ජූලි 27, 2026
විශේෂී ලිපි

දරුවන් රැකබලා ගන්න ගෙදර නැවතුණු අම්මාගේ ආර්ථික සුරක්ෂිතභාවය ගැනත් හිතමු

දරුවන් වෙනුවෙන් තම රැකියාව, ආදායම, වෘත්තීය ජීවිතය පමක් නොව, ඇතැම්විට තමන්ගේම සිහින පවා පසෙක තබා නිවසේ රැඳී සිටින කාන්තාවන් අපේ සමාජයේ බොහෝ දෙනෙක් සිටිනවා.

නමුත් අපි ඔවුන් ගැන කතා කරන්නේ කොහොමද?

“ඇය රැකියාවක් කරන්නේ නැහැ.”
“ඇය ගෙදර ඉන්නේ.”
“ඇගේ සැමියා තමයි හැමදේම කරන්නේ.”

ඒත් මේ වචන කිහිපය පිටුපස සැඟවී තිබෙන සැබෑ කතාව ගැන අපි කවදා හෝ ගැඹුරින් සිතා බැලුවාද?

ඇය රැකියාවක් නොකරනවා විය හැකියි. නමුත් ඇය වැඩක් නොකරනවා නොවේ. ඇය උදෑසන දරුවා අවදි වූ මොහොතේ සිට රාත්‍රියේ ඔහු හෝ ඇය නින්දට යන තුරු දරුවාගේ ජීවිතය වටා ඇති අනන්ත වගකීම් දරාගෙන සිටිනවා.

දරුවාට ආහාර සකස් කරන්නේ කවුද?

පාසලට සූදානම් කරන්නේ කවුද?

දරුවා අසනීප වූ විට ළඟින්ම සිටින්නේ කවුද?

පාසල් වැඩ, ඇඳුම්, ආහාර, පිරිසිදුකම වගේ දේවල් ගැන සිතන්නේ කවුද?

දරුවාගේ කඳුළක් පිටුපස ඇති හේතුව තේරුම් ගන්න උත්සාහ කරන්නේ කවුද?

ඔහුගේ හෝ ඇයගේ මානසික සුවය ගැන දිවා රෑ නොබලා සිතන්නේ කවුද?

බොහෝවිට ඒ අම්මා.

ඇය කරන මේ වැඩවලට මාසික වැටුපක් නැහැ. වැටුප් වැඩිවීමක් නැහැ. නිවාඩු දින නැහැ. සති අන්තයක් නැහැ. “අද මට වැඩ වැඩියි, ඒ නිසා මම නිවාඩු ගන්නවා” කියා රාජකාරියෙන් මොහොතකටවත් ඉවත් වීමට ඇයට හැකියාවක් නැහැ. ඒ නිසා, නිවසේ රැඳී සිටින මවකගේ දායකත්වය “ඇය රැකියාවක් කරන්නේ නැහැ” යන වචන කිහිපයකින් කිසිවිටෙකත් මැනිය නොහැකියි. ඇය කරන්නේ වැටුපක් නොලබන, නමුත් පවුලේ අනාගතය ගොඩනඟන අතිශය වටිනා සේවයක්.

ආදායමක් නොමැති වීම නිසා ඇගේ නිදහස සීමා විය යුතුද?

මෙහිදී අපි කතා කළ යුතු තවත් සංවේදී කාරණයක් තිබෙනවා. තමන්ගේම ආදායමක් නොමැති වීම නිසා, ඇතැම් කාන්තාවන්ට තමන්ගේ ජීවිතයේ සරල තීරණ පවා ස්වාධීනව ගැනීමට නොහැකි තත්ත්වයකට පත්වීමට සිදුවනවා.

හදිසියේ දරුවා අසනීප වුණොත්?

වෛද්‍යවරයෙකු ළඟට රැගෙන යාමට අවශ්‍ය වුණොත්?

දරුවාට අවශ්‍ය ඖෂධයක් හදිසියේ මිලදී ගැනීමට සිදුවුණොත්?

පාසලට අවශ්‍ය දෙයක් වහාම මිලදී ගැනීමට සිදුවුණොත්?

නැත්නම් ඇයටම හදිසියේ වෛද්‍ය ප්‍රතිකාරයක් අවශ්‍ය වුණොත්?

ඇයගේ අයෙකු වෙනුවෙන් යම් මුදලක් වැය කරන්නට

ඇයගේ අතේ තමන්ගේම මුදලක් නොමැති නම්, මේ සෑම අවශ්‍යතාවක් සඳහාම සැමියාගෙන් මුදල් ඉල්ලා සිටීමට ඇයට සිදුවිය හැකියි. ඒ මොහොතේ ඇයට දැනෙන අසරණකම අපි මොහොතක් නතර වී සිතා බැලිය යුතුයි. මෙහිදී අපි සැමියාට චෝදනා කිරීමක් ගැන කතා කරන්නේ නැහැ. සෑම සැමියෙකුම නරක මිනිසෙකු වන්නේත් නැහැ.

