අගෝස්තු 1, 2026
දරුවන්ගේ සුව දිවිය සුව දිවිය

ස්කෝලියෝසිස් (Scoliosis) ගැන  මව්පියන් වන ඔබ දැනුවත්ද?

“අපේ දරුවා ටිකක් එක පැත්තට ඇලවෙලා හිටිනවා වගේ…”
“එක උරහිසක් ටිකක් උසයි වගේ…”
“ඇඳුම ඇඳපු ගමන් එක පැත්තකට ඇදෙනවා…”

මේ වගේ වෙනස්කම් ඔබේ දරුවා තුළ ඔබ දැක තිබුණත්, ඇතැම් විට මගහැරෙන්න ඇති. බොහෝ මව්පියන්ට එය සාමාන්‍ය දෙයක් ලෙස පෙනුණත්, එය ස්කෝලියෝසිස් (Scoliosis) නම් කොඳු ඇට පෙළේ වක්‍රතාවයක මුල් ලකුණක් විය හැකිය.

ස්කෝලියෝසිස් මුල් අවධියේදී වේදනාවක් නොදෙන නිසා දරුවාටවත් මව්පියන්ටවත් එය පහසුවෙන් හඳුනාගත නොහැකි විය හැකියි. බොහෝ දරුවන් රෝගය හඳුනාගන්නේ වක්‍රතාවය සැලකිය යුතු ලෙස වැඩි වූ පසුවය. එම නිසාම, මේ ලිපිය කියවන ඔබගේ මිනිත්තු කිහිපය, ඔබේ දරුවාගේ අනාගතය ආරක්ෂා කළ හැකි තීරණාත්මක දැනුමක් ලබා දෙනු ඇත.

ස්කෝලියෝසිස් යනු කුමක්ද?

ස්කෝලියෝසිස් යනු කොඳු ඇට පෙළ සාමාන්‍ය ලෙස කෙළින් නොමැතිව, පැත්තකට “C” හෝ “S” හැඩයට වක්‍ර වීමයි. සාමාන්‍යයෙන් පසුපසින් බැලූ විට කොඳු ඇට පෙළ සෘජුව පෙනිය යුතුය. නමුත් ස්කෝලියෝසිස් ඇති විට එය පැත්තකට වක්‍ර වී, සමහර අවස්ථාවලදී ඇට පෙළම භ්‍රමණය (rotation) වීමද සිදුවේ. දරුවා කෙළින් හිටගත්තත්, ඇට පෙළේ වක්‍රතාවය එලෙසම පවතින අතර, “කෙළින් හිටගන්න” කියා පැවසීමෙන් එය නිවැරදි නොවේ.

මේ තත්ත්වය වැඩිපුර ඇතිවන්නේ කාටද ?

ස්කෝලියෝසිස් ඕනෑම වයසකදී ඇතිවිය හැකි නමුත්, බහුලවම හඳුනාගන්නේ අවුරුදු 10 සිට 18 දක්වා වර්ධන කාලයේදීය.

විශේෂයෙන්ම, නව යොවුන් වියේ ගැහැණු දරුවන් වේගයෙන් උස යන කාලයේ සිටින දරුවන් පවුලේ වෙනත් අයෙකුට ස්කෝලියෝසිස් තිබේ නම් අවදානම තරමක් වැඩිය.

ස්කෝලියෝසිස් ඇතිවීමට හේතුව කුමක්ද?

සියලුම ස්කෝලියෝසිස් එකම හේතුවකින් ඇති නොවේ.

1. Idiopathic Scoliosis

මෙය බහුලම වර්ගයයි. මෙහි නිශ්චිත හේතුවක් තවමත් සොයාගෙන නොමැත. මෙම වර්ගය සියලුම ස්කෝලියෝසිස් රෝගීන්ගෙන් බහුතරයකට දක්නට ලැබේ.

