අගෝස්තු 5, 2026
දරුවන්ගේ සුව දිවිය සුව දිවිය

අනේ අම්මේ… අද නං ඉස්කෝලේ යන්න බෑ…

ඔබේ දරුවාගේ මේ වචන පිටුපස සැඟවුණු පණිවිඩය ඔබට ඇසෙනවාද?

සෑම උදෑසනකම පාසලට යාමට සූදානම් වන වේලාවේ, බඩ රිදෙනවා, හිස කැක්කුමයි, අද නම් ඉස්කෝලේ යන්න බෑ.. කියලා පවසන දරුවන් ගනන අද වෙන විට වැඩි වෙලා.

මෙවගේ වෙලාවක බොහොමයක් දෙමාපියන්ගේ පළමු ප්‍රතිචාරය “මේ ළමයා මේ ඉස්කෝලේ යන්න තියෙන කම්මැලිකම” එහෙමත් නැත්නම් “බොරු කරන්නේ නැතිව ඉස්කෝලේ යන්න ලැස්ති වෙන්න ” කියන එක තමයි.

නමුත් ළමා මානසික සෞඛ්‍ය විශේෂඥයන් පෙන්වා දෙන්නේ, දරුවෙකු නිතර පාසල් යාම ප්‍රතික්ෂේප කරනවා නම් එය බොහෝවිට යම් මානසික හෝ සමාජීය ගැටලුවක සංඥාවක් විය හැකි බවයි.

“School Refusal” කියන්නේ මොකද්ද?

එනම් දරුවා පාසලට යාම ප්‍රතික්ෂේප කිරීම හෝ පාසලට යාම පිළිබඳ දැඩි කාංසාවක් (Anxiety) අත්විඳීමයි. මෙය සාමාන්‍ය “පාසල් යන්න අකමැතියි” කියන තත්ත්වයට වඩා වෙනස්. දරුවාට ඇත්තටම යාමට අවශ්‍ය වුවත්, බිය, කාංසාව හෝ වෙනත් ගැටලුවක් නිසා එය කළ නොහැකි විය හැකියි.

දරුවා මෙවැනි ලෙස හැසිරෙනවාද?

  • පාසල් යන වෙලාවටම බඩේ අමාරුවක් හෝ හිසරදයක් ඇති විම
  • වමනය එන බව හෝ ක්ලාන්ත බව පැවසීම
  • අඬමින් පාසලට යාම ප්‍රතික්ෂේප කිරීම
  • ඇඳෙන් නැගිටින්න අකමැති වීම
  • පාසලට නොගිය දිනවල මෙම රෝග ලක්ෂණ අඩුවීම
  • ඉරිදා සවස හෝ සඳුදා උදෑසන සිටම නොසන්සුන් වීම

මෙවැනි ලක්ෂණ දිගින් දිගටම පවතී නම්, එය නොසලකා හැරීම සුදුසු නොවේ.

දරුවා පාසලට යාමට අකමැති වීමට හේතු

1. පාසලේ හිරිහැර (Bullying) – දරුවා වෙනත් දරුවන්ගෙන් හෝ සමහර අවස්ථාවල වැඩිහිටියන්ගෙන් පවා හිරිහැරයට ලක්විය හැකිය.

2. විභාග හා අධ්‍යාපනික පීඩනය – සමහර දරුවන්ට ලකුණු, ගෙදර වැඩ සහ විභාග පිළිබඳ අධික පීඩනයක් දැනේ.

3. දෙමාපියන්ගෙන් වෙන්වීමට ඇති බිය (Separation Anxiety) – විශේෂයෙන් කුඩා දරුවන්ට, අම්මා හෝ තාත්තාගෙන් වෙන්වීම දැඩි කාංසාවක් ඇති කළ හැකිය.

4. ගුරුවරුන් හෝ පන්තියේ පරිසරය පිළිබඳ බිය – දරුවාට තම අදහස් ප්‍රකාශ කිරීමට බියක් හෝ නිතර බැන වැදීමක් අත්විඳින්නේ නම්, පාසල අකමැති ස්ථානයක් බවට පත්විය හැකිය.

