ඔක්තෝබර් 23, 2025
Kids Food Allergy Parent Pulse Article Featured Image
දරුවන්ගේ සුව දිවිය සුව දිවිය

ඔබේ දරුවා විෂ වීම්වලින් රැකගන්න මේ කරුණු ගැනත් දැනුවත් වෙන්න

දරුවන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම සෑම දෙමව්පියෙකුගේම මෙන්ම ගුරුවරුන්ගේද ප්‍රමුඛතාවයයි. විෂ වීම් යනු දරුවන්ට බරපතල හානි සිදු කළ හැකි, ඇතැම් විට මාරාන්තික විය හැකි, නමුත් බොහෝ විට වළක්වා ගත හැකි අනතුරකි. නිවසේදී මෙන්ම පාසල වැනි පොදු ස්ථානවලදී ද දරුවන් විෂ වීම්වලින් ආරක්ෂා කර ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග සහ විෂ වීම් හඳුනා ගන්නේ කෙසේද යන්න පිළිබඳව අපි දැනුවත් වෙමු.

  • ඖෂධ – වේදනා නාශක, විටමින් වර්ග, වැඩිහිටි බෙහෙත්, විෂාදය සඳහා ලබා දෙන ඖෂධ
  • ගෘහස්ථ රසායනික ද්‍රව්‍ය – බ්ලීච්, වැසිකිළි පිරිසිදුකාරක, පිඟන් සෝදන ඩිටර්ජන්ට් (විශේෂයෙන් pods), භූමිතෙල්, බැටරි
  • විෂ වායු – කාබන් මොනොක්සයිඩ් (දෝෂ සහිත ගෑස් උඳුන්, නිවස තුළ ක්‍රියාත්මක වන ජෙනරේටර්)
  • ඇතැම් ආහාර වර්ග – නොපිසූ හෝ අඩුවෙන් පිසූ ආහාර, කල් ඉකුත් වූ/නරක් වූ ආහාර, දූෂිත ජලය
  • විෂ පැළෑටි – නිවසේ අලංකාරයට වවන විසිතුරු පැලෑටි
  • විද්‍යාගාරය – විද්‍යාගාර පිරිසිදු කිරීමේ ද්‍රව්‍ය හෝ පර්යේෂණ සඳහා භාවිත කරන රසායනික ද්‍රව්‍ය
  • කලා හා ශිල්පීය ද්‍රව්‍ය – තීන්ත, මැලියම් හෝ වෙනත් ශිල්පීය ද්‍රව්‍ය
  • ක්‍රීඩා කරන ස්ථාන – විෂ සහිත විසිතුරු පැළෑටි හෝ කෘමිනාශක යොදා ඇති තණකොළ හෝ පස්
  • පිරිසිදුකාරක – පිරිසිදු කිරීමට යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය

විෂ වීමකදී රෝග ලක්ෂණ ක්ෂණිකව හෝ පැය කිහිපයකට පසුව පෙන්නුම් කළ හැකිය. දරුවෙකුට විෂ වූ බවට සැක කරන විට පහත රෝග ලක්ෂණ කෙරෙහි අවධානය යොමු කරන්න.