2. Congenital Scoliosis

දරුවා උපදින විටම කොඳු ඇට නිසි ලෙස වර්ධනය නොවීම නිසා ඇතිවේ.

3. Neuromuscular Scoliosis

මස්පිඬු හෝ ස්නායු පද්ධතියේ රෝග හේතුවෙන් ඇතිවේ.

4. Degenerative Scoliosis

මෙය වැඩිහිටි වියේදී පෙනී යන වර්ගයකි.

ස්කෝලියෝසිස් ඇති විට මව්පියන්ට මුලින්ම පෙනෙන ලක්ෂණ මොනවාද?

ස්කෝලියෝසිස් මුල් කාලයේදී බොහෝවිට වේදනාවක් නැත. එම නිසා පහත ලක්ෂණ පිළිබඳව අවධානයෙන් සිටීම ඉතා වැදගත්ය.

  • එක් උරහිසක් අනෙක් උරහිසට වඩා උස වීම
  • එක් උරපත්ත (Shoulder blade) වැඩියෙන් මතු වී පෙනීම
  • ඉණ දෙපස අසමාන වීම
  • ඇඳුම් එක පැත්තකට ඇදීම
  • දරුවා එක පැත්තට නැඹුරු වී සිටින බව පෙනීම
  • හිස සිරුරේ මැද නොපෙනීම
  • පසුපසින් බැලූ විට කොඳු ඇට පෙළ වක්‍ර ලෙස පෙනීම
  • ඉදිරියට නැමූ විට එක් පැත්තක පපුව හෝ පිටුපස ඉහළට මතුවීම (Rib hump)

නිවසේදී පරීක්ෂා කළ හැකි සරල ක්‍රමයක්

දරුවාගේ පාද දෙක එකට තබාගෙන, දණ නොනමා, ඉදිරියට සෙමින් නැමීමට කියන්න. දැන් පිටුපසින් හොඳින් බලන්න. එක් පැත්තක පපුව හෝ පිටුපස අනෙක් පැත්තට වඩා ඉහළට පෙනේ නම්, වෛද්‍යවරයෙකු හමුවීම සුදුසුය.

ස්කෝලියෝසිස් හඳුනාගන්නේ කොහොමද?

වෛද්‍යවරයා,

  • ශාරීරික පරීක්ෂණයක් සිදු කරයි.
  • උස, උරහිස්, ඉණ, ඉරියව් පරීක්ෂා කරයි.
  • අවශ්‍ය නම් X-ray පරීක්ෂණයක් නිර්දේශ කරයි.

X-ray මගින් Cobb Angle නම් මිනුම භාවිත කරමින් වක්‍රතාවයේ ප්‍රමාණය මනිනු ලබයි.

Cobb Angle කියන්නේ මොකක්ද?

මෙය ස්කෝලියෝසිස් ප්‍රමාණය මැනීමේ ජාත්‍යන්තර සම්මත ක්‍රමයයි.

සාමාන්‍යයෙන්,

  • 10° – 20° → සුළු වක්‍රතාවය
  • 20° – 40° → මධ්‍යම වක්‍රතාවය
  • 40° – 50° සහ ඊට වැඩි → දරුවාගේ වයස, වර්ධනය සහ තත්ත්වය අනුව වැඩිදුර ප්‍රතිකාර අවශ්‍ය විය හැකිය.

ප්‍රතිකාර නොකළොත් මොකද වෙන්නේ?

සියලුම ස්කෝලියෝසිස් නරක අතට හැරෙන්නේ නැත. නමුත් වර්ධන කාලයේදී සමහර දරුවන්ගේ වක්‍රතාවය වේගයෙන් වැඩි විය හැකිය.

