අම්මා සුන්දර හදවතක් හිමි කාරුණික කාන්තාවකි. ඇය ජීවත් වූයේ සැහැල්ලුවෙන්ය. ජීවිතයේ ලොකු ලොකු හීන ඈ සතු නොවූවාය. විමංසා මෙලොව එළිය දකින්නට පෙර අම්මා පෞද්ගලික බැංකුවක කළමණාකාරිණියක් ලෙස කටයුතු කොට ඇත. තාත්තා රජයේ ආයතනයක ප්‍රධාන ලිපිකරුවෙක් ලෙස කටයුතු කොට ඇත. විමංසා ලැබුණු පසු රැකියාවෙන් ඉවත් වන ලෙස තාත්තා අම්මාට පවසා ඇත.
අත්තම්මා විමංසා බලා ගැනීමට ඉදිරිපත් වුවත් තාත්තාගේ තීරණය අවසන් තීරණය වී ඉහළටම ඉගෙන ගත් අම්මා දියණිය වෙනුවෙන් ඇගේ ජීවිතේ වටිනා අවස්ථාවක් අත්හැරියාය. එතැන් සිට ඇය නිවසින් නික්ම යන තුරුම අපව ආදරෙන් රැක බලා ගත්තා නොවේදැයි විමංසා සිතුවාය.
තාත්තාගේ රැකියාවෙන් ලද මුදල ඔවුන්ට ප්‍රමාණවත් නොවූ නිසා ඇය ඉංග්‍රීසි උපකාරක පන්ති පැවැත් වූවාය. ඉගෙනීමට පැමිණි ආර්ථික අපහසුතා ඇති දරුවන්ට නොමිලේම අධ්‍යාපන ලබා දෙන්නට ඇය ඉදිරිපත් වූයේ නොපැකිලිව ය. ඊටත් අමතරව නිවසේ සිට ස්වයං රැකියාවක් ලෙස සිදු කළ කේක් නිර්මාණ වලින්ද හොඳ ආදායමක් ඇය ඉපැයූවාය.
ඇගේ වතේ නිතරම රැදුණු සිනහවට තමන් කොපමණ ආශා කළා ද? සිනහව යනු තවෙකුගේ සිතක් සනහාලන්නට කදිම ඔසුවක්ය යන්න විමංසා උගත්තෙ අම්මාගෙන්ය.
අම්මාගේ නික්ම යාමට තාත්තා වගකිව යුතු යැයි විමංසා තරයේම විශ්වාස කළාය. තාත්තාට මාසිකව ලැබෙන පඩි පත අම්මා අත තැබූ පසු තාත්තා නිදහස් විය. තාත්තාගේ වැටුප කළමණාකරනය කරගනිමින්, නිවසේ ආර්ථිකයට ද දායකය වෙමින්, දරුවන් ද රැක බලා ගන්නා අම්මා පිළිබඳ තාත්තා කිසි දිනෙක ඇඟයීමක් නොකළේය. එහෙත් අම්මා අතින් සිදු වන සුළු අඩු පාඩුවකට වුවද නොසෑහෙන්නට බනින්නට තාත්තා දෙවරක් සිතුවේ නැත. අම්මා වරදක් නොකර තාත්තා දෝෂාරෝපණය කරන විට එය පැහැදිලි කරන්නට ගොස් අවසානයේ කතා බහ කෙළවර වූයේ රණ්ඩුවකින්ය. අම්මා ඔවුන්ව හැර යන්නට පෙර තාත්තා සමඟ වාද කිරීම සම්පූර්ණයෙන්ම නතර කළාය. එදවස් වල ඇය නිතරම සිනා මුසුව සිටි නිසා පුංචි එකියක වූ තමන් ද සිතුවේද ඇය සතුටින් කියාය.
