ඔක්තෝබර් 24, 2025
Kids Outdoor Activities Parent Pulse Article Features Image
දරුවන්ගේ සුව දිවිය සුව දිවිය

ෆෝන්/ටීවී වෙනුවට දරුවා කාර්යබහුල කරවන විකල්ප ක්‍රම 10ක්

වර්තමාන කාර්යබහුල ලෝකයේ, සමහර මව්වරුන්ට තම දරුවන් කලබලයකින් තොරව තබා ගැනීමට ස්මාර්ට් දුරකථනය හෝ රූපවාහිනිය දීම පහසු විසඳුමක් වී තිබේ. නමුත් අධික තිර කාලය (Screen Time) දරුවාගේ සංවර්ධනයට අහිතකර ලෙස බලපාන බව පර්යේෂණ මගින් තහවුරු වී ඇත. දරුවන්ගේ නිර්මාණශීලීත්වය, ගැටලු විසඳීමේ හැකියාව සහ සමාජ කුසලතා වර්ධනය කිරීම සඳහා ඔවුන්ව තිරයෙන් ඈත් කර තැබීම ඉතා වැදගත්ය.

ඔබේ දරුවාට හොඳින් වැඩෙන්නට අවස්ථාව සලසමින්, ඔබට අවශ්‍ය වැඩ කටයුතු කර ගැනීමට හැකි වන ලෙස, ජංගම දුරකථනයට සහ රූපවාහිනියට විකල්ප වන, දරුවා කාර්යබහුලව සහ සතුටින් තබා ගත හැකි අපූරු ක්‍රියාකාරකම් 10ක් ගැන අපි කතා කරමු.

නිර්මාණාත්මක ක්‍රියාකාරකම් දරුවන්ගේ අත්-ඇස් සම්බන්ධීකරණය (hand-eye coordination) සහ සියුම් චාලක හැකියා (fine motor skills) වැඩි දියුණු කරයි.
චාලක හැකියා යනු යම්කිසි කාර්යයක් ඉටු කිරීම සඳහා ශරීරයේ මාංශ පේශීන් නිශ්චිත චලනයන් සම්බන්ධ කිරීමේ හැකියාවයි. මේ සඳහා ස්නායු පද්ධතිය, මාංශ පේශි සහ මොළය එකට ක්‍රියා කළ යුතුයි. මූලිකව මෙම චාලක හැකියාවන් ස්ථූල චාලක කුසලතා (Gross Motor Skills) එනම් ශරීරයේ විශාල මාංශ පේශී (අත්, පා, කඳ වැනි) භාවිත කරන විශාල චලනයන් වන ඇවිදීම, දිවීම, පැනීම, බයිසිකල් පැදීම සහ සියුම් චාලක කුසලතා (Fine Motor Skills) ලෙස අත්, ඇඟිලි සහ මැණික් කටුව වැනි කුඩා මාංශ පේශි භාවිතා කරන සියුම්, නිරවද්‍ය චලනයන් වන ලිවීම, ඇඳීම, බොත්තම් දැමීම, කතුරු භාවිතා කිරීම, කුඩා වස්තූන් ඇඟිලිවලින් ඇල්ලීම වැනි ක්‍රියාවන්වලින් සමන්විත වන ලෙස දෙයාකාරයි. මේ හැකියාවන් උපතින් පසු වර්ධනය වී ළමා කාලය පුරාම දියුණු වේ.

  • පින්තාරු කිරීම සහ වර්ණ ගැන්වීම
    වතුර සායම්, පැන්සල්, ක්‍රේයෝන් හෝ මැටි (Play-Doh/Clay) ලබා දී ඔවුන්ගේ අදහස් නිදහසේ ප්‍රකාශ කිරීමට ඉඩ දෙන්න.
  • සංවේදී ක්‍රීඩාව (Sensory Play)
    වියළි සහල්, වතුර, හෝ වැලි වැනි දේ කුඩා බඳුනක දමා සෙල්ලම් බඩු කිහිපයක් සමඟ ඔවුන්ට විවිධ හැඟීම් අත්විඳීමට අවස්ථාව දෙන්න.
    කඩදාසි වැඩ
  • සරල කඩදාසි නැවීම්, රූප ඇලවීම් (Collage) හෝ පාවිච්චි කළ දේවල් (Recycling) යොදාගෙන අත්කම් නිර්මාණය කරන්න.

ගොඩනැගීමේ ක්‍රීඩා මගින් දරුවන්ගේ අවධානය සහ ගැටළු විසඳීමේ හැකියාව වර්ධනය වේ.