එවිට,

  • සිරුරේ සමබරතාව වෙනස් විය හැකිය.
  • කොන්දේ හැඩය වෙනස් විය හැකිය.
  • ඇඳුම් ගැළපීමේ ගැටලු ඇතිවිය හැකිය.
  • පසුකාලීනව කොන්දේ වේදනාව ඇතිවිය හැකිය.
  • ඉතා දරුණු අවස්ථාවලදී පෙනහලු හා හෘදයේ ක්‍රියාකාරීත්වයටද බලපෑම් ඇති විය හැකිය.

ප්‍රතිකාර මොනවාද?

ප්‍රතිකාරය තීරණය කරන්නේ,

  • දරුවාගේ වයස
  • වර්ධනය තවමත් සිදුවනවාද?
  • Cobb Angle
  • වක්‍රතාවය වැඩිවෙන වේගය යන කරුණු අනුවයි.

නිරීක්ෂණය (Observation)

සුළු වක්‍රතාවයක් නම් නිතිපතා පරීක්ෂා කිරීම ප්‍රමාණවත් විය හැකිය.

Brace

සමහර දරුවන්ට විශේෂ Brace එකක් භාවිත කර වක්‍රතාවය තවදුරටත් වැඩි වීම පාලනය කිරීමට උත්සාහ කරයි. Brace එක ඇට පෙළ සම්පූර්ණයෙන් කෙළින් කරන උපකරණයක් නොවේ. එය ප්‍රධාන වශයෙන් වර්ධන කාලයේදී වක්‍රතාවය තවදුරටත් වැඩිවීම අඩු කිරීමට භාවිතා කරයි.

Physiotherapy

විශේෂ ව්‍යායාම සහ මාංශ පේශි ශක්තිමත් කිරීමේ වැඩසටහන් මගින් දරුවාගේ ඉරියව්ව, ශරීර පාලනය සහ සුවපහසුව වැඩිදියුණු කළ හැකිය.

ශල්‍යකර්මය

ඉතා දරුණු වක්‍රතාවයන් සඳහා පමණක් සැලකිල්ලට ගනී. සෑම ස්කෝලියෝසිස් රෝගියෙකුටම ශල්‍යකර්මයක් අවශ්‍ය නොවේ.

ස්කෝලියෝසිස් ඇති වන්නේ පාසැල් බෑගය බර නිසාද?

මෙය බහුලව පවතින වැරදි මතයකි.පාසල් බෑග් බර වීම ස්කෝලියෝසිස් ඇති නොකරයි. නමුත් බර වැඩි බෑග් කොන්දේ වේදනාව වැඩි කළ හැකිය.

ස්කෝලියෝසිස් ඇති වන්නේ වැරදි ඉරියව් නිසාද?

නැහැ. වැරදි ඉරියව්ව නිසා ස්කෝලියෝසිස් ඇති නොවන බව වෛද්‍ය මතයයි. නමුත් ස්කෝලියෝසිස් තිබෙන දරුවකුගේ ඉරියව්ව වෙනස් වී පෙනිය හැකිය.

ස්කෝලියෝසිස් ඇති දරුවෙකුට ක්‍රීඩා කරන්න පුළුවන්ද?

බොහෝ දරුවන්ට වෛද්‍ය උපදෙස් අනුව,

  • පිහිනීම
  • ඇවිදීම
  • පාපැදි පැදීම
  • සාමාන්‍ය ක්‍රීඩා දිගටම කළ හැකිය.

ව්‍යායාම කිරීම නිසා ස්කෝලියෝසිස් ඇතිවීම නතර නොව නමුත් ශරීර ශක්තිය, නම්‍යශීලී බව සහ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීමට උපකාරී වේ.

මේ තත්ත්වයේදි මව්පියන් කළ යුතු වැදගත් දේවල්

✔ දරුවාගේ කොදු ඇට පෙල වරින් වර නිරීක්ෂණය කරන්න.

✔ වර්ධන කාලයේදී උරහිස් හා ඉණ සමානදැයි බලන්න.

✔ මේ තත්ත්වයේ සිටින දරුවෙකුට කෙළින් හිටගන්න කියා බැන වැදීමෙන් වළකින්න.

