අපගේ දෛනික ආහාර රටාවට එකතු කරගත හැකි පෝෂණීය මෙන්ම රසවත් විකල්පයක් ලෙස “නට්ස්” (Nuts) හැඳින්විය හැකිය. අතිශය දැඩි බාහිර කටුවක් සහිත මෙම ඵලයන්හි මදය ලබාගැනීම සඳහා යම් ආයාසයක් දරා එය තලා වෙන් කරගත යුතුය.
ගෝලීය ආහාර සංස්කෘතිය සහ නට්ස් භාවිතය
ලෝකය පුරා බහුලව භාවිත වන වෝල්නට්ස්, ආමන්ඩ්, හේසල්නට්ස්, මැකඩමියා, කැෂූ, පිස්ටාචියෝ, චෙස්ට්නට්ස්, පිකාන්, පීනට්ස් මෙන්ම පොල් ද නට්ස් පවුලේ ප්රකට සාමාජිකයෝ වෙති. මේවා තම්බා, වියළා, කරකර, කබලේ බදින ලද හෝ විවිධ රසකාරක/ලුණු එකතු කර කෙටි ආහාර ලෙස භුක්ති විඳිය හැකිය. මීට අමතරව අතුරුපස සහ චොකලට් නිෂ්පාදන සඳහා ද මේවා බහුලව යොදා ගැනේ.
- පොල් – නට්ස් වර්ග අතර ප්රමුඛස්ථානයක් ගන්නා අතර ලෝක වෙළෙඳපොළේ ඉහළ ඉල්ලුමක් හිමි ආහාරයකි.
- රටකජු – බොහෝ දෙනා නට්ස් ලෙස සැලකුවද, විද්යාත්මකව රටකජු අයත් වන්නේ රනිල කුලයේ කරල් බෝග ගණයටයි. එහි බීජයට සවිමත් බාහිර කටුවක් නොමැත.
ආනයනික නට්ස්වල මිල සහ පෝෂණ වටිනාකම
සෞඛ්ය විශේෂඥයන්ගේ මතයට අනුව, දිනපතා ග්රෑම් 25-30 අතර ප්රමාණයක නට්ස් ස්වල්පයක් ආහාරයට ගැනීමෙන් බෝ නොවන රෝග රැසකින් ආරක්ෂා විය හැක. මෙහි ඉහළ ප්රෝටීන් සහ සිරුරට හිතකර පෝෂ්ය පදාර්ථ බහුල වුවද, විදේශයන්ගෙන් ආනයනය කරන නට්ස් අධික මිලකින් යුක්ත වන බැවින් සාමාන්ය ජනතාව අතර භාවිතය සීමිතය.
අපේ රටේ වැවෙන පෝෂණීය දේශීය ප්රභේද
අධික මුදලක් වැය කර විදේශීය නට්ස් මිලදී ගන්නවා වෙනුවට, අපගේ ගෙවත්තෙන්ම ලබාගත හැකි වටිනා දේශීය විකල්ප කිහිපයක් හඳුනාගත හැකිය.
- කජු – බ්රසීලය නිජබිම වූ කජු, පෘතුගීසීන් විසින් ශ්රී ලංකාවට හඳුන්වා දෙන ලදී. අනුරාධපුරය, කුරුණෑගල, පුත්තලම, මන්නාරම, වව්නියාව, කිලිනොච්චිය, පොළොන්නරුව, මඩකලපුව සහ හම්බන්තොට වැනි ප්රදේශවල සාර්ථකව වගා කෙරේ. වසරකට ගෝලීයව කජු ටොන් මිලියන 4ක් පමණ නිෂ්පාදනය කෙරේ.
- කොට්ටම්බා – මැලේසියාව නිජබිම කරගත් මෙම ශාකය ආසියාව සහ පැසිෆික් කලාපයට ආවේණික වේ. ශ්රී ලංකාවේ ඕනෑම ප්රදේශයක පහසුවෙන් වැවෙන අතර, පැළ කර වසර දෙකකින් ඵලදාව ලබාගත හැක. ගෙවත්තට සෙවණ සපයන මාහැඟි වෘක්ෂයකි.
- මැකඩමියා – ඕස්ට්රේලියාවට ආවේණික, ශීත දේශගුණයට ඔරොත්තු දෙන ශාකයකි. 1985දී ගන්නෝරුව, බණ්ඩාරවෙල සහ රහංගල ප්රදේශවල වගා කිරීමට පියවර ගත්ත ද, අවාසනාවකට මෙන් අදටත් අප රට තුළ මෙහි භාවිතය ඉතා අවමය.
පාඩම් කරන විට, රූපවාහිනිය බලන විට හෝ විනෝද ගමනක් යන විට අප බොහෝ විට පෙළඹෙන්නේ නැවත නැවත බදින ලද තෙල්, අධික සීනි, ලුණු සහ කෘතිම රසකාරක සහිත පැකට් කළ ක්ෂණික කෑම වර්ග ලබා ගැනීමටයි. මෙමගින් සිරුරට සිදු වන්නේ විශාල හානියකි. මේ වෙනුවට අපට පහසුවෙන් සොයාගත හැකි තැම්බූ/බැදපු කොස් ඇට, බැදි දෙල්, බඩඉරිඟු සහ වට්ටක්කා ඇට වැනි දේ අතිශය පෝෂණීය කෙටි ආහාර ලෙස භාවිත කළ හැකිය. විශේෂයෙන්ම වට්ටක්කා ඇට සහ බඩඉරිඟු සඳහා ජාත්යන්තර වෙළෙඳපොළේ ද ඉහළ අගයක් හිමිවේ.
එළඹෙන ආහාර අර්බුද හමුවේ අප අවට පරිසරයෙන් නිසරු ලෙස අපතේ යන කොට්ටම්බා, කොස් ඇට, දෙල් සහ වට්ටක්කා ඇටවල සැබෑ වටිනාකම වටහා ගැනීම කාලීන අවශ්යතාවකි. අනවශ්ය ලෙස මුදල් නාස්ති නොකර, සෞඛ්යයට හිතකර මෙවැනි දේශීය සපයාගැනීම් වෙත යොමු වීම අපගේ ශරීරයට මෙන්ම ආර්ථිකයට ද බෙහෙවින් යහපත් ය.
උදානි ජයසේන
