දෙසැම්බර් 5, 2025
healthy People Parent Pulse Article Featured Image
වැඩිහිටියන්ගේ සුව දිවිය සුව දිවිය

ලෙඩ හැදෙන තුරු ඉන්නවද? කල් ඇතුව වළක්වා ගන්නවද?

ලොව පුරා මිනිසුන්ගේ සෞඛ්‍යය පිළිබඳව සාකච්ඡා කිරීමේදී නිතර මතු වන වැදගත් ප්‍රශ්නයක් වන්නේ රෝගී වන තුරු බලා සිට ප්‍රතිකාර කිරීම වඩා හොඳද? රෝග ඇතිවීම මුලින්ම වළක්වා ගැනීම වඩා හොඳද? යන්නයි. මෙහිදී තොරා ගත හැකි වැදගත්ම දේ වන්නේ රෝග වලක්වා ගැනීම සෑම අතින්ම වඩාත් හොඳ සහ ඥානවන්ත ක්‍රියාමාර්ගය බවයි.

රෝග වැළැක්වීමෙන් ඇතිවන සෞඛ්‍යමය ප්‍රතිලාභ

  • රෝග වැළැක්වීමේ ප්‍රධානතම වාසිය වන්නේ රෝගාබාධ නිසා ඇතිවන ශාරීරික වේදනාව, අපහසුතාව සහ මානසික පීඩනය වළක්වා ගැනීමයි. රෝගයක් වැළඳීමෙන් පසු ජීවිතයේ ගුණාත්මක භාවය (Quality of Life) අඩාල වන අතර, වැළැක්වීම මඟින් නිරෝගී, ක්‍රියාශීලී දිවි පෙවෙතක් පවත්වා ගත හැකිය.
  • දියවැඩියාව, හෘද රෝග, ඇතැම් පිළිකා වැනි නිදන්ගත රෝග ඇතිවීමේ අවදානම අවම කිරීමෙන්, පුද්ගලයාට වඩා දිගු හා නිරෝගී ජීවිතයක් ගත කිරීමට අවස්ථාව ලැබේ. වයස්ගත වීමේදී පවා, ශරීරය වඩාත් ශක්තිමත්ව පවතී.

රෝග වැළැක්වීමෙන් ඇතිවන ආර්ථිකමය ප්‍රතිලාභ

  • විශේෂයෙන් සංකූලතා ඇති අවස්ථාවක රෝගයකට ප්‍රතිකාර කිරීම විශාල මුදලක් වැය වන ක්‍රියාවලියකි. නිදන්ගත රෝග සඳහා ජීවිත කාලය පුරාම ඖෂධ, ශල්‍යකර්ම සහ රෝහල් ගත කිරීම් අවශ්‍ය විය හැකිය. සෞඛ්‍ය සම්පන්න ආහාර, ව්‍යායාම, එන්නත් වැනි ක්‍රම මගින් රෝගයක් වැළැක්වීම සඳහා වන වියදම ප්‍රතිකාර සඳහා වැය වන විශාල මුදලට වඩා බෙහෙවින් අඩුය.
  • රෝගී වූ පුද්ගලයන් රැකියාවට නොපැමිණීම නිසා රටේ ඵලදායිතාව අඩුවේ. රෝග වැළැක්වීම මඟින් ජාතික සෞඛ්‍ය සේවා පද්ධතිය මත ඇතිවන බර අඩු වන අතර, එමඟින් ඉතිරි වන මුදල් වෙනත් සංවර්ධන කටයුතු සඳහා යොදා ගත හැකිය.

රෝග වැළැක්වීමෙන් ඇතිවන මානසික සහ සමාජීය ප්‍රතිලාභ

  • නිරෝගීව සිටීමෙන් ඇතිවන මානසික තෘප්තිය අතිමහත් ය. බරපතල රෝගයක් වැළඳීමේදී ඇතිවන දැඩි මානසික පීඩනය සහ අනාගතය පිළිබඳ අවිනිශ්චිතතාව වැළැක්වීම මඟින් මඟ හැරේ.
  • පුද්ගලයකු රෝගී වූ විට, ඔහුට රැකවරණය දීමට පවුලේ සාමාජිකයන්ට ඔවුන්ගේ කාලය, ශ්‍රමය සහ මුදල් වැය කිරීමට සිදු වේ. වැළැක්වීම මඟින් පවුලට ඇතිවන මෙම බර අඩු වී, ඔවුන්ට වඩාත් සතුටින් සිටීමට අවස්ථාව ලැබේ.

