අගෝස්තු 25, 2026
දරුවන්ගේ සුව දිවිය සුව දිවිය

දරුවන්ට පොත පතේ දැනුම විතරක් ඇතිද ?

ගණිත ගැටලු විසඳන්න පුළුවන්… ඉංග්‍රීසි රචනා ලියන්න පුළුවන්… විද්‍යාව ගැන හොඳට දන්නවා…

ඒත්…

  • තමන්ගේ ඇඳ තනියම හදන්න පුළුවන්ද?
  • තමන්ගේ ඇඳුම් පිළිවෙළට නවලා තියාගන්න පුළුවන්ද?
  • කෑම කාපු පිඟාන සෝදලා තියාගන්න පුළුවන්ද?
  • තමන්ගේ බෑග් එක තනියම සූදානම් කරගන්න පුළුවන්ද?
  • සපත්තු දෙක නිසි තැන තියාගන්න මතක් කරන්න ඕනෙ නැද්ද?
  • තමන්ගේ කාමරය පිළිවෙළට තියාගන්න දන්නවාද?

මේවා පොඩි වැඩ වගේ පෙනුණත්, ඇත්තටම මේවා ජීවිතයට අවශ්‍ය ලොකුම පාඩම් කිහිපයක්. නිවාඩුව කියන්නේ සෙල්ලම් කරන්න විතරක් නෙවෙයි. පාසල් නිවාඩුව ආවම සාමාන්‍යයෙන් අපි කියන්නේ, දැන් දරුවට ටිකක් නිදහසේ ඉන්න දෙමු කියලා. ඒක හොඳයි. ඒත් මේ නිදහස් කාලය තුළ දරුවාට තමන්ගේ වැඩ තමන්ම කරගන්න ඉගෙනගන්න අවස්ථාවක් ලබා දුන්නොත් ඒ නිවාඩුව තවත් අර්තවත් වේවි.

ඉතින් මේ නිවාඩුවේ, අලුත් දේවල් ටිකක් තනියම කරගන්න හැටි ගැන දරුවාට කියාදෙමු. පුංචි අලුත් අභියෝගයක් දෙමු.

  • කාමරේ අස් කරන්න පුරුදු කරමු… ඒත්

පුංචි දරුවෙකුට, ගිහින් කාමරේ අස් කරගන්න… කියන එක ලේසියි. හැබැයි ඒක කරන හැටි කියලා දෙන්න. මුලින්ම දරුවා එකතු වෙලා කරන්න.

  • පිරිසිදු ඇඳුම් කොහෙද?
  • අපිරිසිදු ඇඳුම් දාන්නේ කොහෙද?
  • පොත් තබන්නේ කොහෙද?
  • සෙල්ලම් බඩු තබන්නේ කොහෙද?
  • සපත්තු තබන්නේ කොහෙද?

දෙවන වතාවේ දරුවාට තනිවම ඒ කාර්යය පවරන්න. වැරදුණොත් හෝ අඩුපාඩු තිබුනොත් මේ මොකක්ද මේ කරලා තියෙන්නේ? කියලා බනින්න කලින්, අපි දෙන්නා එකට අස් කළා මතකද? ආයෙත් එක පාරක් බලමු වගේ ප්‍රතිචාරයක් ලබා දෙන්න. පිරිසිදු කාමරයක් විතරක් නෙවෙයි වගකීමක් දන්න දරුවෙක් අපේ ඉලක්කය විය යුතුයි.

  • ඇඳුම් නවන්නත්… ජීවිතය පිළිවෙළට තබාගන්නත් වයසට ගැළපෙන විදිහට දරුවන්ට,

සම්පූර්ණ කාර්යයම අම්මා හෝ තාත්තා කරලා දෙන එක වේගවත් වෙන්න පුළුවන්. නමුත් දරුවාට ඉගෙන ගන්න ලැබෙන්නේ නැහැ.

  • ඇඳුම් වර්ග කරන්න
  • පාට අනුව වෙන් කරන්න
  • ඇඳුම් නවන්න
  • තමන්ගේ ඇඳුම් නිසි තැන තබන්න
  • ඇඳුම් එල්ලන්න
  • අපිරිසිදු ඇඳුම් නිසි තැනට දමන්න වගේ සරල දේවල් ඉගැන්විය හැකියි.

අද විනාඩි 20ක් ගත වුණත්, හෙට ඔහුට ඒක තනියම කරන්න පුළුවන් වීම තමයි වැදගත්.

  • කුස්සියත් දරුවාගේ පුංචි “පන්ති කාමරයක්” කරගන්න

කුඩා දරුවෙක්ව තනිවම උදුන ළඟ තැබීමක් ගැන නෙවෙයි මේ කියන්නේ. ආරක්ෂාවට මුල් තැන දෙමින්, වැඩිහිටි අධීක්ෂණය යටතේ ඔවුන්ට සරල කටයුතුවලට සහභාගී වීමට අවස්ථාව දෙන්න.

  • එළවළු සෝදන්න
  • අමුද්‍රව්‍ය මැනගන්න
  • මේසය සූදානම් කරන්න
  • සරල ආහාරයක් සකස් කිරීමට උදව් කරන්න
  • කෑමෙන් පසු මේසය පිරිසිදු කරන්න
  • තමන් භාවිත කළ පිඟාන නිසි පරිදි තබන්න

ඔබ නොදැනුවත්වම දරුවා මෙතැනදී ඉගෙන ගන්නේ මිනුම්, අනුපිළිවෙළ, පිරිසිදුකම, වගකීම, සැලසුම් කිරීම වැනි ජීවන කුසලතා බොහොමයකි.