දිනක් තාත්තාගේ පවුලේ නෑ පිරිස සමඟ විනෝද චාරිකාවක් යාමට සූදානම් විය. අම්මා ගමනට අවශ්‍ය සියලූම බඩු ලෑස්ති කොට කුඩා අපව ලෑස්ති කර අවසානයේ අම්මා ද සූදානම් වන්නට ගියාය.
“තාම ලෑස්ති නැද්ද බලන්නකො වෙලාව”
“අනේ ඉතින් මම නිකන් හිටියෙ නැහැනේ, කීයක් කරන්නද මම තනියම”
“වෙලාවට වැඩ කරන්න ඉගෙන ගන්නවා, කවදාවත් වෙලාවට එළියට බහින්න වෙන්නෙ නැහැ, ළමයි පුරුදු වෙන්නෙත් ඔහොමම තමයි”
“වෙලාවට යන්න නම් ඔයත් මට උදව් වුණා නම් හරිනේ” අම්මා කිවේ වේදනාවෙන් ය.
“ඇයි තමුසෙ මෙතන පතල් හාරනවද උදව් වෙන්න”
“පතල් නෙමේ ගමන යන්න ඇඳුම්, ළමයින්ව ලෑස්ති කරන්න, කෑම හදා ගන්න මේ සේරම මම තනියම නේද කරගත්තේ ? ”
එවර අම්මා පිළිතුරු දුන්නේ හැඬුම්බරව උස් හඬින් ය.
“තමුසෙගෙ කට වැඩියි”
“කට නම් වැඩි න් නෑ ඈ…”
අම්මාට කියා ගන්නට හැකි වූයේ එපමණකි. හෙණයක් පාත් වූවා සේ අම්මාගේ කම්මුල හරහා තාත්තාගේ අත අනපේක්ෂිතව දැඩිව වදින විට අම්මා විසි වී ගොස් වැටුණාය. කිසිත් සිතා ගත නොහැකිව වික්ෂිප්තව තාත්තා දෙස කඳුලු පිරි දෙනෙතින් ඇය බලා සිටි ආකාරය විමංසාට දැනුදු මැවී පෙනේ.
කුඩා ඔවුන් බිය වී අම්මා ළඟට දිව යන විට ඇය වැටී සිටි තැනින් නැගී සිටියේ සිනාමුසු මුහුණින්ය. බියට පත් කුඩා නැගණිය
“තාත්තා ගාන්න අපා” කියමින් හඬා වැටෙන විට
“අයියෝ තාත්තා විහිලුවක් කළේ මැණික අම්මා වොෂ් එකක් දාගෙන එන්නම්”
කියා ඇය නාන කාමරයට වැදී ඉකිගසමින් හඬා වැටුන බව දන්නෙ අම්මා එනතුරු දොර අසල රැඳී සිටි තමන්ම පමණි.
අවසානයේ සියලු වේදනාවන් දරාගෙන අම්මා ගමනට එක් වූවාය.
“මේ කම්මුලට මොකද්ද වුණේ අමිතා”
ලොකු නැන්දා අසද්දි අම්මා මහ හඩින් සිනා සී වට පිට බැලුවාය. පාරින්ද්‍යාත්, අසේනිත් සිටියේ තාත්තා අසලය.
“බලන්නකො ලොකු අක්කා බාත් රූම් එකේ ලිස්සලා වැටුනා… මේ යාන්තම් අත තියලා බේරුණාට මූණ කොමඩ් එක යට නතර වුණේ.”
“අනේ මන්දා අමිතා ඔයින් ගියා මදැයි. ළමයි තුන්දෙනෙකුත් බලාගෙන අමතර වැඩත් කරන ගමන්. වෙලාවකට මට ඔයා ගැන පුදුමත් හිතෙනවා නංගී.”
“ඕවා මොනවද අක්කා”
ඒ අම්මාගේ හැටිය. ගෙයි ගින්දර පිටට දෙන්නට ගියේ නැත. අම්මාට සියල්ල එපා වී නිවස අතැර යාම එක අතකින් සාධාරණ නොවන්නේ ද?