අගෝස්තු 5, 2026
මානසික සුව දිවිය සුව දිවිය

ඔබේ දරුවා ආරක්ෂිතද?

දෙමාපියන් අනිවාර්යයෙන් දැනගත යුතු ළමා ආරක්ෂණ කරුණු

දරුවා සතුටින්ද? දරුවාට මව පියා සමග නිදහසේ කතා කරන්න පුළුවන්ද?

මේ ප්‍රශ්න දෙක සෑම දෙමාපියෙකුම තමන්ගෙන්ම අසා බැලිය යුතුය. දරුවෙකුගේ ආරක්ෂාව කියන්නේ ඔහුට හෝ ඇයට අනතුරක් සිදු නොවීම පමණක් නොවේ. දරුවාට ආරක්ෂිත බවක් දැනෙන, තම හැඟීම් ප්‍රකාශ කළ හැකි, ප්‍රශ්නයක් ඇති වූ විට විශ්වාසවන්ත වැඩිහිටියෙකු වෙත යා හැකි පරිසරයක් නිර්මාණය කිරීමද ළමා ආරක්ෂාවේ වැදගත් කොටසකි.

අද ලෝකයේ දරුවන් මුහුණ දෙන අභියෝග අතර ශාරීරික හිංසනය, මානසික හිංසනය, නොසලකා හැරීම, ලිංගික අපයෝජනය සහ අන්තර්ජාලය හරහා ඇතිවන අවදානම් ප්‍රධාන වේ.

ළමා හිංසනය යනු කුමක්ද?

ළමා හිංසනය යනු දරුවෙකුගේ ශාරීරික හෝ මානසික යහපැවැත්මට හානි කරන හෝ ඔහුගේ ආරක්ෂාවට තර්ජනයක් වන ඕනෑම ක්‍රියාවක් හෝ නොසලකා හැරීමකි.

එයට ඇතුළත් විය හැක්කේ

  1. ශාරීරික හිංසනය (Physical Abuse) -දරුවෙකුට ශාරීරිකව වේදනාවක් ඇති කරන ක්‍රියා මෙයට අයත් වේ. දරුවන් හික්මවීම සඳහා ශාරීරික දඬුවම් භාවිතා කිරීම පිළිබඳව ලෝකයේ බොහෝ ළමා ආරක්ෂණ සංවිධාන අවධාරණය කරන්නේ එය දරුවාගේ මානසික යහපැවැත්මට අහිතකර බලපෑම් ඇති කළ හැකි බවයි.
  2. මානසික හිංසනය (Emotional Abuse) – දරුවෙකුගේ ආත්ම විශ්වාසයට හානි කරන වචන සහ හැසිරීම්ද හිංසනයක් විය හැකිය. උදාහරණ ලෙස
  3. නිතරම අපහාස කිරීමඔයාට කිසි දෙයක් බෑ” වැනි වචන භාවිතා කිරීම
  4. දරුවාගේ හැඟීම් නොසලකා හැරීම
  5. අධික බිය ඇති කිරීම

වැනි ක්‍රියා නිසා දරුවෙකුගේ මනසට ඇතිවන තුවාල සමහරවිට බාහිර තුවාලවලට වඩා දිගුකාලීන බලපෑම් ඇති කළ හැකිය.

  • නොසලකා හැරීම (Neglect) – දරුවාගේ මූලික අවශ්‍යතා සපුරාලීමට අපොහොසත් වීමද ළමා ආරක්ෂණ ගැටලුවකි. උදාහරණ ලෙස
  • ආහාර, සෞඛ්‍ය පහසුකම් නොලැබීම
  • ආරක්ෂිත පරිසරයක් නොලැබීම
  • දරුවාගේ හැඟීම් සහ අවශ්‍යතා නොසලකා හැරීම

දරුවෙකුට සිදුවන ගැටලුවක් හඳුනාගන්නේ කොහොමද?

සෑම දරුවෙකුම තමන්ට සිදුවන දේ වචනවලින් පැහැදිලිව කියන්නේ නැහැ. සමහරවිට ඔවුන්ගේ හැසිරීම වෙනස් වීම තුළින් එය පෙන්විය හැකිය.

දරුවා වෙතින් පෙන්නුම් කරන අවධානය යොමු කළ යුතු සංඥා

  • හදිසියේම බියට පත්වීම
  • හැසිරීමේ විශාල වෙනසක් ඇති වීම
  • නිතර දුකින් හෝ කනස්සල්ලෙන් සිටීම
  • පාසල් යාමට අකමැති වීම
  • යම් පුද්ගලයෙකු හමුවීමට අකමැති වීම
  • නිතර තනිව සිටීමට උත්සාහ කිරීම
  • නින්දේ හෝ ආහාර පුරුදුවල වෙනස්කම්

මෙවැනි ලක්ෂණ තිබුණා කියා අනිවාර්යයෙන්ම හිංසනයක් සිදුවී ඇතැයි අදහස් නොවේ. නමුත් දරුවා සමඟ ආදරයෙන් කතා කර හේතුව සොයා බැලීම වැදගත්ය.