රෝග වැළැක්වීම යනු හුදෙක් එක් ක්‍රියාවක් නොව, එය ක්‍රියාශීලී ජීවන රටාවක් සහ සෞඛ්‍යය පිළිබඳව නිරන්තර සැලකිල්ලක් දැක්වීමයි. අප මේ පිළිබඳව සැලකිලිමත් විය යුතු ආකාරය ප්‍රධාන අංශ තුනකි.
එනම්,

  • දෛනික ජීවන රටාවේ වෙනස්කම්
  • වෛද්‍යමය වැළැක්වීමේ ක්‍රියාමාර්ග
  • මානසික සහ සමාජීය නිරෝගීතාව පවත්වා ගැනීම

දෛනික ජීවන රටාවේ වෙනස්කම් (Lifestyle Modifications)

රෝග වැළැක්වීමේ පදනම වන්නේ අපගේ දෛනික පුරුදු ය.

  • සමබර ආහාර වේලක් පවත්වා ගැනීම තුළින් හිමි වන නිසි පෝෂණය අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරන අතර, නිදන්ගත රෝග ඇතිවීමේ අවදානම අඩු කරයි. ඒ සඳහා අප කළ යුත්තේ නැවුම් පලතුරු, එළවළු, ධාන්‍ය වර්ග සහ ප්‍රෝටීන් බහුල ආහාර වැඩිපුර ගැනීමත් සීනි, ලුණු, සංතෘප්ත මේද (Saturated Fats) සහ සැකසූ ආහාර (Processed Foods) භාවිතය අවම කිරීමත් දිනකට ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීමත්ය.
  • නිතිපතා ශාරීරික ව්‍යායාම කිරීම මගින් බර පාලනය වන අතර, රුධිර පීඩනය, කොලෙස්ටරෝල් සහ රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීමට උපකාරී වේ. ඒ සඳහා අප කළ යුත්තේ සතියකට අවම වශයෙන් මිනිත්තු 150ක වේගයෙන් ඇවිදීම, පිහිනීම වැනි මධ්‍යස්ථ තීව්‍රතාවයකින් යුත් ව්‍යායාම හෝ මිනිත්තු 75ක දිවීම වැනි අධි තීව්‍රතා ව්‍යායාම සිදු කිරීමයි.
  • නිවැරදි සනීපාරක්ෂක පුරුදු පවත්වා ගැනීමෙන් බොහෝ බෝවන රෝග පැතිරීම වළක්වා ගත හැකිය. ඒ සඳහා අප කළ යුත්තේ නිතර සබන් යොදා නිසි පරිදි අත් සේදීම, ආහාර පිසීමේදී සහ ගබඩා කිරීමේදී පිරිසිදුකම පවත්වා ගැනීමයි.
  • දුම්පානයෙන් සහ අධික මත්පැන් පානයෙන් වැළකීම පිළිකා, හෘද රෝග සහ අක්මා රෝග ඇතුළු දරුණු රෝග රැසකට ගොදුරු විය හැකි අවදානම අවම කරයි. ඒ සඳහා මෙම පුරුදු සම්පූර්ණයෙන්ම අත්හැර දැමීමට උත්සාහ කිරීම වඩාත් උචිතය.

වෛද්‍යමය වැළැක්වීමේ ක්‍රියාමාර්ග (Medical Prevention)

වෛද්‍ය උපදෙස් මත ක්‍රියාත්මක වීමද රෝග වළක්වා ගැනීමට නිසි මග පෙන්වීමකි.

  • නිතිපතා සෞඛ්‍ය පරීක්ෂණ (Screenings) සිදු කිරීමේ වැදගත්කම වන්නේ දියවැඩියාව, අධි රුධිර පීඩනය, ඇතැම් පිළිකා වැනි බොහෝ රෝග ඒවායේ මුල් අවධියේදී රෝග ලක්ෂණ නොපෙන්වන අතරම සෞඛ්‍ය පරීක්ෂණ වෙත යොමු වී මුල් අවධියේදීම හඳුනා ගැනීමෙන් පහසුවෙන් සුව කළ හැකි වීමයි. ඒ සඳහා වෛද්‍යවරයාගේ උපදෙස් අනුව කොලෙස්ටරෝල්, රුධිර සීනි මට්ටම්, රුධිර පීඩනය වැනි දේ පරීක්ෂා කර ගැනීම, පියයුරු පිළිකා සඳහා මැමෝග්‍රෑම්, ගැබ්ගෙල පිළිකා සඳහා පැප් ස්මියර් වැනි වයසට සුදුසු පිළිකා පරීක්ෂණ සිදු කිරීම ඉතා වැදගත් වේ.
  • එන්නත්කරණයට ප්‍රමුඛතාව දීමෙන් පෝලියෝ, සරම්ප, කම්මුල්ගාය සහ COVID-19 වැනි බෝවන රෝගවලින් ශරීරය ආරක්ෂා කරයි. ළමා වියේදී අනිවාර්ය එන්නත් ලබා ගැනීම සහ වැඩිහිටියන් සඳහා නිර්දේශිත එන්නත් ලබා ගැනීම වඩාත් වැදගත් වේ.