  • ශ්වසන අපහසුතා – හුස්ම ගැනීමේ අපහසුතා හෝ වේගවත් වීම, හුස්ම හිරවීම
  • ආහාර ජීර්ණ පද්ධතිය – වමනය (විශේෂයෙන් නිතර වමනය), පාචනය, උදර වේදනාව, අධික ලෙස කෙළ ගැසීම.
  • සම සහ මුඛය – සමේ හෝ තොල්වල පිළිස්සීම් හෝ බිබිලි, මුඛය හෝ දිව වටා රතු වීම හෝ ඉදිමීම
  • ස්නායු පද්ධතිය – කරකැවිල්ල, ක්ලාන්ත වීම, නොපැහැදිලි පෙනීම, වලිප්පුව/අපස්මාරය, අධික නිදිබර ගතිය හෝ නොසන්සුන් බව
  • වෙනත් සලකුණු – දරුවාගේ ඇඳුම්වල හෝ ශරීරයේ අසාමාන්‍ය පැල්ලම් හෝ ගන්ධයන්, විෂ ද්‍රව්‍ය අඩංගු හිස් බහාලුම් හෝ විසුරුණු පෙති තිබීම
  • දරුවෙකු විෂවීමකට ගොදුරු වූ බව කලබල නොවී ඉක්මනින් ක්‍රියා කරන්න.
  • දරුවා සිහිසුන් නම්, හුස්ම නොගන්නේ නම් හෝ වලිප්පුව ඇති නම් වහාම රෝහලක් වෙත රැගෙන යන්න. දරුවා හොඳින් සිටියත්, විෂ ද්‍රව්‍යයක් ශරීරගත වී ඇත්නම් වහාම වෛද්‍යවරයකුගේ උපදෙස් ලබා ගන්න.
  • ගිල දමා ඇත්නම්, දරුවාගේ මුඛයේ ඉතිරිව ඇති ද්‍රව්‍ය ඉවත් කර කෙළ ගසන්නට සලස්වන්න. දරුවාට වමනය කරවීමට උත්සාහ නොකරන්න
  • සම මත ඇත්නම් දූෂිත ඇඳුම් ඉවත් කර විනාඩි 15 – 20 අතර කාලයක් මෘදු ලෙස ගලා යන ජලයෙන් සම සෝදන්න
  • ඇසෙහි තැවරී ඇත්නම් සිසිල් හෝ මඳ උණුසුම් ජලයෙන් ඇස විනාඩි 20 ක් පමණ සෝදන්න
  • ආඝ්‍රාණය වී ඇත්නම් දරුවා වහාම එළිමහනට හෝ නැවුම් වාතය ඇති ස්ථානයකට ගෙන යන්න.
  • විෂ වී යැයි සැක කරන ද්‍රව්‍යයේ බහාලුම හෝ ඇසුරුම, ඉතිරිව ඇති පෙති හෝ දියර සහ දරුවා වමනය කළේ නම් එම සාම්පලයක් රැගෙන වෛද්‍යවරයා වෙත යන්න. මෙය ප්‍රතිකාර සඳහා වැදගත් වේ
  • තවද, දරුවාට කිසිවක් කෑමට හෝ බීමට නොදීමට වග බලා ගන්න. වෛද්‍යවරයා උපදෙස් දෙන තුරු දරුවාට කෑමට හෝ බීමට කිසිවක් ලබා නොදෙන්න.
  • විෂ ද්‍රව්‍ය අගුළු දමා තබන්න. ඖෂධ, පිරිසිදු කිරීමේ ද්‍රව්‍ය (ක්ලීනර්, බ්ලීච්), ගෙවතු වගා නිෂ්පාදන, තීන්ත, ද්‍රාවක (solvents), සහ කෘමිනාශක වැනි සියලුම විෂ සහිත ද්‍රව්‍ය දරුවන්ට ළඟා විය නොහැකි උස් ස්ථානවල, අගුළු දමා ඇති කබඩ්වල හෝ පෙට්ටිවල තබන්න.
  • මුල් ඇසුරුම්වලම තබන්න. කිසි විටෙකත් විෂ සහිත ද්‍රව්‍ය ආහාර හෝ පාන වර්ග ගබඩා කරන බෝතල් හෝ භාජන වැනි වෙනත් බහාලුම්වලට මාරු නොකරන්න.
  • ආහාර ලබා දීමේදී ඒවා හොඳින් පරීක්ෂා කර කල් ඉකුත්වීමේ දින පරීක්ෂා කර හොඳින් පිස ලබා දෙන්න
  • ඖෂධ කිසිවිටෙකත් රසකැවිලි ලෙස හැඳින්වීමෙන් හෝ දරුවන් ඉදිරියේ නොසැලකිලිමත් ලෙස භාවිත කිරීමෙන් වළකින්න.
  • දරුවන්ට ඖෂධ ලබා දීමේදී ලේබලයේ ඇති මාත්‍රා උපදෙස් නිවැරදිව අනුගමනය කරන්න. මිනුම් කෝප්ප හෝ සිරින්ජ පමණක් භාවිත කරන්න.
  • විශේෂයෙන්ම එළිමහනේ සෙල්ලම් කිරීමෙන් පසු, ආහාර ගැනීමට පෙර සහ වැසිකිළි භාවිතයෙන් පසු දරුවන්ට නිසි පරිදි අත් සේදීමට පුරුදු කරන්න.
  • පැරණි තීන්තවල ඊයම් අඩංගු විය හැකි බැවින්, දරුවන් තීන්ත කැබලි කෑමෙන් හෝ ඊයම්, දූවිලි සහිත පෘෂ්ඨයන් සමඟ ස්පර්ශ වීමෙන් වළක්වා ගන්න.
  • විෂ සහිත විසිතුරු පැලෑටි වර්ග දරුවන්ට අත පෙවිය හැකි මානයෙන් ඉවත් කරන්න

දරුවන්ගේ විෂ වීම්වල අවදානම අවම කර ගැනීමට සහ හදිසි අවස්ථාවකදී නිවැරදිව ප්‍රතිචාර දැක්වීමට ඔබට මෙම ලිපියේ කරුණු උපකාරී වනු ඇත. දරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා පරෙස්සම් වීම, දැනුවත් කිරීම සහ ඉක්මන් ක්‍රියාමාර්ග ගැනීම අතිශයින් වැදගත් වේ.


දැනුවත් කිරීම

ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය
සූතිකා පුහුණු හෙද නිළධාරිනි
නවජ සූති දැඩි සත්කාර ඒකකය
පළාත් මහ රෝහල, කුරුණෑගල

Leave feedback about this

  • Quality