✔ වේලාසනින් විශේෂඥ වෛද්‍ය උපදෙස් ලබාගන්න.

✔ අන්තර්ජාලයේ ඇති තහවුරු නොකළ ප්‍රතිකාර අනුගමනය නොකරන්න. සැමවිටම වෛද්‍ය උපදෙස් පිලිපදින්න

✔ දරුවාගේ මානසික සෞඛ්‍යය ගැනද සැලකිලිමත් වන්න. සිරුරේ වෙනස්කම් නිසා සමහර දරුවන්ට ලැජ්ජාව, ආත්මවිශ්වාසයේ අඩුවීම හෝ සමාජයෙන් ඈත්වීම වැනි ගැටලු ඇති විය හැකිය. මව්පියන්ගේ සහයෝගය මෙහිදී ඉතා වැදගත්ය.

ස්කෝලියෝසිස් සම්බන්දව නිතර අසන ප්‍රශ්න

ස්කෝලියෝසිස් සම්පූර්ණයෙන් සුව කළ හැකිද?

එය වක්‍රතාවයේ ප්‍රමාණය, වයස සහ වර්ධනය මත රඳා පවතී. මුල් අවධියේ හඳුනා ගෙන නිසි ලෙස කළමනාකරණය කළහොත් බොහෝ දරුවන්ට සාමාන්‍ය ජීවිතයක් ගත කළ හැකිය.

එය පරම්පරාවෙන් එනවාද?

සමහර Idiopathic Scoliosis අවස්ථාවල පවුල් ඉතිහාසයක් දක්නට ලැබෙන නමුත්, එය සෑම අවස්ථාවකම එසේ නොවේ.

කොන්දේ වේදනාව තියෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම ස්කෝලියෝසිස්ද?

නැහැ. කොන්දේ වේදනාවට හේතු රැසක් තිබිය හැකිය. එමෙන්ම බොහෝ ස්කෝලියෝසිස් රෝගීන්ට මුල් අවධියේ කිසිදු වේදනාවක් නොමැත.

මව්පියන් ලෙස අනිවාර්යෙන්ම මෙම කරුනු මතක තබා ගන්න…

ස්කෝලියෝසිස් කියන්නේ දරුවාගේ අනාගතය අවසන් කරන රෝගයක් නොවේ. නමුත් එය නොදැක ඉදිරියට යාම නම් අවදානමක්.

මව්පියන් ලෙස ඔබට කළ හැකි වටිනාම දෙය වන්නේ දරුවාගේ ශරීරයේ සිදුවන කුඩා වෙනස්කම් පවා සැලකිල්ලෙන් නිරීක්ෂණය කිරීමයි.

අද ඔබ දකින එක උරහිසක කුඩා වෙනසක්, හෙට දරුවාගේ ජීවිතයේ විශාල වෙනසක් වළක්වා ගත හැකි සංඥාවක් විය හැකිය.

ස්කෝලියෝසිස් වේලාසනින් හඳුනාගැනීම කියන්නෙම සාර්ථක කළමනාකරණයට ඇති හොඳම අවස්ථාව බව අමතක කරන්න එපා.

මෙම ලිපිය දැනුවත් කිරීමේ අරමුණින් පමණක් සකස් කර ඇත. ඔබේ දරුවා තුළ ඉහත සඳහන් ලක්ෂණ නිරීක්ෂණය වන්නේ නම්, දරුවාගේ වෛද්‍යවරයා හෝ පවුලේ වෛද්‍යවරයා හමුවන්න. එවිට නිසි යොමු කිරිම් සිදු කෙරේ. ඒසේත් නැතිනම් සුදුසුකම් සහ අත්දැකිම් ඇති විකලාංග ශල්‍ය වෛද්‍යවරයෙකු හමුවී නිසි වෛද්‍ය උපදෙස් ලබාගන්න.

Leave feedback about this

  • Quality