මානසික සහ සමාජීය නිරෝගීතාව පවත්වා ගැනීම

ශාරීරික සෞඛ්‍යය මෙන්ම මානසික සෞඛ්‍යය ද රෝග වැළැක්වීමේදී අත්‍යවශ්‍ය වේ.

  • මානසික ආතතිය කළමනාකරණය ඉතාම වැදගත් වේ. දීර්ඝ කාලීන මානසික ආතතිය හෘද රෝග, අධි රුධිර පීඩනය සහ මානසික අවපීඩනයට හේතු විය හැකිය. නිසි නින්දක් ලබා ගැනීම, භාවනා කිරීම හෝ යෝගා වැනි මනස සැහැල්ලු කරන ක්‍රියාකාරකම්වල යෙදීම, විනෝදාංශ සඳහා කාලය වෙන් කිරීම මෙහිදී ඉතාමත් වැදගත්ය.
  • ශක්තිමත් සමාජ සම්බන්ධතා පවත්වා ගැනීම මානසික සෞඛ්‍යයට ඉතා වැදගත් වන අතර, ආතතිය අඩු කිරීමට උපකාරී වේ. පවුලේ අය සහ මිතුරන් සමඟ ගත කිරීමට කාලය වෙන් කර ගැනීම මෙහිදී වැදගත්ය.

රෝග වැළැක්වීමේ වැදගත්කම අවබෝධ කරගෙන තිබුණත්, බොහෝ දෙනෙකුට එය දෛනික ජීවිතයට එක් කර ගැනීමට අපහසු වී ඇත. මේ සඳහා ඇති ප්‍රධාන අභියෝග කිහිපයක් සහ ඒවා ජයගත හැකි ආකාර පිළිබඳව දැනුවත් විය යුතුය.

  • බොහෝ දෙනෙක් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමට නිවැරදි මාර්ගය නොදන්නා නිසාම සෞඛ්‍ය අධ්‍යාපනයට ප්‍රමුඛත්වය දීම වඩාත් වැදගත් වේ. වෛද්‍යවරුන්ගෙන්, විශ්වාසදායක මූලාශ්‍රවලින් සහ සෞඛ්‍ය සේවා ආයතනවලින් නිවැරදි තොරතුරු ලබා ගැනීමට උනන්දු විය යුතුය.
  • කාර්යබහුල ජීවන රටාව නිසා ව්‍යායාම කිරීමට හෝ නිවසේදී ආහාර පිළියෙළ කිරීමට කාලය සොයා ගැනීමට අපහසු වීම තවත් ගැටලුවක් වන අතරම ඒ සඳහා දිනකට මිනිත්තු 30ක් ඇවිදීම වැනි විසඳුම් කුඩා වෙනස්කම්වලින් ආරම්භ කළ හැකිය. සෞඛ්‍ය සම්පන්න ආහාර වේල් කලින් සකස් කර ලබා ගැනීමට සැලසුම් යෙදීමද වැදගත් පියවරකි.
  • ඇතැම් අවස්ථාවල සෞඛ්‍ය සම්පන්න ආහාර, ව්‍යායාම උපකරණ හෝ නිතිපතා පරීක්ෂණ මිල අධික විය හැකි වුවත් සෞඛ්‍ය සම්පන්නව සිටීමට මිල අධික දේම අවශ්‍ය නැත. අඩු වියදම් එළවළු, පලතුරු සහ ඇවිදීම, දිවීම වැනි නොමිලේ කළ හැකි ව්‍යායාමවලට යොමු වීමට අපි කාටත් හැකියාව ඇත.

රෝග සුව කිරීමට වඩා, රෝග වළක්වා ගැනීම පහසු ය යන පැරණි කියමන අදටත් වලංගු වේ. රෝග වැළැක්වීම යනු හදිසි ප්‍රතිචාරයක් නොව, එය අපගේ ජීවිත කාලය පුරාම පවත්වා ගත යුතු දෙයකි. මෙය අපගේ ශරීරයට, මනසට සහ ආර්ථිකයට කරන විශාලම උපකාරයයි.

රෝගී වන තුරු බලා සිටීම යනු අවදානමක් ගැනීමක් වන අතර, වැළැක්වීම යනු අපගේම සෞඛ්‍යයේ වගකීම අප විසින්ම භාර ගැනීමකි. අප සෑම කෙනෙකුම දෛනික ජීවිතයේදී සෞඛ්‍ය සම්පන්න පුරුදු පවත්වා ගනිමින්, නිතිපතා වෛද්‍ය උපදෙස් ලබා ගනිමින් සහ මානසික සුවතාව රැක ගනිමින්, නිරෝගී ජාතියක් නිර්මාණය කිරීමට දායක විය යුතු ය.


Leave feedback about this

  • Quality