  • පාසල් යන දරුවෙක් නම්, හැමදාම අම්මා බෑග් එක සූදානම් කරලා දෙනවා වෙනුවට, හෙට පාසලට මොනවාද ඕනේ? කියලා දරුවාගෙන්ම අහන්න.
  • පොත්
  •  පැන්සල්/පෑන්
  • වතුර බෝතලය
  • කෑම පෙට්ටිය
  • අවශ්‍ය වෙනත් දේවල් ලැයිස්තුවක් හදාගන්න ඉගැන්විය හැකියි.

මුලින් ඔබ දරුවා සමඟ මේ කටයුතු කරන්න. ඊළඟ දවසේ අද ඔයාම බෑග් එක සූදානම් කරලා බලන්න කියලා අවස්තාව දෙන්න. මේක බෑග් එකක් සූදානම් කිරීමක් විතරක් නෙවෙයි. තමන්ට අවශ්‍ය දේ කලින් සිතා බලා, සැලසුම් කර ක්‍රියා කිරීමට ඉගෙනීමක්.

  • එක එක වැඩ ගැහැණු ළමයින්ගේ හෝ පිරිමි ළමයින්ගේ වැඩ ලෙස වෙන් නොකරන්න

මේකත් අපි අමතක නොකළ යුතු දෙයක්. පුතාට ඕවා කරන්න ඕනෙ නැහැ… දුව ගෙදර වැඩ ඉගෙනගන්න ඕනෙ… කියන අදහස වෙනුවට, ගැහැනු පිරිමි වෙනසකින් තොරව අපේ දරුවන්ට ජීවිතය උගන්වමු. පුතෙකුට ආහාර පිළියෙළ කරන්නත්, ඇඳුම් සෝදන්නත්, කාමරය අස් කරන්නත් පුළුවන් විය යුතුයි. දියණියකට තමන්ගේ දේවල් සංවිධානය කරගන්නත්, සරල දේවල් අලුත්වැඩියා කරගන්නත්, තමන් ගැන බලාගන්නත් පුළුවන් විය යුතුයි. ස්වාධීනත්වයට ලිංග භේදයක් නැහැ.

  • ඉක්මනින් අවසන් කරන්න සිතා දෙමාපියන් බාරගන්න එපා

දරුවෙක්ට

සපත්තු දාගන්න වැඩි වේලාවක් ගතවෙන්න පුලුවන්. දෙන්න.. දෙන්න, මම දාන්නම්…

බෑග් එක හදන්න වෙලා ගත වෙන්න පුලුවන්…අනේ ඉන්න, මම හදන්නම්…

කාමරය අස් කරන්න අමාරුයි…. ඉන්න, අම්මා කරලා දෙන්නම්….

ඒ මොහොතේ කාලය ඉතිරි වුවත් දරුවාට අහිමි වෙන්නේ පුහුණු වීමට ලැබෙන අවස්ථාවක් බව අමතක කරන්න එපා.  දරුවාට ටිකක් වෙලා ගන්න දෙන්න. වැරදෙන්න දෙන්න. ආයෙත් කරන්න දෙන්න. උත්සාහ කරන්න දෙන්න. අද දින දරුවාගේ පුංචි අසාර්ථක උත්සාහයක්, හෙට ඔහුගේ ස්වාධීනත්වයට පාර කියනවා. අන්න ඒ නිසාම අපි දරුවන්ව සුදානම් කල යුතු වන්නේ විභාග සදහා පමනක් නොවෙයි.

දරුවාට ගණිතය, විද්‍යාව, භාෂා, පොත් කියවන්න පුරුදු කරමු. ඒත් ඒ සමඟම…

  • තමන්ගේ අවකාශය බලාගන්න.
  • සරල ආහාරයක් සකස් කරගන්න.
  • තමන්ගේ ඇඳුම් පිළිවෙළට තබන්න.
  • තමන් භාවිත කළ දේ පිරිසිදු කරන්න.
  • තමන්ගේ අවශ්‍යතා සැලසුම් කරගන්න.
  • කාලය කළමනාකරණය කරගන්න.
  • පවුලේ වැඩවලට සහභාගී වෙන්න.

මේවාත් අධ්‍යාපනයේම කොටස් බව අමතක කරන්න එපා. දරුවෙකුගේ අධ්‍යාපනය කියන්නේ විභාග ශාලාවකදී ලකුණු ලබාගැනීම විතරක් නෙවෙයි. ජීවිතය තමන්ගේම දෙපයින් ගෙන යන්න පුළුවන් පුද්ගලයෙකු බවට පත්වීමත් අධ්‍යාපනයේම කොටසක්. අපේ දරුවන් හැමදාම අපි ලග රැදෙන්නේ නැහැ. දවසක තමන්ගේ ජීවිතය තමන්ටම හොඳින් ගෙන යන්න පුළුවන් මිනිසුන් බවට දරුවන් පත්කල යුතු වන්නේ ඒ නිසයි…

Leave feedback about this

  • Quality
https://nusantarabola.id/