  • බ්ලොක්ස් සහ ලෙගෝ (Blocks and LEGO)
    විවිධ හැඩැති බ්ලොක්ස් යොදාගෙන කොතරම් උසට කුළුණු හෝ ගෙවල් හැදිය හැකිදැයි බලන්න.
  • ප්‍රහේලිකා (Puzzles)
    ඔවුන්ගේ වයසට සුදුසු ප්‍රහේලිකා හෝ ජිග්සෝ පසල් (Jigsaw Puzzles) ඔවුන්ට ලබා දෙන්න. මේවා මගින් ඔවුන්ගේ මොළයේ වර්ධනයට හොඳ උත්තේජනයක් ලැබේ.
  • කාඩ්බෝඩ් පෙට්ටි සහ බලකොටු (Cardboard Boxes and Forts)
    විශාල කාඩ්බෝඩ් පෙට්ටි යොදාගෙන නිවසක්, රොකට්ටුවක් හෝ කෝච්චියක් තනන්න. පුටු, කොට්ට සහ ඇතිරිලි භාවිතයෙන් නිවස තුළ බලකොටුවක් (Fort) තැනීම දරුවන්ගේ පරිකල්පනීය හැකියාවට ඉඩ සලසන තවත් අපූරු විසඳුමකි.

භූමිකා රංගන ක්‍රීඩා මගින් දරුවන්ගේ සන්නිවේදන කුසලතා සහ සමාජ හැඟීම් වැඩි දියුණු වේ.

  • වෙස්වලාගෙන සෙල්ලම් කිරීම (Dress-Up)
    පරණ ඇඳුම්, තොප්පි සහ අනෙකුත් උපාංග පෙට්ටියක දමා ඔවුන්ට විවිධ චරිත (වෛද්‍යවරයෙක්, ගුරුවරයෙක්, සුපිරි වීරයෙක්) නිරූපණය කිරීමට ඉඩ දෙන්න.
  • සූපවේදීන් සහ මුළුතැන්ගෙය
    සෙල්ලම් මුළුතැන්ගෙයි උපකරණ හෝ සැබෑ භාජන ලබා දී ඔවුන්ට කෑම පිසීමට අවස්ථාව දෙන්න. සැබෑ එළවලු හෝ පලතුරු කොටස් (කුඩා හා ආරක්ෂිත) කපා දෙන්නට ඉඩ දීමෙන් වැඩිහිටියන්ගේ වැඩවලට හුරුපුරුදු වේ.
  • රූකඩ සංදර්ශන (Puppet Shows)
    මේස් (Socks) හෝ කඩදාසි බෑග් යොදාගෙන රූකඩ සාදා, ඔබට හෝ ඔවුන්ටම රූකඩ සංදර්ශනයක් පවත්වන්නට පුළුවන.

හැකි සෑම විටම දරුවා එළිමහනට යොමු කරන්න. නැවුම් වාතය සහ ස්වාභාවික පරිසරය දරුවාගේ ශාරීරික හා මානසික සෞඛ්‍යයට ඉතා වැදගත්ය.

  • සොබාදහම සොයා යෑම (Nature Scavenger Hunt)
    ඔබේ ගෙවත්තේ හෝ මිදුලේ ඇති කොළ, මල්, ගල් හෝ කෘමීන් සොයාගෙන ඒ ගැන සටහනක් තබන්න.
  • ජල ක්‍රීඩා (Water Play)
    කුඩා බේසමක වතුර දමා කෝප්ප, හැඳි සහ සෙල්ලම් බෝට්ටු සමඟ සෙල්ලම් කරන්නට ඉඩ දෙන්න.
  • බුබුළු (Bubbles)
    සබන් වතුර දමා බුබුළු පිඹින්නට ඉඩ දීමෙන් ඔවුන්ගේ කල්පනාව සහ විනෝදය වැඩිවේ.
  • ශ්‍රව්‍ය පොත් (Audio books)
    ඔබ වැඩ කරන අතරතුර ඔවුන්ට ඇසීමට ගැලපෙන ශ්‍රව්‍ය කතන්දර පොතක් හෝ ළමා පොඩ්කාස්ට් එකක් (Podcast) දමන්න. මෙය දරුවා තිරයකට යොමු නොවී කතාවලට අවධානය යොමු කිරීමට පුරුදු කරන හොඳම විකල්පයකි.
  • කියවීම
    පොත්වල ඇති පින්තූර බලා ඔවුන්ටම කතාවක් නිර්මාණය කිරීමට දිරිමත් කරන්න.