Good Touch සහ Bad Touch ගැන දරුවාට කියන්නේ කොහොමද?

බොහෝ දෙමාපියන් මේ ගැන කතා කිරීමට බිය වෙති. නමුත් වයසට ගැළපෙන ආකාරයට දරුවාට ශරීර ආරක්ෂාව ගැන ඉගැන්වීම ඉතා වැදගත්ය.

දරුවා දැනගත යුතු කරුණු

  • තම ශරීරය තමන්ගේ බව
  • අපහසුතාවයක් දැනෙන ස්පර්ශයකට “නැහැ හෝ බැහැ” කියන්න පුළුවන් බව
  • කිසිවෙකුට තමන්ට අකමැති දෙයක් කිරීමට ඉඩ නොදිය යුතු බව
  • රහසක් ලෙස තබාගන්න කියන අනාරක්ෂිත දෙයක් ගැන විශ්වාසවන්ත වැඩිහිටියෙකුට පැවසිය යුතු බව

දරුවා සමඟ විවෘත සම්බන්ධතාවයක් ගොඩනගන්න. දරුවාට ගැටලුවක් ඇති වූ විට පළමුව මතක් විය යුත්තේ “මට අම්මාට හෝ තාත්තාට මේක කියන්න පුළුවන්” යන හැඟීමයි. ඒ සඳහා

  • දරුවා කතා කරන විට අවධානයෙන් අසන්න.
  • ඔහුගේ හැඟීම් විහිළුවට නොගන්න.
  • වැරැද්දක් පැවසූ විට පළමුව කෝප නොවී සවන් දෙන්න.
  • දරුවාට විශ්වාස කළ හැකි වැඩිහිටියන් හඳුන්වා දෙන්න.

අන්තර්ජාලයේදී දරුවා ආරක්ෂා කරන්නේ කොහොමද?

අද දරුවන්ගේ ජීවිතයේ Online ලෝකය විශාල කොටසකි. දෙමාපියන් ලෙස

  • දරුවා භාවිතා කරන Apps ගැන දැනුවත් වන්න
  • නාඳුනන පුද්ගලයන් සමඟ පෞද්ගලික තොරතුරු බෙදා නොගන්න කියා උගන්වන්න
  • ඡායාරූප සහ වීඩියෝ Share කිරීමේදී සැලකිලිමත් වන්න
  • Online හි සිදුවන දේවල් ගැන දරුවා සමඟ සාකච්ඡා කරන්න.

දරුවන්ට ආරක්ෂාව උගන්වන්න, බිය නොකරන්න. ළමා ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ අරමුණ දරුවන් ලෝකයෙන් වෙන් කිරීම නොවේ. එහි අරමුණු වන්නේ

  • තමන්ව ආරක්ෂා කරගැනීමට හැකි දරුවෙකු බිහි කිරීමයි.
  • ගැටලුවක් ඇති වූ විට කතා කිරීමට බිය නැති දරුවෙකු බිහි කිරීමයි.
  • ආදරය, ගෞරවය සහ ආරක්ෂාව ලැබෙන පරිසරයක් නිර්මාණය කිරීමයි.

සෑම දෙමාපියෙකුම මතක තබා ගත යුතු වැදගත්ම කරුන වන්නේ දරුවාට මිල අධික දේවල් ලබාදීමට වඩා වටින්නේ “ඔයාට ප්‍රශ්නයක් ආවොත් මට කියන්න පුළුවන්” යන විශ්වාසය ලබාදීමයි.

  • දරුවාගේ කතාව අහන්න.
  • දරුවාගේ වෙනස්කම් නිරීක්ෂණය කරන්න.
  • දරුවාගේ ආරක්ෂාවට ඔබේ අවධානය දෙන්න.

ආරක්ෂිත ළමා කාලයක් යනු දරුවෙකුට ලැබිය හැකි වටිනාම තෑග්ග බව අමතක නොකරන්න.

මූලාශ්‍ර (Sources)

1. World Health Organization – Child Maltreatment

   [https://www.who.int/news-room/fact-sheets/detail/child-maltreatment](https://www.who.int/news-room/fact-sheets/detail/child-maltreatment)

2. UNICEF – Child Protection

   [https://www.unicef.org/protection](https://www.unicef.org/protection)

3. National Society for the Prevention of Cruelty to Children – Child Safety Resources

   [https://www.nspcc.org.uk](https://www.nspcc.org.uk)

4. National Child Protection Authority Sri Lanka – Child Protection Resources

   [https://childprotection.gov.lk](https://childprotection.gov.lk)

Leave feedback about this

  • Quality