නමුත් තමන්ගේම ආදායමක් නොමැති නිසා තමන්ගේම ජීවිතය පිළිබඳ සරල තීරණයක් ගැනීමට පවා තවත් කෙනෙකුගෙන් මුදල් ඉල්ලා සිටීමට සිදුවීම, කාන්තාවකට මානසිකව ඉතා බරපතළ අත්දැකීමක් විය හැකියි. ඒ නිසා, මෙය සැමියා සහ බිරිඳ අතර විශ්වාසය, ගෞරවය සහ හවුල් වගකීම පිළිබඳව අපි කතා කළ යුතු මාතෘකාවක්. “සල්ලි දෙන්නේ මම” වෙනුවට “මේ අපේ මුදල්” කියන හැඟීමක් තිබිය යුතුයි. සමහර පවුල්වලදී සැමියා උපයන මුදල “මගේ මුදල්” ලෙස සලකන අවස්ථා තිබෙනවා.

නමුත් බිරිඳ නිවසේ සිටින්නේ දරුවන් රැකබලා ගැනීම සඳහා නම්, ඇය පවුල වෙනුවෙන් කරන දායකත්වයත් එම පවුලේ ආර්ථික වටිනාකමේ කොටසක් ලෙස දැකිය යුතුයි.

ඇය රැකියාවෙන් ඉවත් වුණේ ඇයි?

දරුවා වෙනුවෙන් ඇය ගත් ඒ තීරණය ඇයගේ පමණක් තීරණයක්ද?

දරුවාගේ රැකවරණය වෙනුවෙන් ඇය අතහැර දැමූ වෘත්තීය අවස්ථා, වැටුප් වැඩිවීම්, අත්දැකීම් සහ තමන්ගේම ආදායම ගැන අපි කවදා හෝ සිතා බැලුවාද?

දරුවෙකු රැකබලා ගැනීම සඳහා වෙනත් කෙනෙකුගේ සේවය ලබා ගැනීමට සිදුවුවහොත් ඒ සඳහා ගෙවීමට සිදුවන මුදල ගැන සිතා බැලුවොත්, නිවසේ සිටින මවකගේ දායකත්වය කොතරම් විශාලදැයි අපට තේරුම් ගන්න පුළුවන්. ඇය මුදල් උපයන්නේ නැති වුණත්, ඇය පවුල වෙනුවෙන් දිනපතා කරන වැඩවල වටිනාකම අති විශාලයි.

කාලය ගත වෙද්දී ඇගේ කැපකිරීම අමතක නොකරමු

දරුවා කුඩා කාලයේදී අම්මා රැකියාව අතහැර නිවසේ රැඳී සිටීම පවුලේ සියලු දෙනාගේම එකඟතාවයෙන් ගත් තීරණයක් විය හැකියි. නමුත් වසර කිහිපයක් ගත වූ පසු, ඇය එදා කළ කැපකිරීම අමතක වීමට ඉඩ තිබෙනවා. ඇයගේ වෘත්තීය ජීවිතය නතර වුණා. ඇගේ ආදායම නැති වුණා. වෘත්තීය අත්දැකීම් එකතු වීම නතර වුණා. ඇගේම සිහින සමහරවිට පසෙකට ගියා. ඇය මේ සියල්ල කළේ දරුවා වෙනුවෙන්. එහෙත් කාලය ගත වන විට, ඒ කැපකිරීමේ බර සහ වටිනාකම පවුලේ අනෙක් අයට නොපෙනී යා හැකියි. එවිට ඇය තමන්ගේම ආදායමක් නොමැතිව, තමන්ගේම මුදලක් නොමැතිව, තමන්ගේම තීරණ ගැනීමට පවා අසීරු තත්ත්වයකට පත්විය හැකියි. ඒ නිසා, අම්මා කළ කැපකිරීම කාලය ගත වූ පසු අමතක නොකිරීමත් පවුලේ වගකීමක්.

දරුවා වෙනුවෙන් රැකියාව අතහැරීම අම්මාගේ තනි වගකීමක් නොවිය යුතුයි

දරුවෙකු රැකබලා ගැනීම සඳහා මව තම රැකියාව අතහැර නිවසේ රැඳී සිටීමට තීරණය කරන්නේ නම්, එය ඇයගේ තනි තීරණයක් හෝ තනි වගකීමක් නොවිය යුතුයි. එය පවුලේ හවුල් තීරණයක් විය යුතුයි. එම තීරණය ගන්නා විට, දරුවාගේ වර්තමාන අවශ්‍යතා ගැන පමණක් නොව, අම්මාගේ අනාගතය ගැනත් සිතිය යුතුයි.

ඇයට තමන්ගේම මුදල් කළමනාකරණයක් තිබේද?

