ ඇස් කණ්ණාඩියක් පැළඳ ගෙන ළුණු කපන විටත් කඳුළු ගලන්නේ නැතුව වැඩේ කර ගෙන යන්න පුළුවනි.
මාගරින් රත් වෙද්දී කළු වෙනවද?
ඔබ මාගරින් තෙම්පරාදුවකට යොදා ගන්නා විට එය ඉක්මනින් කර වෙනවා. ඒ නිසා ඔබ උයන ආහාරයේ ලස්සන නැති වෙනවා. ඒ නිසා බටර් හෝ මාගරින් යොදා තෙම්පරාදු කරනවා නම් එයටම පොල්තෙල් බින්දු කීපයක් එකතු කරන්න. එවිට මාගරින් කර නොවී ලස්සන වර්ණය රැක ගන්න පුළුවනි
ලීක්ස් කොළ ඉක්මනින් ඉදෙනවද?
ලීක්ස් ගෙනත් අපි ශීතකරණයේ තැබුවත් කොළ ඉක්මනින්ම ඉදෙනවා. මේ තත්වය වලක්වා ගන්න ක්‍රමයක් තියෙනවා. ඔබ ලීක්ස් වෙළඳපොළෙන් ගෙනෙන විට ඒවා දෙකට නවලා ගේන්න එපා. ගොබේ ඇදී ගියාම කොළ ඉක්මනින් ඉදෙන්න පටන් ගන්නවා. ඒ වගේම ශිතකරණයේ තැබීමට පෙරාතුව කොළ වෙන් වෙන තැනින් කපා ශීතකරණයේ තබන්න. එවිට කොළ ඉදී අවර්ණ වීම වැලකෙනවා.
බණ්ඩක්කා ඉක්මනින් මෝරනවද?
බණ්ඩක්කා ශීතකරණයේ තිබුනත් මෝරන බව ඔබ දන්නවා. ඒවායේ නැටි කපා තබන්න. එවිට මේරීමක් සිදු වෙන්නේ නැහැ.
කරාබු නැටිවලට මේවත් පුළුවන්ද?
සීනි බෝතලයට කූඹි එන එක වලක්වා ගැනීම ලේසි පහසු නැහැ. ඒ නිසා සීනි බෝතලයට කරාබු නැටි තුන හතරක් දමා තබන්න. තේ එකටත් අමුතු රසයක් ඇති වෙනවා. කෝපි බෝතලයටත් කරාබු නැටි දෙක තුනක් දමා තබන්න. කෝපි හදන විට කරාබු නැට්ට ඉවත් කර ගෙන කෝපි විතරක් ගන්න. කෝපි කෝප්පයට අමුතු රසයක් ලැබෙනවා. කිරිබත් උයන විටත් කරාබු නැට්ටක් එකතු කර ගත්තාම විශේෂ රසයක් ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි කරාබු නැටි තියෙන තැනක කූඹි විතරක් නොවෙයි, කැරපොත්තෝ වුනත් ගැවසීමට බයයි.
කරපිංචා මැලවෙනවාද?
කරපිංචා කොළ ඉක්මනින් වියලෙනවා. ඒ නිසා මේවා හොඳින් සෝදා කොළ සූරා ගෙන තෙත ඉවත් වූ පසුව සිප් ලොක් මල්ලක දමා ශීතකරණයේ තබා ගන්න. මෙයට උළු හාල් ඇට හතර පහකුත් එකතු කරන්න. සිප් ලොක් මල්ලක් නැත්නම් නැටි කඩා හොඳින් සෝදා කොළ සූරා ගෙන කෝප්පයකට දාන්න. එයටත් උලුහාල් ඇට කීපයක් එකතු කර ගත්තාම කොළ වියලෙන්නේ නැතුව තබා ගන්න පුළුවනි. අමුමිරිස් වුනත් නැටි කඩා ශීතකරණයේ තබා ගත්තාම ගොඩක් කල් තබා ගත හැකියි.
ආප්ප හදද්දි මේ වගේ ගැටලු තියෙනවද?
ඔබ නිවසේ ආප්ප පිළියෙළ කරනවා නම් පාන් හෝ විස්කෝතුවක් වතුරේ පොඟවා ගෙන පිටි මිශ්‍රණයට එකතු කර ගෙන අනාගන්න. ඒ වගේම කලින් දවසේ පොල් වතුර තිබෙනවා නම් ඒවා යොදා ගෙන මිශ්‍රණය අනන්න. නිවසේ පොල් වතුර විසි කරන්න එපා. ඒවා බෝතලකයට දමා ශීතකරණයේ තබා ගෙන රොටී, ආප්ප පිළියෙළ කරන විට පාවිච්චියට ගන්න. ඒ වගේම ආප්ප පිළියෙළ කරන තාච්චියට පොල් තෙල් වෙනුවට තල තෙල් ආලේප කිරීමෙන් ඒවා පහසුවෙන් ගලවා ගන්න පුළුවනි.
ගැඹුරු තෙලේ බදිද්දී කරදරයිද?
ගැඹුරු තෙලේ බදින විට මාළු වගේ දේවල් ඉතා ඉක්මනින් කුඩු වෙනවා. මේ තත්වය වලක්වා ගැනීමට නම් බදින තෙලට ලුණු ස්වල්පයක් සහ එනසාල් ඇට දෙකතුනක් එකතු කරන්න. මාළු තාච්චියේ ඇලෙන්නේ නැතුව බැද ගන්න පුළුවනි.
තෙම්පරාදු කරද්දී මෙහෙම කරමුද?
තෙම්පරාදු බතේ එළවලුවල පාට ඒ විදිහටම රැක ගන්න ඔබ කැමති ඇති. එහෙමනම් තෙම්පරාදු කරන තෙලට සීනි හැඳි බාගයක් එකතු කරන්න. එළවලුවල ලසස්න පාට ඒ විදිහටම රැකේවි. හාල් මැස්සන් තෙම්පරාදු කරන විට මුලින්ම තෙලට ගොරක කැබැල්ලක් එකතු කරන්න. රසය ඉස්තරම්.
ඉගුරු, සුදුළුණු ගැන ප්‍රශ්නයක්ද?
ඉගුරු සුදුළුණු මිළ කාලයෙන් කාලයට වෙනස් වෙනවා. කාලයකට මේ මිල දරා ගන්න බැහැ. ඉතින් ලාබ කාලයේදී ඉගුරු සුදුළුෑණු අඹරා ගත් මිශ්‍රණය අධිශීතකරණයක මාස හයක පමණ කාලයක් තබා ගත හැකියි.
සටහන
පුන්‍යා චාන්දනී ද සිල්වා
