ඔක්තෝබර් 24, 2025
Kids with Phones Parent Pulse Article Featured Image
විශේෂී ලිපි

තාක්ෂණය මිතුරෙකු කරගන්නා හැටි යොවුන් දරුවාට කියා දෙමුද?

උපන් දා සිටම ස්මාර්ට්ෆෝන්, ටැබ්ලට් සහ අන්තර්ජාලය සමග ඩිජිටල් පරිසරයක ජීවත් වන අපේ දරුවන්ට තාක්ෂණය සම්පූර්ණයෙන්ම තහනම් කිරීම කියන්නේ නූතන ලෝකයෙන් ඔවුන්ව හුදකලා කිරීමක්. එ්ත්, තාක්ෂණය නිවැරදිව භාවිත නොකළහොත් එය ඔවුන්ගේ ජීවිතයට මානසික සෞඛ්‍යයට සහ සමාජ සම්බන්ධතාවලට අහිතකර ලෙස බලපෑම් කළ හැකි බවත් නොරහසක්. එ් නිසාම අපේ කාර්යභාරය විය යුත්තේ, තාක්ෂණය සතුරෙක් ලෙස නොව, ප්‍රබල මිතුරෙක් ලෙස වගකීමෙන් යුතුව කළමනාකරණය කරගන්නා ආකාරය යොවුන් දරුවන්ට කියා දීමයි. මෙම සමස්ත ක්‍රියාවලියම සාර්ථක වන්නේ දෙමාපියන්ගේ ධනාත්මක සහ සක්‍රීය අධීක්ෂණය යටතේ පමණි.

තාක්ෂණය සම්බන්ධයෙන් දරුවන්ට නිදහස ලබා දෙන අතරම, දෙමාපියන් ලෙස ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම ඔබේ ප්‍රධාන වගකීමයි. මෙම අධීක්ෂණය යනු දරුවා ගැන සැක කිරීමක් හෝ ඔත්තු බැලීමක් නොව, ඔවුන්ව ඩිජිටල් අවදානම්වලින් මුදා ගැනීමකි.

  • අන්තරායන්ගෙන් ආරක්ෂා කිරීම

අන්තර්ජාලයේ ඇති අනිසි අන්තර්ගතයන්, සයිබර් හිරිහැර කිරීම් (Cyberbullying) සහ මාර්ගගත විනාශකාරීන්ගෙන් (Online Predators) දරුවන් ආරක්ෂා කර ගැනීමට නිතිපතා අධීක්ෂණය අත්‍යවශ්‍යයි.

  • විවෘත සන්නිවේදනය

දරුවාට යම් ගැටලුවක් ඇති වූ විට විවෘතව සහ විනිශ්චයකින් තොරව ඔබ සමඟ කතා කිරීමට හැකි විශ්වාසවන්ත පරිසරයක් දෙමාපිය අධීක්ෂණය තුළින් ගොඩනැඟිය යුතුය.

  • තාක්ෂණය මිතුරෙක් කරගැනීමට උදව් දීම

ඔබගේ මඟ පෙන්වීම යටතේ, දරුවාට තාක්ෂණය විනෝදාස්වාදයෙන් එහා ගිය ඉගෙනීමේ සහ නිර්මාණශීලී මෙවලමක් බව තේරුම් ගැනීමට අවස්ථාව ලැබේ.

යොවුන් දරුවන්ගේ තිර කාලය කළමනාකරණය කිරීමේදී, “විනෝදයට කාලය සීමා කිරීම” මිස, අධ්‍යාපනික කටයුතුවලට අදාළ කාලය සීමා කිරීම නොවිය යුතු බව දෙමාපියන් තේරුම් ගත යුතුය. වයසට ගැළපෙන තිර කාලය වයස අවුරුදු 13-15 (මුල් යොවුන් විය): දිනකට පැය 1.5 – 2 (පාසල් වැඩවලින් බැහැරව) පමණක් විනෝදාස්වාදය සඳහා වෙන් කළ යුතුය.

වයස අවුරුදු 16 -18 – දිනකට පැය 2 – 3 දක්වා විනෝදාස්වාද තිර කාලය වැඩි කළ හැකි අතර, ඔවුන්ට ස්වයං කළමනාකරණය සඳහා ඉඩ දිය යුතුය.

විසන්ධි වීමේ කාලය – දිනපතා රාත්‍රී ආහාර වේල හෝ පවුලේ කාලය තුළ සියලු තිර ක්‍රියාකාරකම් නවතාලිය යුතුයි.
නින්දට සීමා – නිදන කාමරවලට ටැබ්ලට්/ෆෝන් රැගෙන යාම සීමා කරන්න. නිදා ගැනීමට පැයකට පෙර සියලු තිර ක්‍රියාකාරකම් නැවැත්විය යුතුය. (තිරවලින් නිකුත් වන නිල් එළිය නිසා නින්දට බාධා ඇති වේ).
පාසල් දින/නිවාඩු දින සීමා – සති අන්ත සහ නිවාඩු දිනවලදී පමණක් නීති තරමක් ලිහිල් කරන්න. තිර කාලය “දඬුවමක්” නොකරන්න

තිර කාලය යනු වටිනා සම්පතක් බව දරුවන්ට තේරුම් කරන්න. වෙන්කර හඳුනාගැනීම උගන්වන්න

තිර කාලය ප්‍රධාන කොටස් දෙකකට වෙන් කරන්න

  • ක්‍රියාශීලී තිර කාලය (Active) (ඉගෙනීම, නිර්මාණය)
  • නිෂ්ක්‍රීය තිර කාලය (Passive) (වීඩියෝ, ක්‍රීඩා)

නිෂ්ක්‍රීය කාලය සීමා වන්නේ එය ඔවුන්ගේ අනෙකුත් දියුණු විය යුතු නිර්මාණශීලී හැකියාවන්ට සහ ශාරීරික ක්‍රියාකාරකම්වලට අවශ්‍ය කාලය ආරක්ෂා කර ගැනීමක් බව පෙන්වා දෙන්න.