දරුවන් කුඩා වුවත්, ඔවුන්ට ගැලපෙන ලෙස ඔබේ වැඩවලට ඔවුන්ව හවුල් කර ගත හැකිය.

  • සේදීම සහ පිරිසිදු කිරීම
    සෙල්ලම් බඩු සේදීම, මේසයක් හෝ පුටුවක් පිස දැමීම වැනි සරල වැඩකටයුතු ඔවුන්ට ලබා දෙන්න. මේ සඳහා අවශ්‍ය ආරක්ෂිත උපකරණ ලබා දී මෙය විනෝදාත්මක අත්දැකීමක් කරන්න.
  • රෙදි නැවීම
    කුඩා තුවා හෝ මේස් යුගල කිරීම වැනි දේ ඔවුන්ට ලබා දීමෙන් කුසලතා ද වර්ධනය වේ.
  • නැටුම් සාදය (Dance Party)
    ඔවුන්ගේ ප්‍රියතම සංගීතය දමා විනාඩි 10 – 15ක නර්තන සාදයක් පවත්වන්න. මෙය ඔවුන්ගේ ශක්තිය පිට කිරීමටත්, පසුව නිහඬව සිටීමටත් උදව් වේ.
  • ගෙදර හැදූ සංගීත භාණ්ඩ
    හැඳි සහ භාජන යොදාගෙන බෙරයක් වැනි උපකරණ සාදා විනෝද වීමට ඉඩ දෙන්න.
  • සැමවිටම සූදානම්ව තබා ගැනීම
    ඔබේ දරුවාට කලබලයක් ඇති වූ විට හෝ ඔබට අත්‍යවශ්‍ය වැඩක් ඇති විට වහාම ලබා දීමට සෙල්ලම් බඩු, ස්ටිකර් පොත්, කුඩා පසල් හෝ චිත්‍ර අඳින පොත් වැනි දේ ඇතුළත් පෙට්ටියක් සූදානම් කර තබා ගන්න. මෙම පෙට්ටිය සතිපතා හෝ මාසිකව වෙනස් කරන්න, එවිට එහි ඇති දේ ඔවුන්ට අලුත් දෙයක් ලෙස දැනෙනු ඇත.
  • හැංගි මුත්තන් සහ අල්ලන්න (Hide and Seek)
    මෙම සරල ක්‍රීඩා මගින් දරුවන්ට ශාරීරික ක්‍රියාකාරකම්වල නිරත වීමටත්, පවුලේ අය සමඟ බැඳීමක් ඇති කර ගැනීමටත් අවස්ථාව ලැබේ.
  • විවේකය අත්‍යවශ්‍යයි
    දිනපතාම විනාඩි 15 – 30ක නිහඬ කාලයක් වෙන් කරන්න. මේ කාලය තුළ ඔවුන්ට ඇඳ මත හෝ කාමරයේ සුවපහසු ස්ථානයක වාඩි වී නිශ්ශබ්දව පොතක් කියවීමට හෝ මෘදු සෙල්ලම් බඩුවක් සමඟ සෙල්ලම් කිරීමට ඉඩ දෙන්න. මෙය ඔවුන්ට ස්වයං විනය සහ ස්වයං සැනසීම පුරුදු කිරීමට උපකාරී වේ.

ස්මාර්ට් දුරකථනය සහ රූපවාහිනිය පහසු විසඳුම් වුවත්, දරුවෙකුගේ සෞඛ්‍ය සම්පන්න වර්ධනයට අවශ්‍ය වන්නේ අත්දැකීම් සහ අන්තර්ක්‍රියා මත පදනම් වූ ක්‍රියාකාරකම් ය. ඉහත සඳහන් කළ විකල්ප දරුවාට විනෝදයක් ගෙන දෙන අතරම, ඔබට ඔබේ වැඩකටයුතු කරගෙන යාමට අවශ්‍ය නිදහස් කාලය ලබා දෙනු ඇත. ඔබේ දරුවා සමඟ අන්තර්ක්‍රියා කරන කාලය වැඩි කරන්න, එවිට තිරය කෙරෙහි ඇති ඇල්ම ක්‍රමයෙන් අඩු වී යනු ඇත. මතක තබා ගන්න, ඔබගේ අවධානය සහ ආදරය දරුවාට ලැබෙන හොඳම තෑග්ගයි.


දැනුවත් කිරීම

Mrs. Renuka Thennakoon

රේණුකා තෙන්නකෝන්


කථිකාචාර්ය,

ශ්‍රී ලංකා පදනම් ආයතනය

Leave feedback about this

  • Quality