5. මානසික සෞඛ්‍ය ගැටලු – Anxiety Disorders, Depression, Social Anxiety වැනි මෙවැනි තත්ත්වයන් ද පාසලට යාම ප්‍රතික්ෂේප කිරීමට හේතු විය හැකිය.

6. ඉගෙනීමේ අපහසුතා – ADHD, Autism Spectrum Disorder (ASD), Dyslexia වැනි තත්ත්වයන් ඇති දරුවන්ට පාසලේ පරිසරය අභියෝගාත්මක විය හැකිය.

දෙමාපියන් නොකළ යුතු දේ

  • කම්මැලියා
  • බොරුවට බඩ රිදෙනවා කියනවා
  • ඔයාට කිසිම ප්‍රශ්නයක් නැහැ

මෙවැනි ප්‍රතිචාර දරුවාගේ බිය සහ කාංසාව තවත් වැඩි කළ හැකිය.

✅දෙමාපියන් කළ යුතු දේ

  • දරුවා සමඟ සන්සුන්ව කතා කරන්න – අද පාසලට යන්න අකමැති ඇයි?” කියන ප්‍රශ්නය වෙනුවට, පාසලේදී මොනවහරි ඔයාට කරදරයක් වෙනවද? වැනි විවෘත ප්‍රශ්න අසන්න.
  • ගුරුවරයා සමඟ කතා කරන්න – පාසලේදී දරුවාගේ හැසිරීම පිළිබඳ තොරතුරු ලබාගන්න.
  • දරුවාගේ හැඟීම් පිළිගන්න – ඔයාට බයක් දැනෙනවා කියලා මට තේරෙනවා වැනි වචන දරුවාට ආරක්ෂාවක් දැනෙන්න උපකාරී වේ.
  • අවශ්‍ය නම් විශේෂඥ උපකාර ලබාගන්න – සති කිහිපයක් පුරා ගැටලුව පවතින්නේ නම්, ළමා මනෝවෛද්‍යවරයෙකු හෝ ළමා මනෝවිද්‍යාඥයෙකු හමුවීම සුදුසුය.

මතක තබා ගන්න…

සෑම දරුවෙකුම පාසලට යාමට අකමැති වන්නේ කම්මැලිකම නිසා නොවේ. සමහර විට ඔවුන්ට කියාගත නොහැකි බියක්, කනස්සල්ලක් හෝ උදව් ඉල්ලා සිටින නිහඬ පණිවිඩයක් එහි සැඟවී තිබිය හැකිය. දරුවාගේ වචනවලට පමණක් නොව, ඔහුගේ හැසිරීමටත් සවන් දෙන්න. ඒ සවන් දීම, ඔහුට අවශ්‍යම උපකාරය ලැබෙන පළමු පියවර විය හැකිය.

ලිපිය සකස් කිරිමට පාදක වු මූලාශ්‍ර (Sources)

1. American Academy of Pediatrics (AAP). School Avoidance: Tips for Concerned Parents.

[https://www.healthychildren.org/English/ages-stages/gradeschool/school/Pages/School-Avoidance.aspx] (https://www.healthychildren.org/English/ages-stages/gradeschool/school/Pages/School-Avoidance.aspx)

2. American Academy of Child and Adolescent Psychiatry. School Refusal.

   [https://www.aacap.org] (https://www.aacap.org)

3. National Health Service (NHS). Anxiety in Children and Young People.

   [https://www.nhs.uk] (https://www.nhs.uk)

4. UNICEF. Resources on children’s mental health and wellbeing.

   [https://www.unicef.org] (https://www.unicef.org)

5. World Health Organization. Mental Health of Children and Adolescents.

   [https://www.who.int] (https://www.who.int)

මෙම ලිපිය සාමාන්‍ය දැනුවත් කිරීම සඳහා පමණි. දරුවා දිගින් දිගටම පාසලට යාම ප්‍රතික්ෂේප කරන්නේ නම් හෝ එය දෛනික ජීවිතයට සැලකිය යුතු ලෙස බලපාන්නේ නම්, සුදුසුකම් ලත් ළමා මානසික සෞඛ්‍ය විශේෂඥයෙකුගේ උපදෙස් ලබාගැනීම වැදගත්ය.

Leave feedback about this

  • Quality