අන්තර්ජාලය තුළ අපේ දරුවන් කරන කියන දේ ඔවුන්ගේ සැබෑ අනන්‍යතාවයේ දිගුවක් බව ඔවුන්ට උගන්වන්න. සයිබර් අවකාශයේ වගකීම සහ ආචාර ධර්ම ගැන දරුවන් දැනුවත් කරන්න.

  • ඩිජිටල් පිය සටහන (Digital Footprint)

ඔවුන් අන්තර්ජාලයට මුදා හරින සෑම දෙයක්ම (ඡායාරූප, අදහස්, කමෙන්ට්) සදාකාලිකව පවතින බවත්, එය ඔවුන්ගේ අනාගතයට බලපෑ හැකි ඩිජිටල් පිය සටහනක් බවත් කියා දෙන්න.

  • සයිබර් ආචාර ධර්ම (Netiquette)

සැබෑ ලෝකයේදී අන් අයට කාරුණිකව සලකනවා සේම, මාර්ගගතව (Online) ද ආචාරශීලී විය යුතු බවත්, කිසිවිටෙක සයිබර් හිරිහැරවලට සම්බන්ධ නොවිය යුතු බවත් අවධාරණය කරන්න.

  • විශ්වාසනීයත්වය සහ සත්‍යය

අන්තර්ජාලයේ ඇති සෑම තොරතුරක්ම සත්‍ය නොවන බවත්, විශ්වාසනීය මූලාශ්‍ර හඳුනාගෙන තොරතුරු පෙරීමට (Fact-checking) පුරුදු විය යුතු බවත් කියා දෙන්න.

සමාජ මාධ්‍ය යනු ව්‍යාජ පරිපූර්ණත්වයේ ලෝකයක් බව යොවුන් දරුවන්ට වටහා දීම වැදගත්ය.

  • සංසන්දනය කිරීමේ උගුල

සමාජ මාධ්‍යවල දකින්නේ බොහෝ දෙනාගේ හොඳම අවස්ථා පමණක් බවත්, අනෙක් අයගේ ජීවිත සමඟ තමන්ව සංසන්දනය කිරීමෙන් වැළකී සිටීමට පුරුදු විය යුතු බවත් කියා දෙන්න.

  • ඩොපමින් (Dopamine) උගුල

දැනුම්දීම් (Notifications) දරුවාගේ මොළයට ඩොපමයින් මුදා හරින බවත්, එය ඇබ්බැහි වීමට හේතු විය හැකි බවත් සරලව තේරුම් කර දෙන්න.

  • විසන්ධි වීමේ වටිනාකම

දිනපතා තාක්ෂණයෙන් සම්පූර්ණයෙන්ම විසන්ධි වන නිශ්චිත කාලයක් වෙන් කරන්න.

  • කුසලතා දියුණු කරගැනීම

දරුවාගේ අභිරුචියට අදාළ Coding, ඩිජිටල් නිර්මාණකරණය, ඩිජිටල් ලිවීමේ කුසලතා වැනි තාක්ෂණික කුසලතා වර්ධනයට යොමු කරන්න.

  • ගැටලු විසඳීම

ගෙදර දොරේ කුඩා ගැටලුවලට හෝ පාසල් ව්‍යාපෘතිවලට විසඳුම් සෙවීමට අන්තර්ජාලය පර්යේෂණාත්මක මෙවලමක් ලෙස යොදා ගන්නා ආකාරය උගන්වන්න.

යොවුන් දරුවන්ට නිවැරදි තාක්ෂණික පුරුදු කියා දීමේදී දෙමාපියන් ලෙස අපගේ හැසිරීම ප්‍රබලතම බලපෑමක් ඇති කරයි.

  • ආදර්ශමත් වන්න

ඔබ නිරතුරුවම දුරකථනය දෙස බලා සිටිනවා නම්, දරුවාගෙන් එයම බලාපොරොත්තු විය නොහැක. පවුලේ වේලාවන්හිදී ඔබගේ දුරකතනයද පසෙකින් තබන්න.

  • නිතිපතා අධීක්ෂණය

දරුවාගේ උපාංගවල දෙමාපිය පාලන (Parental Controls) සැකසුම් සක්‍රිය කරන්න. නිතිපතා ඔවුන්ගේ තිර කාල වාර්තා සමාලෝචනය කරන්න. නමුත් මෙම පාලනයන් පනවන බව ඔවුන්ට විවෘතව කියන්න.

තාක්ෂණය යනු අනාගතයේදී අපේ දරුවන්ට සාර්ථක වීමට අවශ්‍ය අනිවාර්ය මෙවලමකි. එම මෙවලම භීතියකින් තොරව, නමුත් වගකීමෙන් යුතුව භාවිත කිරීමට දෙමාපිය අධීක්ෂණය යටතේ උගන්වන විට, ඔවුන් ඩිජිටල් ලෝකය ජය ගන්නා සබුද්ධික පුරවැසියන් බවට පත් වනු ඇත.


සඳමාලි හේරත්
මෘදුකාංග ඉන්ජිනේරු
Webaholic Technologies (Pvt) Ltd

Leave feedback about this

  • Quality