හදිසි අවශ්‍යතාවකදී භාවිත කළ හැකි මුදලක් ඇය සතුව තිබේද?

ඇයට තමන්ගේ සෞඛ්‍යය වෙනුවෙන් හෝ දරුවාගේ හදිසි අවශ්‍යතාවක් වෙනුවෙන් ස්වාධීනව තීරණයක් ගැනීමට හැකිද?

ඇයගේ නමින් යම් ඉතිරිකිරීමක් තිබේද?

අනාගතයේදී ඇය නැවත රැකියාවකට යාමට කැමති වූ දිනක, ඒ සඳහා අවශ්‍ය සහය ඇයට ලැබේද?

මේ ප්‍රශ්න ගැන කතා කිරීම සැමියාට විරුද්ධ වීමක් නොවේ. ඇත්තෙන්ම, මේවා ගැන කතා කිරීම යනු පවුලක් වඩාත් ශක්තිමත් සහ සුරක්ෂිත කිරීමක්.

අම්මාගේ ආර්ථික සුරක්ෂිතභාවය, දරුවාගේ ආරක්ෂිත අනාගතයේත් කොටසක්

අම්මාට තමන්ගේම ආදායමක් තිබීම ඉතා හොඳ දෙයක්. නමුත් සෑම අම්මා කෙනෙකුටම එකවර රැකියාවක් කිරීමට හෝ ආදායමක් උපයා ගැනීමට හැකියාවක් නැහැ. එවැනි අවස්ථාවලදී, පවුල තුළ ඇයට ආර්ථික සුරක්ෂිතභාවයක් ලබා දීම ඉතා වැදගත්. සැමියා උපයන මුදල “මගේ මුදල්” ලෙස නොව, දරුවාගේ අනාගතය වෙනුවෙන් දෙදෙනාම එකට ගොඩනඟන “අපේ පවුලේ ආදායම” ලෙස දැකීම වැදගත්. නිවසේ සිටින මවකට තමන්ගේම අවශ්‍යතාවක් සඳහා මුදල් ඉල්ලා සිටින සෑම අවස්ථාවකම ලැජ්ජාවට, බියට හෝ වරදකාරී හැඟීමකට පත්වීමට සිදුවන්නේ නම්, එය නැවත සිතා බැලිය යුතු තත්ත්වයක්. ආර්ථික සුරක්ෂිතභාවය කියන්නේ සුඛෝපභෝගී දෙයක් නොවේ. එය තමන්ගේ ජීවිතය සහ දරුවාගේ ජීවිතය පිළිබඳව අවශ්‍ය මොහොතක නිවැරදි තීරණයක් ගැනීමට හැකි වීමේ මූලික ආරක්ෂාවක්.

දරුවෙකු වෙනුවෙන් තම රැකියාව අතහැර නිවසේ රැඳී සිටින අම්මා කෙනෙකු තමන්ගේ ජීවිතය නතර කරගෙන සිටින කෙනෙකු නොවේ. ඇය තවත් කෙනෙකුගේ ජීවිතයක් ගොඩනඟමින් සිටින කෙනෙකි. ඇය වැටුපක් නොලබන රැකියාවක් කරමින් සිටිනවා විය හැකියි. නමුත් ඇගේ දායකත්වය කිසිදු වැටුප් පත්‍රයකින් මැනිය නොහැකියි. ඒ නිසා, ඔයාත් මේ පවුල වෙනුවෙන් සමානව කැපවෙන කෙනෙක්. ඔයාට අවශ්‍ය දේවල් ගැන ගෞරවයෙන් සහ නිදහසේ තීරණ ගන්න කියන සංස්කෘතියක් අපේ පවුල් තුළ ගොඩනඟමු.

දරුවෙකු වෙනුවෙන් තම වෘත්තීය ජීවිතය කැප කළ අම්මා කෙනෙකුට, තමන්ගේ ජීවිතය ගැන තීරණයක් ගැනීමටවත් මුදල් නොමැතිව අසරණ වීමට සිදුවීම, අපි සියලු දෙනාම නැවත සිතා බැලිය යුතු කාරණයක්.

ඇය දරුවා වෙනුවෙන් කළ කැපකිරීම අගය කරමු. ඇයගේ නිවසේ වැඩවලට වටිනාකමක් දෙමු. ඇයගේ අදෘශ්‍යමාන ශ්‍රමය හඳුනාගනිමු. ඇයගේ ආර්ථික සුරක්ෂිතභාවය ගැනත් කතා කරමු.

මන්ද…

ආරක්ෂිත දරුවෙකුගේ අනාගතය ගොඩනඟන්නේ ආරක්ෂිත පවුලක් තුළයි. ඒ ආරක්ෂිත පවුල ගොඩනඟන්නට, දරුවා රැකබලා ගන්නා අම්මාගේ ජීවිතයත් සුරක්ෂිත විය යුතුයි.

Leave feedback about this

  • Quality